කියවූ තරම්

Wednesday, February 9, 2022


හරි බං හරි හරී මං නෑ කීවෙ නෑනෙ ...

ඒ කාලෙත් ඉඳල හිටල
දින පහේ ඒවා දින තුනෙන් ඉවරවුනා තමයි ...

ඒ කාලෙ කියුවෙ 94ට කලින් ...

(94ට පහු ඒව ගැන කතා කරන්න බෑ
මම හිටියෙ නැති නිසා)

මම මේහ් ...
ඒ කාලෙ පැරදුනාට කමක් නෑ කියල හේතු දක්වනව හෙම නෙවි ...

නමුත් 94ට කලිනුයි 94ට පසුවයි
පැහැදිලි වෙනසක් හැම පැත්තකින්ම තිබුනා ...

ඔය කියපු වෙනස මම දුටු හැටි සහ
මට වගේම තවත් ක්‍රීඩකයන් රොත්තකට බලපෑ හැටියි මේ ...

අනෙක් අයගේ අතීතය මම හරිහැටි නොදන්නා නිසා
මෙතනටද මාවම ඈඳන්නං ...

මම ඔතනට ආවෙ 82කේ මැද
ඔතන කියුවෙ සංචිතේට ...

මුලින්ම අපේ කාලෙ සහ අපිට කලින් සෙල්ලම් කල එවුන්
හවස හතර පහ වෙනකල්  මාසෙ පඩියට ෆුල් ඕන් රස්සාව කරල
4රෙන් 5හෙන් පස්සෙ ලංගමේ ෆුට් බෝඩ් එකේ එල්ලිල
පිටිය ළඟම හන්දියෙන් බැහැල පයින්ම පිටියට ඇවිල්ල ...

පුහුණව අහවර වෙල පයින්ම ගොහින් බස් එකට නැගල එතනින් ආයෙත් පයින්ම ගෙදර ගොහින්
පහුවදා ආයෙත්‍ හයට නැගිටල
බත් ගෙඩියක් සමිබෝලයක් එක්ක බැඳගෙන
පයින්ම පාරට වැඩල ලංගමේම ආයෙත් වැඩට ...

මේ කාල සටහන සතියේ දින පහම මතක ඇතිදා සිට
සංචතියෙන් පැන්ෂන් යනදා තෙතක් ...

ඔය කියුවෙ පුහුණුවට සහ සති අන්තෙ තරඟවලට පෙර
සාමාන්‍ය සරාංශයක් පමණයි ...

වැඩි විස්තර ඉන් ඩීටේල්ස් අවශ්‍යමං නං තව දෙතෑකි

ගෙවීම් නං නෑ
මාසෙ අන්තිමට අතට ලැබෙන පඩි පතෙන් තමයි සෑම වියදමක්ම
ඒ කියන්නෙ අතේ තියෙ තුට්ටු දෙකටත් තට්ටු මලේ ...

තමුන් ක්‍රීඩා කරන සමාජෙ සාමාජිකත්වයත් තමුන්ම
සල්ලි දීල ගන්න ඕනෙ
වැරදිලවත් මුදල් අගහිඟ වෙල ගෙවන්න අතපසු උනොත්
සාමාජිකත්වය අහෝසි කරනව කියල ලියුම එනව ගෙදරට
ඒ වෙලාවට අතමිට යහමින් තියෙන කාරුණික සමාජික මහත්තෙයක් ඒක ගෙවනව
නැතිනං අපි ක්‍රිකට් ගහන එක නවත්තල සෑහෙන කල්
ක්‍රිකට ගහන්න කලින් බඩගෝස්තරේ හොයාගන්න එපායැ බං ...

හැබැයි  දැන් එවුනුත් එහෙම ගහන්න ඕනෙ කියල
තුන් හිතකින් වත් කියන්නෙ නං නෑ ...

****

පුහුණුවට ආපසු ...

දැන් නං ඉතිං මහ කෝච් ඇරුනම
ෆීල්ඩිං කෝච්‍ බැටිං කෝ‍ච් ෆාස්‍ට් බෝලිං කෝච් ස්‍පින්‍ කෝච්
ෆිට්නස් කෝච් ඇනලයිසර්  ෆිසියො මැසියෝ
ඩයටීෂන් සයිකොලොජිස්ට්
කෝචිං ඩිවලොපමන්ට්ස් කොචිං එඩියුකේටර්ස් කෝචිං සෙමිනාර්ස්
බ්‍රේන් නොමැති බ්‍රේන් සෙන්ටර්ස්
මයෙ අප්පේ මොක්කුද මක්කද  බං නැත්තෙ ...

ඔයට අමතරව ඔය හැම එකටම වගේ ඇසිස්‍ටන්ලත් ඉන්නවනෙ බං ...

මයෙ අප්පේහ් ...
ටීම් එකේ එකොලහටත් වැඩියි කෝච්ල තොගේ ...

 
විශ්වාස කරපල්ල 94ට කලින් සංචතියට හරි කණ්ඩායමට හරි තේරුණ එකෙකුට  
ඔය කෝච්ල එකෙක්වත් නෑ ...

ඒ කාලෙ උන් ගැහුවෙ කෝච්ල නැතිව ...

අම්මපා බං ටුවර් වලටත් කෝච්ල නැත ...

ගමනා ගමනයට පමණක් සල්ලි දීල ටිකට් අරං
ලංගමෙන් මාර්ග අංක ගහපු රෝද හතරෙ කෝච් එකක් ඇත ...

ඉස්කෝලදි හිටිය කෝච්ගෙන් උගත් දේ තමයි සිරි ලංකා ටීම් එකට ඇවිත් පාවිච්චි කරෙත්
පසුව ජාත්‍යන්තරේට ගොහිං එවුන් එක්ක ගුස්පි ඇල්ලුවෙත් ඒ උගත් දෙයින්ම තමයි ...

මණ්‍ඩලෙන් කෝච් කියන නම දාල වෑන් සිල්වා සර්  හිටිය නෙට් එක රන් කරන්න ...

වසරක් දෙකක් විතර එංගලන්තෙ දොන් ස්මිත් මහත්‍තයත් ඕස්ට්‍රේලියාවෙ ඉඳල ඇවිත් හිටිය ...
 
රත්තරං මනුස්සය ...

හැබැයි ක්‍රිකට් වලින් නං ඉස්කෝලෙදි මේජර් සර් කියාදුන්න ඊට වැඩිය ...

එදා කෝච්ලට වැඩිම උනොත් මාසෙට රුපියල් තුන් හාරදාහක් ගෙවන්න ඇති ...

අනෙක අද කෝච්ලට වගෙ ඊසීබී ලෙවල් ෆෝ ඕස්ට්‍රේලියා ලෙවල් ත්‍රී හයි ෆෆෝමන්ස්
බඩකඩුත්තු මක්‍කවත් නෑ ...

වෑන් සර්ට නං තිබුනෙ "අබු ෆුවාඩ් ලෙවල් සික්ස් විතර"

පුහුණුවට ආවම වෑන් සර්ගෙ කටේ තිබුනෙ එකම වාක්‍ය තමයි ...
 
"අයිසේඒඒඒ ඈස් අබූ සේඒඒඒස් "

ඕං ඔයිට එහා නෑ එයාට ...

ඒ කියන්නෙ වෑන් සර් පියුං මහත්තය වගේ ...

උන්දැලත් ඉතිං අපිටම හොඳයි
හොඳ අහිංසක රත්තරං මනුස්සය ...

හොඳට තීන අත පය තව තවත් හදනව ඊට එහා දෙයක් නෑ ...

"අනේ සර් අම්ම අප්ප ඕව
පොඩි කාලෙ ඇද ඇරල හැදුව ආයෙ හදන්‍න අවශ්‍ය නෑ"  කීවම
කටපුරා හිනාවක් දාල තමුසෙත් එක්ක මොකුත් බෑ ඔයි කියල යනව ...

අසූ තුනේ ලෝක කුසළාණෙට පමණක් ගාෆීල්ඩ්‍ සෝබර්ස් ශ්‍රීමතානන් ඇවිත් හිටිය මාස තුනකට විතර ...

එතුමා නිසා මටත් මහ රැජිනත් එක්ක බකිංහැම් මාලිගාවෙ කොක්ටේ‍ල් ගහන්‍න අවස්ථාව ලැබුන ...

නැතිනං අයිස්‍ මෝ‍ල හන්දියෙ අතුලයට මොන වර්ල්‍ඩ් කප්‍ද බං
කපපු කැපිල්ලට ...

සෝබර්ස් උතුමානන් බුදුන් දැක නිවන් දකින්න ඕනෙ ...

ක්‍රීඩකයන්ගෙ පුහුණුවත් ඉතාමත්ම අඩු පහසුකම් යටතේ ...

එන්සීසිය පැත්තක තිබුන පුහුණු  තීරු තුන හතරයි ...

ඒකෙත් සමහර දවසට බෝල කටේ ...

එදාට ඉතිං අපි තමයි මුලින් බැටින්
මහ උන් රෙස්ට් අපි බිලි බෝයිස් ...

ඒකෙම පැත්තක තිබුන ඉන්ඩෝ නෙට් එකේ ගඩ ගඩ සද්දදෙට
කෑලි වෙව්ලන බෝලිං මැෂින් දෙකයි  ...

ඒව පාවිච්චි කරන්‍න ඉන්ඩො එක බලාගන්න
සනි අයියගෙ රුස්පොට්‍ බලන්‍න ඕනෙ ...

පුහුණුව අතරෙ තිබහ උනොත් කට තියාගෙන බොන්න
එන්සීසියෙ මලකඩ පයිප්පෙයි තමයි අපේ සන්තකේ ...

පහුකාලෙක වතුර සැපයුව ...

ඒ කීවට බෝතල් වතුර නෙවි ...

ලොකු බාල්දියකට අර කලින්‍ කියපු පයිප්පෙන්ම
කට කැපෙන්න වතුර එකක් පුරවගෙන අයිසුත් දාගෙන ...
 
අපේ මාතර ලකිය නෙට් එක ලඟට ගේනව ප්ලාස්ටික් කෝප්ප දෙක තුනකුත් සමග ...

පාරෙ පයිප්පෙන් උනාට අයිස් දාපු වතුර එකත් අපිට ෆුල් ලක්ෂරි ...

අම්මපා බං කිව්වට විශ්වාස කරපල්ල ඔයිං එහා පහසුකමක් අපිට තිබ්බෙ නෑ

90වෙ මුල බාගෙ විතර ඉඳල
ඉඳියප්පයි මසුයි පරිප්පුයි බිතරේකුයි දුන්න බිකෝසූල් විටමින් පෙත්තකුත් සමග උදේට ...

ඒවනං ඉතිං දිව්‍ය භෝජන තුන් වේලම කඩෙන් ගල් මිශු බත් ගෙඩිය කාපු අපිට ...

පාළක මණ්ඩලයත් මූල්‍ය අතින් ඉතාමත් පහත් අඩියක ...
ඉතිං අපි ගැන මොන කතාද ...

ඇයි අමාරුවෙන්‍ කඹුරල එතනින් ලැබෙන දෙයක්නේ
අපිටත් සාක්කුවෙ දාගන්න දුන්නෙ ...

ඒ කියුවෙ ක්‍රීඩකයන්‍ට සංචාරයකින් අපිට ලැබෙන සොච්චමෙන්
ගානක් කපාගෙන තමයි මණ්ඩලෙත් රන් එක දුන්නෙ ...

ඒ කාලෙ නෑනෙ බං ස්පොන්සර්ස්ලයි ටීවී රයිට්ස් ගන්‍නයි එවුන් ...

මණ්ඩලේ මූලස්ථාන කාර්යාලෙ මහතැනගෙ ඉඳල පියන් දක්වා
වැඩ කලෙත් හත් අට දෙනෙක් පමනයි
ඒ වැයිනුත් බාගයක විතර හොනරරි ජොබ්ස්  ...

දැන් නම් ලංකාවෙ ජනගහනයෙන් අටෙන් එකක් විතර එතන ඉලක්කං හයේ පඩියට...

තව තව කමිටු තිබුන තමයි ....
ඒත් ඒ මහත්වරු තම තමන්ගෙ රස්සාවල් කරල හැන්දෑවට
රුස්වීම් වලට පමනයි මණ්ඩලේට ආවෙ

ඒවටත් සත පහක්වත් ගෙවීම් නෑ ගරු කටයුතු වැඩ  ...

සෑම සංචාරයකදි සෑම පැත්තකින්ම මේ මූල්‍ය මදකම පෙන්නුම් කලා ...

ඒ දවස්වල ක්‍රීඩකයන්ට ගෙවපු මුදලෙන් රටකජු කන්නත් බෑ  ...

මගේ මුල්ම සංචාරය 83නේ ලෝක කුසළානය එක ක්‍රීඩකයෙකුට පවුම් නව සීයක් සති හයකට ...

දවල්ට රෑට කෑමට කිලිටි ඇඳුම් සෝදගන්න වෙනම සුළු ගානක් අමතරව

එතකොට පවුම රුපියල් 35ක් 38ක් ...

සංචාරයක් යන කණ්ඩායමකට නිළධාරීන් ගත්තත් දෙදෙනෙක් පමනයි

කළමණාකරු සහ  සහායක ...

සංචාරක පුහුණුකරුවෙක් ගැන හිතලවත් නෑ ...

රට යනකොට ප්ලේන් එකෙත් තුන්වෙනි පංතිය ...
එහෙම කියුවම යන එවුන්ගෙ හිතට හරි නැති නිසා ඒකට
එකොනොමි ක්ලාස් කියලත් කියනව ...

ක්‍රිකට් ආම්පන්න ඇඳුම් පැළඳුම් ඇතුළු ගමන් මලු
අපේම වියදම්න් අපිම හොයාගන්න ඕන

රට යනකොට බෑග් දෙකටම  කිලෝ විස්සයි ...
බර වැඩි නං එක්සස් බැගේජ් අපිම ගෙවිය යුතුයි කිලෝ ගානට
නව ක්‍රීඩකයන්ට වගේ බැට් දහය පාලහ නෑ
ක්ලබ් එකේ කිට් බෑග් එකෙන තව එකක් ඉල්ලං යන්න හැකි වුනත්
කවුද බං එක්සස් බැගේජ් ගෙවන්නෙ ...
ඉතිං රට යනකොට එක් බැට් එකයි
ඒක කැඩුනොත් තව ක්‍රීඩයෙක්ගෙන් ඉල්ලගෙන ගහනව ...

හැබැයි යන්නෙ නං රට නියොජනය කරන්න ...

"ටු රිප්‍රසන්ට් ද කන්ට්‍රි"

අනේ බං ඉඳල ඉඳල අවුරුදු ගානක් කඹුරල සංචාරයක් ලැබුනම ...
ඒ ලැබෙන තුට්ටු දෙකෙන් එක්සස් බැගේජ් ගෙවන්න ???
කාට කියන්නද මේ හරුප ...

ඇයි බං අම්මට අක්කලට සාරියක් සායක් ගන්න අයියලට කමිසයක් දෙකක් ගන්න අපි මුදල් ගෙදරින් ගෙනියනවයැ ...
ඉතිං ගෙදර උන්දැලට ගන්න තෑග්ගෙන් තමයි එක්සසු බැගේජ් ඒක අඩුකරන්නෙත් ...

තරු තුනේ හෝටලයත්  ඉතාමත් අමාරුවෙන් තමයි ලැබුනෙ ...

ලංකාවෙ සෙල්ලම් කළ ජාත්‍යන්තර තරඟ වලට බෑග් එකත් උස්සගෙන යන්නෙ
ගෙදර ඉඳල ලංගමේ පිහිටෙන් තමයි ...
බස් හොල්‍ට් එකේ බැහැල පිට්‍ටනියට පයින්

භෞත චිකිත්සක කෙනෙක් ඇස් දෙකට දැකලවත් තිබුනෙ නෑ
ගාල්ලෙ මහ ඉස්පිරිතාලෙ මනුස්සය ඇරුනම ...

ඒකා බලන්නත් උදෙන්ම ගිහිං තුණ්ඩුවක් ගත යුතුයි ...

fපිසියො කියල කිව්වම "ඒ මොකාද බොල ඒ"
කියල අහපු කාලෙකුත් තිබුන ...

අපේ කාලෙ එවුන් යුනිfපෝම් කියන්නෙ මොනවද කියල දැනගෙන හිටියෙත් නෑ .....

අපි හිතුවෙ යුනිfපෝම් කිව්වම ත්‍රිවිධ හමුදාවටයි පොලීසියටයි බන්ධනාගාර නිළධාරීන්ටයි විතරයි ඒව තියෙන්නෙ කියල ....

ඉතිං සංචාරෙකදි හෝ ලංකාවෙදි පුහුණු වීම් වලට
එක එකාට තියෙන විදියට
ටී ෂර්ට් දෙක තුනක් ගෙනියනව
නැතිනම් කාගෙන් හරි ඉල්ලගෙන යනව

මමත් මුල දවස්වල අයියගෙ (AJ) පිහිටෙනුයි යාළුවන්ගෙ පිහිටෙනුයි  තමයි හිටියෙ ....

ටීම් වෝම් අප් එකට බැස්සම හින්දි චිත්‍රපටියක් වගේ ඊස්ට්මන් වර්ණ
 
එක එකා එක එක පාට අහිංසක සමණළයො වගේ ....

ඇඳන් යන්න දෙන කබාය (Blazer) හදිසියෙවත් ඉරුනොත් ...
අමරදේව මාස්ටර්ගෙ කබාය ඉරිලා සිංදුව ගහගෙන තමයි ඉන්න වෙන්නෙ ...

අළුත් කබායක් ගන්න පිංසෙන්ඩු වන්න වෙනව ...

ඉබ්බෙක්ගෙන් පිහාට්ටක් ගන්න පුළුවන් ඊට පහසුවෙන් ...

ඇයි ටයි පටිය ...
ඒකට මක්කවත් උනොත් ලියුමක් ගහල උන්ට පිලිගන්න පුළුවන් හේතු කියල
නාහෙන් අඬන්න වෙනව අළුත් ටයි පටියක් ගන්න
ග්‍රාමසේවක සහතිකේ විතරයි ඉල්ලන් නැත්තෙ ...

මම අවුරුදු තුන හතරක් විතර පාවිච්චි කලෙ එකම ටයි එක ...
ඇයි ලංකාව නියෝජනය කරන්න යන්න ටයි එක මාරු කරගන්න
උන්ට ලියුම් දීල හැත්තෑ හතරට විතර නැවෙනවට වැඩිය හොඳයි පරණ එකම පාවිච්චි කරන එක ...

අනෙක ඉංගිරිසියෙන් එපැයි ලියුං ලියන්නත් බං ...

"හුහ් අපි නොදන්න ඉංගිරිසි"

මැච් වලටත් එහෙමයි ...
තියෙන විදියට සුදු ඇඳුමක් දෙකක් සූට් කේස් එකට
නැතිනම් ට්‍රැවලින් බෑග් එකට ඔබා ගන්නව ...

සිංහය පපුවෙ ගහපු කමිස ඒකාලෙ එකෙකුටවත් තිබුනෙ නෑ ඒ...

හැබැයි සිංහය ...
පපුවල විතරක් නෙවි කැවුත්තෙත් අපිම කොටා ගෙනයි තිබුනෙ ...

රෝද සමග ක්‍රිකට් බෑග් තියා නිකං ක්‍රකට් බෑග් තිබුනෙත් නැත
අනෙක් ඒවත් එහෙමම තමයි ...

ක්‍රීඩා සමාජෙ කිට් බෑග් එකට පින්සිද්ද වෙන්න
අපිට ඇති තරම් බඩු තිබුන ...

මුල් කාලෙ අපිටම කියල දෙයක් තිබුනෙම නෑ ...

මමත් 83නේ ලෝක කුසළානෙට තේරිල එංගලන්තෙට යනකොට
ටැමිල් ක්ලබ් එකේ කිට් බෑග් එකෙන් තමයි බැට් එකයි බඩු ටිකයි ඉල්ලගෙන ගියෙ

ගිහිල්ල ඇවිත් ආපහු ඒ විදියටම බාර දුන්න ...
නැත්නම් ක්ලබ් එකේ අනෙක් උන්ට සෙල්ලම් කරන්න බඩු නෑ ...

ඔය තමයි අපේ කාලෙ උන් ගහපු හැටි ...

උඹල හීනෙකින්වත් හිතන් නැතුව ඇති මෙහෙමත් කාලයක් තිබුන කියල ...

අපිට කලින් සෙල්ලම් කල අයට මීටත් වඩා අන්තයි ...

හැබැයි ඉතිං එහෙම කලේ මණ්ඩලෝ නැති බැරි කමට මිස
අද වගේ බහිරවයො ගහල නං නෙවි ...

ස්වේච්චාවෙන් වැඩ කරල තමන්ගෙ අතේ තුට්ටු දෙක වියදම් කරල
ප්ලේයර්ස්ල බලාගත්තු මහත්වරු තමයි වැඩියෙන්ම  හිටියෙ ...
 

ඕං ඕකයි වෙනස ...
*****

මේ අඬනව නැතිනම් ...
අනෙක් උන්ට ඉරසියාකරනව නම් නෙවි .

තුන්හිතකවත් එහෙම දෙයක් නෑ ...

අද කාලෙ ටික් ටොක් රසිකයන්ට අර මම මුලින් කී වෙනස දැනගන්නයි සඳහන් කලේ ...

ක්‍රීඩකයන්ට හොඳට ගෙවන්න ඕනෙ ...

මොකද බොක්කෙන්ම ගේමට බහිනවනං පුදුම කැප කිරීමක් අවශ්‍යයි

හැබැයි ඒ ගෙවීම් සාක්කුවෙ දාගෙන රටටයි බොක්කෙන්ම ක්‍රීඩාවට ආදරය කරන රසිකයන්ටයි ණය කාරයන් වෙන්නෙ නැතිව ...

*******

8 comments:

  1. මට මතකයි 1995/96 ඕස්ට්‍රේලියානු සංචාරය අතරතුරේ සංචාරක ලංකා ක්‍රීඩකයින් රෙදි හෝදා ගන්න යාලුවන්ගේ ගෙවල්වල්ට යනවා ලොන්ඩ්‍රි ගාස්තු ඉතුරුකර ගන්න කියා පත්තරේක ගියා.

    කිචේට නොවෙයි හොඳට.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත,ඒ දීපු මුදලින් හෝටලෙන් ඇඳුම් හෝදනව බොරු
      ඕං හෝටලෙ අයිනෙ හිච්චි දොල පාරක් වත් තිබුන නං ...

      Delete
    2. සහතික ඇත්ත,ඒ දීපු මුදලින් හෝටලෙන් ඇඳුම් හෝදනව බොරු
      ඕං හෝටලෙ අයිනෙ හිච්චි දොල පාරක් වත් තිබුන නං ...

      Delete
  2. මේව කියවද්දි චයිනමන් මතක් වෙනව

    ReplyDelete
  3. දැන් උන්දලට මොන පහසුකම් මදිද මන්ද මැච් ඇර අනෙක් ඔක්කොම ගහනව...

    ReplyDelete
  4. ගරු කටයුතු වගේ තමා බලන් ගියහම.

    ReplyDelete
  5. ක්‍රීඩාවේ අපි නොදැණ හිටි පැත්තක්.🤔🙏👌

    ReplyDelete
  6. Ayiye Arjuna and Aravinda genath article ekak liyanna. Oya cricket patan gaththa kale indan 1994 dakwa siduwu deth dala..Theruwan Saranayi!!..

    ReplyDelete