කියවූ තරම්

Sunday, June 28, 2026

පන්සලේ දේවාල හැදුනා
සඳුන් දුම්මල දුමක් නැගුණා
දෙස් දෙවොල් කන්නලව් පිරුනා
කෝටි තිස්තුන් දෙවුන් පිදුනා ...

කෝටි ගනනින් කැටය පිරුනා 
බුද්ධ පිළිමෙත් රනින් කෙරුනා
වමෙන් දන් දී දකුණෙන් ඇදුනා
බුදුන් දෙසූ මග කැලේ වැදුනා  ...

බෝ මළුව කිරි වලින් පෙඟුනා 
පොඩි උන්ට කිරි නැතුව හැඬුනා
සාධු නාදෙන් දෙලෝ පිරුනා
සිතේ බුදු ගුණ අඩුය පෙනුනා ...

මග්ග ඵල වාරිකෙට විකුනා
බණක් ඇහුමට මිලක් වැටුනා 
නිවන් මගෙ සිතියමුත් ඇඳුනා
රහත් බව පැකේජයක් කෙරුනා ...

දැම්ම බැනරයෙ නමක් ඇඳුනා
පිනක් කෙරුවැයි බුකියෙ වැටුනා
දැන් නිවන් යයි උන්ට හිතුනා
නිවන් වෙනුවට ලයික් ලැබුනා ...

දන්සැලෙන් මහ නාද නැගුනා
බලෙන් නවතා බලෙන් දුන්නා
මෙත් මුදිතා කරුණාව බිඳුනා ...
ගත්තු සීලයෙ සෙල්ෆි වැටුනා

හිච්චි බණ පොත් යටින් තිබුනා
මහා බණ පොත් උඩින් තිබුනා
සාමණේරට කඳුළු ඉනුණා
මහා එකාගේ සීලේ බිඳුණා ...

බොරුව පෙන්වා උන්ම රැකුණා
චීවරය උන් මැදට දැම්මා
සත්‍ය කහ සළුවෙන්ම වැසුනා
උතුම් ධර්මය දැම්මා විකුණා ...


~ අයිස්මෝල හන්දියේ අතුලයා ~



Thursday, June 25, 2026

කට්ට ...



විටෙක ජීවිතය සුන්දරය
විටෙක මහා කටුකය ...

ආපිට හැරී ජීවිතයට එබී බැලූ කල 
සුන්දරත්වයට වඩා 
කටුකත්වය ඉදිරියෙන් සිටිනු පෙනේ  ...

ඒ මන්ද ...
ජීවිතයේ සුන්දරත්වය අත්විඳීමටද
සෑහෙන කට්ටක් කෑ යුතු බැවිනි ...

කට්ටක් නොකෑ සුන්දරත්වක් 
මේ මුළු ගැලැක්සියේම නැත ...

රජෙකුට වුවද ඒ යථාර්ථයෙන් 
කෙසේවත් මිදිය නොහැක  ...

අපි සාමාන්‍ය මිනිසුන් සාමාන්‍ය කටු කන විට
රජා කන්නේ රජ කටුය ...

අපි සාමාන්‍ය කට්ටක් කා 
සාමාන්‍ය ලෙස විඳවන විට ...

රජා රජ කටු කා දිරවාගත නොහැකිව 
ආතක් පාතක් නොමැතිව අතරමංව සිටී ...

කට්ට කෑම සැමට පොදු වූවද 
විඳවීමේ බර තරාතිරම අනුව වෙනස් වේ ...

ඉහළට නැඟෙන තරමටම ඔටුන්නද බරය
කටුවද ගැඹුරට ඇනෙයි ...

එබැවින් රජෙකුට වූවද 
කට්ටෙන් තොර ජීවිතයක් නැත ...

මන්ද රජ කට්ට ලෙහෙසියෙන් දිරවන්නේ නැති බැවිනි ...

අපි කන කට්ට අපිට දිරවන්නේය 
වමාරන්නේ නැත ...

එහෙත් රජුන් කන කට්ට 
මුළු රජ පෙළපතමද ඇමති මඩුල්ලද 
සතර බළඇණිද 
ගම්භාර වහන්සේලාද වමාරන්නේය ...

ඒ අතින් බැලූවිට ...

රජා සැපෙන් කන කට්ටට වඩා
අපි දුකෙන් කන කට්ට ෆුල් ලක්ෂරිය ...

අපි කන කට්ටටද
කට්ට කන අපිටද ජයවේවා !!!

~ අයිස්මෝල හන්දියේ අතුලයා ~