කියවූ තරම්

Thursday, April 23, 2020

ලියන්නෙක් නොවේ ...


මම ලියන්නෙක් නොවෙමි  ...

දෑතේ මහන්සියෙන් දරු පවුලත් රැකගෙන
ඇති හැටියෙන් නැති බැරි එකෙකුට උදව්වක්ද කරගෙන
ඉඩ ලද විටෙක සුන්දර කලාවේ සෞන්දර්යයන් විඳිමින්ද
පන්දුව සමග බෑට් පිත්ත හතර අතට වනමින්ද
දිවිගෙවනා සොමිබර පොරකි ...

මොකා අකමැති වූවත් එයට මා ඉතා කැමැතිය ...

මා ලියන්නෙක් නොවන හෙයින්
සාහිත්‍යවේදියෙක්ට හෝ ප්‍රශස්ථ ලේඛකයෙකුට
මා ඔලමොට්ටලයකු සේ පෙනිය හැක ...

ඒත් හත්තිලව්වෙ
ඒ ඇත්තන්ට බොහෝ ඇසූ පිරෑ තැන් ඇතියි කියා මං මක් කරන්නෙ ...

උක්ත ආක්‍යාත සන්ධි විසන්ධි විභක්ති ක්‍රියාපද ...
නාමපද ව්‍යාකරණ පාලි සංස්කෘත ඔවුනට අවශ්‍ය අඩුම කුඩුමය ...

මට අවශ්‍ය
මේ  කුණු කය පරල වීමට පෙර ඇන්ඩ්‍රොයිඩයෙ ඇති සීමිත අකුරු පෙළෙන් ...
මාගේ  අත් දැකීම් හැකි පමණින් ඔබ හා බෙදාගැනීමය ...

අත්දැකීමකට හැඩයක් ලබාදීමත් කලාවකි කියා
කොහේදෝ තිබුනා මටත් මතකය ...

මාද මේ වලිකන්නේ
මාගෙ ඒ අත්‍දැකීම් මගේම හැඩයෙන්
තමුන්‍නැහෙලා සමග බෙදාගැනීමටය ...

ඒත් ඉතිං
මගේ හැඩතල නුඹළාට අල්ලයිද කියා මා නොදනිමි ...

මා ලිවීමේදී උඹ බං බොලං උන් මුන් එවුන් කියා අමතන්නේ
අධිමානයකින් නම් නොවේ ...

මා එසේ අමතන්නේ නුඹලාට බොක්කෙන්ම උතුරා එන ලෙන්ගතුකම නිසාමය
ඔය ගමේ මට පුරැදු බසාවය ...

මෙහි සටහන් තබන තීරු තීරු ලිපි වලින්
මා බලාපොරොත්තුවන එකම ලාභය
මාගේ අත්දැකීම් ඔබ සමග බෙදාගැනිමෙන් ලබන අපමණ සතුටය ...

ඔබ සැම අප වැනි උන් නිතරම දැක ඇත්තේ
ජැන්ඩියට ඇඳ පැලඳ ඉහළ පැළැතියේ යයි නන් දොඩවමින්
පහළ පැළැන්තියේ අය සමග නිතරම ගැවසෙමින් බාල් නටන ...

නැතිනම් කිරි කොක්කුන්සේ සුදු කිට දාගෙන
බොහෝම විසිතුරු ක්‍රීඩා පිටි මැද වාත්තු කලා මෙන්
කැටයම් සමග ශිල්පද දමමින් දුවමින් පනිමින් පෙරලෙමින්
බල්ටි දමන මාර මැජික් පොරවල් ලෙසටය ...

ඔබ අප ගැන එසේ සිතූවද ...
ඇත්තම ට්‍රෘත් එක නම් අපද ඔබ සැම සේම
බො.. හෝ..ඕ..ඕ.. ඕ..ම.. සාමාන්‍ය මිනිසුන්ය ...

ඉහත කියූ මැජික් සියල්ලක්ම හයේ සීමාව ඇතුලත
නැතිනම් රූප පෙට්ටිය ඇතුලත පමනමය ..

හැබැයි රත්තරනේ
තිරය පිටුපස සීන් එක නම් ඊට හාත් පසින් වෙනස්ය ...

අට ලෝ දහම හැම එකාටම පොදුය ...

නොයෙක් තරාතිරම් වල මිතුරන් නෑසියන් හා
විශේෂයෙන්ම පහළ බාලාංශයෙ සිට මා සමග සිටි පාසැල් සගයන්
මුනගැසුනු වෙලාවට නගන කෝටි එකහමාරක් ප්‍රශ්ණ වලට
පොදුවේ පිළිතුරු තැබීමට ගන්නා උත්සාහයකි මේ ...

මෙහි සටහන් තැබීමෙන්
කිසිම පුද්ගලයෙකුට අපහාස උපහාස කිරීමට
මට කිසිම අවශ්‍යතාවයක් නොමැත ...

මේ බෙදාගන්නා මතකයන්
තනිකරම මාගේ අමුම අමු අත්දැකීම් හෝ ...
මා සියැසින් ඇසූ දුටුදේය ...

උපන්දා සිට අද වන තෙක්
ඉතාමත් සුන්දර මිනිසුන් මා ඇසුරු කර ඇත්තෙමි ...

බාහිර ලෝකයේ සම්මතයයි කියනා
මිනුම් දණ්ඩෙන් මැන අසුන්දර යයි ලංසු තබනා
මිනිසුන්ද මා ආශ්‍රය කර ඇත්තේ නමුදු ...
ඒ මිනිසුන් තුලද ඉතාමත් සුන්දර පැතිකඩක් මා නිතරම දුටිමි ...

එදා සිට අද දක්වා මුන ගැසුන
ඒ අපූරු මිනිසුන් සුන්දර සිදුවීම් විශ්මිත කියුම් කෙරුම්
කඳුල සිනහව මේ කතන්දර ඇතුලේ හිඳීවි ...

මට හිතෙනවා
ඒ අතීත සැමරුම් මාවතේ සැරිසරන අපිට ...
අපිම හෙලූ කඳුල සිනහව තුලින්
ජීවිතය ගැන අළුතින් යමක් හිතන්නට ඇහැක්වේය කියා ...

ජීවිතයට තවත් ආදරය කරන්නට පුළුවන් වේය කියා ...

රසත් නීරසය නීරසත් රසයයි සිතා ...

මේ බ්ලොග් පිටුව
තමුන්නැහේලට ඇහැක්  විදියට එන්ජෝයි කරන සේක්වා ...


මේ ඔබ සැමට ආදරය කරන ...

අයිස්මෝල හන්දියේ අතුලයා
...

Saturday, April 11, 2020

තුන්මසත් එනෝ ...


සදාදර මනෝ

නොකියාම යනෝ

බක්මහද එනෝ 

තුන්මහක් යනෝ

අවුරුදුත් එනෝ

මතකයන් පිරෙනෝ 

පාළුවක් දැනෙනෝ

කඳුළුබිඳු ගලනෝ ...

බණක් කියවෙනෝ

දන්පිඬක් පිළිගැනෙනෝ

රත්තරන් මනෝ

නිවන්සුව පතනෝ ...

*****

Sunday, April 5, 2020

කුළුඳුළ ...



83නේ මගෙ රුකියාව කොලොන්නාව පිරිපහදුවෙ ...
අසූදෙකේ සැප්තැම්බර් පළවෙනිද ඉඳල තමයි පත්වීමේ ලිපිය ...
ඒ කාලෙ ඛනිජ තෙල් සංස්ථාව යූඑන්පී ගුහාවක් ...
එහෙම තමයි ඒව ...
උන් එනකොට උන්ගෙ එවුන් දානව මුන් එනකොට මුන්ගෙ එවුන් දානව ...
ආයතනෙ අවශ්‍යතාවයට නෙවි සේවකයො ගන්නෙ දේසපාලුවන්ගෙ අවශ්‍යතාවයට මිසක් ...
මට ඒවයෙ ප්‍රශ්නයක් නෑ පක්ෂයක් නැති නිසා ...
මං ඒ උනාට කැපුවත් කෑල්ලෙන් කෑල්ල ගියත් යූ එන් පී වගේ හිටිය
නැතිනං එතන ඉහ ගහල ඉන්නව බොරු ...
ඒ කාලෙ පිළියන්දල පදිංචි එවුන් හමුවෙන්න යන හැමෝම යන්නෙ සංස්ථාවට ...
ඇයි බං පිළියන්දල ජනගහනය සංස්ථාවෙනෙ පදිංචිය පඩිත්‍ සමග ...
පිළියන්දල තිබුනෙ කොලොන්නාවෙ කියුවත් ඒකෙ වැරුද්දක් නෑ
අද කොයි පළාතෙ එවුන්ද දන්නෑ ඉන්නෙ ...
මම හිටියෙ තොග චලන පාළන අංශෙ ඒ කියුවෙ Stcok Loss Control Unit ...
ක්‍රිකට් ගහපු එවුන්ගෙන් දීපාලයයි මමයි රොෂානයයි
දීපාල් මදුරප්පෙරුම , රොෂාන් ගුණරත්න ...
තවත් නොක්‍රිකට් සගයන් සගියන් කිහිප දෙනෙකුයි මගේම අංශයෙ ...
බොසා නිමල් අබේසේකර බ්ලැක් ඇමරිකන්
හැමදාම අපිට අවවාද අනුශාසනා කෝටියයි ...
ඒව ඇහුවනං අද අපි ලෝක පාළණ දෙවියො වෙල ...
නිමල් බොස් රත්තරං මනුස්සය ...
හිටපු නාලන්දෙ කැප්ටන් රෝෂානය දැන් අපි අතර නෑ  
ඔස්ට්‍රේලියාව සමග අස්ගිරියෙ ටෙස්ට් එකකුත් ගැහුවා රයිට් ආම් ලෙග්ස්පින්
හිත හොඳ මිත්‍රයා සමුගෙන ගියා සදහටම ...
නිවන් සුව ...
කැන්ටිම තියෙන්නෙ සංස්ථාව පිටිපස්සෙ
අපි සෙට් වෙන්නෙ ඔතන උදේ ආහාරයට ...
දවල් බත් එක රුපියල් 2යි සත 50යි
හැබැයි උයන එකාවත් කෑවෙ නෑ ඒකනං ...
ඒ උනාට ඉතිං අපිට ස්පෙෂල් පාරක් එනව ඇඟට පතට නොදැනීම බැදපු මාළුත් සමග ...
ඔන්න ඔවැනි දවසක උදේ අපි සියළු දෙනාම එකතුවෙල ඉඳියප්පයි සම්බෝලයි මාළු නැති හොදියි කන වෙලාවක තමයි මේ ආරංචිය දීපාලය ගෙනාවෙ ...
 ඌ විතරයි අපේ කල්ලියෙ පත්තර කියවන එකෙකුට හිටියෙ මයෙ හිතේ ...
පාන්දර දීපාලයගෙ හිනාව කට කනේ
රතුපාට ෆුල් ෆේස් හෙල්මට් එක වැලමිටේ දාගෙන ...
"මචං අන්න උඹ වර්ල්ඩ් කප් යන්න තේරිල
උදේ පත්තරේ තිබුන ...
අනේ මේ ...
පිස්සු කෙලින්‍ නැතිව ඇවිල්ල ඉඳියප්පමක් කාහං බං හුළඟෙ යන්‍න කලින්
මුං අපිව යවයි වර්ල්ඩ් කප්ම ...
අම්මපා ඔව් බං උඹ යනව හිටහං මං පත්තරයක් ගෙනත් දෙන්න ...
දිනමිණ ...
අප්පට සිරි ඇත්ත නේන්නම් මාර අප්සෙට් එක නේ බං ...
යකෝ මට බඩුත් නෑ ක්ලබ් එකෙන් හරි සංස්ථාවෙන් හරි ලෝන් එකක් ගහන්න තමයි වෙන්නෙ ...
ඔන්න ඔහොමයි මගෙ කුළුඳුල් සංචාරය
83 ලෝක කුසළානෙට එංගලන්තෙ යනව කියල දැන ගත්තෙ ...
නැතිනම් මණ්ඩලේ ටයි කෝට් දාපු එකෙක් ඇවිල්ල අතට අත දීල සුභ පතල ආශීර්වාද ...
ම්ම්ම්හු ........
වර්ල්ඩ් කප් එකකට තේරෙනව කියන්නෙ ලේසිපාසු දෙයක්ද බං
මිලියන විසි එකකින්ම දාහතරයිනෙ ...
ඉතිං ඒක කියන්න විදියක් තියෙනවනෙ බං යන එවුන්ට ටිකක් ඇඟට දැනෙන්න ...
උන් දන්‍නවයෙ බං මැනර්ස් උන් දන්නවයෙ බං මෝටිවේෂන්
උන් දන්නවයෙ බං ක්‍රම සහ විධි
ඒ කාලෙත් සමහර උන් දැනගෙන හිටියෙ තමන්ගෙ ගොට්ට ගහ ගන්න ක්‍රමේ විතරයි ...

මං සාමාන්‍යයෙන් ගොඩාක්ම සන්තෝසවෙන එකෙකුත් ගොඩාක්ම දුක්වෙන එකෙකුත් නෙවෙයි ...
හීන් සන්තෝසයක් ඇතිවුනත් මට ඒක මහ ලොකු දෙයක් කියල 
ඒ වෙලාවෙ පෙනුනෙත් නැහැ ...
ඒ කාලෙ අපි වගේ එකෙක් කණ්ඩායමට තේරුනා කියන්නෙ
අපි අපිටම නැති ප්‍රශ්න ඇති වීමක් ...
ඇයි බං සූට් කේස් එකේ මේස් දෙකේ ඉඳල හොයන්න එපැයි ...
අපි ඩී එස් අයි බෑග් එකේ එහෙම නැතිනම් බුරුම බෑග් එකේ ඇඳුම් දෙකක් දාගෙන ෆුට් බෝඩ් එකේ ගාලු කොළඹ ගිය එවුන්නෙ ...
ඒකාලෙ අපෙ මුලු සේසතම තිබුනෙ ඔය බුරුම බෑග් එකේ ...
ඒ කාලෙ සිලිසිලි බෑග් තිබුනෙත් නෑ ...
ඉතිං ඔය වගේ එකකට තේරුනහම දහ අතේ ණය වෙන්න ඕනෙ අවශ්‍ය බඩු ටික ගන්න ...
මොකෝ මණ්ඩලෙන් කියල මක්කවත් දෙනවයැ ...
පස්සෙ ආරංචි උන විදියට අපිව තෝරල තියෙන්නෙත් උන් නෙවි ...
සෝබර්ස් ශ්‍රීමතානන් තමයි අපිව ඕනැයි කියල තේරුම් කමිටුවට දැනුම් දීල තියෙන්නෙ
අපිටත් ටිකක් ඉතිං ආඩම්බරයි ...
ඇයි බං සර් ගාෆීල්ඩ් සෝබර්ස්ම අපිව ඉල්ලනව කියන්නෙ ...
උන්නාන්සෙ විශේෂ මක්‍කවත් දකින්න ඇතිනෙ බං අපෙ ...
83නේ අපේ පුහුණුකරු සෝබර්ස් ...
සෝබර්ස් කියුවට මේ ගාල්ලෙ අළුත් මාරකට් එකෙ සිල්ලර කඩේ අපෙ ගමේ ඉස්කෝලෙ 
සෝබර්ස් අයිය නෙවි හොඳේ
වරද්ද ගන්න හෙම එපා ඕං ...
මං කියන්නෙ ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් උතුමානන් ...
මහ රුජිනම තමයි ගාෆීල්ඩ් සෝබර්ස්ව ශ්‍රීමත් කලෙ
ක්‍රීඩාවට කරපු සේවාවට ...
අපි කිව්වම බ්රෙන්ඩ මම ග්‍රැන්විල් සුසිල් ජෝනා ...
අපි දැම්මට මහ තැන්වලින් ඔබ්ජෙක්ෂන් කෝටියයිලු
හැබැයි සෝබ නෙවෙයි පල්ලම් බැස්සෙ ...
Brendon Kuruppu. Vinothen John Granville De Silva Susil Fernando
ටුවර් එක යන්න කලින් දවසෙ හැන්දෑවෙ අපි හතර පස් දෙනාට
හොණ්ඩර ගානට fපීල්ඩිං එන් සී සී එකේ ...
කළුවරේ හය හමාරටත් මේකා ගහනව බෝලෙ තිතට ...
ෆීල්ඩින් නම් ටීම් එකටම ෆීල්ඩින්නෙ බං
මෙතන ඉතිං අපි හතර පහ විතරයි අනෙක් එවුන් කවුරුවත් නෑ
බාගයක් එන්සීසිය උඩ ඉඳන් බලාගෙන
සමහර එවුන් දැනටමත් ගෙවල්වල ගිහින් ...
කාගෙන ඇල්ලුව අවසාන රාත්‍රියනෙ කියල ...
අපි කාගෙ හරි එකෙක්ගෙ ඇඟිල්ලක් කඩන්නමයි එදා ඒකා හැදුවෙ ...
මොකද උන්ට වෙන ගෙනියන්න උන් හිටිය අපිව හලල ...
ඒත් උන්ට අපිව හලන්න බෑ සෝබර්ස් නිසා ...
හලනවනං හේතුව ස්වාභාවිකම විය යුතුයි ...
ඒකයි කොහොම හරි අතක් පයක් ඇටයක් කඩන්න බැලුවෙ ...
මේ යකා ඊයෙ පෙරේද වෙනකන්ම හිටිය මැනේජර් කෙනෙක් වෙල .....
ඒ උනාට ඒකාගෙන් බේරිල 83නේ ලෝක කුසලානෙට අපි එංගලන්තෙ ගියා හැබැයි ඒකා හැලුන ...
ඕක තමයි අපිට හැමදාම තිබුන ප්‍රශ්නෙ ...
තේරෙනකන් ෂුවර් නෑ
තේරුනත් යනකං ෂුවර් නෑ
ගියත් ගහයිද ෂුවර් නෑ
ගැහුවත් ඊළඟ එකේ දායිද ෂුවර් නෑ
කොයි වෙලේ එලියට දායිද ෂුවර් නෑ ...
ඇක්සිඩන්ට් වෝ(ර්)ඩ් එකෙන් නවත්වයිද ෂුවර් නෑ...
ගියත් එනකන් ෂුවර් නෑ ...
ආවොත් ඊළඟ එක යවයිද ෂුවර් නෑ ...
ෂුවර් ඇතත් ෂුවර් නෑ ෂුවර් නැතත් ෂුවර් නෑ 
අපිට උන්ව ෂුවර් නෑ උන්ට අපිව ෂුවර් නෑ ...
 
අන්තිමට අපිට අපිවත් ෂුවර් නෑ ...