කියවූ තරම්

Tuesday, August 30, 2022

නුග ගහ යට අපි ...


ඕං බොලාට දැන්ම කියුව මේක නං අනෙක්වටත් වැඩිය මහා දිග හෑල්ලක් ...

*****

නුග ගහ යට අපි ...

අපේ මහ ගෙදර තිබුනෙ ගාල්ලෙ චීන කොරටුවෙ අයිස්මෝල හන්දියෙ ...
 
නවසිය හැට ගනන් වලත් ගෙදරට අවුරුදු එකසිය ගානක් කියල අම්ම තාත්ත කියනව
මට ඇහිල තියෙනව
හැබැයි ඉතිං සොලීඩ් ගෙදර ...

බිත්තියක් අඩි එකහමාරක් දෙකක් විතර මහත කබොක් ගලෙන් ...
 
ඒකමයි ඔය තරම් කාලයක් අල්ලං හිටියෙත් ...

වහලෙ තිබුන පැරණි සිංහල උළුයි
අමුතුම තාලෙ මැටි ගඩොල් අල්ලපු පොළොවයි කබොක් බිත්තියි ...
ගේ ඇතුලෙ  සීතල තවත් වැඩි කලා ...

සීතලයිද කියන්නෙ බං ගාල්ලෙ ටවුම මැද්දෙ හිටිය අපිට
රෑට  පොරවගන්න රෙද්දක් අවශ්‍යමයි ...

කොච්රද සීතල කියනවනම් කළු පාට බ්ලැන්කට් එක නැතිනම්
ලොකු අක්කට නින්ද යන්නෙත් නෑ ...

මමනං පාළහක් දාසයක්  වෙනකන් නිදියැව්වෙ අම්මගෙ බොක්කෙ
ඒ කියන්නෙ ඇඳේ ඉතිං මට උණුහුම තිබ්බ ...
අනෙක්‍ අයත් රෑට කාලා කොහේ කොහේ හරි කොනක  ඇලවෙනව ...
 
මහ ගෙදර කියුවට ගෙදර මහ නෑ
කාමර දෙකයි ඉස්තෝප්පුවයි සාලෙයි කෑම කාමරෙයි කුස්සියයි ...

ගෙදර හත්දෙනා උනාට හැමදාම වගෙ රෑට දහයක් පාළහක් බුදි ...
 
අහල පහල ගෙවල් වල අයත් අපේ ගෙදර කූඩාරම් ගහල ...
පුංචි ගුනේ ලොකු ගුනේ සෝමලතා ජයන්ති ගමේ අයිය
මට මතක කිහිප දෙනෙක් ...

ගීත අක්ක සුදු අක්‍ක චම්පිකා
ධම්මික මල්ලි රොහාන් අයිය ජයන්ත ඩබල
අපේ ගෙදර ඉඳල ඉස්කෝලෙ ගිය අය ...

දුකේදිත් සැපේදිත් අපිට හිටිය බාලසූරිය මාම
කාලයක් වැඩට ගියෙත් අපේ ගෙදර ඉඳල ...

තවත් කිහිප දෙනෙක් හිටිය නම් ගම් නිච්චි නැති උනාට ...

හුඟ දවසට යන එන මං නැති පේමා අක්කත්
ටවුම පුරාම ගොහිං කුලී වැඩක් කරල කීයක් හරි හොයාගෙන ඇවිල්ල
අම්ම දෙන දෙයක් කාල බුදියගත්තෙත් අපෙ ඉස්තෝප්පුවෙ ...
ලුසිහාමි ආතත් එහෙමයි ...
ඒ දෙන්නටම කාත් කව්රුවත් හිටියෙ නෑ
හිටියෙ අපිම තමයි ...

පේම අක්ක සන්තකේටම තිබුනෙ
හැට්ට දෙකයි චීත්ත දෙකයි දාගත්තු පුංචි පංමල්ලක් විතරයි
පේමක්ක ඔලුව නිය ගහන්න හරි රුසිය ...

හිච්චි අයියගෙ යාළුවො සෙට් වෙච්චි දවසට ඉස්තෝප්පුවෙ එලිවෙනකං සිංදු
එවුන්ගෙ නම් සඳහන් කරන්න බෑ සීමාරහිත නිසා
මේ සටහන දුටුවොත් ප්‍රසන්ස් මාක් කරන සේක්වා ...
Sarath Dahanayake  Harithalal Sirikumara Kandamby Ranga Goonasekera Shiran Desilva Saman Gurusinghe Wiki Wickramasinghe රන්ජන් හේවවිතාරන පණ්ඩිත මන්ටො මහමෝදර මහේන්ද්‍රය නම් වැලයි ...

එදාට ලොකු අක්කයි හිච්චි අක්කයි  
හැමෝටම කුස්සියෙ සම්බෝල කොටනව පාන් සමග ඩිනර්ස් එකට ...

සිංදු අහවරවෙල සම්බෝලෙටයි පාන් කාලටයි
නැතිනම් රතුහාලෙ බතටයි පරිප්‍පු හොද්දටයි පුච්චපු කරෝල කෑල්ලටයි වගකියල
මහ රෑ පෝලිමට එකා උඩ එකා බුදි ...
 බූරු ඇඳන් නැතිනම් දිගටෝම පැදුරු එලාගෙන ඉස්තෝප්පුව දිගට ...

හැමෝම හරි සන්තෝසෙන් ...
 
අම්මත් සමහරදාට ග්‍රැමෆෝන් එක අතට අරන් රූපසිංහ මාස්ටරුයි
කෝකිල දේවියි පතුරු ගහනව ...
 
අයිස්මෝ‍ල හන්දිය කියුවට
මට මතක කාලෙක නං අයිස්මෝලක් තිබුනෙ නෑ ...
අයිස් මෝල වැහුවයින් පස්සෙ තිබුන බෝතල් ෆැක්ටරියක නටබුන් නම් මතකයි ...
අයිස් මෝලෙ වම් පැත්තට කාස වාට්ටුව
Thassim Chest Clinic ...

ඊට එහා පැත්තෙ වින්නඹු ගෙදර වින්නඹු අම්ම වැන්දඹුවෙක් ...

දකුණු පැත්‍තට අපි ...
ගේ ඉස්සරහ මිදුලෙ ජම්බු ගහ නිසා අපේ ගෙදර ජම්බුගහ ගෙදර ...
ගොඩැල්ලෙ ගෙදර අපේ ගෙදරට තවත් නමක්
ගේ තිබුනෙ පුංචි ගොඩැල්ලක ඒකයි ඒ නම ...

තාත්ත පොඩි මහත්තය නැතිනම් පොඩි මහත්තය අයිය ...
ලොකු මහත්තය කව්දෑ කියලනං දන්නෙ නෑ ...

අපෙ අම්මට ගම්මු කියුවෙ ගොඩැල්ලෙ ගෙදර නෝන
ජම්බු ගහ ගෙදර නෝ‍න නැතිනම් ජම්බු ඇන්ටි ...

ජම්බු ඇන්ටි කියුවෙ ගෙදර ජම්බු තිබුන නිසාද
අම්ම ජම්බු ගෙඩිය වගේ රතු නිසාද තාම මම දන්නෑ ...

ගෙදරට දකුණු පැත්තෙ තැපැල් කන්තෝරුව ...
තැපැල් කන්තෝරුව කරෙ විජේදාස මාම
විජේදාස මාමගෙ එක කකුලක් අනෙකට වඩා දිගයි
ඉතිං ඇවිදින්නෙ ටිකක් පැත්තට ...
අසල් වැසියන්ට හිටියෙ මාටින් මාමල සෝමරත්න මාමයි එමෝහාමි ආත්තයි
තල හාමිනේගෙ පවුලයි ජෝන් මාමයි ජිනදාස අයියයි කරවල කඩේ මුදලාලියි හඳුන්ගොඩලයි
කන්ද උඩ මෙට්ට මාටින් මාමගෙ වරිච්චි ගෙවල් කම්ප්ලෙක්ස් එක ...

පිටිපස්සෙ මායිම මිනින්දෝරු කන්තෝරුව ...
මිනින්දෝරු කන්තොරුවට එහා පැත්ත පහල ඩික්සන් පාර වලව්වත්ත ...
අපේ ඉඩමත් අයිතිව තිබුනෙ කුඹල්වැල්ල වලව්වට ...
පහුකාලෙක  කුඹල්වැල්ල හාමුගෙන් අපි ඒක සල්ලි වලට ගත්ත ...
සල්ලි හම්බවුනෙ මම 83නේ වර්ල්ඩ් කප් ගොහිං ඉතුරු කරපුවැයින් ...

පිටිපස්සට කන්ද
ළඳු  කැලෑවත් සමග  අතරින් පතර ගෙවල් ...
කැලෑවෙ සර්පයො හරියට
සමහර දවසට නයි අඬනවත් ඇහෙනව ...

මම දවසක් පොලඟෙක් එක්ක බුදිය ගත්ත ...
ඒ මම හිච්චි එකා උනාට
නරුම වැඩක් කරල තාත්තගෙන් ගුටිකාල නින්දට වැටුන වෙලාවක  ...

බෙල්ල වටේ සීතල දැනිල ඇහෑරෙනකොට
පොළඟෙක් බෙල්ල උඩ ගුලිවෙල දැපනෙ දාගෙන
පොළොං ඇස්දෙක නිල් කැට දෙකක් වගෙ දිලිසෙනව
උගෙ ඔලුව මගෙ කොට්ටෙ උඩ ...

හුහ් සැපට බුදියන්ට එන්න ඇති කොට්ටෙට ඔලුව තියාන ....

අතින් ගසල දාල මර ළතෝනි තියාගෙන ඇඳෙන් පැන්න මම ...
මගෙ වෙලාවට උගේ කට පුරවල මීයෙක් ...

ඒ වෙලාවෙ ගෙදරට ඇවිත් හිටිය තාත්තගෙ යාළුව ඇඩ්ඩිං මාමයි තාත්තයි
පොළඟගේ අනාගතේ බාරගත්ත ...
පව් අහිංසකය එදැයින් පස්සෙ හුස්ම ගත්තෙ නෑ ...
රෑට මීයො දුවනව වහලෙ රීප්ප උඩ
ඉතීං මීයො අල්ලන්න එන ගැරඬිත් ඉඳහිට අපේ වහලේ
ගැරඬි ආ වෙලාවට බූමිතෙල් පොඟපු බට කෙක්ක අතට ගන්නෙ ලොකු අක්ක ...
ඒකෙන් එක පාරක් ඇන්නම ඇති
ගැරඬිය හුසේන් බොල්ට් වෙන්නෙ ආං ඒ වෙලාවට ...

ගෙවත්තෙ අඹ වෙරළු කෙසෙල් ලාඔලු කොස් වරක දෙල් පොල් පේර
ජම්බු පැෂන් පෘට් අන්නසි සියඹලා අවුරුදු වාරෙට ගස් වල පිරිල
අලි පේර ගහකුත් තිබුන ගෙඩි නැති වුනාට ...

බෙහෙත් ගහකොල වැල් ...
දෙළුම් දියබෙරලිය කෝමාරිකා සියඹලා පුප්පමේනියා නිදිකුම්බා කොහොඹ
වැල්‍ පෙනෙර හාතාවාරිය තව නොයෙක් ජාතියෙ බෙහෙත් හොයාගන
ගම්මු එන්නෙත් අපේ ගෙදරට ...
කම්මුල් ගායට අලි හක්ක හොයාන එන්නෙත් අපෙ ගෙදරට ...

කිතුල් ගහකුත් පැත්තකින් ...
මදින කාලෙට තාත්තගෙන් බාපු ගමන් පෙන දාන තෙලිජ්ජ කෝප්පයක් අයියලටයි බඩ පිස්ස මටයි වරදින්නෑ
බෙහෙත් ඖෂධයක් නෙව ...

වත්ත පුරාම පාට පාට හිච්චි හිච්චි මල් පුදුම සිරියාවක් ...

ලොකු අක්‍කගෙ විනෝදාංශෙ මල් වැවීම ...
උදේ හවස බුදුන් වඳින වෙලාවට ගමේම කට්ටිය
අපේ ගෙදරට තමයි එන්නෙ මල් නෙලන්න ...
පෝයදාටයි ඉරිද දහම් පාසැලටයි
පන්සලේ මල් වට්ටි වැඩියෙන්ම පිරෙන්නෙ අපේ‍ ගෙදරින් ...
කහ මල් සපත්තු මල් සීනියාස් ඩේලියාස් බාබටන්ස් දාස්පෙතිය
නිල් කටරොලු ඉද්‍ද වතුසුද්ද කූඩළු සේපාලිකා පිච්ච හැම ජාතියෙම මල් හැමෝටම ඇති තරම් ...

වැරදිලාවත්‍ රෝ‍ස මලක් කැඩුවොත්‍ නම් ලොකු අක්කගෙ මල පනිනව ...

අපේ ගේ පිටිපස්සෙ කන්දෙන් පස් කපල ගෙනිහිල්ල තමයි
ගමේ හුඟ දෙනෙක් වරිච්චි ගෙවල් හැදුවෙ ...
අළුත් අවුරුද්දට ගමේ හැම ගෙදරකම වගෙ බිම මැටි ගෑවෙත් ඒවැයින් තමයි ...
හදිසියට වහල තෙමෙනවනං පොල් අත්තත් ඒ ගහකින්ම තමයි ...
ගාලු කොටුවෙ මුස්ලිම් පවුල් ඔක්කෝමල වගේ
එළුවන්ට කන්න කොස් කොල කපාගන්න එන්නෙත් අපෙ ගෙදරට ...

සිංහල අවුරුද්දට ගේ පිටිපස්සෙ මහා උස කොස් ගහේ උංචිලි ...
දෙන්නෙකුට බදන්න බෑ ඒ කොස් ගහ
ගමේම කොල්ලො කෙල්ලො කුරැට්ටො ටික එතන උංචිලි ...

නිව්ටන් මාමගෙ පුතා ලලිත් තමයි උඩටම රුකුල් ගන්නෙ
උංචිල්ලාවට නැග්ගොත් උඩම තියෙන කොස් අත්ත අල්ලල කොස් කොලයක් කඩාගෙනමයි ලලිත් පහලට එන්නෙ
අපි ඇස් දෙක වහ ගන්නව බයේ බෑ ...
අපි එච්චර උඩ යන්නෑ බයයි ...

පහු කාලෙක ආණ්ඩුවෙන් ලියුමක් එව්ව කොස් ගහ කැපුවෙ නැතිනම් නඩු දානව කියල ...
මුළු ගමටම හරී දුකයි ...
හේතුව පහුකාලෙක හදපු සමූපකාර ඉස්පිරිතාලෙට කොස් ගහ කඩාගෙන වැටෙයි කියල බයට ...
හැබැයි කොස් ගහ තමයි ඉස්පිරිතාලෙට කලින් ඉපදුනෙ ...
පස්සෙ කොස් ගහ චන්ද්‍රසේකර අයියගෙ ලී මඩුවෙන් අරගෙන
රුපියල් අටසිය පනහක් අම්මට දුන්න
රුපියල් අටසිය පනහ කියන්නෙ ඒ කාලෙ ලොකු මුදලක් ...
හදිසියෙවත් අපි කැමැත්තෙන් ගහ කැපුවනං ගිරාමසේවක අපිට නඩු දායි කොස් ගහක් කැපුව කියල ...

ඒක කොස්‍ ගහක් නෙමේ ගමේ හුඟ දෙනෙක්ගෙ කුසගිනි නිවපු බත් ගහක් ...
කොස් ගහ විතරක් නෙවි මායිමේ තිබුන තවත් ගස් කපන්න කියුව අරයගෙ මෙයාගෙ වහලට වැටෙයි කියල ...
හැබැයි ඒ ඔක්කෝම වහලවල් ආවෙ ගස් වලට පස්සෙ
පොල් ගසුත් හතරක් කැපුව
පොල් ගස් තීන කොට කවදාවත් පොල් කඩෙන් ගත්තෙ නෑ ...
පොල් විතරක් නෙවි වත්තෙ තිබුන දෙල් කොස් පළතුරු හැමෙකක්ම
ගමත් එක්කම බෙදාගත්ත ...

ගම් සභාවෙ හිටියෙ කැකිල්ලෙ රජ්ජුරුවන්ගෙ පරම්පරාවෙ උන්දැලනෙ ...
උන් එදත් හිටංල අදත් හිටංල ...
 
අපේ මිදුලෙ තමයි වැඩිහරියක් කට්ටිය රොක්වෙන්නෙ සෙල්ලමට ...
සුද්දිල හිච්චිල සීලවතීල ලලිත්ල කමලල  සෝමලතාල චූටිල චුට්ටල  ප්‍රියන්තල ජයන්තල රාණිල රමණිල කිරාල  තව නම් වැලයි ...

ගේ ඉස්සරහ වක්වැල්‍ල පාරෙන් අනෙක් පැත්තෙ අපේ ඔෆීෂියල් සෙල්ලම් පිට්ටනිය ...
පිට්‍ටනිය මැද්දෙ විශාල නුග ගහ
නුග ගහේ රෑන් බිමටම එල්ලෙනව ...
හිච්චි එවුන් කාලෙ අපි ඔය රෑන්වල එල්ලිල
ටාසන් වගේ පැද්දෙන එක තමයි කරන්නෙ ....
ටාසන් වගේ පැද්දුනාට අපිට  තිබුනෙ කෝටුකිතයියගෙ ඇටකටු බොඩිය ...
ටාසන්ගෙ ඇඟ තියෙන එකෙක් අහල ගං තිස් හතේම හිටියෙ නෑ ....

අපේ සෙල්‍ලං ඔක්කොම ඔය නුග ගහ යට තමයි ....
නුග ගහට එහා උස  පුළුන් ගහ
පුළුන් ගහේ පුළුන් කාලෙට පුළුන් බිමට පාවෙල එනකොට
මායි චූටියි ඒව පස්සෙ පන්නනව සමනල්ලු පස්සෙ පන්නනව වගේ ...
පහු කාලෙක එතන පොදු නාන ළිඳක් හැදුවෙ සිමෙන්තියෙන් බැඳල වටේම අවුරල ...

රෑට තොරණෙ ලැයිට් දාල වගේ කණාමැදිරියො නිවෙනව පත්තුවෙනව  
අපිත් හරි ආසයි කණාමැදිරියො ඇවිත්‍ ඇඟේ වදින කොට ...

අතේ වැහුවම අනෙක් අතින් හිමිහිට වහල පුංචි හිලකින් කණාමැදිරි එළි නිවෙනව පත්තුවෙනව විනාඩි ගානක් බලාන ඉඳල අපි සන්තෝස වෙනව ...

ක්‍රිකට් ගහන්නෙ රබර් බෝ‍ලෙන් නැතිනම් ඔට්ටපාලු බෝලෙන් ...
ඔට්ටපාලු සප්ලයි එක නාකියදෙණිය වත්තෙ වීරසේන මාමගෙන් ...
චම්පි වීරසේනගෙ Champi Weerasena තාත්ත
නැතිනම් මුණසිංහ මාමගෙන්
මුණසිංහ මාම කිව්වෙ අපේ ආදී ශිෂ්‍ය නැසීගිය ලෝක මුණේගෙ තාත්ත....

ඕනෙනං ටවුමෙ පේමන්ට් කඩේකින් සත පාළහකට විතර
රබර් බෝලයක් ගන්නත් පුළුවන්ගාන තමයි ටිකක් වැඩි ...

බැට් වල අඩුපාඩුවක් තිබුනෙම නෑ ....
ලයිෆ් ටයිම් ස්පොන්සර් ෂිප්එක ගෙදර පොල් ගහෙන් ...
පාපන්දුව වෙනුවට බැලුම් බෝලයක් ගානට පුම්බල හොදට පාප්ප හරි රබර් කිරි හරි ගාල
වටේටම කපු රෙදි කෑලි අලවනව බරට ...
කටු ඇනිල පිපිරුනහම ආයෙත් බැලුම් බෝලයක් ඇතුලට දාල කටින් පුම්බල ගැට ගහනව
හොඳ ඝනේට රෙදි ඇලෙව්වම ලේසියෙන් පිපිරෙන්නෙත් නෑ
ෆුට්බෝල නැති අපට ඒ හොඳා ...

කටු අකුල් වලට ගියෙ නැතිනම් සෑහෙන කාලයක් පාවිච්චියට සුදුසුයි ....

අපි වගේ පොඩි සෙට් එකට වයස පහක් හයක් විතර ඇති
හිච්චි අයිය වගේ ලොකු සෙට් එක අට නවයෙ ඉඳල දොලහ දහතුන පාලහ දක්වා ...

වක්කැල්ල පාරට මායිම්ව දකුණු පැත්තෙ කිලෝ මීටර බාගයක් විතර දිගටෝම පිට්ටනිය ...
නුග ගහ යට ඉඳගෙන බැලුවම
ගාල්ලෙ ටවුමෙ පොලිස් බැරුක්කයි එතනම ඉස්සරහ කැරකෝප්පුවටයි යනකංම පේනව ...
ඉතිං නුග ගහයට ගේමිං සෙන්ටර් එකක්ම තමයි ...

කට්ටියක් ක්‍රිකට් කට්ටියක් ෆුට්බෝල් තව කට්ටියක් එල්ලෙ කට්ට්යක් සරුංගල්  හොරා පොලිස් තාරඩි කබඩි
ලොකු සෙට් එක ජිල්බෝල හෙඩ් බුරුස් ...
ඒව සල්ලි වලට සත දෙකට තුනට ...

පොලිස් ජීප් එක  දැක්කොත් හෙඩ් බුරුස් ගහන හැම එකාම සැනින් සීසීකඩ ...
අද කාලෙ රෑප පෙට්ටියෙයි ක්‍රීඩාවෙයිත් බෙටිං තිබුනට ...  
ඒ කාලෙ ගමේ පුළුං ගහයටවත් බෙටිං බෑ ...
බලාපල්ලකො අපි දියුණු වෙච්චි තරම ...

ලොකු සෙට් එකට දයාරත්නල රෑපසිරිල ඩොනල්ඩ් ඩොනල්ඩ්ගෙ මල්ලි
මෙට්ට මාටින් මාමගෙ පුතා ධර්මසේන රූපානන්ද ඉදියප්පන් ගෙදර රූපසිරි ලලිත් හිච්ච අසෝ‍කා ආනන්ද රාජා මගෙ හිව්චි අයිය සාන්ත මුද්‍රණාලෙ ලොකු ප්‍රනාන්දු ...
තව ගල් වලෙනුත් සෙට් එකක් ...
ගල් වලට කියපු තවත් නමක් තමයි කොරියාව
පිට ගම් වලිනුත් එනව ඔතන සෙල්ලම් කරන්න ...

මාමල නැන්දල කියුවට
මේ ඔක්කොම නෑදෑ නොවන නෑදෑයො ...

හිච්චි අයියගෙ යාළුවො සාන්‍තයි ලංසි ගෙදර කැමිලසුයි මුද්‍රණාලයෙ ප්‍රනාන්දු මහත්තයගෙ පුතයි ...
Sudattha Fernando
අයියයි ප්‍රනාන්දු මහත්තයගෙ පුතයි මහින්දෙ
සාන්ත විද්‍යාලෝකෙ කැමිලස් ඇලෝසියස් ...

සාන්තගෙ පවුලෙ 9යි
කොල්ලො හතයි කෙල්ලො දෙකයි මගෙ යාළුවො චුට්ටයි චූටියි
Meththananda Weralavithana

නුග ගහ ඉස්සරහ වත්ත මැද ලොකු ගෙදර තමයි කැමිලස්ල හිටියෙ ...
කැමිලස්ගෙ ගෙදර වටේට තාප්පෙයි ඉස්සරහට ගේට්ටුයි තිබුන නිසා අපි ඇතුලට යන්නෑ ...
අපේ ගෙදර ගේට්ටු නෑ ...
උණ බම්බු කඩුල්ලක් නාගවල්ලි ගස් දෙකේ හරහට දාල තිබුන හරක් ඇවිත් පැල කන නිසා
වත්ත වටේට ඇල්බීසියා වැට ...

දොරවල්  වහන්නෙත් රෑට බුදියන කොට විතරයි ඒවට යතුරු නෑ ...
රෑට බුදියන කොට ලොකු දොර පොල්ලක් හරහට දානව මහසෝනටවත් පෙරලන්න බෑ ...

කැමිලස්ගෙ තාත්ත කනින්ග්හැම් මහත්තය කෝච්චි ඩ්‍රයිවර්
රතට රතේ සද්දන්ත මහත්තය ...
අම්මගෙ නම මිසිස් කනින්ග්හැම්
මිසිස් කනින්ග්හැම් ගෙන් රස්සාව ඇහුවම
හවුස් වයිෆ් කියනව ...
ඒ උනාට කවදාවත් එළියට බැහැල ඒ රස්සාවට යනව නං මම දැකල නෑ ...

හැබැයි ගෙදර ඉන්නෙත් තොලේ නියේ පාට පෙට්‍ටියම උලාගෙන ජැන්ඩියට ඇඳල  අපිටත් එක්ක පුයර හලාගෙන ...
කැමිලස්ට නංගිල දෙන්නයි
ලොක්කි රෝසි පොඩ්ඩි මොනිකා
දෙන්නම කිරි ගරුඬ රෑප වගේ ලංසි හම දිලිසෙනව ...

මගෙ අම්මේඒ්ඒ්ඒ්ඒඒ් ...
උන්ගෙ නයිලෝන්  අතපය දිහා බලා ඉන්න ආසයි ...
අමරදේව මහත්තය ගැයුව වගේ සිනිඳු සුදුමුදු තලාවක්ම තමයි ...
උන් දෙන්නට ඉංග්‍රීසි බඩ යනව ඉතිං අපි කතා කරන්නෑ
ඉගෙන ගත්තෙ කොන්වන්ට් එකේ ...

හිච්‍චිම එකා බ්‍රයන් ඒකාට අවුරුදු දෙක තුනක් විතර ...
වැඩේ කියන්නෙ ඌ කතා කරන්නෙත් ඉංගිරිසියෙන් ...
අපිට ඉඩක් දෙන්නෙම නෑ ...

******

කැමිලස්ගෙ ගෙදරට දකුණු පැත්තෙන් ලයිට් ගෙදර
ඒ ගෙදරට ලයිට් ගෙදර කියුවෙ ඇයි ද කියල තාමත් මට නිච්චි නෑ ....
මුලු ගෙරටම ලැයිට් තිබුන නිසා වෙන්ටැ ...

අපේ ගෙදර ඇතුළුව ගමේ හුඟක් ගෙවල්වල රෑට ලාම්පු
අපි පාඩම් කලෙත් ලාම්පු එළියෙන් තමයි ...
ලැයිට් ගෙදර ඉස්සරහ තට්ටු දෙකේ බිල්ඩිම
අලෙවි කිරීමේ දෙපාර්තමේන්තුව ...
පහුකාලෙක රබර් මිලදී ගන්නා ස්ථානය ...
උඩ තට්ටුව තමෙල් අංකල්ගෙ පින්තූර සාප්පුව ෆොටෝ සීරෝ ...

ඒකට පිටිපස්සෙ වතුර ගෙදර ...
අපිට බීමට ජලය එහෙන් හැන්දෑවට බාල්දි පුරවං ඇවිත් ගෙදර කල ගෙඩි ටික පුරෝ ගන්නව
අපිට තිබුනෙ ළිං
අපේ ගෙදර ළිඳ හරී ප්‍රසිද්ධයි ඒකාලෙ
ගාල්ලෙ කොටුවෙ ඉඳල මිනිස්සු එනව අපේ ළිඳට නාන්න ...

ගමට තව ප්‍රසිද්ධ නාන ළිං දෙකක් තිබුන
කප්පි ළිඳයි බානිස් මාමගෙ ළිඳයි ...
බානිස් මාම කලේ ගල් වල අකුරු කෙටුව එක ...
බානිස්‍ මාම ගල්වල අකුරු කොටන සද්දෙට ගමම ඇහෑරෙනව ...

*******

ගමේ කාර් වලට තිබුනෙ පන්සලේ නන්දසාර හාමුදුරුවන්ගෙ කේම්බ්‍රිජ් එකයි
දොස්තර ක්වින්ටස් සිල්වා මහත්තයගෙ ෆෝඩ් ප්‍රිපෙට් එකයි
දේවේන්ද්‍ර මහත්‍තයගෙ ෆියට් එකයි කේ එල් එච් මුදලාලිගෙ මයිනරෙයි
ලී බඩු කඩේ පුංචි අප්පුහාමිගෙ කාරෙකයි සල්වතුරයගෙ තාත්තගෙ ගිනිපෙට්ටි ඔස්ටින් එකයි
ගමටම කාර් හයයි ...
දැන්නං ඉතිං ගමේ කාර් නැත්තෙ හයකට විතර වෙන්ටැ
මට අක්කල දෙන්නයි අයියල දෙන්නයි මම බඩ පිස්‍ස
අම්‍මයි තාත්තයි හතයි ...
එතකොට තාත්ත හිටිය
තාත්‍ත ඉන්න කාලෙ අපිට හරී සරුයි ...
අපේ ගෙදර හත් දෙනා උනාට කෑම වෙලාවට හැමදාම ගේ පිරිල
නෑදෑයො අසල් වැසියො හැමෝටම කන්න ගෙදර මක්කා හරි තිබ්බ ...

කුස්සියෙ මක්කාවත් නැතිනම් ගස් වලින් කොස් හරි දෙල් හරි කඩල තම්බල දුන්න සම්බෝලත් එක්ක ...
ගමේ ගෙල්වල අයිස් පෙට්ටි නෑ උණු උණුවෙම තමයි කෑම ...
අම්මටයි තාත්තටයි ගමේ අය හරී ආදරෙයි
හැමෝම එක්ක සුහදයි වෙනසක් තිබුනෙ නෑ කාටවත් ...
අපෙ අම්ම හැමදාම කීව දෙයක් තමයි
උඹළැයි තාත්ත හම්බ කරේ සල්ලි නෙවෙයි මිනිස්සු කියල ...
ඒක මට අදටත් වලංගුයි ...

අපිට කණ කොකා පෙනුනෙ හැත්තෑ පහේ ජනවාරි දොලහ උදේ පාන්දර
තාත්‍තගෙ හුස්ම නැවතුනාට පස්සෙ ...
එදා ඉඳල අපි හය දෙනාට තිබුනෙ අපි හය දෙනාගෙ හෙවනැල්‍ල විතරමයි ...

******

ඔය විශාල නුග ගහ මුළු ගමම එක්කාසු කලා ...
ඉතිං නුග ගහ යට හරි හරියට සෙල්ලම්
බක්මහට අවුරැදු උත්සව වෙසක් දන්සැල් තොරණ් ...

ඒවට අපි එක රොත්තට සහභාගී වෙනව ...
ගම හරහා දිවීම තමයි මගෙ ප්‍රියතම ...

ඒ ඉතිං අපි වගේ හිච්චි එවුන්ට ගම හරහා දුවන කොට
ඔරෙන්ජ් බාර්ලියි මාරි විස්කෝතුයි දෙන නිසා ...
****

නුග ගහ යට වෙසක් පොසොන් බත් බීම දන්සැල් ...
ගුනවර්ධන පුංචි අප්පුහාමියි කේ‍ එල් එච් මුදලාලියි තමයි දන්සැල විවෘත කරන්නෙ ...
අපි විවෘත කරන්නෙ දන්සලේ පෝලිම ...

කාලයත් එක්ක පරණ මිනිස්සු මියෑදෙන කොට තරුණ අයත් රස්සාවල් හොයාන එහෙ මෙහෙ ඇදෙන්න ගත්ත ...
වැඩි දෙනෙක් ගියෙ ඉතාලි මැදපෙරදිග වගේ රටවලට ...

පහු කාලෙක නුග ගහ නුග කොටේ වුනා ...
තවත්‍ කාලෙකින් නුග කොටෙයි මුල් ටිකයි ගමේ එවුන්ගෙ ලිප්වල දරටම පත්තු වුනා ...

ඊට පස්සෙ හත් හවුල ආණ්ඩුවෙ වගා ව්‍යාපාරය ආවම සෙල්ලම් පිට්ටනි ඔක්කොම වට කරගෙන
ගම්මු වගා කරන්න ගත්ත ආණ්ඩුවෙම ඉඩම් බලෙන් බෙදාගෙන ...

වැඩි දෙනෙක් ඇත්තටම කලෙ වගාව පෙන්නල
ආණ්ඩුවෙ ඉඩම් ටික කොටු කරගත්ත එක ...

කාලයක් තිස්සෙ එකට හිටියට ගම්මුන්ගෙ තන්හාව කියනදේ ඉලිප්පිල ඇවිත්
තමන්ගෙ වැයික්කිය කොටු කරගන්න රණ්ඩු සරුවල්
කළ කෝලහල කපා කොටාගෙන
උඩින් මිතුරු යටින් හතුරු වෙන්න ගත්ත ...
 
ගමේම කොල්ලො කුරුට්ටො එක්කල නුග ගහ යට  පිට්ටනියත්
ටිකෙන් ටික කෑල්ලෙන් කෑල්ල හිමීටම ගමට නැතිවුනා ...

ඒ අපේ නුග ගහ යට ගේමින් සෙන්ටර් එක යට කරගෙන
වගා ව්‍යයාපාරය ව්‍යාප්ත වෙන්න ගත්තට පස්සෙ ...

එතැන් සිට නුග ගහ යට ලොකු මහත් වෙච්චි අපිත් සීසී කඩ විසිරුනා ...
නුග ගහත් අපිට නැතිවුනා
දැන් නං ගමේ කවුරු ඉන්නවද දන්නෙ නෑ ...

හැම එකාටම හෙවන දුන්න මහා විසාල නුග ගහ තිබුන තැන
හදිසියකට පොඩි එකෙකුට චූ කරන්න නිදිකුම්බ පඳුරක් තියා තුත්තිරි ගහක්වත් දැන්නෑ ...

අපිට සෙල්ලම් කරන්න ඉතිරි උනෙත් ගාලු මහ පිට්ටනිය විතරයි ...
පහු කාලෙක ඒකටත් ක්‍රිකට් මණ්ඩලෙන් කෙලිය ජාත්‍යන්තරේ පෙන්නල ...

දැන් නුග ගහ පිටියෙ සමූපකාර ඉස්‍පිරිතාලේ ...
සමූපෙ පටන් ගත්තෙ නවසිය හැත්තෑ දෙකේ විතර
මුලින්ම තිබුනෙ ගල් වල ඉස්සරහ තිබුන තනි තට්ටුවෙ කාමර හතරක ඩිස්පැන්සරිය විතරයි ...

ක්වින්ටස් සිල්වා මහත්තයි නානායක්කාර මහත්තයයි ඒකෙ දොස්‍තරල
සිරිසේ‍න අයියයි සිරිවර්ධන අයියයි සහායකල එයාල තමයි බෙහෙත් කවලම් කලෙ ...

ඩිස්පැන්සරියෙන් මොන බඩ කඩුත්තුව හැදුනත්
සුදු පාට කුඩකුයි රතු පාටට හුරු බෙහෙත් වතුර බෝතලෙයි තමයි
එකම ප්‍රතිකාරෙ ...
හැබැයි කිරි ගහට ඇන්න වගේ ලෙඩ රෝග සියල්ල නිවාරනයි ...

දැල් එතන සමූපකාර කොම්ප්ලෙක්ස් එකක්
අපිට තිබුන ඉඩම් කෑල්ලත් සමූපෙටම දුන්න ...

මහ විගඩම් නම් අස්සෙ හංගන
භෟෙකික අඛණ්ඩතාවය ජාතික සමතුලිතතාවය
ආගමික සමානාත්මතාවය සහජීවනය සංහිඳියාව ...
කාලෙන් කාලෙට උඹළ අහුවෙන අට පාස්නැති අම්බරු හාල්පාරු දේශපාළුවන්ගෙ වචන සැට් එක ...

ඔය මක්කාවත් අප්‍රබංස නැතිව එදා ඔය  මහ නුග ගහ
පන නැති උනත් ක්‍රියාවෙන්ම ඔප්පු කලා ...

ඒ කීවෙ ජාති ආගම් කුලමළ දුප්පත් පෝසත් මෙකී නොකී මක්‍කාවත් නැතිව
ඔය නුග ගහ මුළු ගමම එක්කාසු කලා ...

එදා චීන කොරටුව අයිස්මෝල හන්දියෙ නුග ගහ යට ...
මයෙ අම්මාපල් දැන් නුග ගහක් බෙහෙතකටවත් දකින්න නෑ ...
 
චුට්ටල චූටිල  ප්‍රියන්තල ජයන්තල අනෙක් කොල්ලො කුරුට්ටො එක්ක ගහන්න ගත්තු ගැහිල්ලම තමයි ...
පහු කාලෙක ලෝඩ්ස් පිටියට යනකන්ම මාව ගෙනිච්චෙ ...

සැමට සෙවන දෙන නුග ගස්
තව තවත් සැම තැනම උපදීවා ...

🙏🙏🙏🙏

6 comments:

  1. උඹලාගේ පොඩිකාලේ වාගේ තමයි අපෙත්. දැන් ඒ වාගේ සිටුවේෂන් එකක් නෑ. ජාතිබේද කෙසේවෙතත් සිංහල සිංහල උන්වත් එක්කාසු වෙන්නේ නෑ. ඉස්සරා ගෙදර ඉන්න පොඩි උන්වත් අනික් ගෙවල් වෙල ඉන්න ලමයි එක්ක මුහුවෙන්න එන්නේ නෑ. පුදුම සමාජයක් වෙලා..

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි අපිට වෙලා තියෙන හෙනේ,වැඩි හරියක් එවුන් එකාට එකා නෑ එකෙක් චරිත හතර පහ රඟපානවා

      Delete
  2. Harima Apuurui.Apita kelawennema oya 225 hidama thamaa.nitharama monawa hari liyanna,mama dinapathaa godawelaa balanawa aluth monawa hari thiyenawada kiyala.Jayawewaa,

    ReplyDelete
  3. ස්තුතිවන්ත වෙනවා අතුල මහතාට
    රසවත් අතීතයට අපිව අරන් යනවට ..................
    බැටින්ග් වගේමතමා ලිවීමත්...
    මට තාම මතකයි ඔසීලට නෙලපු නෙලිල්ල .............හුහ්.......උන් පුක කහකහ හිට්යේ ................

    ReplyDelete