කියවූ තරම්

Saturday, September 5, 2026

මයි අන්සන්ග් හීරෝස් ...

තාත්තා නැතිවූ දා පටන් මා ඔසවා තැබීමට
මා සොහොයුරන් වන ලොකු අයියා සහ හිච්චි අයියා 
කළ කී දෑ ගැන මා හෑලි ලියා ඇත 
ඔවුන් දෙදෙනාම අද අප හැර ගොසිනි …

අම්මා ජීවත්ව සිටි දාද
ජීවත්ව නොසිටි දාද සිට
පවුලේ බඩ පිස්සා වූ මාගේ
ඕනෑ එපාකම් කිසිදු අඩුවක් නැතිව පිරවූ
මගේ ආදරණීය ලොකු අක්කාටත්
හිච්චි අක්කාටත් කරන පිදුමකි මේ …

මට අම්මා වූ ලොකු අක්කා දැන් එක්තැන්වය 
මට අම්මා වූ හිච්චි අක්කා දැන් අපේම ලොකු අක්කාගේ අම්මාය …
ඉතා වෙහෙසකාරී වූවද
හිච්චි අක්කා තවමත් ඇගේ කාර්ය ඉටු කරයි ...

ඔබ දෙදෙනාටම නිදුක් නිරෝගී සුවයත් 
ගතින් දුබල වුවද මනසට යෝධ බල යෝධ වීරියත් 
නොඅඩුව ලැබේවායි පතමි …

*****

දුක් අඳුරු වැටෙනා විට
සෙවණැල්ලක් වී මා වටා රැඳී
උදෑසන මල් පිපෙනා විට
සිනහවක් වී මා සමඟින් හිනැහී
සැමදා සෙනෙහසින් මා ළඟින් සදා හිඳීවා …

කාලය කොතරම් දුර ගලා ගියද
අතීතයේ මතක කිසිදා පර නොවේ …
නුඹලාගේ අසීමිත සෙනෙහසේ උණුසුම
මගේ හදවතේ ගැඹුරුම තැනක
සදාකාලිකවම දැල්වෙන පහනකි…

භවයෙන් භවයට යන මේ දිගු මංපෙතේ
කෙතරම් දුරක් එක්ව ගියද වෙන්ව ගියද ...

ලංවීම්වල දුරස්වීම්වල නිහඬ සීමා ඉක්මවා
සහෝදර බැඳීමේ උණුසුම් හුස්ම
අප හදවත් අතර සදා රැඳේවා …

මගේ කඳුළුවලට සෙවණක් වූ
මගේ සිනහවට හඬක් වූ
අඳුරු දිනවල සඳ එළියක් වූ
මගේ ආදරණීය සොයුරියනි …

නුඹලාගේ නිමක් නැති සෙනෙහස 
සදා රැඳෙනු ඇත … 


~ අයිස්මෝල හන්දියේ අතුලයා ~