කියවූ තරම්

Tuesday, January 25, 2022

හම් ඔලුවෝ ඇන්ඩ් පන්ක්ස්




හම් ඔලුවෝ නොහොත් ස්‍කින් හෙඩ්ස්

83නේ ලෝක කුසළාණෙට එංගලන්තෙ ගිය අපිට ක්‍රිකට් වලට අමතරව පිටියෙන්‍ පිට තිබුන එක ප්‍රශ්ණයක් තමයි කෑම ...

ලංකාවෙදි කරවල කෑල්ලක් පුච්චල
බතයි සම්බෝලෙයි පරිප්පුයි කාල පුරුදු අපිට ...
 
කිසිම ලුනු ගම්මිරිස් රහක් නැති
සුදු මහත්තරුන්ගෙ නෝනලගෙ තම්බපු මස් කෑල්ලයි
හාවුන්ට දෙන සලාදෙයි අරහං ...

ඉතිං අපි කෝඩුකාරයො ටික එකතුවෙල ඉක්මනටම බත් කල්ලියක් හදා ගත්ත
නැතිනම්‍ එංගලන්තෙදි සීතලෙයි  බඩගින්නෙයි
මැරෙන්න වෙයි කියල හිතල ...

ඒ කියුවෙ මම ග්‍රැන්විල් බ්‍රෙන්ඩන් විනෝදන්
Granville De Silva  Vinothen John Brendon Kuruppu

ඉඳල හිටල තවත් එකෙක් දෙකෙක් එකතු වුනා අපි සෙට් එකට ...

ඒ තමයි අපි කිහිප දෙනෙකුගෙම
කුළුඳුල් ශ්‍රී ලංකා සංචාරය ...

වැඩි වෙලාවට හතරදෙනා විතරක් සෙට් වෙන්නෙ
ටැක්සියට ෆිට් වෙන්නෙ හතරදෙනා නිසා ...

අනික අපි හතර දෙනාම හතර රියන්
එංගලන්තෙදි තඩි සීතල කබාත් දා ගත්තම
අපි හතරම ආනල්ඩ් ස්වාසනාදන්ගෙ මල්ලිගෙ යාළුවො වගේ තමයි
ටැක්සියෙන් එකයි ...

ඒවා පත ටැක්‍සි නොවන්න ඩ්‍රයිවර්ටත් යන්න වෙන්නෙත් එලියෙ ...

වෙන රටවලදි ප්‍රාන්ත අතර ගුවන් යානයෙන් ගමන තිබුනට
එංගලන්තෙදි සාමාන්‍යයෙන් ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට තරඟ වලට යන්නෙ බස් එකෙන් ...

බස් එක කීවට පෝලිමේ ඉඳල
ටිකට් අරං යන ලංගමේ නම් නෙවි මේ ..

අපිටම කියල එංගලන්තෙ ක්‍රිකට් මණ්ඩලයෙන් පාවිච්චියට දීල තිබුන
අති සුඛෝපභෝගී බස් රියෙන් ...
 
බස්ර රිය ඇතුලෙම හදිසියකට යන්න වැසිකිලියක් වගේම
තේකක් කෝපියක් හදාගන්න පුංචි පැන්ට්‍රියකුත් තියෙනව ...

ඩ්‍රයිවර් මහත්තයත් හරිම හිත හොඳ මිනිහ
අපිට පන දෙයි ඕනෑ වෙලාවක ...

ඒත් ඉතිං
ඉස්සර අපෙ වැකුණගොඩ බස් එක ආම්බාම් කරපු ඩ්‍රයිවර් මහත්තය වගේ
කොණ්ඩෙ වවාගෙන සරමයි බැනියමයි ඇඳල නලල පුරාම සිද්ධාලේප උලල නෑ මෙයා ...

 
මේකා බස් එක එලවන්නෙ
සන්‍ග්ලාස් දාගෙන වැස්ලින් ගාල පැත්තෙන් ඉර තියල
කොණ්ඩෙ බෙදල පීරල
ටයි කෝට් දමාගෙන ෆුල් නීට් එකේ තමයි ...

ඒ අස්සෙ අපිට වගෙ නෙවෙයි ඒකට ඉංග්‍රීසිත් බඩ යනව ...

ඉතිං ඔය බස් එකේ එක ප්‍රාන්තයක ඉඳල අනෙක් ප්‍රාන්තයට යනකොට
බත් කල්ලියෙ ප්‍රධානම කාරිය තමයි නවතින හෝටලේට ළඟම ඇති
බත් කඩ ලකුණු කර කර යන එක ...

ඒයි මචං ජෝනා මෙන්න ඉන්දියන් එකක් ...
තව ටිකක් දුර ගියහම
මචං ග්‍රැනා මේ චයිනීස් පාරක් ...

බ්‍රෙන්ඩ මචං බංගලි කඩේකුත් මෙතන
අතුල මචං තායි පාරක් ...

ඕක තමයි ඉතිං අපේ වැඩේ ...
සෝ‍(ර්)බස් උන්නාන්සෙත් ඔලුව කහ කහ බලනව
මේ මොකද මුන්ට වෙලා තියෙන්නෙ කියල ...

ඇයි බං ඉතිං මැච් තියා ඕමි අතක් ගහන්නත් බතක් කාල ඉන්න එපායැ
නැතිනං ඇඟට හරි නෑ ...

ලන්ඩන් පැත්තට ආසන්න තරඟ ඇති දවසට අපිට ජයයි ...

ලන්ඩන් ආසන්න වාසී ශ්‍රී ලාංකීය ජනතාවගේ ආගන්තුක සත්කාර ඉහලින්ම ...
සෑමදෙයක්ම ඉහටත් උඩින් ...

ඒ මදිවට පාන්දරින්ම නැගිටල
දරුමල්ලොත් අන්දගෙන කෑමට අමතරව
වඩෙත් බැදගෙන කඩලත් තම්බගෙන රොටිත් පුච්චගෙන ...

හම්මේ ...
ඒ ඇත්තාෙ ගන්න මහන්සියක් අපි වෙනුවෙන්  
වැඩි වැඩියෙන් ලැබෙන්නෝන ඒ හැමටම
ඉස්තූති වෙච්චාවෙ ...

දවසක් ඔය වගේ කලින් හොයාගත්ත හෝටලයකට
රෑ කෑමට එළියට ගිය වෙලාවක කෑම කාල ආපිට ආවෙ පයින් ...
(රෑ කෑමට තමයි කොහොමටත් එළියට යන්නෙ
උදේ කෑම හෝටලයෙම දවාලට ග්‍රවුන්ඩ් එකෙදි දෙන ලඩයක්
ඩිනර්ස් එක ඉතිං අපෙ හිතේ හැටියට)

ඕක තමයි අපේ රූටින් එක ...

ලකුණු කර ගත්තු කඩේට ටැක්සියෙ ගොහින් කෑම කාල ආපිට ගමන පයින් ...

කරුණු කිහිපයක් මත

එක ...
ගානක් ඉතුරු කර ගන්න ...
(මම මුලින් සටහනක ලියල ඇති
අපිට ලෝක කුසළාණ සංචාරයට ලැබුනෙ
බ්‍රිතාන්‍ය පවුම් නම සීයක් විතර කියල)

දෙක ...
බත ගහල කිලෝ මීටරයක් දෙකක් පයින් යනකොට තියෙන සැප ...

තුන ...
රාත්‍රියට උනත් නගරයෙ වීදි වල සොබාව දැක ගැනීම හා එංගලන්තෙ සීතල අත්විඳීම ...

නැතිනම් හෝටලෙන් ටැක්සියට ටැක්සියෙන් බත් කඩේට
ආයෙත් බත් කඩෙන් ටැක්සියට
ටැක්සියෙන් හෝටලයට
හෝටලයෙන් ඇඳට ...

ගතියක් නෑනේ බං
එංගලන්තෙ ආවම රටේ ලැයිට් කණුවක් හරි දකින්න එපායැ
අයිස්මෝල හන්දියෙ එවුන්ට ගොහිං කියන්න මක්කවත් තීන්නත් එපායැ බං ...

ඉතිං ඔය කියාපු දවසෙත් රෑ
අපි බතෙන් සප්පායම් වෙල හෝ‍ටලේට ගාටනව
 
හතර රියන් අපි හතරදෙනා උරෙන් උර ගෑවිල යනකොට
පාරෙන් එකයි වෙන කාටවත් ආයෙ
අපිව පහුකර යන්නවත් මාරු වෙන්නවත් නම් බෑ ...

අනෙක ඉතිං අපි
හාමුදුරුවො පිණ්ඩපාතෙ වඩිනව වගේ බිම බලාගෙන
සද්ද නැතිව යන්නෙත් නැහැ නෙව බං ...

කතා කිය කිය එක එකාට කාඩ් ගහමින් හිනහවෙන් නිදහසේ රිලැක්ස්ම ගමනක්
වැඩියෙන්ම යන්නෙ ඉංගිරිසි කාඩ් තමයි
දවාලෙ සුද්දෙක් එක්ක කතා කරනකොට කාට හරි වචනයක් වැරදුනාද
ඕං ඉතිං කාඩ් ...

අපි කාල බීල හෝටලේ පේන තෙක් මානෙකටම එනකොට
ඕං අපිට පෙනුන හන්දියෙ ඔරලෝසු කණුව වගෙ තැනක
දහ දොලොස් දෙනෙකුගෙ පුංචි ගැන්සියක්
කන් පැලෙන සද්දෙට එන්ජින් රේස් කරන මෝටර් සයිකල් දහයක් පාලහක් ...

අමුතුම කොන්ඩා මෝස්තර
දෙපැත්තෙම තට්ටෙ
මැද්දෙ රෝම සොල්දාදුවන්ගෙ හිස්වැසුම වගේ
අඟල් හයක් විතර උසට ඉනිහිටවල වගේ උල් කොණ්ඩේ ...

එකෙකුගෙ තට්ටෙ මැද්දෙ මුලින් කියුව
කානු වගේ ඉරි තුනක් ...

තවෙකෙකුගෙ ඔලුව පුරාම  පතොක් හිටවල වගේ  උල් උල් කොණ්ඩෙ ...
 
ගමේ මුං එකෙක්වත්‍ හිටියනං හදිසියකට පොල් ගෙඩියක් ලෙලි ගහගන්නත් තිබුන කොණ්ඩෙ ගහල ...

ඇයි බං ඒ මදිවට ඒවා දේදුනු පාට ...
උන්ගෙ සපත්‍තු කව්බෝයි සපත්තු වගේ
උල්වට යකඩ පතුරු අල්ලල ඉස්සරහටයි පස්සටයි ...
 
ගෙලේ දම්වැල් කනේ කරාබු නහයේ ජිම්නාස්ටික් වලලු ...

හරියට චීනකොරටුවෙ විමලේ අයියගෙ ගව පට්ටියෙ හිටිය
ගව සැට් එක වගේ නාස් ලණු දාපු ...

හැම තැනම හිල් කරල දම්වැල් දාල  
කොල්ලොත්‍ ඇස් ඇඳල කං ඉරාගෙන නහය පලාගෙන ...
යම පල්ලාෙද බං මේ කියලත් හිතුන ....

මීට කලින් මුන්ව දැකල තිබුනෙම නෑ මුන් ගැන අහල තිබුන මිසක් ...

දැන් අපි හතරදෙනාත් හරහට එක පේලියට හෝටලේ පැත්තට ඇවිදිනව ...

මුන් හත් අට දෙනෙකුත් අපිව දැකල බලාන ඉඳල
වාඩිවෙල හිටිය බයිසිකල් වලින් බැහැල කුටු කුටු ගගා අපේ පැත්තට එනව ...

හෝටලෙත් දැන් අපිට කෙලින්ම පේනව
ඒ උනාට දුවන්න හිතුනෙත් නෑ
ඇයි බං එදා දවාලෙ පිට්ටනියෙ ස්පොර්ට් මීට්
ඒ එක්‍කම අපිට තරුත් එක දෙක ලාවට ...
ඇඟත් නිල්වේගන දත කට පූට්ටු සයිස් එකේ ...
ඇයි බං මුන් එන පොට හරි නෑ ...

අපිට කෙලින්නම තමයි මේ එන්නෙ ...
අපි සද්දෙ දාගෙන එන විදිය මුන්ට ඇල්ලුවෙ නෑ ...

මුන්ගෙ වැයික්කිය මුන්ට ඒක මදි කමක්
අනික අපි කලුයි උන් සුදුයි ...

දැන් හුස්ම රැල්ල මූනෙ වදින ගානට ලංවෙල උන් ඇඟටමයි එන්නෙ ...

අපිත් නැවතිල නිල්වෙල ඒ මදිවට
සීතලට දිවත් ගල් වෙල ගොලුවෙල ඉංග්‍රීසි තියා සිංහල වචන එන්නෙත් නෑ ...

ඉතිපිසෝ ගාථාව කිවිවත් වැඩක් නෑ
ඇයි බං මුන් සුද්දො පාලි දන්‍නවයැ ...

අනෙක අපි ක්‍රිකට් ගැහුවට කරාටි ගැහුවෙ නෑනෙ ...

අත පය උස්ස ගන්නවත් බෑ සීත කබාවල බරට ...

හැබැයි ඉතිං අපි අතක් ඉස්සුවනං උන්ගෙ අත් හැට අටක් විතර
උන්ගෙ ඇසුත් නිකං ගිනි පුපුරු වගේ තරහෙන් ....

මුන්ට කරුණාව ගැන කියා දෙන්න එකෙක් නැතිද බං මේ රටේ
අඩුම ගානෙ අපි ගැනවත් හිතල ...

අපි හතර දෙනාටම උතුර දකුණ අමතකවෙල ...
අයිස් මෝල හන්දියෙ අතුලය
බෙලෙක් කඩේ ජෝනා පාමංකඩ බ්‍රෙන්ඩා මොරටුමුල්ලෙ ග්‍රැනා
බයිල තමයි ...

අපිට ගිනි සීතලෙත් දාඩිය දානව දත කට පූට්ටු වෙලා ...

හැබැයි ඒ වෙලාවෙම සුද්දගෙ ඩික්ෂනරියෙන් කියනවනං ...

ගෝඩ් දි එල්ඩර් බ්‍රදර් කැප්ටන්
අපෙ මූණ බැලුව ...

ඒ කියුවෙ අයිය නායක දෙවියො අපෙ මූණ බැලුව ...

අපි හතර දෙනාගෙන් මොකාගෙ වෙලාව හොඳද දන්නෙ නෑ ...
ඒ වෙලාවෙම එතනට පාත් උනේ
එදා දවල් අපි සෙල්ලම් කල තරඟය බලපු එංගලන්තෙ රසිකයො දෙන්නෙක්

ඒ දෙන්න එකතුවෙල අපි කව්ද කියල හම් ඔලුවන්ට කියාදීල උන්‍ට බැනල එලෙව්වෙ නැතිනං ....

අපි එදා හම් ඔලුවන්ගෙන් සම්බල් ...

ඇයි බං උන් කොණ්ඩෙන් ඇන්නත් අපෙ අඟල් හයක් බහිනව ...

************

83 කියන්නෙ හම් ඔලුවන්ගෙන්
පාට අයට සෑහෙන කරදර තිබුන කාලයක් ...

ඔවුනගෙ අතින් ජීවිත හානි පවා සිදුවුනා කියල ඒ කාලෙ පත්තරවල
මම කියවලත් තිබුන ...

ඊට පසු වසරේ සංචාරය කල කණ්ඩායමෙ සිටි රන්ජන් මඩුගල්ලටත් පහරදීල රාේහලෙත් හිටිය ...

ඉතිං අපිට එදා ගෝඩ් දි එල්ඩර් බ්‍රදර් කැප්ටන්
මාර උදව්වක් කලෙ  ...

අම්මප බං මම මේ විහිළුවෙන් කියුවට
මේක මාර සිරා කේස් එකක්
තව ඩිංගෙන් ෆේෂල් එකක් දාගෙනම එන්න තිබුන
මයෙ අමිමාපල් ...

Monday, January 10, 2022

AJ මයි බ්‍රදර් ...


ඒ ජේ මයි බ්‍රදර් ...

අද ජනවාරි දහය හිච්‍චි අයියගෙ උපන් දිනේ
කාලෙක ඉඳල පවුලෙ උපන් දිනවලට
අනෙක් නොයෙකුත් කටයුතු වලට මම නෑ වාසෙ සයුරෙන් එපිට නිසා ...
 
දුක තමයි මක්කයි ඉතිං කරන්නෙ බං ...

*****

අපි හැම කෙනාගෙම පවුල් සංස්ථාවල නොයෙකුත් හැඩතල
වැඩි දෙනෙකුටම වගෙ සහෝදරයො සහෝදරියො ඉන්නව එහෙම නැති අයත් නැත්තෙ නෑ  
ඒව ඉතිං තම තමන්ගෙ පාලනයෙන් පිට ...

මටත් හිටිය හතරක්
දෙකයි දෙකයි මම තමයි බඩපිස්ස

මම කලින් සටහනක සඳහන් කරා මට දහතුනේදි තාත්ත නැති වුනා කියල
ඒ දවස මට හොඳට මතකයි ...
 
තාත්ත හැමදාම වගේ පාන්දර පහට දුවන්න යනව  
මායි හිච්චි අයියයි  
තාත්තගෙ පස්සෙන් දුවනව ....

මොන හේතුවක් නිසා හරි ලොකු අයිය එකතු උනෙ නෑ
අපි දුවන්නෙ කෙලින්ම ගාලු මහජන කීඩාංගනයට ...

තාත්ත පාපන්දු ගහනව නැත්නම් ගාලු පිටිටනිය වටේ දුවනව
අපිත් බෝලෙකට පයින් ගහනව ...
 
ඉස්සර තිබුනෙ ලේස් කරන බෝල
ඒ කියන්නෙ හම් කවරෙ ඇතුලට බැලුම් බෝලයක් වගේ ටියුබ් එක ඔබල
බයිසිකල් පොම්පෙන් හුළං ගහල හම් කවරෙ ලේස් එකෙන්
සපත්තුව ගැට ගහනව වගෙ ගැට ගහනව ...

බැරිවෙලාවත් ගැට ගහපු තැනට පයින් හරි ඔලුවෙන් හරි ගැහුවොත්
ෆුට්බෝලෙ විතරක් නෙවි බෝලෙ හදපු එකාගෙ සනුහරෙත් එක්කම එපා වෙනව ...

එහෙම බෝලයක්වත් තිබුනෙ නැතිනම් අපි දෙන්නත් තාත්තගෙ පස්සෙ  දුවනව
නැතිනම් බිම පෙරලි පෙරලි ඉන්නව තාත්ත ඉවර වෙනකන් ...

ඒ කාලෙ අද වගේ එක කණ්ඩායමකට බෝල හැටක් විතර තිබුනෙ නෑ ...

මැච් ගහන හොඳ බෝලෙ හැර වැඩිම උනොත්
තව හමගිය බෝල දෙක තුනක් තියෙන්න ඇති පුහුණුවට ...

මහින්දෙ නං කෝකටත් තිබුනෙ දෙකයි
"බී" ටීම් බෝලෙයි "ඒ" ටිම් බෝලෙයි

සෙල්ලම ඉවර උනාම තාත්ත අපි දෙන්නට
ගාමිණි ක්ලබ් එක ලඟ බෝ ගහ අයිනෙ තිබුන
කිරි මණ්ඩලෙන් කල්කිරි කාලෙ බෝතල් දෙකක්
අරන් දෙනව බටේකුත් එක්ක දාල උරන්න ...

වෙනද වගේම එදත් ඔය රවුම ඉවරවෙල අපි ගෙදර ආව
ගෙදර ආපු අපෙ තාත්ත හිච්චි අක්කගෙන් තේ එකක් ඉල්ලල
ඉස්තෝප්පුවෙ තිබුන ඈඳි පුටුවෙ වාඩි උනා උනාමයි  ආයෙත් නැගිට්ටෙ නෑ ...

හිච්චි අක්ක තේක ගේන කොට තාත්ත අපිව අතෑරල මෙලොවින් ගොහින් ...

ඒ තමයි අපෙ තාත්‍තගෙ අවසන් උදෑසන
මියෑදෙන කොට තාත්තට පනස් නමයයි

ඒ 75හේ ජනවාරි 12හ
හිච්චි අයියගෙ උපන් දිනේ ජනවාරි 10ය

*****

එදා ඉඳල මට තාත්ත උනෙ හිච්චි අයිය
ඒ කියන්නෙ උඹල දන්න AJ ...

ලොකු අයිය හරිම අහිංසකය වැඩිය තැලිල පොඩි වෙල නෑ
තමන්ගෙ පාඩුවෙ වැඩක් බලාගෙන කාටවත් කරදරයක් නැතිව ඉන්න කෙනෙක්

අනික තමයි ලොකු අයියගෙයි මගෙයි වයස පරතරය අවුරුදු දාහතරක්
අනෙක් කාරණය තමයි
මම හැදෙන කාලෙ ලොකු අයිය හිටියෙ ගම්පොළයි ගලේවෙලයි රැකියාව කරමින්
නිවාඩු වලට තමයි අපි වැඩිපුර මුණ ගැහුනෙ
ඒ ඉතිං මාස තුන හතරකට වතාවක් ...

ඉතිං මම වැඩිය ලං උනෙ හිච්චි අයියට
එතන ඉඳල මුලු පවුලෙම බර වැඩියෙන් ගත්තෙ ලොකු අයියයි හිච්චි අයිය ....

හිච්චි අයිය එයාගෙ ඉගෙනීම නවත්වලා ඉස්කෝලෙන් අයින්වුනා අවුරැදු දහඅටේදි
උපාලි දෙල්පචිත්‍ර මහත්තය අරන් දුන්න පී ඩබ්ලිව්‍ ඩී එකේ ඕර්සියර් පට්ටමට
අපේ ඇස් පාදන්නයි බඩගෝස්තරේ හොයන්නයි
පුදුම කැපකිරීමක් ඒක ....

අපේ මුලු පවුලෙම ශක්තිය උනෙ ලොකු අයියයි
හිච්චි අයිය
මගෙ තාත්ත අයිය මිත්‍රය ...

පහු කාලෙක හිච්චි අයිය පොඩි අයිය උනා ...
ඒ කොළඹ උන් මට හිනාවෙන්න ගත්තම ගාල්ලෙ බාසාවට ...

තියෙන ඒව මදිවට තවෙකක් ඕන නෑ කියලයි එහෙම කලෙ ඔය තමයි කොළඹ උන්ගෙ හැටි ....

අපි වචනයක් කතා කරාද කොළඹ උන් හිනාවෙනව ...
අපිට පුරුදු විදියට අපේ බසාව කතා කරන්නත් උන්ගෙන් අවසර ගන්න ඕනෙ
උන් කොහෙන් ආපු එවුන්ද දන්නෙ නෑ ඒරොප්පෙන් වෙන්ටැ මයෙ හිතේ ...

කොළඹ කාක්කන් ගෙන් බේරිල ඉන්න
ක්‍රම සහ විධි සාස්තරේ දුන්නෙත් හිච්චි අයිය ...

අයිය වැඩකරෙ නැවතිල හිටියෙ කොම්පඤඤ වීදියෙ නිසා
හොඳට තැම්බිලයි හිටියෙ ...

මට කෙලින් හිටගන්න පුළුවන් වෙනකන් මගෙ අම්මයි සහෝදරයො දෙන්නයි සහෝදරියො දෙන්නයි තමයි පිටිපස්සෙන්ම හිටියෙ ...

මේ අතරින් හිච්චි අයියට වැඩි තැනක් ලැබුන ...
පුළු පුළුවන් හැම වෙලාවෙම හිච්චි අයියයි මායි
හුඟාක් දේවල් එකටම තමයි බැලුවෙ කරේ ...

ක්‍රිකට් තරඟ පැසි පන්දු තරඟ මලල ක්‍රීඩා
සුගතදාස එකෙ පාපන්දු තරඟ
පෙරහැරවල් චිත්‍රපටි සංගීත සංදර්ශණ විනෝද ගමන්
මේ හැමදෙයක්ම එකට ...

එක් දෙසැම්‍බර් තිස්එක් වෙනිදාවක
කොච්චිකඩේ පල්ලිය ලඟ සංගීතයක් බලන්න ගොහින්
මහ රෑ ගෙදර යන්න බස් නැතිව අපි දෙන්න පිටකොටුවෙ බස් නැවතුමේ බංකුවක් උඩ
එලිවෙනකං බුදිය ගත්‍ත ...

ජෝති අයිය රෑදොලහට වේදිකාවට නැගල

"කිරි ඉතිරේවා නව වසරේ" කියල තමයි කියුවෙ නං ....

හැබැයි අපි දෙන්න බස්නැවතුමේ බංකුව උඩ ...
ජෝති අයියනං දෙකක් දාලා හොඳට බුදියන්න ඇති  

අපි දෙන්නගෙ හොඳම කාලෙ තමයි ටැමිල් යූනියන් ...

දෙපොලක හිටියත් ...  
සති මැද පුහුණුවටත් සති අන්තෙ තරඟවලටත් ක්ලබ් එකේදි හමුවුන නිසා ...
 
ඒ දිනවලට පුහුණුව ඉවරවෙල ක්ලබ් එකේ යාළුවන් එක්ක
කතාව දාගෙන ඉඳල දෙන්නම ගෙදර යන්නෙ යක්කු ගස් යන වෙලාවට
ඒ යනකොට බස් එකෙත් පිස්සු හට්ටියයි

හිච්චි අයිය රස කර කර හරි හරි කතා කියනව
හැබැයි ඉතිං අයියගෙ අතට ටිකක් දුරින් ඉඳන් තමයි කතා අහන් ඉන්න ඕන ...

කතාවෙ රසම හරියට ආවම වචන දෙක තුනකට සැරයක්

"ඉතිං බච් දන්නවද බච්" කිය කිය ඇඟිල්ලෙන් අනිනව ඒකයි ...
 
කපාපු මුරුංග වගේ ඇඟිලි උනාට යකඩ වගේ හයියයි ඉතීං රිදෙනව ...

මට හිච්චි අයිය කියන්නෙ "බච්"

ඉස්සර හිටිය එරික් බචෝ කියල නහරයෙක් ...
ඒ නම කෙටි කරල තමයි අයිය මට බච් කියන්නෙ
ඒ පුරුද්දට ටැමිල් යූනියන් සමහර යාළුවො මට කියන්නෙත් බච් කියල

මමත් ඉස්සර අමු නහරයලු අයියල අක්‍කල තමයි එහෙම කියන්නෙ ...
අනේ මං දන්නෑ දැන්නං මට අමු නහර නෑ
ඒ ඔක්කොම දැන් වේලිල ...

හිච්චි අයියත් එක්ක ඉන්‍නකොට වෙලාව යනව දැනෙන්නෙ නෑ ...

හිච්චි අයිය හිනා සාගර හතක්
අවවාදයක්‍ දුන්‍නත් බැන්නත් ඒකත් විහිළු වෙන්මයි ...

දැන් ටිකක් අසනීපෙන් හැබැයි ඉක්මනටම කෙලින් වෙයි ...

කියනවනං හිච්චි අයිය ගැන කතා ගොඩයි
මගේ කතා මොන කතාද හිච්චි අයිය ළඟනෙ කතා තියෙන්නෙ
අහල බලාපල්ලකො හිච්‍චි අයියගෙ පරණ යාළුවන්ගෙන් ...

හිච්‍චි අයිය ගැන කියන කොට මතකයට එන
එකම එක රසවත් වර්ල්ඩ් රෙකෝර්ඩ් ක්‍රිකට් කතාවකුත් කියන්නං ...

නැතිනං ඒක විශාල අඩුවක් ...

වර්ල්ඩ් රෙකොර්ඩ් කියුවෙ
මේ මනුස්ස ලෝකේ කිසිම කෙනෙක් එහෙම දෙයක් කරල නැතිව ඇති ...

1976/1977 විතර
එංගලන්‍ත කණ්ඩායම ලංකාවට ආව මයික් බ්‍රියලිගෙ නායකත්වයෙන් ...

එතකොට අපිට ටෙස්ට් වරම් නෑ ...
දැන් ඔන්න නිළ  එම් සීසී කණ්ඩායම ගාල්ලටත් ඇවිල්ල සභාපතිගෙ කණ්ඩායමත් එක්ක තරඟෙ ...

අපි දෙන්නත්‍ දවල් වෙලා මැච් එක බලන්න යන්න කියල හිතාගෙන උදෙන්ම ගෙදර පොඩි වැඩක් පටන් ගත්ත ...

අපි දෙන්න තමයි ගෙදර පිරිමි
මට පාලහයි අයියට දහ නවයයි ...
තාත්ත නෑ ලොකු අයිය ගලේවෙල දුම්කොල සමාගමේ රස්‍සාව ...

ඉස්සර ගමේ ගෙවල් වල ඇටෑච් බාත් ටොයිලට් නෑ ...

තියෙන හතර රියනෙත් වැසිකිලියක් හදාගත්තම ඉන්නෙ කොහෙද බං ...

ඒව තියෙන්නෙ ගෙදර ප්‍රධාන ගොඩනැගිල්ලෙන් පිට
අපේ එකත් තිබුනෙ එළියෙ ...

හුළඟට අපේ වැසිකිලියෙ වහළ ගැලවිල
අපි දෙන්න පාන්දර වහළ උඩ නැගල වහළ ගහනව ...

වහළ ගහනව කිව්වට කරන්නෙ
ලී පටි ටිකක් දෙපැත්තට තියල
ඊට උඩින් ටකරං හරි දිග ඇරපු තාර බැරල් තහඩු හරි තියල
දිගට ඇන ගහනව ...

වැඩි හොඳට හුළඟට ඔරොත්තු දෙන්න ජොයින්ට්ස් උඩින් තඩි ගල් තියනව බරට

ඔය තමයි ගමේ ලාබදායී ක්‍රමේ නගරෙට නං ඕව අමුතුයි ...

දැන් වෙලාව උදේ නවයට විතර ඇති

අපි දෙන්නත් ඔන්න කලිසං කොටේ ගහගෙන
උඩු කය නිරුවතින් වහලෙ වැඩේ බාගෙට කරගෙන ඉන්නකොට
ගෝල් සීසී ග්‍රවුන්ඩ් බෝයි අපේ පීටර් අයිය
(පියසේන අයියගෙ අයිය)
දුවගෙන එනව ළතෝනි තියාගෙන

" සමරසේකර මහත්තයා සමරසේකර මහත්‍තයා " කියල කෑමොර දීගෙන ...

හිච්චි අයියත් ඉතිං වහල උඩ ඉඳගෙන
ඇයි මොකෝ පීටර් අයියෙ කියල අහපි ...

"ඇයි මොකෝ නෙවෙයි කක්කුස්සි වහලෙන් බැහැල ඉක්මනට එන්න
අන්න ඇම්සීසියෙ සුද්දොත් එක්ක මැච් එක ගහන්න ඔහෙට කතා කරනව
ඉස්පිනර් කෙනෙක් නැතිලු"

අයියත් කට ඇරගෙන බලාන ඉන්නව කොහොමෙයි විශ්වාස කරන්නෙ
පීටර් අයිය සිලෙක්ටර්යැ ...
 
ඔෆීෂියල් කෝලප් එක ග්‍රවුඩ් බෝයි පීටර් අයියගෙ කටින්  
හොඳ වෙලාවට වැසිකිලි වහලට සිග්නල් තිබුනෙ ...

දහ නවයෙ එකා මහින්දෙට ගහල ගෝල් සීසී ගහන්න ගත්ත විතරයි ...

"මක්කැයි ඔහෙ තවත් බලාන ඉන්නෙ
මගෙ අම්මාපල් බොරු නෙවෙයි ඔහෙට මක්කටෙයි මං බොරු කියන්නෙ ඉක්මනට යං
මේ බයිසිකලෙන්ම යන්න පුළුවන්"

හිච්‍චි අයියයි මායි එක පිම්මට ඉනිමග නැතිව වහලෙන් බිමට ...

මට දැනුනෙ හරියට මට මැච් ගහන්න කතා කර වගේ

සුදු කලිසමකුයි ෂර්ට් එකකුයි
පරණ පත්තර කොලේක ඔතාගෙන කිහිල්ලෙ ගහගත්තු හිච්චි අයිය
සපත්තු දෙකත් කරේ එල්ලගෙන පීටර් අයියගෙ බයිසිකලේ පොල්ලෙ
ඇම් සීසී මැච් එකට ගියා ...

මමත් ස්පොන්සර් ෂිප් හොයන ප්ලේයර් ඒජන්ට් වගෙ
බයිසිකලේ පස්සෙන් තවුසන් මීටර්ස් ...

ඔස්ටිය වගෙ ගාන කැපුවෙ නං නෑ ...

හැබැයි දවල් හිච්චි අයියගෙ කෑම එකෙන් බාගයයි
තේ වෙලාවෙදි කේක් කෑල්ලයි කිරි තේකයි බඩට දාගත්ත ...
 
ඒව ඉතිං රජ බොජුන් ඒ කාලෙ ...

එදා වැසිකිලි වහලෙ ඉඳල මයික් බ්‍රියලි එක්ක මැච් ගහන්‍න ගිය හිච්චි අයිය ගෙදර ආවෙ ...
 
ඇම් සීසීයෙ තඩි සුද්දාෙ තුන්දෙනෙක්ම ආයෙත් ඇතුලට යවල ...

හිච්චි අයියට කඩුළු තුනක් ...
Denise Amiss
Graham Barlow
Geoff Miller
(අයියගෙ මතකෙ හැටියට)

මමත් එදා ගියෙ උඩින්
සෙල්ලන්ද කොල්ලෝ කිව්වලු
ඇයි බං ඇම්සීසියෙ සුද්දො තුනක්
කක්කුස්සි වහල උඩ හිටපු අපෙ හිච්චි අයියගෙ බෝල වලට ගහගන්න බැරිව ඇතුලෙ ...
මුළු අයිස්මෝල හන්දියටම මාර ආඩම්බරයක්නනෙ බං අපෙ හිච්චි අයිය ගැන

අදත් ඒකෙ වෙනසක් නෑ ...

ඔය අවුට් වෙච්චි එවුන් තාම දන්නෙ නැතිව ඇති ...
වැසිකිලි වහල හද හද ඉඳපු එකා අරගෙන ඇවිල්ලයි
උන්ගෙ විකට් ගත්තෙ කියල ...

එහෙම දැන ගත්‍තනං සුද්දට විලි ලැජ්ජාවේ පන යයි ...

හිච්චි අයියට අවුට් වෙච්චි සුද්දො කියයි
 
ඇයි උඹ මැච් එකට ආවෙ
ගෙදර ඉඳල කියුවනං අපි උඹට ෆුල් වැසිකිලියක්ම හදල දෙනවනෙ කියල ...

ලෝකෙ වෙන කවුද බං කක්කුස්සි වහලෙ ඉඳල
පිටර් අයියගෙ බයිසිකලේ පොල්ලෙ  ගොහින් ඇම් සීසී සුද්දන්ගෙ
විකට් තුනක් ගත්තෙ අපෙ හිච්චි අයිය ඇර ...

හා පුළුවන්නං කියපල්ල බලන්න ...

ඔය තමයි මයි බ්‍රදර් ඒජේ ...

මට කලින් ලංකාවට ගහන්න තිබුනෙ හිච්චි අයිය ...
ඒ මට වඩා ගොඩාක්  හිච්චි අයිය දක්‍ෂ නිසා ...

මණ්ඩලෙන් පාස්පෝට් එක හතර පස් වතාවක්ම ඉල්ලගෙන ආයෙත් දුන්න ...
 
අඩුම ගානෙ කටුනායක පාරටවත් ගිහින් දැම්මෙ නෑ

මක් කොරන්නෙයි ඉතිං රටේ වැරැද්දක්නං නෙවි බං ඔය
රටේ  ඉන්න හිටින එවුන්ගෙ වැරැද්දක් ...

නැතිනං අපෙ හිච්චි අයියත් ලෝකප්ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක් ...

රත්තරං හිච්චි අයියේ නිදුක් නීරෝගී
සුභම සුභ උපන් දිනයක් !!!

ආවඩා ආයුබෝ වේවා !!!!

තෙරුවන් සරණයි  ෴