පන්සලේ දේවාල හැදුනා
සඳුන් දුම්මල දුමක් නැගුණා
දෙස් දෙවොල් කන්නලව් පිරුනා
කෝටි තිස්තුන් දෙවුන් පිදුනා ...
කෝටි ගනනින් කැටය පිරුනා
බුද්ධ පිළිමෙත් රනින් කෙරුනා
වමෙන් දන් දී දකුණෙන් ඇදුනා
බුදුන් දෙසූ මග කැලේ වැදුනා ...
බෝ මළුව කිරි වලින් පෙඟුනා
පොඩි උන්ට කිරි නැතුව හැඬුනා
සාධු නාදෙන් දෙලෝ පිරුනා
සිතේ බුදු ගුණ අඩුය පෙනුනා ...
මග්ග ඵල වාරිකෙට විකුනා
බණක් ඇහුමට මිලක් වැටුනා
නිවන් මගෙ සිතියමුත් ඇඳුනා
රහත් බව පැකේජයක් කෙරුනා ...
දැම්ම බැනරයෙ නමක් ඇඳුනා
පිනක් කෙරුවැයි බුකියෙ වැටුනා
දැන් නිවන් යයි උන්ට හිතුනා
නිවන් වෙනුවට ලයික් ලැබුනා ...
දන්සැලෙන් මහ නාද නැගුනා
බලෙන් නවතා බලෙන් දුන්නා
මෙත් මුදිතා කරුණාව බිඳුනා ...
ගත්තු සීලයෙ සෙල්ෆි වැටුනා
හිච්චි බණ පොත් යටින් තිබුනා
මහා බණ පොත් උඩින් තිබුනා
සාමණේරට කඳුළු ඉනුණා
මහා එකාගේ සීලේ බිඳුණා ...
බොරුව පෙන්වා උන්ම රැකුණා
චීවරය උන් මැදට දැම්මා
සත්‍ය කහ සළුවෙන්ම වැසුනා
උතුම් ධර්මය දැම්මා විකුණා ...
~ අයිස්මෝල හන්දියේ අතුලයා ~
No comments:
Post a Comment