කියවූ තරම්

Thursday, October 15, 2020

මට හිතෙන හැටි

FB 20.1.17

මට හිතෙන හැටි ...

ගාලු මහජන ක්‍රීඩාංගනය ...

පන නැතිවත් මුළු ගාල්ලටම පන දුන් අපේම හදවත ...
ඒ කියන්නෙ මුලු මහත් ගාලු ජනතාවටම

එය එසේමැයි ...

අපි මව් කුසෙන් මෙලොව එළිය දුටුවායින් පසු අපිට මිනිසුන් එහෙමත් නැතිනම් වැඩිහිටියන් ලෙස උපදින්නට ...
අපේ පාසැල් දෙමාපිය ගුරුවරැන්ට  අමතරව විශාල රුකුලක් උනෙ ගාලු මහජන ක්‍රීඩාංගනය ...

අපේ කාලෙ ...

නැතිනම් ඊට කලින් ඉපදුන
ලක්ෂ කෝටි ගනනක් මේ කියපු දේට නැතිනම් කියන්න යන දේට සත්තකින්ම ඔට්ටු තියයි ...

සමහරවිට මෙය කියවන ඔබත් මෙහි පංගුකාරයෙක් වෙන්න පුළුවන්  ....
මොකද ගාල්ලෙ ඒ කාලෙ හැදුනු අපේ කතාව එපමනටම සුන්දරයි අහිංසකයි ...  
(මහජන ක්‍රීඩාංගනය කාලෙ)
සමාවන්න දැන් කාලෙ ගැන කියන්න මට සුදුසුකමක් නැහැ ...

ගාලු පිට්ටනිය ...
ජාත්‍යන්තර වෙන්ට කලියෙන් ගාල්ලෙ ඉපදුන නැතිනම්
හැදුන වැඩුන එවුන්ගෙ හදවත කියල මුලින්ම සඳහන් කලෙ ඒකයි...

පිට්ටනිය වටේම තිබුන කස ගස් පේලිය
පිටුපසින් පෙනෙන ඕලන්දක්කාරයින්ගෙන් අපිට ලැබුන දායාදය දැවැන්ත කොටු පවුර ...
                                  
දෙපැත්තකින් මුහුද වගේම ඒ සීතල මුහුදු හුලඟ ... සමනල පාලම ... පට්ටියමුල්ල ...  
ගාමිනී ක්‍රීඩා සමාජය ... ගාලු ක්‍රිකට් සමාජය ...

බස් නැවතුම ... ඊටම අල්ලපු පේව්මන්ට් කඩ පේලිය ... සවුත් සිලෝන් කේ එල් එච් ...  සදර්න් එක ...
සිඩ්නි එක ... ටවුම මැද්දෙ  තිබුන පච ගහ ... 

ඥාණෙ අයියගෙ සත දහයෙ සරුවත් එක ...
කිරි මණ්ඩලය ... බෝ ගහ ... බෝ‍ධිය අසල තිබුන
මොරිස් මයිනර් ටැක්සි සෙට් එක ...

මෙකී නොකී සියල්ලක්මඅපේ ජීවිතවල කොටස් වෙන් කල නොහැකි ...

මුලු  ගාල්ලම ...

ඒ කියන්නෙ වචනයේ පරිසමාප්තයෙන්
මුලු ගාල්ලම ...

කොටුව ... චීනකොරටුව ... කලුවැල්ල ... ඔරොප්පුවත්ත ... වැල්වත්ත ... වලව්වත්ත ... මාගාල්ල ...
 
ටවුමට මායිම් උන මේ ගම් ටික වගේම පැත්තකින් රත්ගම බුස්ස දොඩන්දූව හික්කඩුව ...
අනෙක් පැත්තෙන් හබරාදුව අහංගම
තවත් පැත්තකින් ඇල්පිටිය  බද්දෙගම එහෙමත් නැතිනම් පින්නදූව පිලාන
වගේ ටවුමෙන් ටිකක් දුර ගම්වලත් ඒ අතර මැදි ගම්වලත්
කොල්ලො කුරැට්ටො කෙල්ලො වගේම මහ එවුනුත්  උස් පහත් ලොකු පොඩි
කුල ආගම් වර්ණ ජාති පාසැල් බේදයක්  නැතුව එක් කලේ ඔය පිට්ටනියයි ...

දැන් පාසැල් අනුවත් අපි බෙදිල ...
මම ඒක පහුගිය අවුරැදුවල ගාල්ලෙ ආදරවන්තයන්ගෙයි කියන සටන් වලදි ආදණීය ගල් මිශ්‍ර කඳුළු ගෑස් අන්තර් ජාලයෙන් දැක්ක
මෙතන විශාල බෙදීමක් තියෙනව ...

මොකද ඉස්සර පාසැල් දෙකේම කොල්ලො පිස්සු කෙලියෙ එකට
Lovers  Quarrel  කිව්වෙ ඒකයි ...

ඒ කාලෙ අපේ මුලු ගාල්ලම එකයි ...
ගාල්ල අපේ අපි ගාල්ලේ ...

අපි වෙන්වෙලා හිටියෙ නෑ කෝන්තරයක් තිබුනත් දවසයි දෙකයි ...

ඇයි ඒ විතරක්යැ මාළු මාකට් එකේ ලෑල්ල වහල බාරොං මාමත් එන්නෙ ඔතනට ...
එතකොට එළවළු මාකට් එකේ මස් කඩේ රෙදි කඩේ
ඒ වගේම අන්නාසි මාම රටකජු පාල බාසුන්නැහෙ මේ අයත් තමන්ගෙ රස්සාව ඉවරවෙල එන්නෙත් ඔතනට ...

ජෝජි අයිය ...පීටර් අයිය ... රත්ත ... බූච්ච ... නිව්ටන් අයිය ... පියසේන අයිය ... හමීඩ් සෙට් එක ... තිරැප්පන් ... සපත්තු දොරේ .... තව නම් වැලයි ...

අයියල මාමල කිව්වට ඔය ඔක්කොම නෑදෑ නොවන නෑදෑයො ...

ගාල්ලෙන් මුලින්ම ලංකාව නියෝජනය කලේ ක්‍රිකට් වලින් නෙවෙයි
පාපන්දු වලින් ...
 
ඒ මම කලින් සඳහන් කල මාළු කඩේ බාරොං මාම ... පොඩි මහත්තය ... කන්නන්ගර ...  
බෙන් පෙරේරා (බෙනා සර්)

මේගොල්ලො බූට්ස් සපත්තු දැම්මෙ නෑ බෙයා ෆුට් තමයි ගැහුවෙ  ...

පහු කාලෙක ඇලෝසියස් එකේ වේරදුව පාපන්දුවෙන් ලංකාව නියෝජනය කල මට මතක ඇති
අපේ කාලෙ අපේම වීරයො අපේම වීරයො කිහිප දෙනෙක් ...

එතකොට පොලීසියෙ කොස්තාපල් මහත්තයි ඉස්පැට්ටර් මහත්තයයි ...

ඇයි කොටුවෙ ආමි කෑම්ප් එකේ කැප්ටන් ගජමන්ගේ ගෙ ඉඳල
සොල්දාදුව දක්වා ඩියුටි නැතිනං ඇවිල්ල එක පොදියට සෙල්ලම....

අපේ පරණ අගමැති විජයානන්ද දහනායක මහත්තයත් පොළට ගොහින් එන ගමන් වෙන්ටැ මිට නැවිච්ච
කළු දිග කුඩෙත් අරගෙන පයින්ම ...

ඔක්කොමල එක එකා දිහා බැලුවෙ එකම ඇස් මට්ටමකින් මිස නහයට යටින් නෙවෙයි
ඒකයි අනෙක් විශේෂය ...

ඒ වගේම ඩොක්ටර් මහත්තයයි ප්‍රොක්ටර් මහත්තයයි ...

ගාල්ලෙ අපිට මොන ප්‍රශ්නෙ ආවත් කවුරු හරි හිටිය ...
ඒ නිසාම අපිට ප්‍රශ්න තිබුනෙත් නෑ ආර්ථික ඇරෙන්න
ඒවත් සොමියෙන්ම වැළඳ ගත්ත ...

ඔය පිට්ටනිය දෙපැත්තෙන් එකපාරට පාපන්දු තරඟ දෙකක් ගහන ගමන් මැද්දෙ අපි ක්‍රිකටුත් ගහනව  
ඒ තරමටම විශාලයි ...

ආමිකාරයයි , පොලිස්කාරයයි ගනංකාරයි ඔක්කොම පිට්ටනිය පැත්තක එකට ටැක්සි ස්ටෑන්ඩ් අසල රාගෙ දානව ...

කට්ටියක් සෙල්ලම කට්ටියක් කයිය
තවත් කට්ටියක් හතෙන් පස්සෙ බෝතලයක අඩිය බලනව ...
රොකට් දුමකුත් ඈතින් ...
ඒ අස්සෙන් සයිඩ් ස්ක්‍රීන් එක පිටුපස්සෙ පුංචි ඡායාවක් ...                                                                    

බද්දෙගමද කොහෙද ... දන්නෝ දනිති ....

එවයින් මේවයින් ජොබ් ඉන්ටවිව්ත් තිබුන මේ පිට්ටනියෙ
ඇයි බිස්නස් ඩීල්ස් මංගල යෝජනා මෙකී නොකී සෑම දෙයක්ම ...

කළුවැල්ලෙ කෝවිලේ පූසාරි මහත්තය ඒ කිව්වෙ අපේ මිත්‍රය නඩාගෙ (නඩරාජ) තාත්ත ....
දාහක්  අපි  බෝල ගහල ඇඟිලි අතපය කඩා ගත්තම  අපි කාටත් පිහිටවුන
අපේ ආදරණීය පාදිලිතුමා අපේම දොස්තර Father Mark ...

ඒවගේම විද්‍යාලෝක පිරිවෙණේ පංති ඉවරවෙල යන තරැණ ස්වාමීන් වහන්සේලා ටික 

කඹ බානෙ මුස්ලිම් පල්ලියෙ ලෙබ්බෙ

මේ ඔක්කොම එකම කස ගහ යට ඉඳගෙන එකට අත්පුඩි තල තල මැව් බලපු අපූරැව ...

උඹට අමතක උනත් අමතක නොවෙයි  මට ...

අපිට ආගම් බේදයක් තිබුනෙ නෑ යකෝ
ඒ කාලෙ උඹල දැන් බෙදෙන්න හැදුවට ...
 
එහෙම නැතිනම් එක එකා උනුනගෙ වාසියට උඹල බෙදන්න හැදුවට ....

සමාවෙන්න ... ටිකක් තරහත් ගියා ...

ඒකමයි ඔය පිට්ටනිය අපේ හද ගැස්ම උනෙත් ...

ඉස්කෝල ගත්තොත්
ඇලෝසියස් ... මහින්ද ...රිච්මන්ඩ් ඕල්සන්ස් ... විද්‍යාලෝක ...සවුත්ලන්ඩ්ස් ... කොන්වන්ට් ... පරාක්‍රම  ... වැලිවත්තෙ ඉස්කෝලෙ සංඝාරාමෙ රෑ ඉස්කෝලෙ  ... මෙකී නොකී සෑම ඉස්කෝලෙකම අපි ඔක්කොම එක අම්මගෙ දරැවො වගේ ...

සෑම කෙනෙක්ම හැම ප්‍රැක්ටිස් එකක්ම මෙතන ...
කෙල්ලන්ගෙ ඉස්කෝල පිට්ටනියට එන දවසට පුංචි කිචියකුත් නැතිව නෙවෙයි ...

හැබැයි ඒ සහෝදර කමට මිසක්ක වෙන මක්කටවත් හෙම නෙවෙයි ...

සංඝමිත්ත ... රිපන් අපිට මිස් උනා ඒ ඉතිං එවුන්ට වෙනම පිට්ටනි තිබුන නිසා...

ඒ ඇරැනම ස්පෝට් මීට් නිදහස් උත්සව ... ඇසළ මේලා බක්මහ උළෙලවල් දේශපාළණ රුස්වීම් ...
මේ ඔක්කොම එකම පිට්ටනියෙ ...

ඇයි හෙලිකොප්ටරැත් බස්සනව ඔතනට
ඒකාලෙ හෙලිකොප්ටර් අද වගේ තිබුනෙ නෑ ...
රතුයි සුදුයි වන්ඩිය තමයි නිතරම එන්නෙ

කෙල්ලන්ගෙ ස්පෝට් මීට් වලට කොල්ලන්ගෙ ඉස්කෝලවල ඔක්කොම බුරැතු පිටින් යනව හුරේ දාන්න ...

හැබැයි කොල්ලන්ගෙ ඒවට උන් එකෙක්වත් එන්නෑ
තාමත් හිතා ගන්න බෑ ඇයි කියල ...
අපි කළු වෙන්ටැ ඒ දවස්වල ...

මට මහින්දෙ යාළුවො තරමටම අනික් ඉස්කෝලවලත් යාළුවො හිටිය ...
ගෑනු පිරිමි බේදයක් තිබුනෙ නෑ මුලු ගාල්ලම මගේ යාළුවො ...

උන් මට ආදරේ කරා මං උන්ට ආදරේ කරා බොක්කෙන්ම  ...

ඒ මම අතුල සමරසේකර වෙන්න කලින් ...
අයිස් මෝල හන්දියෙ නිකන්ම නිකන් සමරෙ කාලෙ ...

එනිසාම තමයි ඒ ආදරේ විශේෂ ...
ඒකමයි මේ අය ජීවිතේටම අමතක නොවන්නෙත් ...
හැම එකාම හැම එකාගෙම සනුහරේ හිට දන්නව ...
එතනයි ලෙන්ගතුකම ...

තාමත් මම උඹළන්ට ආදරෙයි බොක්කෙන්ම ...

ගාල්ලෙන් ඇවිල්ල අවුරැදු තිස් අටක් උනත් තාමත් ඒ සබඳකම් තියෙනව ...
අපි කසාද බැඳල  දරැමල්ලො හිටියත් ඒ සබඳකම් එහෙමමයි ...

ඒ හැමටම මුල ගාලු පිට්ටනිය ...

මට වගේම මේ හැමෝන්ටම ...

ඔය පිට්ටනියෙ තණ කොල කපන්න මැෂිමක් තිබුනෙත් නෑ  ...
ජීවිතේට තණ කොල කැපුවෙත් නෑ
ඒකට වග කිව්වෙ චීනකොරටුවෙ විමලෙ අයියගෙ හරක් පට්ටිය ...

විමලෙ අයියට අපි කිව්වෙ කව් බෝයි කියල ...

උන් අපූරැවට උන්ගෙ රාජකාරිය කලා ...
උන්ටම හිටිය කටුව කාපු සුනඛ සෙට් එකකුත් ....

ගාලු පිට්ටනියෙ හද ගැස්ම නැවතුනේ නෑ කිසිම දවසක ...
ගාලු පිට්ටනියෙ හෟදස්පන්දනය
එදා නැවතුනානං අපිත් එදා නැවතිලා නන්නත්තාර වෙලා මුලු ජීවිතයම
එකම විකාරයක් වෙන්න තිබුන ...

ඒත්. ...........

ඒකමයි අද වෙලා තියෙන්නෙත් ....
ගාලු මහජන ක්‍රීඩාංගනය ....

ගෝල් ඉන්ටනැෂනල් කරල ....

බන්ධනාගාරෙ වගේ ලොකු ගේට්ටුත් දාල
සිකුරිටි මහත්තුරු  හතර පස් දෙනෙකුත් ඉන්නව
අර මම කලින් කියපු උඹත්  මමත් ඇතුළු මුලු ගාලු ජනතාවම එලියෙන් තියන්න
 සත්තු සෙට් එකත් එක්කම ...

දැනටමත් උන් උඹළ අපිව වෙන්කරල සීසී කඩ යවල ඉවරයි ...
ඉස්සර එකට හිටිය උන් දැන් තැන් තැන් වල ...
එකාට එකා අඳුරන්නෙ නෑ ...
ඉස්සර බෝල ගහපු එකා දැන් කුඩු ගහනව ....

අයි  ඒ  ?   
ඌට යන එන මං නෑ ඒකයි ...

මුළු ගාලු ජනතාවගෙම හදවත ඒ ජනතාවගෙන්ම කොල්ල කාල ...  
      
තූර්ය වාදන ගැටබෙර හඬ මැද්දෙම ඒ කාලකන්ණින්ගෙම තාලෙට ...

අහිංසක උන්ට ජ්‍යාත්තන්තරය පෙන්නල
එකම ක්‍රීඩාවකටම වෙන් කරල ...

කොහොමද එහෙම කරන්නෙ ?????????

මේ කියවන උඹල එකඟ වෙන්නත් පුළුවන් නොවන්නත් පුළුවන් ...
එත් ඉතිං ඔය මට හිතෙන හැටි ...

ඒක නං වෙනස් වෙන්නෙ නෑ මං මැරැවත්.....

අපිත් එක්ක ඔය පිට්ටනියෙ එකටම සෙල්ලම් කරපු මැති ඇමතිවරු
එදත් හිටිය අදත් ඉන්නව හෙටත් ඉඳියි  රාජ සභාවෙ ...

මේ උන්නාන්සෙලටවත් තේරිල
ආයෙත් ගාලු ජනතාවටම ගාලු ජනතාවගෙ හදවත බාරදෙනවනම් ...

මසුරං

සැන් ජෝන්ස් .... රතු කුරැසෙ ..... මක්කටෙයි මං එන්නං
මුවට මුව තියන්න    ෴


Anything you remember about old Galle Esplanade please add as a comment,   
Memories ..........

No comments:

Post a Comment