කියවූ තරම්

Saturday, June 19, 2021

චූටි

 10.2.18

චූටි ...

හිච්චිම කාලෙ මගේ යාළුවො තමයි චුට්ටයි චූටියි
සෙල්ලමටම තමයි හිත හිච්චි එවුන්නෙ බං ඉතින් ...

චුට්ට මෙත්තානන්ද චූටි චිත්‍රානන්ද අයිය මලෝ
චූට්ට වැඩිමල් චූටි මං වගේම බඩපිස්ස

පහු කාලෙක තල හාමිනේගෙ කඩේ ප්‍රියන්තයි ජයන්තයිත් මට එකතුවුනා ...

ඒ ගොල්ලො ආවෙ කොළඹ ඉඳල මයෙ හිතේ ...

ප්‍රියන්තය දැන් ටයිනි මුදලාලි Kingsly Chitraratne සිරා පොරක් ...

චූටි මග හැරුනට පස්සෙ මං ලංවුනෙ ප්‍රියන්තයට ...
ප්‍රියන්තය හොඳ එකා ...

ප්‍රියන්තගෙ අයිය ජයන්තට කියන්නෙ තිලකරත්න  
ඒ දෙන්නම ගියෙ විද්‍යාලෝකෙට...

චූටියි මායි එකම වයසෙ එකම පන්තියෙ

චුට්ටයි චූටියි මායි හිච්චිම කාලෙ ඉඳල ඉස්කෝලෙ යන්නෙත් එකට
මගදි චන්ද්‍රලාලුත් අපිට එකතුවෙනව
Chandralal Vithanage
අනෙකා සරත්චන්ද්‍ර ගුරුගේ
ගුරුගේ නං මොන දිග්බාගෙක ඉන්නවද දන්නෑ ...

මගේ කුළුඳුල් මිත්‍රය චූටි කිව්වත් වැරදි නෑ ...

අපි හිච්චි කාලෙ හැම දෙයක්ම වගෙ කලේ එකට ...

චූටියි මායි වක්වැල්ල පාරෙ දිගටෝම ගිහිල්ල කෝච්චි පාරට වැටිල
එතනින් එලියට් පාර දිගේ ඉස්කෝලෙට යනව හැමදාම පයින් හැතැප්මක්
ආපසු ගමනත් එහෙමමයි ...

ඔය යන මග දිගට අපි මොනවා කරන්න ඇතිද අවුරුදු ගානක් ...

ඔහොම යනකොට අපි නිතරම වගෙ කරන දෙයක් තමයි
ගෙදරින් ඇනයක් නැතිනම් තඹ සතයක් ගෙනල්ල
කෝච්චිය ඈත එනකොට රේල් පීල්ලට ඇනේ හරි සතේ හරි තියල 

රෝදෙට අහුවෙනකම් හැංගිල හොරෙන් බලාන ඉන්න එක ...

හැංගිල බලාන ඉන්නෙ අපේම ආරක්‍ෂාවට වැඩහිටියො අපිව බය කරල තිබුන නිසා ...

අපිව පුංචි කාලෙ දැනුවත් කරල තිබුනෙ
යකඩ රාේදෙට එක එක ඒව තියල
කෝච්චිය පෙරලුනොත් පොලෝසියෙන් ගෙනිහිල්ල අපිව හිරේ දායි කියල ...

ඒ අපිව කෝච්චි පාරෙන් වෙන් කරන්න ...

ඒත්  කෝච්චි පාරයි අපියි වෙන් වුනේ නෑ කවදාවත්
අද ගියත් කෝච්චි පාර දිගේ යන්න ආසයි
අතීතය මෙනෙහි කරමින් ...

ඕං ඉතින් පළමු යකඩ රෝදෙට අහුවුන තඹ සතේ දෙකක් වෙල වීසි වෙනව ...
ඇනේ පැතලි වෙල සිනිඳුවට දිලිසෙන කොට චූටිටයි මටයි හරි සන්තෝසයි ...

අපි උඩ පැන පැන හිනා වෙවී අත්පුඩි තලනව ...

අපි හැංගිල කියල අමතකයි ඒ වෙලාවට
එතකොට අපි එකේ පන්තියෙ විතර ...

ඉස්කෝ‍ලෙ ඇරිල එනකොට එලියට් පාර පහල දොලේ බැහැල
පාට පාට ගප්පි අල්ලල ආයෙත් දොලටම දානව ගෙදර ගෙනියන්නෙ නෑ
දොලේ බැස්ස කියල දැනගත්තනං ගෙදරින් අමර ගුටි ...

චූටිගෙ පවුලෙ 9යි කොල්ලො හතයි කෙල්ලො දෙකයි
මගෙ යාළුවො චුට්ටයි චූටියි ...

කෙල්ලො දෙන්න ලොකු රාණියි පුංචි රාණියි
දෙන්නම මගෙ අක්කලගෙ යාළුවො සංඝමිත්තෙ ...

තාත්ත මාටින් මාම අම්ම ජම්මෝති නැන්ද
මාටිං මාම මිටියි ජම්මෝති නැන්ද සුදුයි ...

මාටිං මාම රස්සාවට කලේ ගේ පිටිපස්සෙ තියාගෙන දැන්වීම් පුවරැ ඇඳපු එක
ටවුමෙ කඩවල ලොකු අකුරු තියෙන දැන්වීම් පුවරු ඔක්කෝම ඇන්දෙ මාටිං මාම ...

චූටියි මායිත් ඉඳ හිට උදව්වට ගන්නව බෝඩ්‍ වල චෝක් ඉරි ගහන්න ....

මාටිං මාම දිග නූලක් අරගෙන ඒකෙ හොඳට සුදු චෝක් උලල
තනි පාට ගාපු තහඩු බෝඩ් ලෑල්ලෙ  ගෑවෙන්න  එක කොනක් මට දීල
අනෙක් කොන චූටිට දෙනව අල්ල ගන්න
 
ඊලඟට මාටිං මාම හරියටම ගනං හදල බලල
නූලෙ හරි මැද්දට ගොහිං ඇඟලි දෙකෙන් අල්ලල ඇදල අතාරිනව

ස්ප්‍රින් එකක් වගේ ගිය නූල
බෝඩ් එකේ දිග ඉරක් අඳිනව හරිම කෙලින් ....

පස්සෙ ඒ ඉර උඩ තමයි ඇද වෙන්නෙ නැතුව අකුරු ලියන්නෙ ...

මගේ ජීවිතේට මුලින්ම ත්‍රී ඩී අකුරු මට කියා දුන්නෙ මාටිං මාම

මාටිං මාමයි ජම්මෝති නැන්දයි චූටිට චුට්ටට වගේම මටත් ආදරෙයි ...

මම සමහර දවසට වැඩිවෙලාවක් ගත කලේ චූටිගෙ ගෙදර ...

චූටිගෙ ගෙදර ලොකූ කැරම් බෝඩ් එකක් තිබුන
අපි වට වෙල හැන්දෑවට කැරම් ගහනව ...

චූටිගෙ ගෙදරත් හරි යුනීක් ගෙදරක්
ඒ කියන්නෙ ඉස්සරහ දොර තියෙන පැත්තටමයි පස්සෙ දොර තියෙන්නෙත් ...

හරියට ඉංගිරිසි යූ අකුර වගේ
යූ අකුරෙ එක පැත්තක්‍ ඉස්සරහ දොර අනෙක් පැත්‍ත පස්‍සෙ දාෙර ...

චූටි වගේම මමත් ඒ ගෙදර හැම කාමරයක්ම දන්නව ...

ඇයි මම ඉස්සරහ දොරෙන් ගියොත් පස්සෙ දොරෙන් තමයි ආපිට එන්නෙ ...

හිච්චි කාලෙ ඉස්කෝලෙදි කවුරු හරි මට සත්තම දැම්මොත්
චූටි තමයි මැද්දට පැනල මගේ පැත්ත ගන්න හිටිය එකම එකා ...

පපුව ඉස්සරහට දාල දෙපාරයි ඔරවන්නෙ
වැඩි දෙනෙක් සරෙන්‍ඩර් ...

හදිසියෙවත් එහෙන් මෙහෙන් නරුම ආලවකයෙක්ට අහුඋනොත්
අඩෝ එන්නෙපා අයිස්මෝල හන්දියෙන් කිය කියා
අපි දෙන්නම සෙරෙප්පු දෙක අතට අරන්‍ එලෝ හසරක් නැතුව දුවනව

මගදි චන්ද්‍රලාලය හිටියොත් අපිව බේරගන්නව
නැතිනං නවතින්නෙ ගෙදර දොර මුල්ලෙන් ...

ඒ කාලෙ ඉස්කෝලෙට සෙරෙප්පු දාන්න පුළුවන් ...

සපත්තු දෙකක් ගන්න බැරි උන් සෑහෙන්න හිටිය ඉස්කෝලෙ ...

චූටිගෙ ගෙදර තිබුනෙ අයිස්මෝල හන්දියෙ පයිප්‍පෙ ඉස්‍සරහමයි ...

අයිස් මෝල හන්දිය ඒ කාලෙ වලි පුරයක්

ඔය පයිප්පෙ ඉදිරිපිටදි වැල්ලෙ සුනිල්ට
කොස් කොටන්‍න වගෙ
චොකොස් චොකොස් ගාල බිම දාගෙන කඩුවෙන් කොටනව  මගෙ දෑහින්ම දැක්ක ...

ලේ හැමතැනම පාරෙන් එකයි  
සුනිල්ව ඉස්පිරිතාලෙ ගෙනිච්චෙ ගෝනියක දාගෙන ...

මම තම්බි මාමගෙ කඩේ ඉස්සරහ ඉඳගෙන ඔක්කෝම බලාගෙන ...

ඇඟ පුරාම කඩු පාරවල් කාලත් සුනිල් බේරුන
හැබැයි ඩෑල් එක වෙනස් ...

මොනව කලත් කර්ම ටික ගෙවන ගමන්
තවත් කර්ම එකතු කරගන්න ඉන්නම වෙනව ...

සංසාරෙ පුරුදු පුහුණු කරගත්තුව තමයි
ඉතිං ඔය එළියට ආවෙ ...

අයිස්මෝල හන්දියෙ හැමදාම වගේ
මොකක් හරි කිරිමෙල් කේස් එකක් ...

වයලන්ස් ලයිව්ම
අපි හිච්චි කාලෙ හැදුනෙම වයලන්ස් අස්සෙ ...
 
ඒ අතින් මෙහෙම හා පැටියො වගෙ ඉන්න එක කොච්චර දෙයක්ද ...

මොකා මොකෙක් එක්ක රණ්ඩු උනත්
ඒ ඔක්කොම යන්නෙ තම්බි මාමගෙ කඩේ බෝතල් පිටින් ...

මොන මල යකෙක් රණ්ඩු උනත්
උං කරන්නෙ තම්බි මාමගෙ තේ කඩේට පැනල
නාරං බික් බෝතල ටික නැතිනං
බටර් විස්කෝතු ඉඟුරු විස්කෝතු බෝතල ටික පාරට ගෙනල්ල
උස්සල පොලොවෙ ගහන එක ...

තම්බි මාම කලෙ ඔලුවෙ අත තියාන බලා හිටපු එක විතරයි ...

මමයි චූටියිවත් ඒ කාලෙ ලොකු වෙලා හිටියනං
තම්බි මාමට එච්චර අලාබ කරන්න දෙන්නෙ නෑ ...

තම්බි මාම හැමදාම හවසට පැණි සීනක්කුවක්
ඉතුරු කරල තියෙනව මට ...

මම චූටිත් එක්ක ඒක බෙදාගෙන
පාරෙම තියාගෙන රස කර කර කනව ...

කොච්චර අලාබ උනත් තම්බි මාම හන්දිය දාල ගියෙ නෑ ...

චූටිගෙ හිච්චි කාලෙ හිනාව මට තාමත් මැවිල පේනව ....

හැබැයි ලොකු වෙනකොට ඒ හිනාව වෙනස්  වුනා ...
චූටිත් වෙනස් වුනා ...

චූටි පහු කාලෙක පාප මිත්‍ර සේවනයට වැටිල උළු නැති ගෙදරත් හිටිය ...

මගෙ කුළුඳුල් මිත්‍රය දැන් අපි අතර නෑ මියෑදිල ගෙඩාක් කල් ...

මොකාට නරක උනත් චූටි හොඳ එකා
ඌ මගේ හිත හොඳ යාළුව ...

ලොකු මහත්වෙල අපි හමුවෙන හැම වෙලාවකම
අවවාද පිට අවවාද දුන්නත් චූටි ඇහුවෙ නෑ ...

මම මොනව කියුවත් බැන්‍නත්
ඔලුව නවාගෙන අහගෙන ඉන්නව හ්ම් කියන්නෙ නෑ ...

චූටි විනාඩි ගානක් මා දිහා ඇහි පිල්ලන් ගහන් නැතිව බලාන ඉඳල  
මගේ අත තදින් අල්ලල මිරිකගන්නව ...

පුංචි කාලෙ ආදරය ගෞරවය එහෙමමයි

හැබැයි ආපිට හැරිල ගිය ගමන්
එපැයි කියපු දේමයි ආයෙත් කරන්නෙ  ...

සමහර විට චූටිගෙ ඇස් දෙකේ චූටිටත් හොරාම කඳුළු ...

මාත් උගේ කඳුළු ඇඟිල්ලෙන් පිහල
උර හිසට අතක් තියන කොට
හිමින් සැරේ මගෙ අතට චූටි ඔලුව හේත්තු කරගන්නව

එතකොට අපිට වයස විසි ගානක් ...

චූටි මගෙ ගැන හරී ආඩම්බරයෙන් හිටියෙ
මගෙ අත අල්ලගෙන චූටි මට ඒක කියල තියෙනව
හමුවුන හැම වතාවකම ...

ඒ වෙන කොට පාප මිත්‍ර සේවනයෙන්
චූටිව සහමුලින්ම වෙලාගෙන ඉවරයි ...

චූටිට ගොඩ එන්න ඕනෑ උනත් බේරුමක් තිබුනෙ නෑ
ඒක තමයි ඒ ඇස් දෙකෙන් මම කියෙව්වෙ ...

ඒ ඇස් දෙකේ කවදාවත් කාටවත් නොකියපු කතාවක් තිබුන
ඒක මටවත් කීවෙ නෑ ...

චූටිව එවැනි මගක ගෙනියන්න
සිස්ටම් එකේ කොහේ හරි වරදක් තිබුන

චූටි මාත් එක්ක ඉංගිරිසි ඉගෙන ගන්න
රූ ඉස්කෝලෙ ගිය එකෙක්
හාෙඳට ඉංගිරිසි කතා කලා ...

මහින්දෙ දාසයෙන් පහළ පාපන්දු නායකයා
ඒ කියන්නෙ දිගටම ගියානම් පළමු කණ්ඩායමේ නායකය ...

එහෙව් එකෙක් මෙහෙව් තැනකට තල්ලුවෙන්න හේතුවක් තියෙන්න ඕනෙ

අපිට ඉස්කෝලෙ රත්තරං ගුරුවරු හිටිය
හැබැයි ඒ රත්තරං ගුරුවරු දැනගෙන හිටියෙ
හොඳයි කියල පංතියෙ ඉස්සරහ පේලිවල හිටි උන් ගොඩ දාන්න විතරයි ...

අන්තිම පේ‍ලිවල හිටි උන් ගොඩදාන්න
ගුරුවරු තියා මුළු අධ්‍යාපන ක්‍රමේම වැඩ පිළිවෙලක් තිබුනෙ නෑ
තාමත් එහෙම එකක් නෑ ...

ඉතිං කෙහොමෙයි බං යහපත් සමාජයක් ගොඩ නගන්නෙ ...

කොහොම නමුත් කරගත්ත කර්ම අනුව තමයි හැම දෙයක්‍ම පෙල ගැහෙන්නෙ
ඒව වලක්වන්න අපිට බෑ ...

තමන්ට විතරමයි තමන්ගෙ කර්මය වෙනස් කරගන්න පුළුවන් ...

රත්තරං චූටියෝ ...
උඹ කොයිම හරි ආත්මයක සත්‍ය අවබෝධ වෙල එදාට ගොඩවෙයි ....

රත්තරං චූටියෝ එතකං
උඹට මෙවන් අකල් මරණයක් කිසිම ආත්මයක නොවේවා ...

මේ උඹේ කුළුඳුල් මිත්‍රයා

පොඩි සමරේ

*******

සිදුහත් කුමාරයට තිබුනෙත් මනුස්ස හිතක්
දේ‍වදත්ත කුමාරයට තිබුනෙත් මනුස්ස හිතක් ...

පුරුදු පුහුණු කල දේ තමයි අපිව මෙහෙයවන්නෙ

ඔය ඉතිං මට තේරෙන හැටි ...

2 comments:

  1. ++++++++++
    තාම සමහර හන්දිවල අතින් ඇඳපු බෝර්ඩ් තියනව. අවු 6-7 ක ඉඳන් මම ඒවගේ ෆෝටෝ කලෙක්ට් කරනවා ස්ථානයයි කාලයයි සහිතව. ඒ සමහර ඒවා දැන් නෑ.

    ReplyDelete