කියවූ තරම්

Wednesday, October 21, 2020

මම රෙස්ට්

22.4.17 FB

1989 නොවැම්බර් කැන්බරා ...

සෑහෙන කාලෙක ක්‍රිකට් ඉඩෝරයකින් පසු අපිටත්  ඕස්ටරේලියානු සංචාරයක්
මාස දෙකහමාරක ...

ඒ කාලෙ රටේ අභ්‍යන්තර ප්‍රශ්න
මරාගන මැරෙනෙ නැතිනම් දුරස්ථ පාලක බෝම්බ ...
හැබැයි උන් කියුවෙනං "පොලිටිකල් අන්රෙස්ට්"

මේ හේතූන් නිසා රටවල් ලංකාවට එන්න අදි මදි කලා ...

පාඩුව ...
ක්‍රීඩාවට ආදරයක් දක්වන රසිකයින්ට විනිසුරුකරුවන්ට ක්‍රීඩකයින්ට පමනක්ම නෙවි
මුළු ක්‍රීඩාවටම සම්බන්ධ සෑම එකෙකුටම ...

ග්‍රවුන්ඩ්න්ඩ් බෝයිගෙ නැතිනම් තණනිල්ලෙ තණ කොළ හිටවන අමරාවතීගෙ ඉඳළ ...

අද කාලෙ එවුන් ක්‍රීඩකයන්ගෙ අම්ම අප්පගෙ ඉඳල දැක ගත්තට ...
ඒ කාලෙ අපි එකෙකුටවත් ජාත්‍යන්තර ක්‍රීඩකයෙක්වත් දකින්න ලැබුනෙ නෑ
දැක්කත් මහ මෙරක් දැක්ක වගෙ ...

එතකොට අපි කොහොමද ජාත්‍යන්තරයට යන්නෙ
කොහොමද අපේ එකෙක්වත් ජාත්‍යන්තර පලපුරැද්ද ගන්නෙ ...

ඉතී කවුරු හරි කොහේ හරි ඉඳල ඇරයුමක් එවනකන්
අපි දත නියවන් බලාන ඉන්නව ක්‍රිකට් ගහන්න යන්න ...

ඔය වගේ දත නියවං බලාන ඉන්නකොට ආ එකක් තමයි මේ ඕස්ට්‍රේලියානු සංචාරයත් ...

ඕං ඉතිං ඔස්ට්‍රේලියාවටත් ආව කියමුකො ...

කෙලින්ම බැස්සෙ සිඩ්නි ...

ඔසි සුද්දො එංගලන්තෙ සුද්දො වගේ නෙවෙයි හරි අමාරුකාරයො ...
පිටියට බහින්නත් කලිං පත්තරෙන් තමයි ගහන්න පටන් ගන්නෙ ...

අත්ත මුත්ත පනත්ත කිත්ත කිරිකිත්තගෙ ඉඳල
වංහුං හොයාගෙන එන එකාට ගහනව
උන්ට මහ රුජින උනත් කමක් නැහැ ...

ඒ නිසාම ටුවර් එකේදි අපි උන්ගෙ පත්තර කියවන්නෙත් නෑ ...
කියෙව්වත් තේරෙන එකක්යැ
මොකෝ උං සිංහලෙන් පත්තර අච්චු ගහන එකක්යැ ...

අපේ පත්තරෙන් ගහන්නෙ පිල් බෙදිල අපිටමනෙ
ඉතිං අපට මොටෝ කියල තමයි අපි ඉන්නෙ ...
ඔය තමයි අපේම පත්තරේ එවුන්ට මගේම මෝටෝ එක
එවුන් මොකෑ ලීවත් "අපට මොටෝ"
ලොකු පුටු මාරු වෙනකොට උන් ඕවට ගෙවනව පොලියත් එක්ක ...

ඒත් ආයිත් ඒකම කරනව ඉගෙන ගැනිල්ලක් නම් නෑ ...

ඔසියන්ට වෙලාව නෑ අපිව හුරතල් කර කර ඉන්න ...
බැස්ස ගමන් බබා උකුන් නෑ කෙලින්ම පළවෙනි පුහුණු තරඟෙ ...
කැන්බරා නුවර නව දකණු වේල්සය සමග ...
(New South Wales)
ජාතික කණ්ඩායමේ එවුන් භාගෙකටත් වැඩියි  ...

ලෝසනුයි විට්නියි මැතිව්සුයි බේලිසුයි එම්රියි
මහන්නො දෙන්නයි (2 Taylors Mark & Peter)
යුද දෙබෑයොයි (Waugh Twins) ඔ'නීලුයි ස්මෝලුය ...

ස්මෝල් කිව්වට ඌත් පොඩි නෑ පුම්බන්ම තමයි ඉන්නෙ .......

කාසියේ වාසිය අපිට වුනාට අපේ අවාසියට ...
පළමුවෙන්ම පිත්ත එවුන්ට ...

ප්ලේන් එකෙන් ආපු හිරි යන්නත් එක්ක අප සැමට ස්පෝට් මීට්
මානුකා පිටිය පුරාම ...

මැරතන් එකයි හන්ඩ්රඩ් එකයි උස පැනුමයි දුර පැනුමි හිටි පැනුමයි
යගුලියයි ඩයිවිනුයි මේ ඔක්කොම කවලමේ ...

ඕවර 112ට  423ක්  කඩුලු 7ට ...
අපෙ ලැබීට කඩුළු පහයි (Graeme Labrooy) ...

මුල දවසමයි දෙවන දිනේ දහවල් සප්පායම වෙනකන්ම ඔසියන්ට අපිව සප්පායම් ...
දෙවෙනි දවසෙ සප්පායමෙන් පස්සෙ අපේ වාරෙ ...

ධම්මිකයයි (රණතුංග) මමයි මුලින්ම ...
පළමු කඩුල්ල 159දි
ධම්මිකයට 56ක් ...
දවස අවසානයෙ 268ක් සියල්ල දැවී ඕවර 111ට ...

මගෙ පිත්තෙන් මගේ සම්මාදම ලකුණු 133ක් ...

කාලෙකින් ගහපු මැච් එකක් නරකත් නෑ මට හැපී ...
පළමු තරඟෙන්ම මම fපෝම් බලාපොරොත්තු තියාගන්න පුළුවන් ...
දීපං තව දෙන්නං ජම්බු කියල තමයි හිටියෙ ...

ඔය මැච් එකේ වැඩ්ඩො ටික ඔක්කොම ගැහුව ...
පහළ ලින්ක් එකෙන් බලා ගන්න පුළුවන් නම් ලිස්ට් එක ...
දෙවෙන් ඉනිමෙ නං අපේ 117ට 7ක් ...
ධම්මිකයයි මමයි දෙන්නටම බිංදු

මෙතන ලස්සනම කතාව ඕක නෙවි ......
මේක පිවිසුමක් පමනයි ලස්සනම හරිය මේකයි ...
ඒක ඇහුවම උඹලට පිස්සු ඩබල් වෙයි ...
මට නීරසම උන්ට රසම දේ තමයි දෙවෙනි තරඟය ...

දෙවෙනි තරඟය වික්ටෝරියාව සමග සේල් වල ...
වික්ටෝරියානු නායක සයිමන් ඔ’ඩොනල්ඩ් ...

රෑ ටීම් මීටින් එකෙන් පස්සෙ ටීම් එක කියෙව්ව මගෙ නම නෑ ...
මම බංකුවෙ ඒ කියන්නෙ මම ඩ්රොප්
හිතාගන්න බෑ ...
මුලින් හිතුවෙ වැරදිල කියල ආයෙත් ඇහුව
නෑ හරි මම ඩ්රොප් ...
මුල් එකෙන්ම ඔය අඹරල තියෙන්නෙ ගුලිය ...

මීට දින දෙකතුනකට කලින් 268 න් 133 ක් ගහපු මම ඩ්රොප් .....
විශ්වාස කරපන් අම්මපා කාට කියන්නද ...
අම්මෙක් අප්පෙක් පේනතෙක් මානෙක නෑ දුක බෙදාගන්න ...
හේතු කරණාත් කියුව ඇහැව්වහම ...

"අතුල යූ ආ බැටිං වෙල් හෑව්
අ රෙස්ට්" ...

අප්පගෙ වැඩක්නෙ බං මේක ...
මෙච්චර කාලයක් රෙස්ට් එකේ ඉඳල තමයි බොල මේක ගැහුවෙ ...
අනික උන්ම කියනව "බැටිං වෙල්" කියල
හොඳට ගහන එවුන් අතහරින එකම රට අපි වෙන්න ඇති ...

ඇයි ඉතිං කලින් එකත් මට දුන්නෙ ඒකෙත් බංකුවෙ තිබ්බනං
මේ මොකුත් නෑනෙ ඕමි පාරක් ගහගෙන ඉන්න තිබුන ...
බලන කොට ඔසියො  අපි ගෙන්නල තියෙන්නෙ ඕමි ටුවර් එකකට වගෙ ...

ඕමි ටුවර් එකේ සෙට් එකක් හිටිය මාත් සමග
අපි වැඩිපුර ගැහුවෙ කන්ට්රි ඇන්ඩ් වෙස්ටන්
ඒ කියන්නෙ මුදල් නොගෙවන තරඟ ...
මුදල් ගෙවන තරඟ වලට වෙනම සෙට් එකක් හිටිය ...

ඉතින් හිතා ගනිල්ලකො ඕනෑම ක්‍රීඩකයෙකුගෙ මානසිකත්වය ...
මාස දෙකහමාරක සංචාරයක පළමු තරඟෙම උස්සල පොලොවෙ ගැහුවම ..........
ඊට පස්සෙ මුළු ටුවර් එකම එපා වෙල ඕන රෙද්දක් උනදෙන්
උඹල  _කා ගනිල්ල කියල තමයි මම හිටියෙ ...

දැන් මේක කියවල උඹල හිතේ වේගෙට
අනං මනං ප්‍රශ්න අහන්න එපා ...
මම දන්නව උඹල අහිංසකයො කියල     
ගිය හකුරට අඬන එකෙක් නෙවෙයි මම ...
ඒත් මේ දේවල් උඹල  දැනගත්තට කමක් නෑ උඹලගෙ දාඩිය මහන්සියත් මෙතන ඇති ...

උඹල ඕනෑම දෙයක් හිතාගනිල්ල ...
නැතිනම් ඕනෑම දෙයක් ලියාපල්ල ...

මට උත්තර නං දෙන්න බෑ මොකද උන් කියුව වගේ ...

මම තාමත් රෙස්ට්    



????????


1.8.17. FB

ප්‍රශ්ණ ???

කාටද බං ප්‍රශ්ණ නැත්තෙ ...

බැඳල නැතිනං 
බැඳල නැති උන්ගෙ ප්‍රශ්‍ණ ...
බැඳල නං බැඳපු එවුන්ගෙ ප්‍රශ්න

ළමයි නැතිනං
ළමයි නැති එවුන්ගෙ ප්‍රශ්ණ ...
ළමයි ඉන්නවනං
ළමයි ඉන්න එවුන්ගෙ ප්‍රශ්ණ ...

රස්සාවක් නැතිනං
රස්සාවක් නැති එවුන්ගෙ ප්‍රශ්ණ ...
රස්සාවක් තියෙනවනං
රස්සාවක් තියෙන එවුන්ගෙ ප්‍රශ්ණ ...

සල්ලි නැතිනං
සල්ලි නැති එවුන්ගෙ ප්‍රශ්ණ ...
සල්ලි තියෙනවනං
සල්ලි තියෙන එවුන්ගෙ ප්‍රශ්ණ ...

ගෙයක් දොරක් නැතිනං
ගෙයක් දාෙරක් නැති එවුන්ගෙ ප්‍රශ්ණ ...
ගෙයක් දොරක් තියෙනවනං
ගෙයක් දාෙරක් තියෙන එවුන්ගෙ ප්‍රශ්ණ ...

කොණ්ඩෙ තියෙනවනං
කොණ්ඩෙ තියෙන එකාගෙ ප්‍රශ්ණ
කොණ්ඩෙ නැතිනං
කොණ්ඩෙ නැති එකාගෙ ප්‍රශ්ණ  ...

කොන්ද කෙලින් නං
කොන්ද කෙලින් එකාගෙ ප්‍රශ්ණ
කොන්ද කෙලිං නැතිනං
කොන්ද කෙලිං නැති  එකාගෙ ප්‍රශ්ණ ...

කළු නං කළු එකාගෙ ප්‍රශ්ණ
සුදු නං සුදු එකාගෙ ප්‍රශ්ණ ...

ජනාධිපතිනං ජනාධිපතිගෙ ප්‍රශ්ණ
ජනාධිපති නෙවෙයිනං
ජනාධිපති නොවුන එකාගෙ ප්‍රශ්ණ ....

පිරිමියෙක්නං
පිරිමියෙක්ගෙ ප්‍රශ්ණ ...

ගැහැණියෙක්නං
ගැහැණියෙක්ගෙ ප්‍රශ්ණ ...

මට තියෙනව මගේ ප්‍රශ්ණ
බොට තියෙනව බොගේ ප්‍රශ්ණ ....

ලිස්ට් එක නං තව ලියන්න පුළුවන්
නහුතෙටම යනකං ...

ඉතිං කියහංකො ....

කාටද බං ප්‍රශ්ණ නැත්තෙ ....








Sunday, October 18, 2020

අනිච්චේ දුක්කේ

හනේ මංද අනුලක්කත් නෝ මෝ බං ...

මං අනුලක්ක මුලින්ම දැක්කෙ ගාලු පුරහලේ වේදිකාව උඩ ඇස් දෙක කරොක කරොක
දීකිරි විකුණනව ...

ඒ හැත්තෑවෙ අගබාගෙ විතර ...
නාට්‍ය ගැන වැඩි ගැම්මක් ඒ වයසෙදි අපිට නොතිබුනත් ...

ගාලු පුරහල අහලින් යනකොට සෙනග පිරිල හිටියොත්
මේ මක්කැයි බං මෙතන වෙන්නෙ යන කුතුහලය මගහැර ගන්න ...
කොලු කමට හොරෙං පුරහලේ ජනේල වලින් ඇතුලට පැනල
නාට්‍ය සංවිධායකයො දකියි හැකයෙන් වටපිට බල බල
කළුවරේ දනිස් කොන්ද නමාගෙන ගොහිං මැද පුටුවක වාඩිවෙනෝ ...

අනුලක්ක විතරක්ම නෙවි
ලංකාවම දෙවනත් කල මහා නාට්‍ය කාරයො සියල්ලක්ම අපි දැක්කෙ
ගාලු පුරහලෙ ජනේලෙන් පැනල නොමිලේ ...

ඇයි බං සල්ලි දීල නාට්‍ය බලන්න කොයිංද අපට කාසි ...

හැබැයි ඉතිං වේදිකාවට ඇහැ ගියත් අපි  බලාන ඉන්නෙ සංවිධායකයෙක් ඇවිත්
කනෙං ඇදල දෙකක් දීල කොයි වෙලේ එලියට ඇදල දායිද කියල බයේ ගැහි ගැහී ...

බොලාට බොරු කියන්නෙ මක්කටෙයි බං
එහෙම උන වාරත් අනන්තයි අප්‍රමාණයි  
කං අඩි දෙක බාගෙට පැලුනත් ජනේලෙන් පැනල නාට්‍ය බලපු එකනං නැවතුනෙ නෑ
ගාල්ලෙං කොළඹට දිරාමාර් වෙනකං ...

එදා ගාලු පුරහලේ මුලින්ම දුටු දා සිට අද දක්වා
අනෙක් නාට්‍ය කරුවන් සියල්ලට සේම
බොක්කෙන්ම අනුලක්කටත් මම ආදරය කලා ...

පෙරෙයිදා බුද්ධි කතා කර වෙලේ
 
"අනුලක්ක ජයවර්ධනපුර රෝහලේ ටිකක් අමාරුයි අතුල " කීවත්

පහුවදාම අපිව අතෑරල යයි කියල හීනෙකින්වත් හිතුවෙ නෑ ...

කර්මානුකූලව ගෙනා ආයුෂ හමාරවී අප සැම අතැර ගියත් ...

නිවන් දක්නා ජාති දක්වා හතර අතට කැරකෙන මේ සංසාර චක්‍රයේ අනුලක්කේ උඹ අප අතරම ඉපදේවා ...

එවන් ආ විටක ගාලු පුරහලේ වේදිකාවට නැවත එන්නට ආරාධනා

අපිත් ආයෙ එන්නං සංවිධායකගෙන්  කං අඩි පලාන හරි ඔබ දැක්මට ජනේලයෙන් පැනලා ...

අනුලක්කේ ඔබට දෙව් මිනිස් සැප කෙලවර අමා මහ නිර්වාන ශාන්තිය උදාවේවා !

🙏🙏🙏🙏🙏

Saturday, October 17, 2020

තරඟයේ වීරයා

 

2.7.17 FB

මේ  කියන්න යන්නෙ ....

අසූවෙ මැද භාගෙ විතර සිද්ධියක් ....
හරියටම මාසය නිච්චි නෑ පිටිය සීසීසී හෝ එන්සීසී  ....
 
දවසක් මම ඉන්ටනැෂනල් බී තරඟයක් සෙල්ලම් කරල ....
ලකුණුත් දාගෙන කඩුළුත් අරගෙන තරඟයෙ වීරය උනා ...

තරඟෙ අවසානයෙ කප් එකකුත් දුන්න රුපියල් දාහක චෙක් එකක් සමග ....
නරඹන්නන්ගෙ ඔල්වරසන් හඬ මැද්දෙම ....
(මගේ මාසෙ පඩියත් අටසීයක්
විතර ඔය කාලෙ ඉතිං දාහත් පොඩි නෑ)

දාහෙ චෙක් පත මුදල් අතේ ගැවසෙන මෙම්බර් මහත්තයෙකුට දීල  
මාරු කරගෙන ....
(අපෙ ආදර නෙලී KM Nelson - මගෙ සීසීසී ටීම් මේට් රිචීගෙ ආදරණීය පියා  Richie De Silva  )

යාළුවො කිහිප දෙනෙක් එක්ක සයිවර් එකෙන් කාලා ඔන්න ඉතුරු සල්ලිත් සාක්කුවෙ දා ගත්ත ....

සයිවර් ලාබයි ඒකාලෙ වඩයක් උනත් සත විසි පහක් විතර ....
පොඩි ගානකින් හොඳට බඩ පුරව ගන්න පුළුවන්
අද කාලෙ නං ඒකත් කෙහොමද දන්නෑ

(මම 95හේ ලංකාවෙන් එනකම්ම මට බැංකු ගිනුම් තිබුනෙ නෑ , එන් ආර් එෆ් සී එකක් විතරක් දාල තිබුන මහජන බැංකුවෙ ටුවර් එකක්ගිහිල්ල ආවම ලැබුන කීය හරි දාන්න ...
ඒකත් රංග අයියට Ranga Goonasekera  පින්සිද්ද වෙන්න )

දැන් කප් එකත් උස්සන් බස් එකේම ගෙදර යන්න තමයි තරඟයෙ වීරයගෙ සූදානම ....

සයිවර් කෑවට බඩත් ටිකක් බොර බොර ගානව ....
ඒත් ඒක නම් ඉවසන් ඉන්න පුළුවන් අපි කාල තියෙන සයිවර් වල හැටියට ...

බස් එකත් සයිවර් කඩේ දොර ළඟටම එන්නෙ නැහැ නොවැ ...
ඉතිං පයින්ම ගියා බස් නැවතුමට ....

බස් කිව්වට ලංගම තමයි ඒ පාර වල වැඩිය දුවන්නෙ ....
පොඩි පාරවල පුද්ගලික බස් යන්නෙ එන්නෙ නෑ ඒ කාලෙ ....
උන්ට ගාන කපන්න සෙනග මදි නිසා ...

ඉතිං රෑට සමහර වෙලාවට පැයක් විතර බස් එනකන් ඉන්න වෙනව ....

කප් එකත් වාතයක් වෙනව මේ වගෙ වෙලාවට ....
ඇයි යකෝ මල වනයක්නෙ මේක උස්සන් යන එක ....

කප් එකක් දීල මුන් මාව ඇන්දුවද කියලත් හිතුන ....

හොඳටම මහන්සියි මටත් හත වැදිල ගමනත් දුරයි බෑග් එකත් බරයි
ඒ අස්සෙ කප් එකකුත් හෙට උදේට වැඩ
කොරේ පිටට මරේ ....

දහස් වාරයක් හිතුන ඇයි බං වෙන එකෙකුට මේක දුන්නෙ නැත්තෙ කියල ....

මට දාහ විතරක් දීල කප් දෙන්න තිබුනෙ කාර් තියෙන එකෙකුට ....
එතකොට අපි වගේ උන් මේ පරිප්පු කන්න ඕන නැහැනෙ

එහෙම එකෙකුට කප් එක දුන්න නම් ඒකා යස අගේට උඩ තියාගෙන ගෙනිහිල්ල
පොලිෂ් කරපු කැබිනට් එකේ දාගෙන පුළුං වලින් ඇඟිලි මාක් පිහිද පිහිද එන එන එකාට ආඩම්බරෙන් පෙන්නයි ....

මට ඉතිං මේක ගෙනිහිල්ල තියන්න තැනකුත් නෑ ....

83නේ ලෝක කුසළානෙ සල්ලි වලින් "ඩියුට් ෆ්‍රී රංජියගෙන්" ගත්තු 
පතුරු ගහපු අඟල් විසි හතරෙ "ෂාප්" ටෙලිවිසොන් එක උඩ කප් එක තියන්නත් ප්ලෑන ගහගත්ත ඒ අස්සෙම ...

ඒ ඇරුනම ඈඳි ගන්න තිබුන වැල් කැඩුනු පුටු කබල් ටිකයි
කොහු මෙට්ටෙ දාපු පොලු ඇඳයි සන්තකේ
ඇයි කුලී ගෙවල්නෙ බං ....

දැන් ඕං මගෙ එක අතක කප් එක අනෙක් අතේ ක්‍රිකට් බෑග් එක
ගෙදර යන්නයි සූදානම ....

දැන් මේක නෙමෙයි සොමිම වැඩේ ...
සොමිම වැඩේ මොකක්ද දන්නවද ...

මම සීය ගහනකොට ලයින් එකෙන් එළියෙ ඉදන්
හුරේ දාගෙන අත්පුඩි ගහපු රසිකයන් ....

මම උස නැති වේදිකාවට නැගල කප් එක ගන්නකොට ඔල්වරසන් දුන් නරඹන්නන් ....

එතකොට කතා පවත්වල කප් එක දුන් අනුග්‍රාහකයින් .....

තරඟය ඉවරවෙල මම කප් එකත් අරගෙන පාරෙ හත වැදිල ඇවිදගෙන යනකොට ....

සිංහයො වගේ ඔලුව එලියට දාගෙන මට අත වනාගෙන කාර්වල යනව ....  

"වෙල් ප්ලේඩ් අතුල අඅඅඅඅ"

"ග්‍රේට් වර්ර්ර්ර්ක්" ....

"යූ ඩිසව් ඉඉඉඉට් අතුල අඅඅඅ" ...

කියාගෙන කෑමොර දීගෙන ....
එකෙක්වත් ඇහුවෙ නෑ අතුල උඹ ගෙදර යන්නෙ කොහොමද කියල ....

උන් හිතන්න ඇති මගෙ මමා හරි ඩැඩා හරි මගට එයි කියල
මාව පික් කරන්න ටර්බෝ චාජ් ඉන්ටර් කූලරේ ...

ඇත්තටම එතකොට මේ ... මේ තරඟයේ වීරය ....

ඌ රෑ නමයටත් බස් හෝල්ට් එකේ ගෙදර යන්න බස් එකක් එනකං ඉන්නව ....
කප් එකත් එක අතකින් උස්සගෙන
ක්‍රිකට් බෑග් එක උරහිසේ එල්ලගෙන ....

හරියට මනෝරත්න මහත්තයගෙ"තල මල පිපිලා" වේදිකා නාට්‍යයෙ
රංබරණා ගුරුන්නාන්සෙ වගේ ...

ඉඳල ඉඳල ආපු බස් එකත් පොල් පටවල ....

ඔන්න ඉතිං උඹලගෙ මහ ලොකු තරඟයෙ වීරය ....
උඹළට හෙන පොර උනාට ඌ දාඩිය පෙරාගෙන පොල් පටවපු බස් එකේ
පිටි පස්සෙ දොරටුව අසලම තියෙන සීට් එක යටට ක්‍රිකට් බෑග් එක රිංගවල
කප් එකත් එක අතකින් උස්සගෙන කනුව බදාගෙන ෆුට් බෝඩ් එකේ ....

දෙයියන්ගෙ පිහිටෙන් තරඟයෙ වීරය හයේ පාරවල් හතරෙ පාරවල් ගහනකොට හුරේ දාගෙන මැච් එක බලපු එවුනුයි
 
කියවල කියවල කප් එක දීපු එවුනුයි දැන් හොඳට හීන බල බල සැපට බුදි ඇති ....

පින් කරපු ඇත්තොනෙ ....
 
එතකොට උඹලන්ගෙ වීරයට නං
පිටකෝට්ටෙ හන්දියෙ බස් එකෙන් බැහැල බොරලු පාර දිගේ තව හැතැප්ම තුන්කාලක් විතර
පයිනුත් යන්න තියෙනව කට්ට කරුවලේ ....

ඒ මදිවට කකුල්වලට පාරෙ බොරලු පෑගෙන සද්දෙට
හැමදාම හන්දියෙ වල බහින කටුව කාපු බල්ලො සෙට් එකත්

උන්ගෙ බාසාවෙන්ම සද්දෙ දාගෙන
උඹළන්ගෙ වීරයව බයිට් එකට ගන්නයි උත්සාහය ....

උන්ගෙන් බේරෙන්න වීරයත්කප් එක උස්සගෙන කුන්ග් ෆු මිශ්‍ර මැරතන් ....

එතන තව කප් එකක් ගහන්න තිබුන මංතීරු පරීක්‍ෂකයෙක් හිටියනම්
දුවපු දිවිල්ලට ....

ඔය අභියෝගත් මග හැරගෙන වීරය ගෙදර යනකොට එළිවෙයි වගේ ....

ඔය තමයි අපේ කාලෙ තරඟයෙ වීරයො ....  

උඹළත් මේව දැනගෙන හිටියට කමක් නෑ ....

උඹලටත් වීරයෙක් වෙච්චි දවසකට

එක්ස්පීරියනස් ගන්න ....

Sarath Wijerathna

වලේ ගෙදර මගෙ රූම් මේට්
ඒකාලෙ තියෙන දෙයක් කාල එකට හිටිය උන්ගෙන් එකෙක් ....

*****

ෆෝමල්


22.9.17 FB


මගෙ ලොකු කොලුවට අද ඉස්කෝලෙ ෆෝමල් එකලු
එහෙම තමයි මෙහේ ඔහේ වගේ නෙවේ ...

මේ අවුරුද්දෙන් ඉස්කෝලෙ ගමන අහවරයි
ඒකෙ සන්තෝසෙට වෙන්ටැ ....

හැබැයි උන්ට තාම වැටහෙන්නෙ නෑ
ඔතනින් පස්සෙයි නියම වැඩ පටන් ගන්නෙ කියල
ඒත් ඉතිං සූට් බූට් ගහල කොණ්ඩ නැවුම් කට් හදාගෙන
මහා නගරෙ මහා හෝටලේක ලිමොසින් එකෙන් ගොහිං එක විකාරයයි
දෙමාපියන්ට ගානකට තට්ටුවෙන වැඩක් ...


ඇයි බං මුන්ට යට ඇඳුමෙ ඉඳල අළුතෙන් ගන්න එපැයි ...

*****

අන්න ඒකට අපෙ ෆෝමල් ....

අන්තිම දවසෙ විභාගෙ ඉවරවෙල කෙලින්ම ගියෙ සූරිආරච්චියගෙ ගෙදර ....
උගෙ ගේ පිටි පස්සෙ ගිං ගඟේ අත්තක් ....
ඒකෙ පැනල හිතේ හැටියට නාල එගොඩ මෙගොඩ පැදල
උංගෙම ගස් වලින් කුරුම්බත් කඩාගෙන බීල ....

සූරිආරච්චියගෙ අම්ම
වත්තෙන්ම උදුරල අරගෙන උණු උණුවෙම තම්බල දීපු
මඤ්ඤොක්කා හට්ටියෙනුයි කොච්චි මිරිස් සම්බෝලෙනුයි සප්‍පායමි වෙල
සූරිආරච්‍චියගෙ තාත්ත ගහෙන් බාල තිබුන තෙලිජ්ජ හට්ටියටත් වග කියල 

පයින්ම ගෙදර ආව කිලෝ මීටර හත අටක්
ලංගමෙන් අපේ චෙක් බාරගන්නෙ නැති නිසා ....

ඔය ඉස්ටාර්ට් එක ....

*****

එතකොට එන්ඩ් එක ...

එදාම රෑ ...

චූටියි මමයි ගුරුගේයි ප්‍රින්ස් එකේ ගැලරියෙ සත පනස් පහට
නවයයි තිහ චිත්‍රපටියක් බලල

ඉවරවෙල එන ගමන්
කැනල් පාර කොනේ පාළම යට තුංමං හන්දියෙ
ගමේ තොවිලයක් ඉවරවෙල ගෙනත් දාල තිබුන
පිදේනි තටුවෙ පුළුටු ටිකත් පාළම යටම තියාගෙන බෙදාගෙන කාල ...

පිදේනි තටුවෙ උඩින්ම තිබුන ඇස්ස කපපු තැඹිලි ගෙඩියත්
බෙදාගෙන බීල ...
 
රෑ දොලහට විතර ගෙදර ආව මතකයි ...

අද වෙනකං ඉහෙන් බහින ලෙඩක් නෑ

ඕං අපෙ ෆෝමල් ....

*****

සැලකිය යුතුයි :

ගමේ තොවිල් පවිල් තිබුනහම පිදේනි තටු ගෙනත් දාන්නෙ
ඔය තුංමං හන්දියට තමයි ...

තුංමං හන්දිය අයිනෙම ඇල
ඇලට අනික් පැත්තෙන් කෝච්චි පාර
කෝච්චි පාරට උඩින් මගී පාළම ...

ඔය තුංමං හන්දිය පලාතෙ කව්රුත් වැඩිය යන්නෙ නෑ රෑට
පිදේනි කන්න යක්කු පෙරේතයො එනව කියල ...

ඇයි ගිය එකාට පිදේනි කන්න එන යකෙක් ගැහුවොත් ...

ඉතිං තුංමං හන්දිය පාළුම පාළුයි
හන්දිය අයිනෙ තිබුන වීදි ලාම්පුව විතරයි
ඒකත් මක්කවත් නැතිවට හොඳයි ...

පිදේනි තටුවෙ බැදපු මස් ජාති තමයි වැඩියෙන් තියෙන්නෙ
ඇට්ටෝම් පිඟානක් වගෙ තමයි කෑම පුරවල කිරි පැණි සමග ....

තොවිලෙ කරපු එවුන්ටත් දේ ඇවිල්ල තටුව බැලුවම සන්තෝස ඇති ....

ඇයි පස් පාටින් තියපු මල් ටිකයි
හඳුන් කූරු ටිකයි විතරයි ඉතුරු ....

පිදේනි ටික මල පෙරේතයො කාල ගිහිල්ලනෙ ...

*****

චරිතයක්

16.6.17 FB

චරිතයක් .....

අවුරැදු ගානකින් පරණ යාළුවෙක් මුනගැහුන ...

Hi, Machan how u doing ...
කියල වැඩක් නෑ මචං සැප කැඩෙනව
ඉල අැදෙනව ...

Ooo that's great Machan ....
Good to here ...
Good to hear ...
ඉතිං මචං so ... So....so

සෝ සෝ  නෙවි බං අපි ඉන්නව සනීපෙන් ...
You still the same machan ....
you haven't changed you haven't changed ...

Ok ok, what r u doing now ...

ජොබ් කට්ටක් කරන් ඉන්නව බං කෝචිං පාරකුත් දාගෙන ...

That's great ...that's great
I'm a ______ ,
machan doing good ...
Very well ...
very well ...

මොකද බං මූට වෙලා තියෙන්නෙ බඩ යන්නෙත් ඉංගිරිසියෙන් වගෙ ...
ඇයි අක්සන්ට් එක ...
ඉස්සර මෙහෙම නෑ ...

මූට ඇක්සිඩන්ට් එකක්වත් වෙලා ඔලුව කොහේවත් හැප්පිලද දන්නෙත් නෑ

ගම පලාබද්දරද කාෙහෙද
ඉස්සර නං ගැරඬිය වගෙ හිටියෙ දැන් තමයි නයාවෙල තියෙන්නෙ ...

මමත් චීනකොරටුවෙ ...
සංඝාරාමෙ රෑ ඉස්කෝලෙටත් ගියා
ඉංගිරිසි ඉගෙන ගන්න ...
මොකටද සෙකන්ඩ් වෙන්නෙ කියල හිතුනත් ...
මව් බාසාවෙන්ම කතා කරා මූව පොඩ්ඩක් බස්සන්න ...
හැබැයි ඒත් උෟ යවන්නෙම නයා ...

මචං උඹ බැඳලද ...

Yes machan, I'm married to a Kandyan ...

අාාා මගේ වයිෆුත් නුවර ...
මහාමයා ඉගෙන ගත්තේ ...

No machan my wife from  _____
Very good family ....
Very good family ....

මූට නං උණ තදවෙල
ප්ලේට් කවුන්ට් එක හොඳටම බැහල වගෙ ...

What's your wife doing mate ...

ගෙදරට වෙල ඉන්නව බං ලමයිත් බලාගෙන
 
ඉස්කෝලෙ ගෙනියනවා ගේනවා
අමතර පංති ගෙනියනවා ගේනවා ...
ක්‍රීඩා වලට ගෙනියනවා ගේනවා ...

මට වැඩිය වැඩ එයාට ...

Oh .... My wife is a _____
She is in Brisbane with my daughter who is studying _____ in the Uni ...

එතකොට උඹ මෙහේ ???

Yaa machan ...
I m here with my son he is doing VCE ...
My wife has her own house
I have mine ...
I visit them in the holidays ...
Lovely weather up there machan ...
We are very independent
Very independent ...

අම්මපා ....
අපිටත් නිදහස තියෙනව හැබැයි උඹට වගෙ වල්බූරු නිදහසක් නෙවි ...

කමක් නෑ බං මක්කරන්නෙයි මට උඹ ගැන දුකයි බං ...

ලුනුයි බතුයි කාල හරි අපි පස්දෙනා එකට ඉන්නව එක ගෙදරක 

ඒකනෙ අපි බැන්දෙ ...

හොඳයි මචං මම යන්නං ...

උඹත් ඔය යන ගමන් මහජන පුස්තකාලෙන්
පොතක් අරං ගොහිං සිංහල ටිකක් මතක්කර ගනිං ...

ලංකාවට ගියාම පලාබද්දර නෑදෑයන්ට කතා කරන්නත් එපැයි ...

ඌ නං ආයෙ මට කතා කරන එකක් නෑ ...

*****

Thursday, October 15, 2020

මට හිතෙන හැටි

FB 20.1.17

මට හිතෙන හැටි ...

ගාලු මහජන ක්‍රීඩාංගනය ...

පන නැතිවත් මුළු ගාල්ලටම පන දුන් අපේම හදවත ...
ඒ කියන්නෙ මුලු මහත් ගාලු ජනතාවටම

එය එසේමැයි ...

අපි මව් කුසෙන් මෙලොව එළිය දුටුවායින් පසු අපිට මිනිසුන් එහෙමත් නැතිනම් වැඩිහිටියන් ලෙස උපදින්නට ...
අපේ පාසැල් දෙමාපිය ගුරුවරැන්ට  අමතරව විශාල රුකුලක් උනෙ ගාලු මහජන ක්‍රීඩාංගනය ...

අපේ කාලෙ ...

නැතිනම් ඊට කලින් ඉපදුන
ලක්ෂ කෝටි ගනනක් මේ කියපු දේට නැතිනම් කියන්න යන දේට සත්තකින්ම ඔට්ටු තියයි ...

සමහරවිට මෙය කියවන ඔබත් මෙහි පංගුකාරයෙක් වෙන්න පුළුවන්  ....
මොකද ගාල්ලෙ ඒ කාලෙ හැදුනු අපේ කතාව එපමනටම සුන්දරයි අහිංසකයි ...  
(මහජන ක්‍රීඩාංගනය කාලෙ)
සමාවන්න දැන් කාලෙ ගැන කියන්න මට සුදුසුකමක් නැහැ ...

ගාලු පිට්ටනිය ...
ජාත්‍යන්තර වෙන්ට කලියෙන් ගාල්ලෙ ඉපදුන නැතිනම්
හැදුන වැඩුන එවුන්ගෙ හදවත කියල මුලින්ම සඳහන් කලෙ ඒකයි...

පිට්ටනිය වටේම තිබුන කස ගස් පේලිය
පිටුපසින් පෙනෙන ඕලන්දක්කාරයින්ගෙන් අපිට ලැබුන දායාදය දැවැන්ත කොටු පවුර ...
                                  
දෙපැත්තකින් මුහුද වගේම ඒ සීතල මුහුදු හුලඟ ... සමනල පාලම ... පට්ටියමුල්ල ...  
ගාමිනී ක්‍රීඩා සමාජය ... ගාලු ක්‍රිකට් සමාජය ...

බස් නැවතුම ... ඊටම අල්ලපු පේව්මන්ට් කඩ පේලිය ... සවුත් සිලෝන් කේ එල් එච් ...  සදර්න් එක ...
සිඩ්නි එක ... ටවුම මැද්දෙ  තිබුන පච ගහ ... 

ඥාණෙ අයියගෙ සත දහයෙ සරුවත් එක ...
කිරි මණ්ඩලය ... බෝ ගහ ... බෝ‍ධිය අසල තිබුන
මොරිස් මයිනර් ටැක්සි සෙට් එක ...

මෙකී නොකී සියල්ලක්මඅපේ ජීවිතවල කොටස් වෙන් කල නොහැකි ...

මුලු  ගාල්ලම ...

ඒ කියන්නෙ වචනයේ පරිසමාප්තයෙන්
මුලු ගාල්ලම ...

කොටුව ... චීනකොරටුව ... කලුවැල්ල ... ඔරොප්පුවත්ත ... වැල්වත්ත ... වලව්වත්ත ... මාගාල්ල ...
 
ටවුමට මායිම් උන මේ ගම් ටික වගේම පැත්තකින් රත්ගම බුස්ස දොඩන්දූව හික්කඩුව ...
අනෙක් පැත්තෙන් හබරාදුව අහංගම
තවත් පැත්තකින් ඇල්පිටිය  බද්දෙගම එහෙමත් නැතිනම් පින්නදූව පිලාන
වගේ ටවුමෙන් ටිකක් දුර ගම්වලත් ඒ අතර මැදි ගම්වලත්
කොල්ලො කුරැට්ටො කෙල්ලො වගේම මහ එවුනුත්  උස් පහත් ලොකු පොඩි
කුල ආගම් වර්ණ ජාති පාසැල් බේදයක්  නැතුව එක් කලේ ඔය පිට්ටනියයි ...

දැන් පාසැල් අනුවත් අපි බෙදිල ...
මම ඒක පහුගිය අවුරැදුවල ගාල්ලෙ ආදරවන්තයන්ගෙයි කියන සටන් වලදි ආදණීය ගල් මිශ්‍ර කඳුළු ගෑස් අන්තර් ජාලයෙන් දැක්ක
මෙතන විශාල බෙදීමක් තියෙනව ...

මොකද ඉස්සර පාසැල් දෙකේම කොල්ලො පිස්සු කෙලියෙ එකට
Lovers  Quarrel  කිව්වෙ ඒකයි ...

ඒ කාලෙ අපේ මුලු ගාල්ලම එකයි ...
ගාල්ල අපේ අපි ගාල්ලේ ...

අපි වෙන්වෙලා හිටියෙ නෑ කෝන්තරයක් තිබුනත් දවසයි දෙකයි ...

ඇයි ඒ විතරක්යැ මාළු මාකට් එකේ ලෑල්ල වහල බාරොං මාමත් එන්නෙ ඔතනට ...
එතකොට එළවළු මාකට් එකේ මස් කඩේ රෙදි කඩේ
ඒ වගේම අන්නාසි මාම රටකජු පාල බාසුන්නැහෙ මේ අයත් තමන්ගෙ රස්සාව ඉවරවෙල එන්නෙත් ඔතනට ...

ජෝජි අයිය ...පීටර් අයිය ... රත්ත ... බූච්ච ... නිව්ටන් අයිය ... පියසේන අයිය ... හමීඩ් සෙට් එක ... තිරැප්පන් ... සපත්තු දොරේ .... තව නම් වැලයි ...

අයියල මාමල කිව්වට ඔය ඔක්කොම නෑදෑ නොවන නෑදෑයො ...

ගාල්ලෙන් මුලින්ම ලංකාව නියෝජනය කලේ ක්‍රිකට් වලින් නෙවෙයි
පාපන්දු වලින් ...
 
ඒ මම කලින් සඳහන් කල මාළු කඩේ බාරොං මාම ... පොඩි මහත්තය ... කන්නන්ගර ...  
බෙන් පෙරේරා (බෙනා සර්)

මේගොල්ලො බූට්ස් සපත්තු දැම්මෙ නෑ බෙයා ෆුට් තමයි ගැහුවෙ  ...

පහු කාලෙක ඇලෝසියස් එකේ වේරදුව පාපන්දුවෙන් ලංකාව නියෝජනය කල මට මතක ඇති
අපේ කාලෙ අපේම වීරයො අපේම වීරයො කිහිප දෙනෙක් ...

එතකොට පොලීසියෙ කොස්තාපල් මහත්තයි ඉස්පැට්ටර් මහත්තයයි ...

ඇයි කොටුවෙ ආමි කෑම්ප් එකේ කැප්ටන් ගජමන්ගේ ගෙ ඉඳල
සොල්දාදුව දක්වා ඩියුටි නැතිනං ඇවිල්ල එක පොදියට සෙල්ලම....

අපේ පරණ අගමැති විජයානන්ද දහනායක මහත්තයත් පොළට ගොහින් එන ගමන් වෙන්ටැ මිට නැවිච්ච
කළු දිග කුඩෙත් අරගෙන පයින්ම ...

ඔක්කොමල එක එකා දිහා බැලුවෙ එකම ඇස් මට්ටමකින් මිස නහයට යටින් නෙවෙයි
ඒකයි අනෙක් විශේෂය ...

ඒ වගේම ඩොක්ටර් මහත්තයයි ප්‍රොක්ටර් මහත්තයයි ...

ගාල්ලෙ අපිට මොන ප්‍රශ්නෙ ආවත් කවුරු හරි හිටිය ...
ඒ නිසාම අපිට ප්‍රශ්න තිබුනෙත් නෑ ආර්ථික ඇරෙන්න
ඒවත් සොමියෙන්ම වැළඳ ගත්ත ...

ඔය පිට්ටනිය දෙපැත්තෙන් එකපාරට පාපන්දු තරඟ දෙකක් ගහන ගමන් මැද්දෙ අපි ක්‍රිකටුත් ගහනව  
ඒ තරමටම විශාලයි ...

ආමිකාරයයි , පොලිස්කාරයයි ගනංකාරයි ඔක්කොම පිට්ටනිය පැත්තක එකට ටැක්සි ස්ටෑන්ඩ් අසල රාගෙ දානව ...

කට්ටියක් සෙල්ලම කට්ටියක් කයිය
තවත් කට්ටියක් හතෙන් පස්සෙ බෝතලයක අඩිය බලනව ...
රොකට් දුමකුත් ඈතින් ...
ඒ අස්සෙන් සයිඩ් ස්ක්‍රීන් එක පිටුපස්සෙ පුංචි ඡායාවක් ...                                                                    

බද්දෙගමද කොහෙද ... දන්නෝ දනිති ....

එවයින් මේවයින් ජොබ් ඉන්ටවිව්ත් තිබුන මේ පිට්ටනියෙ
ඇයි බිස්නස් ඩීල්ස් මංගල යෝජනා මෙකී නොකී සෑම දෙයක්ම ...

කළුවැල්ලෙ කෝවිලේ පූසාරි මහත්තය ඒ කිව්වෙ අපේ මිත්‍රය නඩාගෙ (නඩරාජ) තාත්ත ....
දාහක්  අපි  බෝල ගහල ඇඟිලි අතපය කඩා ගත්තම  අපි කාටත් පිහිටවුන
අපේ ආදරණීය පාදිලිතුමා අපේම දොස්තර Father Mark ...

ඒවගේම විද්‍යාලෝක පිරිවෙණේ පංති ඉවරවෙල යන තරැණ ස්වාමීන් වහන්සේලා ටික 

කඹ බානෙ මුස්ලිම් පල්ලියෙ ලෙබ්බෙ

මේ ඔක්කොම එකම කස ගහ යට ඉඳගෙන එකට අත්පුඩි තල තල මැව් බලපු අපූරැව ...

උඹට අමතක උනත් අමතක නොවෙයි  මට ...

අපිට ආගම් බේදයක් තිබුනෙ නෑ යකෝ
ඒ කාලෙ උඹල දැන් බෙදෙන්න හැදුවට ...
 
එහෙම නැතිනම් එක එකා උනුනගෙ වාසියට උඹල බෙදන්න හැදුවට ....

සමාවෙන්න ... ටිකක් තරහත් ගියා ...

ඒකමයි ඔය පිට්ටනිය අපේ හද ගැස්ම උනෙත් ...

ඉස්කෝල ගත්තොත්
ඇලෝසියස් ... මහින්ද ...රිච්මන්ඩ් ඕල්සන්ස් ... විද්‍යාලෝක ...සවුත්ලන්ඩ්ස් ... කොන්වන්ට් ... පරාක්‍රම  ... වැලිවත්තෙ ඉස්කෝලෙ සංඝාරාමෙ රෑ ඉස්කෝලෙ  ... මෙකී නොකී සෑම ඉස්කෝලෙකම අපි ඔක්කොම එක අම්මගෙ දරැවො වගේ ...

සෑම කෙනෙක්ම හැම ප්‍රැක්ටිස් එකක්ම මෙතන ...
කෙල්ලන්ගෙ ඉස්කෝල පිට්ටනියට එන දවසට පුංචි කිචියකුත් නැතිව නෙවෙයි ...

හැබැයි ඒ සහෝදර කමට මිසක්ක වෙන මක්කටවත් හෙම නෙවෙයි ...

සංඝමිත්ත ... රිපන් අපිට මිස් උනා ඒ ඉතිං එවුන්ට වෙනම පිට්ටනි තිබුන නිසා...

ඒ ඇරැනම ස්පෝට් මීට් නිදහස් උත්සව ... ඇසළ මේලා බක්මහ උළෙලවල් දේශපාළණ රුස්වීම් ...
මේ ඔක්කොම එකම පිට්ටනියෙ ...

ඇයි හෙලිකොප්ටරැත් බස්සනව ඔතනට
ඒකාලෙ හෙලිකොප්ටර් අද වගේ තිබුනෙ නෑ ...
රතුයි සුදුයි වන්ඩිය තමයි නිතරම එන්නෙ

කෙල්ලන්ගෙ ස්පෝට් මීට් වලට කොල්ලන්ගෙ ඉස්කෝලවල ඔක්කොම බුරැතු පිටින් යනව හුරේ දාන්න ...

හැබැයි කොල්ලන්ගෙ ඒවට උන් එකෙක්වත් එන්නෑ
තාමත් හිතා ගන්න බෑ ඇයි කියල ...
අපි කළු වෙන්ටැ ඒ දවස්වල ...

මට මහින්දෙ යාළුවො තරමටම අනික් ඉස්කෝලවලත් යාළුවො හිටිය ...
ගෑනු පිරිමි බේදයක් තිබුනෙ නෑ මුලු ගාල්ලම මගේ යාළුවො ...

උන් මට ආදරේ කරා මං උන්ට ආදරේ කරා බොක්කෙන්ම  ...

ඒ මම අතුල සමරසේකර වෙන්න කලින් ...
අයිස් මෝල හන්දියෙ නිකන්ම නිකන් සමරෙ කාලෙ ...

එනිසාම තමයි ඒ ආදරේ විශේෂ ...
ඒකමයි මේ අය ජීවිතේටම අමතක නොවන්නෙත් ...
හැම එකාම හැම එකාගෙම සනුහරේ හිට දන්නව ...
එතනයි ලෙන්ගතුකම ...

තාමත් මම උඹළන්ට ආදරෙයි බොක්කෙන්ම ...

ගාල්ලෙන් ඇවිල්ල අවුරැදු තිස් අටක් උනත් තාමත් ඒ සබඳකම් තියෙනව ...
අපි කසාද බැඳල  දරැමල්ලො හිටියත් ඒ සබඳකම් එහෙමමයි ...

ඒ හැමටම මුල ගාලු පිට්ටනිය ...

මට වගේම මේ හැමෝන්ටම ...

ඔය පිට්ටනියෙ තණ කොල කපන්න මැෂිමක් තිබුනෙත් නෑ  ...
ජීවිතේට තණ කොල කැපුවෙත් නෑ
ඒකට වග කිව්වෙ චීනකොරටුවෙ විමලෙ අයියගෙ හරක් පට්ටිය ...

විමලෙ අයියට අපි කිව්වෙ කව් බෝයි කියල ...

උන් අපූරැවට උන්ගෙ රාජකාරිය කලා ...
උන්ටම හිටිය කටුව කාපු සුනඛ සෙට් එකකුත් ....

ගාලු පිට්ටනියෙ හද ගැස්ම නැවතුනේ නෑ කිසිම දවසක ...
ගාලු පිට්ටනියෙ හෟදස්පන්දනය
එදා නැවතුනානං අපිත් එදා නැවතිලා නන්නත්තාර වෙලා මුලු ජීවිතයම
එකම විකාරයක් වෙන්න තිබුන ...

ඒත්. ...........

ඒකමයි අද වෙලා තියෙන්නෙත් ....
ගාලු මහජන ක්‍රීඩාංගනය ....

ගෝල් ඉන්ටනැෂනල් කරල ....

බන්ධනාගාරෙ වගේ ලොකු ගේට්ටුත් දාල
සිකුරිටි මහත්තුරු  හතර පස් දෙනෙකුත් ඉන්නව
අර මම කලින් කියපු උඹත්  මමත් ඇතුළු මුලු ගාලු ජනතාවම එලියෙන් තියන්න
 සත්තු සෙට් එකත් එක්කම ...

දැනටමත් උන් උඹළ අපිව වෙන්කරල සීසී කඩ යවල ඉවරයි ...
ඉස්සර එකට හිටිය උන් දැන් තැන් තැන් වල ...
එකාට එකා අඳුරන්නෙ නෑ ...
ඉස්සර බෝල ගහපු එකා දැන් කුඩු ගහනව ....

අයි  ඒ  ?   
ඌට යන එන මං නෑ ඒකයි ...

මුළු ගාලු ජනතාවගෙම හදවත ඒ ජනතාවගෙන්ම කොල්ල කාල ...  
      
තූර්ය වාදන ගැටබෙර හඬ මැද්දෙම ඒ කාලකන්ණින්ගෙම තාලෙට ...

අහිංසක උන්ට ජ්‍යාත්තන්තරය පෙන්නල
එකම ක්‍රීඩාවකටම වෙන් කරල ...

කොහොමද එහෙම කරන්නෙ ?????????

මේ කියවන උඹල එකඟ වෙන්නත් පුළුවන් නොවන්නත් පුළුවන් ...
එත් ඉතිං ඔය මට හිතෙන හැටි ...

ඒක නං වෙනස් වෙන්නෙ නෑ මං මැරැවත්.....

අපිත් එක්ක ඔය පිට්ටනියෙ එකටම සෙල්ලම් කරපු මැති ඇමතිවරු
එදත් හිටිය අදත් ඉන්නව හෙටත් ඉඳියි  රාජ සභාවෙ ...

මේ උන්නාන්සෙලටවත් තේරිල
ආයෙත් ගාලු ජනතාවටම ගාලු ජනතාවගෙ හදවත බාරදෙනවනම් ...

මසුරං

සැන් ජෝන්ස් .... රතු කුරැසෙ ..... මක්කටෙයි මං එන්නං
මුවට මුව තියන්න    ෴


Anything you remember about old Galle Esplanade please add as a comment,   
Memories ..........

මේජර් සිල්වා

FB 18.3.17




මේජර් සිල්වා ...
To Me The Greatest ...

ගම අම්බලන්ගොඩ ...
මුළු දකුණටම සුපුරැදු නමක් ...
සිරැරෙන් එතරම් උස මහතත් නෑ ඒත් ක්‍රිකට් පුහුණුකරැවන්  අතර සද්දන්තයෙක්
ආදරණීය ස්වාමිපුරැෂයෙක් පියෙක් සහ අපිට දෙවියෙක් ...

ඔහු මහින්ද විද්‍යාලයේ සිටි මගෙත් මගේ සමකාලීනයන් ගෙත් පූරුවෙ වාසනාව.....
නම් වලින් සඳහන් කරන්න අමාරැයි නම් වැලක්ම තියෙන නිසා  
වචනයේ පරිසමාප්තයෙන්ම ගුරැදෙවියෙක් ...

1972 වසරෙ දවසක ඕල්කොට්  ශාලාව පැත්තක තිබුන පුංචි දැන්වීම් පුවරැව
මගේ මුළු ජීවිතයම වෙනස් කරයි කියල මට තාමත් හිතා ගන්න අමාරැයි ...

මම විතරක්  නෙවි තවත් එවුන් හිටිය මට වඩා ක්‍රිකට් පිටියෙ වැඩ පෙන්වපු  එතනින් පටන්ගෙන
මගේ වාසනාව එවුන්ට වඩා ටිකක් ඉදිරියෙන් එතනයි වෙනස  ...

එදා තමයි මම දැක්කෙ පුංචි කොලේක අත් අකුරෙන් ලියල තිබුන ...
 
"ක්‍රිකට් ක්‍රීඩාවට කැමති ළමුන් පහතින් ඇති පෝරමය පුරවා මාපිය අත්සන සමග 

අහවල් දිනයට කලින් ක්‍රීඩා භාර ආචාර්ය්‍ය වෛද්‍යසේකර මහතාට බාරදෙන්න "  ...

මේ පුංචි දැන්වීම මං වගේ තව දහස් ගනනකගෙ මුළු ජීවිතම වෙනස් කරන්න ඇති ...

මේ පුංචි දැන්වීම නොතිබුනා නම් ???????

අපේ ...
විශේෂයෙන්ම මගේ පටන් ගැන්ම නම් ඔතනයි ...
12න් පහළ වෛද්‍යසේකර සර් හරීම හොඳයි ඒත් වැඩි දෙයක් නං වුනෙ නෑ ...
පහුණුකරැවෙකුට වැඩිය ඔහුට පැවරිල තිබුනෙ ක්‍රීඩා භාර රාජකාරි ...

ඊලඟට විල්සන් කුලසූරිය සර් මගේ පලමු පුහුණුකරු ...
තාක්ෂනික දැනුම අතින් ඉදිරියෙන්ම විනය ඊටත් එහා ...

මාවම කීපාරක් ගෙදර එලවල තියෙනවද  

ටොකු ??????  
සවලෙන් එකයි ...
විල්සන් කුලසූරිය මහත්තයගේ මග පෙන්වීම යටතේ 14න් පහළ ශූරතාවය මුළු දිවයිනෙන්ම මහින්දයට

අවසාන තරඟයට කොළඹ රජකීය විද්‍යාලය ...
එ් කාලෙ රාජකීයයන්
Ajith Devasurendra, Sudath Pasqual, Sonnadhara, Almass Alevi, Delungahawatta, RN Dharmasiri  Jagath Welikala - ජගත් මගේ ඤාතිය ...
මතකෙ ඇති නම් කීපයක්
මුන් පරද්දනව කියන්නෙ අපි වගේ පේදිකුඹුරෙන් බැහැපු කුරැට්ටො ටිකක් ...

එතනින් පසු 16න් පහළ මේජර් සර් යටතේ ...

අපේ මේජර් එක්ක අනිත් මේජර්ල හාවො වගේ ...
අපිට එකාලෙ පෙනුනෙම එහෙමයි සෙල්ලම් බෑ ...

වැහි කාලෙට නිවාඩු  කාලෙට ඩෙස්ක් බංකු අස්කරල පංති කාමර ඇතුලෙ පුහුණුව
ෂෝට් ට්‍රේන් කියල තමයි කියුවෙ නං
බේරැමක් ඇත්තෙම නෑ ...

බැඳල පනහයි ලිහල පනහයි ...

ඒ කියුවෙ පිත්ත පෙර පාදයෙ බැඳල fපෝවඩ් ඩිfපෙන්ස් පනහයි පිත්ත ලිහල පනහයි ...

දෙන්නෙක් බැඩ් පැඩ් ඉන්නව අඟලක් හරි උඩ ගියොත් අල්ලන්න
ඇල්ලුවොාත් එදාට බැටිං අහවරයි ...

අපි පොඩි වංගුවක් හෙම දාල අහුවුනොත් කනේ ලොවි ...
හැමදාම උදේ පංතියට යන්න කලිං පැය භාගයක් බෝලින් ප්‍රැක්ටිස් ...
ලේන්සුව හතරට නවල ඒකට බෝල් කරන්න ඕන ...

එහෙම නැතිනම් රැපියලක් තියනව රැපියලට දැම්මොත් රැපියල අපිට ...

රැපියලෙන් සූරියදීසි එකෙන් රෝස්පාන් එකයි වඩේ එකයි කාල ප්ලේන්ටියකුත් බීල බස් එකේ ගෙදර යන්න පුළුවන් ඉතුරැත් ලැබෙනව ...

පුහුණුවට ආවම නොවරදවාම කළ යුතු ලිස්ට් එකකුත් තිබුන
ඒවනං ඉතිං මස්ට්ම ඩූ තමයි ...

දිනපතා එකෙකුට ස්ලිප් කැච් සීයයි හයි කැච් විසි පහයි ග්‍රවුන්ඩ් fපීල්ඩින් 25 යි ...

කළේ නැතිනම් මලා ජෝන් කියුව ...

පේදිකුඹුර ළඟ කොල්වින් අයිය ස්ලිප් කැච් ගහන්න රැසිය ...
බූච්ච අයිය තමය හයි කැච් ගහන්නෙ තිතට
දෙන්නම දෙන්නෙ බලන් ඉන්න එවුන්ගෙත් අත් ඉදිමෙන්න
අපිත් අඬ අඬ අල්ලනව ඉතිං
එ අස්සෙ පොතක් තියන් අල්ලන ගාන ලකුණු කරනව ...
අල්ලන ඒව විතරයි පොතට යන්නෙ හරියට බැංකුවෙ පාස් පොත වගේ ...

ගෙදර යනකොට අපේ කටු අත් කුෂන් කරල වගේ
කේ එල් එච් අයිස් ක්‍රීම් fපැක්ටරිය තිබුනෙ චීනකොරටුව මැද පාරෙ ...

ගාල්ලෙ ප්‍රැක්ටිස් තිබුන දවසට KLH අයිස් ක්‍රීම් පැට්ටරිය බලාගත්ත සේන අයියගෙන් අවසර අරගෙන
අයිස් පෙට්ටියක අත් දෙක දාගෙන ඉන්නව රිදුම් යන්න ...

සේන අයියත් කූරෙ ගහපු පොප්සිකල් තුනක් දෙනව මටයි තුවාන්ටයි විජේටයි උර උර යන්න ...

මැච් දවසට පෝලිමේ ඉන්දල බලනව කිට් එක
කිරි කොක්කු වගේ ඉන්න ඕන එක අඩුවක් හරි තිබුන නං ඌ බංකුවෙ ...
 
දවසක්  අම්බලන්ගොඩ ගියා ධර්මාශෝක මැච් එකට ...
නලිනය  රැවුල කපල නෑ ...
Nalin Senavirathna
ඇරිය අම්බලන්ගොඩ ටවුමට රැවුල කපන් වරෙන් කියල ...
නලිනයත් හිතෙන් බැන බැන ගිහිං කපාගෙන ආව ...
බෑ කිව්වනං ඌ එදා බංකුවෙ ඉඳන් මැච් බලනව ගහනව වෙනුවට ...

මාවත් ගෙදර යවල ඇති හිසේ කෙස් ගානට
එතකොට මට කෙස් තිබුන ...

ඒ උනාට සර්ට තිබුන උණුවෙන හදවතක් ඒකනෙ එලවපු හැමපාරම දවස් දෙක තුනකට පස්සෙ
ආයි මට කතා කරල ගත්තෙ ...

මං ඉස්සර දඩබ්බරයි නාහෙට අහන් නෑ දැන්නං ඉතිං හරිම අහිංසකයි ...

කොතරම් අහිංසකද කියනවනං කන්නෙත් හා මසුයි බෝ කොළ මැල්ලුමයි විතරමයි  ...

උදේ 5 හට හැතැප්ම ගනන් දුවන්න ඕන මහ පාරෙ සර් එනව බයිසිකලෙන් පිටිපස්සෙන්
ඇරඹුම මේජර් සර්ගෙ ගෙදරින් ...

ඇරඹුමෙදි බිත්තරයයි මාරි විස්කෝතු දෙකයි  ...
බිග් මැච් කාලෙට මස් පෙත්තයි පාන් පෙති දෙකයි ...

ඒක සර්ගෙ නෝන හදල තියෙනව අපි එනකොට ......

මේ ක්‍රියා හැම එකක්ම අපි අවුරැදු ගානක් කරන්න ඇති දිනපතාම වගේ ...
ඒ හැමදාකම මේජර් සර් විතරක් නෙවි ඒ මුළු පවුලම හිටිය අපේ පිටිපස්සෙ හෙවනැල්ල වගේ ...

ඇයි මේ ගුරැවරැන් මේ විදියට කලේ ???
මොකක්ද තිබුන වාසිය ???

කිසිම ආර්ථික වාසියක් තිබුනෙ නෑ
සත පහක් අමතරව ඉපයුවෙ නෑ අතිං කයිට් හැරෙන්න ...

භාරගත්ත රාජකාරිය දේවකාරියක් වගේ කලා අපි ගැනම හිතල ...
අපි හැම එකාම එයාලගෙම දරුවො වගේ දැක්කෙ සැලකුවෙ ...

අපිට හිටිය හැම ගුරුවරයෙකුගෙම විශේෂය එතනයි කැපවීම උපරිමයටත්  එහා ...

මේජර් සර් මුලින්ම දැක්කෙ ...
සුදු කලිසමට අත්දිග සුදු කමිසෙ ඇඳල ටයි පටියක් දාල ඊට උඩින් සුදු කබාය ...
 
සුද්දගෙ ඉංගිරිසි ආණ්ඩුවෙ ඒජන්ත කෙනෙක් වගේ ...

පහුවෙනකොට කෝට් එක ගැලවුනා අනිත් සියල්ලක්ම එහෙමමයි ...
තව කලකින් ටයි එක අතුරැදහන්
සුදු අත්දිග කමිසෙයි සුදු කලිසමයි ...

ඔන්න කාලෙකින් කමිසෙ අත් කොට වුනා
අන්තිමට කමිසෙත් උඩින් දාල යට කරලත් නෑ ...

ඇඳුම වෙනස් වුනාට මේජර් සර් නං කවදාවත් වෙනස් උනෙ නෑ
කොච්චි කරලක සැර උනාට කරුණාව පිරිල ...

හැබැයි අපිට වැඩිය පෙන්නුවෙ නෑ
ඒත් ඉතිං අපට කේන්තියි ඇයි බං අපිව කන්නමනෙ එන්නෙ ...

මායි,තුවානුයි විජේ මල්ලියි කෝච්චියෙ මැච් වලට ගියත්
අපි තුන්දෙනා පෙට්ටි තුනකට තමයි දාන්නෙ
නැතිනම් සර්ගෙ ආසනයට ඉදිරි ආසනයෙ අපිව වාඩි කර ගන්නව ...

ඊට වැඩිය දඬුවමක් තවත් නෑ
ඇයි කොළඹට යනකං සර්ගෙ මූන දිහා බලාගෙන එපැයි යන්න ...

එත් ඉතිං සර්ට හොරා මොනව හරි කරල අපිතුන් දෙනා හිනාවෙනව
සර් දත්මිටි කනව ...

හැබැයි අපියි සර් අතරයි විස්තර කල නොහැකි බැඳීමක් තිබුන .....

අපි කරෙත් අමු චාටර් වැඩම තමයි කියලයි කවුරුත් කියුවෙ ...
ඒත් ඉතිං අපි ඒවයි අවුලක් දැක්කෙ නං නෑ ...

අපි හිතුවෙම අපි තමයි පොරවල් කියල

මොළේ පෑදෙනකොට තේරුනා හැමදෙයක්ම අපි හදන්නනෙ කරන්නෙ කියල ...

මේජ්ර් ගැන කතා ගොඩයි කියන්න වෙලා තමයි නැත්තෙ ...

ඒ දෙවිය හොඳ තැනක ඇති ඇයි හොඳ දේවල්මනෙ කලේ ...

උඩ බැලුවයි කියල අපිට පේන එකක්යැ නිවන් දකිත්වා කියන්නත්
මොකක්ද වගේ ...

ඇයි ආයිත් අපි අතරට ආවොත් තව සෑහෙන ගානක් ගොඩදායි තනියෙන්ම ...

එත් ඉතිං ආයෙත් මේ මඩ ගොහොරැවට ආවොත් ඒ උත්තමය එරෙයි ...
මොකද දැන් ඉන්න වසවර්තියන්ට එවන් උත්තමයන් හොඳ වැඩියි ...

කමක් නෑ අපිට මොනව උනත් ...

ඔබ තුමාට නිවන් සුව ෴


එතුමාගෙ පුත්‍රය අපේ මිත්‍රය ...
Duleep De Silva
1978 මහින්දෙ ක්‍රිකට් නායක
ඔහු යටතෙ මහ තරඟෙ ජය මහින්දෙට ...

මේ උත්තමය ඔබට අමතක වෙන්න බැහැ ...

එහෙමනං පුංචිත්තකට මතකය අවදිකරල මාත් සමග
ඒ මතකය බෙදා ගන්න
මේජර් සර්ට කරන ගෞරවයක් වශයෙන් ඕනෑම භාෂාවකින් ...

ආරාධනා ...

If you remember Major GWS
(Major Silva)
please share your memories
....

Prime



1981 to 1992  was the prime of my cricket ...
I was 19 plus when I left school ...
Thanks to so many great teachers including Major GWS …
I felt like I was ready to face the next chapter in my life ...
A boy from Mahinda College Galle  
Just trying to enjoy life the best way he could
Not knowing whats ahead ...
 
Trust me ...
I never had any intentions or dreams of playing cricket for my country ...
 
Because I was'nt sure  
What was lined up for me tomorrow ...
 
And I had so many other things to worry about ...
 
So I just wanted to enjoy what ever came my way ...
 
Good or Bad ...
 
To me survival was the name of the game  
Just one Breath at a time ...
 
Anything else was a Bonus ...
That’s the reason why I’m still breathing
I have taken many risks ...
 
So is the game I passionately love and cherish all my life ...
 
Which also gave me  
The Life ...
 
Just One Ball at a Time ...
Every Ball I faced ...
Bowled or Fielded ...
I just wanted to enjoy it to the MAX ...
 
Take it as it comes and stay in control ...
Good or Bad ...
Never worry about the next Ball or the Ball just gone pass ...
 
If I survive to face the next ball ...
It's a Bonus .....
If I survive to take another breath ...
That’s even a greater Bonus ...
 
I always wanted a challenge  
No challenge often I failed ...
 
when there was no challenge ...
Maybe I took things for granted  
If you want to get me out early  
Leave me alone ...
 
If you challenge me sledging or with a barricades of bouncers ...
My softness disappears  
And I shall not give up ...
 
Sometimes I won ...
Sometimes I lost .....
That is the name of the game ...
 
It is all between the Bat n Ball ...
Not Me and You  
Still the same  
Haven't changed much ...
 
I had a struggle  
A big-time struggle ...
From Galle to Colombo
Not known where to go and what to do ...
 
Life was hard at home too ...
Since I lost my father at the age of 13 ...
My beautiful mother ...
Left with 5 kids to feed and educate ...
A huge challenge for a village woman who has  
No Job ...
No Savings ...
No Insurance ...
No Social Security ...
Which is very very common in Sri Lanka ...
So I am used to a hard life ...
 
But this is different  
I was in a place where there is full of strangers ...
 
Not knowing what they want ...
What their next move would be ...
Not even knew what my next move was
And what I really wanted ...
 
I was Just watching and trying to understand ...
At the same time fighting my own issues ...
 
Cricket was the same  
From School Cricket  straight to division one Cricket ...
Division one cricket was so tuff those days ...
 
Since there was no international cricket like now a days ...
All the top players played every single game ...
So every game you play you are up against top class players ...
If you play a top club that could mean you are playing  
against half the Sri Lankan team ...
 
That was the standard then ...
Only 12 Clubs played in the top league ...
 
132 top Players ...
out of them 25 to 30 players from the national pool
and the rest knocking on the door ...
 
Without skills, you wouldn’t survive ...
God knows how many now ...
 
They introduce more clubs to get the VOTES
So the bloody administrators can stay in power for longer
Thanks to the votes from their friendly YES Men ...
That’s one of the main reasons why …
Sri Lanka have a huge gap  between domestic and international ...
 
Mind you ...
In the past we had school cricketers walked in to the national team ...
That was the standard we had ...
 
I was lucky to get a great club to start with ...
Tamil Union Cricket & Athletic Club ...
 
The Colombo Oval  
P Saravanamuttu Stadium …
Where Sri Lanka played its First Ever Test Match from 17th to 21st February 1982 ...
 
Somasundaram Skandakumar .....
Now the Sri Lankan ambassador to Australia ...
 
Also, a great mature captain
A Real Gentleman ...
His guidance was priceless to many young cricketers ...
Specially to me a kid who grew up without a father ...
He was a father brother skipper and a true friend ...
 
I have another father figure My brother AJ ...
will get to him later
"Skanda" as we always call him ...
Was my general manager too  
My first Job was at George Stuart & Company as an Imports Clerk ...
 
Being the General Manager
Skanda still comes and pick me up from my department and take me for training ...
Train with me and drop me home with so many other players who didn’t have transport ...
 
Mind you we did not live close to each other ...
He sometimes drives for hours to drop each one us at our door steps and then goes home …
 
After training his little Austin was always packed …
 
Not only that …
He often fed all of us after training too ...
We didn’t have much access to good food cause we mostly had takeaway ...
Such a humble and thoughtful Gentleman ...
 
Nothing came easy my friend N-o-t-h-i-n-g ...
 
Not only for me …  
There were many other top cricketers who were in the same boat with me ...
 
THIS IS TO YOU ...
 
All you gentlemen were good enough to play in the highest league
Or should have got more internationals under your belts ...
 
But dirty Politics in Sri Lankan Cricket Kept you away from it …
You gentlemen haven’t done anything wrong except for scoring loads of runs ...
taking too many wickets or both ...
I know you are out there I can even see some faces while I’m writing now ...
 
Sorry for not mentioning any names cause I don’t want to miss any ...
most of you are in my friend list ...
 
But you can walk on the streets any time with your heads high ...
I loved your do or die attitudes and did enjoy playing with you or against you …
Cause you played the game hard and fair with lots of flair ...
 
You were the bunch who played the game for love and passion ...
but not for money ...
 
We built our life long friendships on trust and respect ...
Hats off to each one of you out there ...
You Got My Highest Regards ...
 
R-E-S-P-E-C-T

පිටියි පොලුයි

එකෙක් පිටියි පොලුයි වතුරයි ලුනුයි කවලම් කරල මම ආප්ප කෑව කියනව ...

අනෙකා පිටියි පොලුයි වතුරයි ලුනුයි කවලම් කරල මම රොටි කෑව කියනව ...

තවෙකෙක් පිටියි පොලුයි වතුරයි ලුනුයි කවලම් කරල මම පිට්ටු කෑව කියනව ...

අන්තිමට මේ ඔක්කොම මක්කැයි බං කාල තියෙන්නෙ ??????

සරල වුනාට ඉතාමත් ගැඹුරැ ධර්මයක් අන්තර් ගත වෙලා තියෙනව මෙතන ...

හිතනවනම් පටිච්ච සමුප්පාදයට යනකම්ම හිතන්න පුළුවන් ...

මම ඕක ඇහැව්වෙ මාන්කඩවල සුදස්සන හාමුදුරැවන්ගෙ බණ පදේක ෴

පොඩ්ඩක් හිතල බලාපල්ල ...

හැමදාම කියන්න වගෙ ඔලුව තියෙන්නෙ
පනාව අරගෙන කොන්ඩෙ පීරන්න විතරක් නෙවි බං ...

*****

Wednesday, May 13, 2020

එක යායක් ......



 
  
                                                                                                            

   ඒ කියන්නෙ අපේ ලකිය ...
   පන්තියෙ එකට හිටපු මිත්‍රයෙක් ...
දිවි ගෙවීම එංගලන්තෙ ...
දාෙස්තර උනාට ඌ අපිට සැලකුවෙ නම් නිකං අපි දාෙස්තරල වගේ
සැප කපල එකයි ...

2017 මාර්තු 11 ලකියගෙ දුවගෙ වෙඩිම ...

එකම පාසැලේ එකම පන්තියේ හිටිය අපි සැමට ඇරයුම ...

හුඟක් එවුන් පහළ බාළාංශෙයේ සිට එකට ...
පනස් පහේ කොල්ලො තිහක් එකම පන්තියෙන්
උනුන්ගෙ ප්‍රියම්බිකාවනුත් සමගම ...

දුව නං පුංචි බෝනික්කියක්
කිරි ගරැඬ රූපෙ ...

එතකොට වෙඩිම ...

ඉන්ටනැෂනල් ...

ඒ කියුවෙ නෝන හලීනා
පෝලන්තයෙන් ...
අපේ ලකිය
ඒකා ඉතිං කිතුලම්පිටියෙන් ...

දුව ගයානි ඔය දෙකේම එකතුව  ඒ කියන්නෙ පෝලම්පිටියෙන් ...
බෑණා බිනා(ර්) ඉන්දියාවෙන් ...
ඒ උනාට කෝලිය වගේ නෙවෙයි හොඳට හැදිච්ච එකෙක් ...
අපි ටික ලකියගෙ පන්තියෙන්
මරැ නේද ෆුල් ඉන්ටනැෂනල් !!!!!!

කසාදය රටවල් හතරක එකතුවක් ...
අපිටත් ඉන්ටනැෂනල් නෑදෑයො රොත්තක් ...

ලෝකයම තනි යායක් ...
පාට පාට මල් පීදුනු එකම බිම් තීරැවක් ...
කෙතරම් සුන්දරද ...

එසේමයි විය යුත්තෙත් ...

හරියට සනත් අයියගෙ සින්දුවක මුල් පද පේලිය වගේ ...

එක යායක මල් පීදුනු බිම් තීරේ ...





















Friday, May 1, 2020

මං පෝසත්


81කේ මගේ පඩිය 400 යි ...
එතනින් 80ක් ටැක්ස් ...
බස් සීසන් ටිකට් එක 63 යි
බෝඩිමට 125 යි අම්මට ගමට 75 යි ...
ඒකෙනුත් තැපැල් කන්තෝරැවෙන් ගානක් කපා ගන්නව ...

ඉතිරිය මට ...

සීසන් එක වලංගු නැති තැන් වලට පයින් යනව ....

සමහර වෙලාවට පාමංකඩ ඉඳල තිඹිරිගස්යායෙ මමාගෙ ගෙදරටම ...

ඒ ඉතිං කටට රහට වේලක් කන්න ...

නැතිනම් සිසිර අයියගෙ දඬුමොනරෙ පිටිපස්සෙ එල්ලිල
යනව අැතුල් කෝට්ටෙ සිසිර අයියගෙ ගෙදර ...

හිත හොඳ මිත්‍රය අපිව දාල ගියා කලින්ම නිවනටම වෙන්න ඕන ...

පඩි දවසට නුගේගොඩ ටොප් ෆෝම් එකෙන් බුරියානි එකකට වග කියනව ...

දැනටත් ලංකාවට ගියාම එකනං අමතක කරන්නෙ නෑ ...

පහුගිය වතාවෙත් ගියා දවස් දෙකක් ධම්මික මල්ලි එක්කයි දීපාලයයි එක්ක
දීපාලයා කිවුවේ දීපාල් මදුරප්පෙරුම ...

සමහර දවසට IPB සෝමෙ අයියත් එක්ක
ජුබිලි කනුවෙන් ආප්පයි ලුණු මිරිසුයි කාල ප්ල්න්ටියකුත් බීල
පයින්ම ගෙදර යනව ....

සෝමෙ අයියට බිල මගේ පොකට් එක හිස් නිසා ...
ඒ උත්තමයත් අපි දාල ගියා ... හිත හොඳ මුනිය ...

ඒකයි උත්තමය කිව්වෙ ඔබට නිවන් සුව ...

ඒ වුනාට මං පෝසත්

මෙය 2017.02. 18 දින මුහුණුපොතෙහි තබන ලද සටහනකි.  

Thursday, April 23, 2020

ලියන්නෙක් නොවේ ...


මම ලියන්නෙක් නොවෙමි  ...

දෑතේ මහන්සියෙන් දරු පවුලත් රැකගෙන
ඇති හැටියෙන් නැති බැරි එකෙකුට උදව්වක්ද කරගෙන
ඉඩ ලද විටෙක සුන්දර කලාවේ සෞන්දර්යයන් විඳිමින්ද
පන්දුව සමග බෑට් පිත්ත හතර අතට වනමින්ද
දිවිගෙවනා සොමිබර පොරකි ...

මොකා අකමැති වූවත් එයට මා ඉතා කැමැතිය ...

මා ලියන්නෙක් නොවන හෙයින්
සාහිත්‍යවේදියෙක්ට හෝ ප්‍රශස්ථ ලේඛකයෙකුට
මා ඔලමොට්ටලයකු සේ පෙනිය හැක ...

ඒත් හත්තිලව්වෙ
ඒ ඇත්තන්ට බොහෝ ඇසූ පිරෑ තැන් ඇතියි කියා මං මක් කරන්නෙ ...

උක්ත ආක්‍යාත සන්ධි විසන්ධි විභක්ති ක්‍රියාපද ...
නාමපද ව්‍යාකරණ පාලි සංස්කෘත ඔවුනට අවශ්‍ය අඩුම කුඩුමය ...

මට අවශ්‍ය
මේ  කුණු කය පරල වීමට පෙර ඇන්ඩ්‍රොයිඩයෙ ඇති සීමිත අකුරු පෙළෙන් ...
මාගේ  අත් දැකීම් හැකි පමණින් ඔබ හා බෙදාගැනීමය ...

අත්දැකීමකට හැඩයක් ලබාදීමත් කලාවකි කියා
කොහේදෝ තිබුනා මටත් මතකය ...

මාද මේ වලිකන්නේ
මාගෙ ඒ අත්‍දැකීම් මගේම හැඩයෙන්
තමුන්‍නැහෙලා සමග බෙදාගැනීමටය ...

ඒත් ඉතිං
මගේ හැඩතල නුඹළාට අල්ලයිද කියා මා නොදනිමි ...

මා ලිවීමේදී උඹ බං බොලං උන් මුන් එවුන් කියා අමතන්නේ
අධිමානයකින් නම් නොවේ ...

මා එසේ අමතන්නේ නුඹලාට බොක්කෙන්ම උතුරා එන ලෙන්ගතුකම නිසාමය
ඔය ගමේ මට පුරැදු බසාවය ...

මෙහි සටහන් තබන තීරු තීරු ලිපි වලින්
මා බලාපොරොත්තුවන එකම ලාභය
මාගේ අත්දැකීම් ඔබ සමග බෙදාගැනිමෙන් ලබන අපමණ සතුටය ...

ඔබ සැම අප වැනි උන් නිතරම දැක ඇත්තේ
ජැන්ඩියට ඇඳ පැලඳ ඉහළ පැළැතියේ යයි නන් දොඩවමින්
පහළ පැළැන්තියේ අය සමග නිතරම ගැවසෙමින් බාල් නටන ...

නැතිනම් කිරි කොක්කුන්සේ සුදු කිට දාගෙන
බොහෝම විසිතුරු ක්‍රීඩා පිටි මැද වාත්තු කලා මෙන්
කැටයම් සමග ශිල්පද දමමින් දුවමින් පනිමින් පෙරලෙමින්
බල්ටි දමන මාර මැජික් පොරවල් ලෙසටය ...

ඔබ අප ගැන එසේ සිතූවද ...
ඇත්තම ට්‍රෘත් එක නම් අපද ඔබ සැම සේම
බො.. හෝ..ඕ..ඕ.. ඕ..ම.. සාමාන්‍ය මිනිසුන්ය ...

ඉහත කියූ මැජික් සියල්ලක්ම හයේ සීමාව ඇතුලත
නැතිනම් රූප පෙට්ටිය ඇතුලත පමනමය ..

හැබැයි රත්තරනේ
තිරය පිටුපස සීන් එක නම් ඊට හාත් පසින් වෙනස්ය ...

අට ලෝ දහම හැම එකාටම පොදුය ...

නොයෙක් තරාතිරම් වල මිතුරන් නෑසියන් හා
විශේෂයෙන්ම පහළ බාලාංශයෙ සිට මා සමග සිටි පාසැල් සගයන්
මුනගැසුනු වෙලාවට නගන කෝටි එකහමාරක් ප්‍රශ්ණ වලට
පොදුවේ පිළිතුරු තැබීමට ගන්නා උත්සාහයකි මේ ...

මෙහි සටහන් තැබීමෙන්
කිසිම පුද්ගලයෙකුට අපහාස උපහාස කිරීමට
මට කිසිම අවශ්‍යතාවයක් නොමැත ...

මේ බෙදාගන්නා මතකයන්
තනිකරම මාගේ අමුම අමු අත්දැකීම් හෝ ...
මා සියැසින් ඇසූ දුටුදේය ...

උපන්දා සිට අද වන තෙක්
ඉතාමත් සුන්දර මිනිසුන් මා ඇසුරු කර ඇත්තෙමි ...

බාහිර ලෝකයේ සම්මතයයි කියනා
මිනුම් දණ්ඩෙන් මැන අසුන්දර යයි ලංසු තබනා
මිනිසුන්ද මා ආශ්‍රය කර ඇත්තේ නමුදු ...
ඒ මිනිසුන් තුලද ඉතාමත් සුන්දර පැතිකඩක් මා නිතරම දුටිමි ...

එදා සිට අද දක්වා මුන ගැසුන
ඒ අපූරු මිනිසුන් සුන්දර සිදුවීම් විශ්මිත කියුම් කෙරුම්
කඳුල සිනහව මේ කතන්දර ඇතුලේ හිඳීවි ...

මට හිතෙනවා
ඒ අතීත සැමරුම් මාවතේ සැරිසරන අපිට ...
අපිම හෙලූ කඳුල සිනහව තුලින්
ජීවිතය ගැන අළුතින් යමක් හිතන්නට හැකිවේය කියා ...

ජීවිතයට තවත් ආදරය කරන්නට පුළුවන් වේය කියා ...

රසත් නීරසය නීරසත් රසයයි සිතා ...

මේ බ්ලොග් පිටුව
තමුන්නැහේලට ඇහැක්  විදියට එන්ජෝයි කරන සේක්වා ...


මේ ඔබ සැමට ආදරය කරන ...

අයිස්මෝල හන්දියේ අතුලයා
...

Saturday, April 11, 2020

තුන්මසත් එනෝ ...


සදාදර මනෝ

නොකියාම යනෝ

බක්මහද එනෝ 

තුන්මහක් යනෝ

අවුරුදුත් එනෝ

මතකයන් පිරෙනෝ 

පාළුවක් දැනෙනෝ

කඳුළුබිඳු ගලනෝ ...

බණක් කියවෙනෝ

දන්පිඬක් පිළිගැනෙනෝ

රත්තරන් මනෝ

නිවන්සුව පතනෝ ...

*****

Sunday, April 5, 2020

කුළුඳුළ ...



83නේ මගෙ රුකියාව කොලොන්නාව පිරිපහදුවෙ ...
අසූදෙකේ සැප්තැම්බර් පළවෙනිද ඉඳල තමයි පත්වීමේ ලිපිය ...
ඒ කාලෙ ඛනිජ තෙල් සංස්ථාව යූඑන්පී ගුහාවක් ...
එහෙම තමයි ඒව ...
උන් එනකොට උන්ගෙ එවුන් දානව මුන් එනකොට මුන්ගෙ එවුන් දානව ...
ආයතනෙ අවශ්‍යතාවයට නෙවි සේවකයො ගන්නෙ දේසපාලුවන්ගෙ අවශ්‍යතාවයට මිසක් ...
මට ඒවයෙ ප්‍රශ්නයක් නෑ පක්ෂයක් නැති නිසා ...
මං ඒ උනාට කැපුවත් කෑල්ලෙන් කෑල්ල ගියත් යූ එන් පී වගේ හිටිය
නැතිනං එතන ඉහ ගහල ඉන්නව බොරු ...
ඒ කාලෙ පිළියන්දල පදිංචි එවුන් හමුවෙන්න යන හැමෝම යන්නෙ සංස්ථාවට ...
ඇයි බං පිළියන්දල ජනගහනය සංස්ථාවෙනෙ පදිංචිය පඩිත්‍ සමග ...
පිළියන්දල තිබුනෙ කොලොන්නාවෙ කියුවත් ඒකෙ වැරුද්දක් නෑ
අද කොයි පළාතෙ එවුන්ද දන්නෑ ඉන්නෙ ...
මම හිටියෙ තොග චලන පාළන අංශෙ ඒ කියුවෙ Stcok Loss Control Unit ...
ක්‍රිකට් ගහපු එවුන්ගෙන් දීපාලයයි මමයි රොෂානයයි
දීපාල් මදුරප්පෙරුම , රොෂාන් ගුණරත්න ...
තවත් නොක්‍රිකට් සගයන් සගියන් කිහිප දෙනෙකුයි මගේම අංශයෙ ...
බොසා නිමල් අබේසේකර බ්ලැක් ඇමරිකන්
හැමදාම අපිට අවවාද අනුශාසනා කෝටියයි ...
ඒව ඇහුවනං අද අපි ලෝක පාළණ දෙවියො වෙල ...
නිමල් බොස් රත්තරං මනුස්සය ...
හිටපු නාලන්දෙ කැප්ටන් රෝෂානය දැන් අපි අතර නෑ  
ඔස්ට්‍රේලියාව සමග අස්ගිරියෙ ටෙස්ට් එකකුත් ගැහුවා රයිට් ආම් ලෙග්ස්පින්
හිත හොඳ මිත්‍රයා සමුගෙන ගියා සදහටම ...
නිවන් සුව ...
කැන්ටිම තියෙන්නෙ සංස්ථාව පිටිපස්සෙ
අපි සෙට් වෙන්නෙ ඔතන උදේ ආහාරයට ...
දවල් බත් එක රුපියල් 2යි සත 50යි
හැබැයි උයන එකාවත් කෑවෙ නෑ ඒකනං ...
ඒ උනාට ඉතිං අපිට ස්පෙෂල් පාරක් එනව ඇඟට පතට නොදැනීම බැදපු මාළුත් සමග ...
ඔන්න ඔවැනි දවසක උදේ අපි සියළු දෙනාම එකතුවෙල ඉඳියප්පයි සම්බෝලයි මාළු නැති හොදියි කන වෙලාවක තමයි මේ ආරංචිය දීපාලය ගෙනාවෙ ...
 ඌ විතරයි අපේ කල්ලියෙ පත්තර කියවන එකෙකුට හිටියෙ මයෙ හිතේ ...
පාන්දර දීපාලයගෙ හිනාව කට කනේ
රතුපාට ෆුල් ෆේස් හෙල්මට් එක වැලමිටේ දාගෙන ...
"මචං අන්න උඹ වර්ල්ඩ් කප් යන්න තේරිල
උදේ පත්තරේ තිබුන ...
අනේ මේ ...
පිස්සු කෙලින්‍ නැතිව ඇවිල්ල ඉඳියප්පමක් කාහං බං හුළඟෙ යන්‍න කලින්
මුං අපිව යවයි වර්ල්ඩ් කප්ම ...
අම්මපා ඔව් බං උඹ යනව හිටහං මං පත්තරයක් ගෙනත් දෙන්න ...
දිනමිණ ...
අප්පට සිරි ඇත්ත නේන්නම් මාර අප්සෙට් එක නේ බං ...
යකෝ මට බඩුත් නෑ ක්ලබ් එකෙන් හරි සංස්ථාවෙන් හරි ලෝන් එකක් ගහන්න තමයි වෙන්නෙ ...
ඔන්න ඔහොමයි මගෙ කුළුඳුල් සංචාරය
83 ලෝක කුසළානෙට එංගලන්තෙ යනව කියල දැන ගත්තෙ ...
නැතිනම් මණ්ඩලේ ටයි කෝට් දාපු එකෙක් ඇවිල්ල අතට අත දීල සුභ පතල ආශීර්වාද ...
ම්ම්ම්හු ........
වර්ල්ඩ් කප් එකකට තේරෙනව කියන්නෙ ලේසිපාසු දෙයක්ද බං
මිලියන විසි එකකින්ම දාහතරයිනෙ ...
ඉතිං ඒක කියන්න විදියක් තියෙනවනෙ බං යන එවුන්ට ටිකක් ඇඟට දැනෙන්න ...
උන් දන්‍නවයෙ බං මැනර්ස් උන් දන්නවයෙ බං මෝටිවේෂන්
උන් දන්නවයෙ බං ක්‍රම සහ විධි
ඒ කාලෙත් සමහර උන් දැනගෙන හිටියෙ තමන්ගෙ ගොට්ට ගහ ගන්න ක්‍රමේ විතරයි ...

මං සාමාන්‍යයෙන් ගොඩාක්ම සන්තෝසවෙන එකෙකුත් ගොඩාක්ම දුක්වෙන එකෙකුත් නෙවෙයි ...
හීන් සන්තෝසයක් ඇතිවුනත් මට ඒක මහ ලොකු දෙයක් කියල 
ඒ වෙලාවෙ පෙනුනෙත් නැහැ ...
ඒ කාලෙ අපි වගේ එකෙක් කණ්ඩායමට තේරුනා කියන්නෙ
අපි අපිටම නැති ප්‍රශ්න ඇති වීමක් ...
ඇයි බං සූට් කේස් එකේ මේස් දෙකේ ඉඳල හොයන්න එපැයි ...
අපි ඩී එස් අයි බෑග් එකේ එහෙම නැතිනම් බුරුම බෑග් එකේ ඇඳුම් දෙකක් දාගෙන ෆුට් බෝඩ් එකේ ගාලු කොළඹ ගිය එවුන්නෙ ...
ඒකාලෙ අපෙ මුලු සේසතම තිබුනෙ ඔය බුරුම බෑග් එකේ ...
ඒ කාලෙ සිලිසිලි බෑග් තිබුනෙත් නෑ ...
ඉතිං ඔය වගේ එකකට තේරුනහම දහ අතේ ණය වෙන්න ඕනෙ අවශ්‍ය බඩු ටික ගන්න ...
මොකෝ මණ්ඩලෙන් කියල මක්කවත් දෙනවයැ ...
පස්සෙ ආරංචි උන විදියට අපිව තෝරල තියෙන්නෙත් උන් නෙවි ...
සෝබර්ස් ශ්‍රීමතානන් තමයි අපිව ඕනැයි කියල තේරුම් කමිටුවට දැනුම් දීල තියෙන්නෙ
අපිටත් ටිකක් ඉතිං ආඩම්බරයි ...
ඇයි බං සර් ගාෆීල්ඩ් සෝබර්ස්ම අපිව ඉල්ලනව කියන්නෙ ...
උන්නාන්සෙ විශේෂ මක්‍කවත් දකින්න ඇතිනෙ බං අපෙ ...
83නේ අපේ පුහුණුකරු සෝබර්ස් ...
සෝබර්ස් කියුවට මේ ගාල්ලෙ අළුත් මාරකට් එකෙ සිල්ලර කඩේ අපෙ ගමේ ඉස්කෝලෙ 
සෝබර්ස් අයිය නෙවි හොඳේ
වරද්ද ගන්න හෙම එපා ඕං ...
මං කියන්නෙ ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් උතුමානන් ...
මහ රුජිනම තමයි ගාෆීල්ඩ් සෝබර්ස්ව ශ්‍රීමත් කලෙ
ක්‍රීඩාවට කරපු සේවාවට ...
අපි කිව්වම බ්රෙන්ඩ මම ග්‍රැන්විල් සුසිල් ජෝනා ...
අපි දැම්මට මහ තැන්වලින් ඔබ්ජෙක්ෂන් කෝටියයිලු
හැබැයි සෝබ නෙවෙයි පල්ලම් බැස්සෙ ...
Brendon Kuruppu. Vinothen John Granville De Silva Susil Fernando
ටුවර් එක යන්න කලින් දවසෙ හැන්දෑවෙ අපි හතර පස් දෙනාට
හොණ්ඩර ගානට fපීල්ඩිං එන් සී සී එකේ ...
කළුවරේ හය හමාරටත් මේකා ගහනව බෝලෙ තිතට ...
ෆීල්ඩින් නම් ටීම් එකටම ෆීල්ඩින්නෙ බං
මෙතන ඉතිං අපි හතර පහ විතරයි අනෙක් එවුන් කවුරුවත් නෑ
බාගයක් එන්සීසිය උඩ ඉඳන් බලාගෙන
සමහර එවුන් දැනටමත් ගෙවල්වල ගිහින් ...
කාගෙන ඇල්ලුව අවසාන රාත්‍රියනෙ කියල ...
අපි කාගෙ හරි එකෙක්ගෙ ඇඟිල්ලක් කඩන්නමයි එදා ඒකා හැදුවෙ ...
මොකද උන්ට වෙන ගෙනියන්න උන් හිටිය අපිව හලල ...
ඒත් උන්ට අපිව හලන්න බෑ සෝබර්ස් නිසා ...
හලනවනං හේතුව ස්වාභාවිකම විය යුතුයි ...
ඒකයි කොහොම හරි අතක් පයක් ඇටයක් කඩන්න බැලුවෙ ...
මේ යකා ඊයෙ පෙරේද වෙනකන්ම හිටිය මැනේජර් කෙනෙක් වෙල .....
ඒ උනාට ඒකාගෙන් බේරිල 83නේ ලෝක කුසලානෙට අපි එංගලන්තෙ ගියා හැබැයි ඒකා හැලුන ...
ඕක තමයි අපිට හැමදාම තිබුන ප්‍රශ්නෙ ...
තේරෙනකන් ෂුවර් නෑ
තේරුනත් යනකං ෂුවර් නෑ
ගියත් ගහයිද ෂුවර් නෑ
ගැහුවත් ඊළඟ එකේ දායිද ෂුවර් නෑ
කොයි වෙලේ එලියට දායිද ෂුවර් නෑ ...
ඇක්සිඩන්ට් වෝ(ර්)ඩ් එකෙන් නවත්වයිද ෂුවර් නෑ...
ගියත් එනකන් ෂුවර් නෑ ...
ආවොත් ඊළඟ එක යවයිද ෂුවර් නෑ ...
ෂුවර් ඇතත් ෂුවර් නෑ ෂුවර් නැතත් ෂුවර් නෑ 
අපිට උන්ව ෂුවර් නෑ උන්ට අපිව ෂුවර් නෑ ...
 
අන්තිමට අපිට අපිවත් ෂුවර් නෑ ...