කියවූ තරම්

Saturday, October 17, 2020

ෆෝමල්


22.9.17 FB


මගෙ ලොකු කොලුවට අද ඉස්කෝලෙ ෆෝමල් එකලු
එහෙම තමයි මෙහේ ඔහේ වගේ නෙවේ ...

මේ අවුරුද්දෙන් ඉස්කෝලෙ ගමන අහවරයි
ඒකෙ සන්තෝසෙට වෙන්ටැ ....

හැබැයි උන්ට තාම වැටහෙන්නෙ නෑ
ඔතනින් පස්සෙයි නියම වැඩ පටන් ගන්නෙ කියල
ඒත් ඉතිං සූට් බූට් ගහල කොණ්ඩ නැවුම් කට් හදාගෙන
මහා නගරෙ මහා හෝටලේක ලිමොසින් එකෙන් ගොහිං එක විකාරයයි
දෙමාපියන්ට ගානකට තට්ටුවෙන වැඩක් ...


ඇයි බං මුන්ට යට ඇඳුමෙ ඉඳල අළුතෙන් ගන්න එපැයි ...

*****

අන්න ඒකට අපෙ ෆෝමල් ....

අන්තිම දවසෙ විභාගෙ ඉවරවෙල කෙලින්ම ගියෙ සූරිආරච්චියගෙ ගෙදර ....
උගෙ ගේ පිටි පස්සෙ ගිං ගඟේ අත්තක් ....
ඒකෙ පැනල හිතේ හැටියට නාල එගොඩ මෙගොඩ පැදල
උංගෙම ගස් වලින් කුරුම්බත් කඩාගෙන බීල ....

සූරිආරච්චියගෙ අම්ම
වත්තෙන්ම උදුරල අරගෙන උණු උණුවෙම තම්බල දීපු
මඤ්ඤොක්කා හට්ටියෙනුයි කොච්චි මිරිස් සම්බෝලෙනුයි සප්‍පායමි වෙල
සූරිආරච්‍චියගෙ තාත්ත ගහෙන් බාල තිබුන තෙලිජ්ජ හට්ටියටත් වග කියල 

පයින්ම ගෙදර ආව කිලෝ මීටර හත අටක්
ලංගමෙන් අපේ චෙක් බාරගන්නෙ නැති නිසා ....

ඔය ඉස්ටාර්ට් එක ....

*****

එතකොට එන්ඩ් එක ...

එදාම රෑ ...

චූටියි මමයි ගුරුගේයි ප්‍රින්ස් එකේ ගැලරියෙ සත පනස් පහට
නවයයි තිහ චිත්‍රපටියක් බලල

ඉවරවෙල එන ගමන්
කැනල් පාර කොනේ පාළම යට තුංමං හන්දියෙ
ගමේ තොවිලයක් ඉවරවෙල ගෙනත් දාල තිබුන
පිදේනි තටුවෙ පුළුටු ටිකත් පාළම යටම තියාගෙන බෙදාගෙන කාල ...

පිදේනි තටුවෙ උඩින්ම තිබුන ඇස්ස කපපු තැඹිලි ගෙඩියත්
බෙදාගෙන බීල ...
 
රෑ දොලහට විතර ගෙදර ආව මතකයි ...

අද වෙනකං ඉහෙන් බහින ලෙඩක් නෑ

ඕං අපෙ ෆෝමල් ....

*****

සැලකිය යුතුයි :

ගමේ තොවිල් පවිල් තිබුනහම පිදේනි තටු ගෙනත් දාන්නෙ
ඔය තුංමං හන්දියට තමයි ...

තුංමං හන්දිය අයිනෙම ඇල
ඇලට අනික් පැත්තෙන් කෝච්චි පාර
කෝච්චි පාරට උඩින් මගී පාළම ...

ඔය තුංමං හන්දිය පලාතෙ කව්රුත් වැඩිය යන්නෙ නෑ රෑට
පිදේනි කන්න යක්කු පෙරේතයො එනව කියල ...

ඇයි ගිය එකාට පිදේනි කන්න එන යකෙක් ගැහුවොත් ...

ඉතිං තුංමං හන්දිය පාළුම පාළුයි
හන්දිය අයිනෙ තිබුන වීදි ලාම්පුව විතරයි
ඒකත් මක්කවත් නැතිවට හොඳයි ...

පිදේනි තටුවෙ බැදපු මස් ජාති තමයි වැඩියෙන් තියෙන්නෙ
ඇට්ටෝම් පිඟානක් වගෙ තමයි කෑම පුරවල කිරි පැණි සමග ....

තොවිලෙ කරපු එවුන්ටත් දේ ඇවිල්ල තටුව බැලුවම සන්තෝස ඇති ....

ඇයි පස් පාටින් තියපු මල් ටිකයි
හඳුන් කූරු ටිකයි විතරයි ඉතුරු ....

පිදේනි ටික මල පෙරේතයො කාල ගිහිල්ලනෙ ...

*****

No comments:

Post a Comment