කියවූ තරම්

Saturday, September 26, 2026

චමියා

චමින්ද වූ මං කැඩපත 
දෙසට එබෙනවා
ඊයෙ හිටිය මේ මංමද
හෙමින් සිතනවා ...

සෙම් පිත් නම් ඇත
කෙස් ටික නම් නැත
වාත රුදාවන් 
සන්ධි පුරා ඇත
මක්කා නැති වුණත්
වයස ගියත් අද
එදා වගේ තව
හිතේ හයිය ඇත...

පැඟිර කාලේ තිබුන හීන
සුළඟේ ගිය දුරක් වගේ
අතීතයේ පිය සටහන්
තවමත් ඇත සිත් පතුළේ ...

වියපත් වූ මං ඇත අද  
සොඳුරු මතක අතර තනිව
සිටිය අයගේ සිනා හඬත්
තවම තියේ දෙසවන් තුල ...

සුන්දර වූ සමණල් විය
ගෙවී ගියත් එක හුස්මට
පාට සිහින මෙන් දුර ගිය
මතක අතරේ සඟවා ගෙන ...

වසන්තයේ මල් පීදුන
මං මාවත් පියමං කළ
කවට සිනා ඉතිරී ගිය
සැහැල්ලුවෙන් කාලෙ ගෙවුණ ...

කාලයෙ වැලිතලා අතර
නිහඬව සැඟවී ගියාට 
ඒත් අදත් හිත පත්ලේ
හිස ඔසවයි සැඟවී සිට ...

අතීතයේ සුවඳ අරන් 
හමුවුණු මිනිසුන් අතරින්
සමහරු ගොඩ දුර ගියා
ආදරයෙන් ළඟ සිටි උන්
මතකය පමණක් වුණා  ...

ඒත් ඉතිං මක්කරම්ද
දෛවයෙ සරදම් නිසා
හිතේ තියාගෙන යන්නම්
කඳුළු සිනහ එක්කලා ...

ලැබුණු දේට වඩා වැඩියි
අහිමිවු දේ දිවිය පුරා
ඒත් ඉතිං මේ හැටියට
හුස්ම වැටෙන එකම මදෑ ...

හෙට ගැන නම් 
බියක් නොමැත
අද පැහැදිලි ඇති නිසා
ජීවිතයේ සියළු මතක
අපූරු ගීයක් වෙලා ...

එහෙයින් දැන් ඉතිරි වන්නේ
මතකයෙ ඉතුරුව පමණයි
ආදරයෙන් දිවි ගෙව් වග
කියන්න ඒ ඇති හැබැයි ...

ඉර බැස යන හැන්දෑවක
නිහඬව හිඳ බලනා විට
දිවිය කෙටිම ගමනක් බව
තේරෙනවා හෙමින් මෙමට ...

ඒත් අනේ හිටි හැටියට
මේ ආ දුර මදෑ අපිට ...

~ අයිස්මෝල හන්දියේ අතුලයා ~

මතක වලට කොපි රයිට්ස් නැත
තොප්පිය හරිනම් 
ඇහැක් හැටියකට පැළඳ ගත්තද කාරි නැත ...

No comments:

Post a Comment