ආවිට ගමට නිවාඩුවක්
ගැහීමට හීන් අඩියක්
ඇසීමට ආතල් ඉස්ටෝරියක්
සුනිල් නැති ගෝල්සීසියක් ...
බැලුවොත් මැච් එකක්
උඹේ හඬ ඇහෙයි ගව්වක්
තිබුණොත් වලියක්
උඹ නොකරයි අපිට තනියක් ...
ඇරියම මූණු පොතක්
ගුරු ජී නැති බුකියක්
තියෙයි හැමදා හිඩැසක්
පුරවන්න බැරි කිසිවෙක් ...
ගියද නිහඬ ගමනක්
තනිකර මිතුරු කැලක්
උඹ ගැන මතක විතරක්
ඉතිරිව තියෙයි කල්පයක් ...
සුනිල් අයියේ
උඹට නිර්වාණ සුවය !!!
එතෙක් ...
වැඩපන් අපි අතරට
තවත් කිහිප වතාවක් ...
කාලය ගෙවෙයි
ඒත් නොමැකෙයි
උඹේ හිනාව
උඹේ හඬ
උඹේ පිස්සු කතා
උඹේ මනුස්සකම ...
~ අයිස්මෝල හන්දියේ අතුලයා ~
අද අප හැර ගිය Sunil Gurugamage මිතුරාණන් වෙනුවෙනි ...
කියවූ තරම්
Wednesday, July 15, 2026
" ගුරු ජී "
Friday, July 10, 2026
මරියසෙල්
මරියසෙල් ...
එහෙනං ඉතිං ඔයැයිත් නිහඬයි ...
ඒත් ඒ හඬ නං නිහඬ නෑ ...
ඔයැයි පිළිගත් ධර්මෙ අනුව
සමාදානේ සැතපේවා කියන්න හිතුනත්
පට්ටම දුකයි තමයි බං
ඒ ආයෙ ඔයැයි නොයෙයි කියල හිතෙන බයට...
ඒත් ඉතිං මං පිළිගන්න ධර්මෙ අනුව
ඇහැක් හැටියකට
සංසාර චක්කරේ කවදාහෝ දවසක
ආයෙත් වරෙං රත්තරනේ
ලක්ෂ කෝටි ගානක්
සෝත විඤ්ඤාණ පිනවන්න ...
බොඩිය මක්කා වුනත්
ඔයැයිගෙ ඔය කට හඬත් අරගෙනම ...
එකෝමත් එක කාලෙක්
ඔයැයි ක්ලැරන්ස් අයියත් එක්ක
ගාල්ලට මංගච්චනව කීවම
අපි සැට් එකම බැස්සා මැටි තලන්න
ඕපන් එයා එකේ ...
මයේ අම්මාපල්
කුඹුරු වගේ තිබුන ඔය ගාල්ලෙ පිට්ටනි ටික මට්ටං කරන්න
මැටි තැලුවෙ අපිම වෙන්ටැ
බොලැයි මියුසික් වලට
ඇයි ඒ කාලේ අවුරුද්දට කානිවල් කීයක්ද ගාල්ලේ ...
මහින්දෙ සංගීත මිස්ගෙ
සරිගමපදනිස විතරක් දැන හිටි අපිට ...
ඒ මේජර් මේ මේජර් අර මේජර්
ඒ මයින මේ මයින අර මයින
කියල ඉංගිරිසියෙන් කියන
අළුත් තාලෙක මියුසික් කියා දුන්නට
බොහෝම පින් ...
ඇයි ඔය බටහිර පන්නෙ තාල
ගමේ ගොඩේ හිටිය අපි මුලින්ම ඇහැව්වෙ
ඔය හඬවල් වලින්නෙ බං ...
එහෙනං අපේ ඒ සැට් එක වෙනුවෙන්
මෙහෙම කියමු
(උන්ටත් දැන් හැට පැනලා ගොක් කොල පේනවත් ඇති
හෙට අනිද්දට යන්න ඉන්න එවුන් මාත් ඇතුළුව
ඒත් අපි හැමෝගෙම මතකවල
ඒ හිනාව ඒ හඬ තාමත්) ...
එහෙනං ඉතිං ඔයැයිගෙ ඔය හඬත් අරගෙනම
ආයෙත් ඉස්ටේජ් එකට එනතෙක්
සමාදානෙන් සැතපේවා සොයුරිය !!!
~ අයිස්මෝල හන්දියේ අතුලයා ~