කියවූ තරම්

Wednesday, September 7, 2022


මේ සුපින්වත් යුවල අපේ කාලේ ගාලු ටවුම අවට ...

ඒ කියුවෙ අයිස්මෝල හන්දිය චීනකොරටුව මිනුවන්ගොඩ
වලව්වත්ත ඔරොප්පුවත්ත වැලිවත්ත
පෙට්ටිගලවත්ත  මහවීදිය කළුවැල්ල
මෙකී නොකී ගම්වල හැදිච්ච  එකෙකුට
අමතක නොවනා යුවලක් ...

මොකාට අමතක වූවත් මගේ පපු කැනැත්තෙ
මේ දෙපොලට ඇත්තෙ විශේෂිතම ස්ථානයක් ...

මම හිච්චි එකා කාලෙ ඔය මහත්තයම
කීපාරක් මාව බේරගෙන තියෙනවද ...

කැස්ස හෙම්බිරිසාවෙ සිට කැපුම් කෙටුම් තැලීම් සීරීම්
කැඩුම් බිඳුම් සරම්ප ගස්ලබු උණසන්නිපාතෙ දක්වා ...

මමත් හරි තැන්පත් තිබ්බ තැන තැම්බ වගෙ හිටිය එකානෙ
අවුරුදු හයේදි තමයි මං මුලින්ම ඉස්පිරිතාලෙ හිටියෙ ගලක් උඩ වැටිල නහය කඩාගෙන
තවමත් ඒ කැළල ලාවට නහයෙ ...

මමම විතරක් නෙවි
පෙර නම් සඳහන් කල ගම් වලින් තුන්කාලකටත් වඩා  
මේ දෙවිය එදා රැක ගෙන ඇති ...

මගෙ මතකෙ ඇඳෙන රුව අනුව
සැමදා පාන්දර ක්ලීන් සූට් එක දාගෙන නලාව
බෙල්ල වටේ මාලයක්‍ වගෙ දාගෙන
පයින්ම කඩිසර ගමනින් ඩිස්පැන්සරියට යන
මේ දොස්තර මහත්‍තයගෙ සීදේවී හිනාව
ඒ කාලෙ නොදුටු දවසක් නෑ ...

උදේ අටේ ඉඳල හවස හත අට වෙනකං
එතුමගෙ කිරිසුදු දත් තිස්දෙකට මැදිවෙල හැපෙන
වැල්මී නට්ට එතුමා ජන්මෙන්ම ගෙනා පුරුද්දක් ...

ගම්වල ඒකාලෙ හැදුන අපිට එතුමගෙ පිහිට විතරමයි තිබුනෙ ...

අනෙක් දෙවිය
පිං බෙහෙත් ශාලාවෙ වෙද මහත්තය ...

පිං බෙහෙත් ශාලාවෙ බෙහෙත් වලට සල්ලි ගත්තෙ නෑ
ඒකයි ඒ නම ...

ඉතිං ගමේදි ලෙඩ වෙච්‍චි එකාට
කසාය තෙල්බේත් ඕනෙ නං පිං බෙහෙත්‍ ශලාව ...

බේහෙත්‍ කුඩුයි බෙහෙත්‍ වතුරයි ඕනෙ නං ඩිස්‍පැන්රිය ...

අද වගෙ ප්‍රයිවෙට් දොස්තර කඩ හොස්පිට්ල් ඒ කාලෙ  නෑ ...
චැනලින් සර්විස් අහලත් නෑ ...

දැන් අඩියෙන් අඩිය ඉස්පිරිතාල බිහිඋනාට
හැට හැත්තෑව දශක වල මුළු ගාල්ලටම තිබුනෙ
මහමෝදර මහ ඉස්පිරිතාලෙ විතරයි ...

ඒ කියුවෙ ගමේ කෑම වල ලෙඩ නෑ ...
ඇයි බං දැන් කාලෙ කෑමෙන්නෙ බාගයක්ම ලෙඩ එන්නෙ ...

ඉතිං මේ දෙවියගෙන් ගම් හත අටකට වුන සේ‍වයට
අදටත් ලන්සු තියන්න කොහෙත්ම බෑ ...
ලෙඩ වෙච්චි එකෙකුට ඔය මහත්තයගෙ හිනාවම ඇති ලෙඩේ හොඳ වෙන්න ...

උණ කට්ට ගසල අරගෙන දිව යට තියල
පපුවට නලාව අල්ලල නාඩි බලල දෙන
එක බෙහෙත් වඩියක් ඇති ඇඟේ තියෙන
හැම බඩ කඩුත්තුවක්ම තොලොංජිවෙල යන්න ...

හරියට මහඖෂද පණ්ඩිත තුමා වගෙ
උන්නාන්සෙ මූණ දිහා බැලුවත් ඇති ලෙඩෙේ හොඳ වෙන්න ...

බිල වැඩිම උනොත් රුපියල් හයක් හතක්  ...

ඔය දොස්‍තර මහත්‍තයත්‍ එක්ක ඈඳිච්ච
හිච්‍චිම කාලෙ මට  අමතක නොවන
තවත් සිද්ධියක් තමයි
අපෙ තාත්තගෙ පණ ගිය දවස ...

එදා උදේ ගෙදර හැමෝම තාත්ත බදාගෙන කෑගහන කොට
කමිසයක්වත් නැතිව මම කෙලින්ම දිව්වෙ දොස්තර කුවින්ටස් මහත්‍තයගෙ ගෙදර ...
 
එතකොට එතුමාගෙ පදිංචිය චීනකොරටුව හරස්පාරෙ එතුමගෙ පියාගෙ ගෙදර ...
පහුකාලෙක ගාල්ලෙ මිණුවන්ගොඩ ගෙයක් හදල පදිංචියට ගියා ...

දෙස්තර මහත්තයගෙ දොරට තඩිබාපු
මම එතුමගෙ ඇඟේ එල්ලිල ළතෝනි දුන්නෙ
තාත්‍තට මක්කද උනා දොස්තර මහත්තයෝ ඉක්මනට එන්නෝ ...
දොස්‍තර මහත්තයත් එක පිම්මෙ අපේ‍ ගෙදර ...

ගෙට ගොඩ වැඩිච්චි දොස්තර මහත්තය
තාත්‍තා දිහා බලල තොල පෙරලල
හිස් බැල්මෙන් ඔලුව වැනුව විතරයි ...

අපේ දොළොස්මහේ පහන සදහටම නිවිල ...

එදා ඉඳල ගෙදර තිබුනෙ රෑට එහෙ මෙහෙ යන කළාමැදිරි එළි විතරමයි ...
ඔය ජීවක මහත්තය ගමේ තිබුන හැම ගෙදරකටම දෙවියෙක් ...

අතපය කඩා ගෙන ගිය හැම වෙලාවකම බෙහෙත් දාල ගත්තෙ
සත පනහක් හැත්තෑ පහක්  විතරයි ...

සිරිසේන අයියයි සිරිවර්ධන අයියයි තුවාල සුද්ද කරල
බෙහෙත් දැමීමෙ කටයුතු කරගෙන ගියා
බෙහෙත් කලවම් කලෙත් ඒ දෙපලමයි ...

මේ සුපින්වත් දොස්තර මහතා සහ නෝනා
අවුරුදු හතළිහකට විතර පසුුව මට නැවත හමුවුනෙ
පහුගිය වතාවෙ අපෙ මංගලයගෙ පාස්ට ෆැක්ටරියට
කොල්ලො දෙන්‍නත් එක්ක කෑමට ගිය වෙලේ ...

වට්‍ අ ප්‍ලසන්‍ට්‍ සප්‍රයිස්.
මෙන්න බොලේ අපේ මේසෙට එහා මේසෙ පොඩි පුතත් එක්ක ...

පොඩි පුතත් දැං පොඩි නෑ
ඒකාත් ජෝන් සීනගෙ මල්ලිගෙ යාළුවෙක් වගෙ ගජ ඉලංදාරිය ...

දුව නං දැං කොයි ලෝ‍කෙද දන්‍නෑ ඒකිත් ඒ කාලෙ යස හැඩකාරි ...

පුදුම අහඹු නැවත හමුවීමක් ...

මංගලය ඇඟිල්ල දික්කල ගමන්ම
මම නං අඳුන ගත්ත ...

ඒ වැල් මී හිනාව තාමත් එහෙමමයි ...

ඒතුමට නං මාව අඳුර ගන්න බැරි උනා ...

ඇයි බං පාලහෙදි දාසයෙදි දැකපු එකා
පනස් හත වෙනකොට කොච්චර වෙනස් වෙලාද ...

Dr Quintus De Silva

ක්වින්ටස් ද සිල්‍වා ජීවකයාණනි සමහර විට ඔබ එදා නොහිටියානං ...
ගමෙන්‍ බාගයක් විතර අඩි අටක් යට

නිහතමානී සුන්දර ජීවකයාණනි
ඔබ නැවත දැකීමත් භාග්‍යයකි පිනකි ...

ඔබ තුමාට සහ කරුණාබර නෝනාට මා මෙසේ පතන්නම් ...

සියක් ආයු ලැබ මගෙත් ආයුගෙන
මටත් වඩාකල් ඔබ ජීවත් වේවා !

මෙතුමා ගැන මතකයන්
අපේ කාලෙ එකෙකුට මේ ලිපිය කියවන විට දිගහැරුන හොත්

ඒ මතකයත් බෙදා ගැනීමට ඇරයුම් ...

*****




3 comments:

  1. කොළොම්පුරයා ගාලු කොටු බැම්මේ අයිනේ නාව්ක පුහුනුව ලැබූ කාලේ දන්නේ දොස්තර මහත්තුරු දෙන්නයි. එක්කෙනෙක් ගිනිගේ දොස්තර මහත්තයා අනික් එක්කෙනා කොටුවේ ආමි කෑම්ප් එක ගාව තිබුන ලංකා නර්සින් හොම් එකේ පෙරේරා දොස්තර මහත්තයා. එයාගේ අකුරු සෙනරත්
    පරණවිතාන මහත්තයාට වත් කියවාගන්න බෑ. කෙසේ වෙතත් කොළොම්පුරයාගේ ගාලු අතීතයේ මතක සටහන් එක්ක ඔය වටිනා ජීවක මහතාට දීර්ඝායුෂ පතමි.

    ReplyDelete
    Replies
    1. ක්වින්ටස් මහත්තය හැට ගනන්වල ඉඳල අනූ ගනන් දක්වා හිටිය.ගිනිගේ මහත්තය ආවෙ පහු කාලෙක.අසූ ගනන්වල වෙන්ටැ මයෙ හිතේ.ඩී ඇන් පෙරේරා මහත්තයත් ක්වින්ටස් මහත්තය වගේ ගාල්ලෙම තමයි හිටියෙ,ගාලු කොටුව ඇතුලෙ මහජන බැංකුවට අල්ලපු වත්තෙ

      Delete