කියවූ තරම්

Monday, October 4, 2021

බූට් සපත්තු




 FB 15.6.18

බූට් සපත්තු ...

1977ට පෙර විවිධ සේවා සමූපකාර සමිතිය
ජනතාවගෙ හදවත් වලට ඉතාමත් ලඟින්ම අත්වැල් බැඳගෙන  
හිටි කාලයක් ...

මහජන සේවය වඩාත් හොඳින් සැලසීමට
හැම වැයික්කියකම සමූපකාර කඩත් තිබුන ...

මේ ක්‍රමේ මට දැනුන හොඳ පැත්තක් තමයි
පොඩි මිනිහට පාළණ මිළකට බඩු ගැනීමට තිබූ හැකියාව ...

මිළ පාළණය වගේම භාණ්ඩ පාළණයත් තිබුන
ඉතිං හැමකෙනාටම වගේ භාණ්ඩත් තිබුන ...

ඒ වගේම රුකියාව සමූපකාර කඩේක නම් එයාට ගමේ ෆුල් තැන ....
සමූපෙ මැනෙජර් කෙනෙක් නම් ඊටත් එහා ...
කොටින්ම කියුවොත් සමූපෙ මැනේජර් කෙනෙකුට වැදගත් පවුලකින කසාදෙකුත් කරගන්න පුළුවන්
යි කාල ඇඳල ඉන්න පුළුවන්නෙ මොකා නැති උනත් ....

ආයිත් කතා දෙකක් නෑ ඒ කාලෙ ඉතිං
වැදගත් කියන එවුන් හිටිය අදට වඩා ....

ඇයි ඒ විතරක් යැ
සමූපෙ බඩු කිරන මහත්තය මැනෙජර් මත්තයටත්  ඉහලින් ...

හැම ගෙදරකටම සලාක පොතකුත්
දීල තිබුන සමූපෙන් බඩු ගන්න ...
හාල් පොත මෙයට කියූ තවත් නමක් ...

ගම්මු සමූපෙන් හාල් පොතට දෙන හාල් එකෙන්  
සම්බෝලෙකුත් එක්ක  බතක් උයාගෙන ගෙදර හැම එකාගෙම කුසගින්න නිවාගන්නව ...

නැතිනම් මංඤඤාෙක්ක අලයක් හරි බතල අලයක් හරි උදුරල ගන්නව වත්තෙන් ...

බත් කෑවම ඉක්මනටම බඩගිනි ඇති වෙන්නෙ නැති නිසා
මේ ක්‍රමය අපිටත් වැඩ කරා ...

අමාරුකම් අඩුපාඩු වැඩි උනහම
හාල් පොත උකස් කරන අයත් ගමේ අහල පහල සෑහෙන්න හිටිය ...

ඒ අය හාල්‍ පාෙත උකස් කරල
මක්කා කෑවද කියල දෙවියො තමයි දන්නෙ ...

අපේ ගෙදරටත් ඉස්‍සර කිහිපදෙනෙක් හැම මාසෙකම වගේ හාල් පොත්
උස්‍සන් එනව
උගස්‍ තියල කීයක් හරි ඉල්‍ල ගන්න ...

ඒ ආවෙ අපි සල්ලි කාරයො නිසා නං නෙවි ...

ඒ උදවිය අපිටත් වඩා අමාරුවෙන් හිටිය නිසාත්
අම්ම අහක බලන්නෙ නෑ කියල හොඳාකාරවම දන්න නිසාත් ...

හාල් පොත අම්මට දීල කීයක් හරි ඉල්ලගත්තට
ඒ හැමගෙන් බාගයක්ම කෑම වෙලාවට අපේ ගෙදර ...

අම්මත් ඉතිං තීන විදියට අපේ පිඟානෙන් අඩු කරල හරි
කෑම එකක් බෙදල දෙනව කන්න ...
 
අම්ම අපිට නිතරෝම කියුවෙත් බඩගින්නෙ ඉන්න කෙනෙකුට කෑම දෙන එකම ලොකුම පිනක් කියල
අම්මට අපි හැමෝම එකයි ...

පහු කාලෙක පාන් කාඩ් එකකුත් දුන්න ආණ්ඩුවෙන්
පාන් බෙදුවෙත්  සමූපෙන් නිසා ...

හතර දෙනෙකුගෙ පවුලකට එකාට කාල බැගින් පාන් ගෙඩියයි ...

පවුලෙ නාහෙට අහන් නැති කෑමදාස කෙනෙක් හිටියනං
අනික් උන්ට අබ සරණයි ...

තාත්ත නැති නිසා අපේ ගෙදර හයයි ඒ කියන්නෙ පාන් එකහමාරයි ...
අපි ඉතිං දෙන පාන් කාලට වග කියල පැත්තකට වෙලා හිටිය ...

මස්ල්ස් නැතිවට ඒකාලෙ අපි හරි ස්ලිම් මෙයා ...

ආණ්ඩුවෙන් දෙන පාන් කාඩ් එක ලකුණු කරගෙන
සමූපෙන් හෝ බේකරියෙන්  පාන් ගන්න පුළුවන් මේ ක්‍රමේට ...

සමූපෙන් කාඩ් ක්‍රමේට සීමිතව පාන් බෙදන නිසා
තමන්ගෙම පාන් තමන්ම පුළුස්ස ගන්නෙ නැති ටවුමෙ හෝටල් වලට
පාන් ඉල්ලුමක් ඇති වුනා
උදේ දවල් රෑට කෑම කන්න එන අයගෙ අවශ්‍යතාවයන් පියවන්න ....

චීනකොරටුව අයිස්මෝල හන්දියෙ අතුලය  සීන් එකට එන්ටර් වෙන්නෙ ඔන්න ඔතනදියි ...

මට එතකොට දාහතරක් පාලහක්  
විතර ආති ...
තාත්තත් නෑ ආර්ථිකෙත් ටිකක් අමාරුයි

අපෙ ගමේ හුඟක් අය පාන් කනව අඩුයි

ඉතිං මම ලකුණු කරගෙන හිටිය පාන් කන්නෙ නැති හිතවත් පවුල් කිහිපයක් ...

සමූපකාර ඉස්පිරිතාලෙ අපේ අල්ලපු වත්ත ...

ඉතිං මම මොකද කරන්නෙ
ඉස්පිරිතාලෙ ලැබ් එකේ වැඩ කරන ඩැනි මාමගෙ හම්බ(ර්) බයිසිකලේ ඉල්ලගෙන
අර ලකුණු කරගත්ත ගෙවල් වලට ගිහින් පාන් කාඩ් ටික එකතු කර ගන්නව ...

ගාල්ලෙ කොටුවෙ මීඩින් අන්කල් සහ ඇන්ටි මම ඉතාමත් ආදරය කල චරිත දෙකක්
සිරියාවන්තකම කරුණාව ක්‍රියාවෙන්‍ම පිරිල ඉතිරිල ...
මගේ සහෝදර මිත්‍රය Tuan A. Meedin ගෙ පියා සහ මව ...

අක්‍රමුයි අයිය ජූනියි මල්ලි බබයි මමයි ...
ගාල්ලෙ කොටුවෙ අක්‍රම්ගෙ ගෙදර ඉස්සරහ පාරෙ ක්‍රිකට් ගහන්නෙ හවහට

කොඩිත් සෙට්වෙනව ඒකට ...
(කොඩිකාර)
ඔය මීඩින් සෙට් එකම හොඳ ක්‍රීඩකයො කොඩියත් එහෙමමයි ...

මේ හැමෝම ඇලෝසියස් මම මහින්දෙ ඉතිං මට බයිට් එකෙත් ඉවරයක් නෑ ...

බබා නැති වුනා කොටි ත්‍රස්තවාදීකාලෙ
සමාදානයෙන් සැතපේවා බබා ...

අක්රම්ගෙ ගෙවල් ඉස්සරහ කොටුතාප්පෙන් මුහුදට බහින්න පඩි නෑ
අපි කරන්නෙ කොටු තාප්පෙ දිගේ මුහුදට බහිනව ගල්වල එල්ලිල
රොක් ක්ලයිම්බින් ...

ඔය ළිහිණි ගලෙන්ද මොකෙන්ද නාන්න මුහුදට පැනල දවසක් ගිලුන මාව
හනික පැනල බේරගත්තෙත් අක්රම් ...

ඉන්දියන් සාගරෙන් කාල් බාගයක්ම බොන්න ඇති එදා මම
බඩ ඔබල වතුර හිස් කරෙත් අක්රම් ...

අපි පවුල් පිටින්ම හොඳ හිතවත්තු
මීඩින් අන්කල් හම්බන්තොට මගෙ අම්මගෙ ගමේ ...

රස්සාව ගාල්ලෙ කච්චේරියෙ
ඉතිං මීඩින් අන්කල් කච්චේරියෙ වැඩ කරන අනෙක් යාළු මිත්‍රයන්ගෙන්
මට පාන් කාඩ් හත අටක් ඉල්ලල දෙනව

අනෙක් යාළු දන්න කියන අයගෙ කාඩ් ටිකයි ඔය කාඩ් ටිකයි එකතු කරගෙන
කූඩ දෙක තුනකුත් එල්ලගෙන නැතිනම් කාඩ්බෝඩ් පෙට්ටියක් බයිසිකලෙ බැඳගෙන
මගෙ ඊළඟ නැවතුම ළඟම තියෙන සමූපකාරෙ හෝ බේකරිය ...

පාන් කාඩ් තිබුනත් මට පහසු තැනකින් පාන් ගන්නත් බෑ ...
කාඩ් එක අයිති කෙනාගෙ වැයික්කියෙ කඩේකින් විතරයි පාන් ගන්න පුළුවන් ...

ඉතිං කකුල් දෙකට වැඳල පස්ස පැත්තෙ කරගැට එනකම් පදිනව සමූපකාරෙන් සමූපකාරෙට ...

ගාල්ලෙ කොටුවෙ නැෂනල් බේකරියෙන් පටන් ගෙන එන් ඕ බී හරහා
වක්වැල්ල පාර දිගේ විස්කම් පාරටම පදිනව ...

කාඩ් අයිති හැම සමූපකාරෙනුයි බේකරියෙනුයි පාන් එකතු කරගෙන ...

එළියට් පාරත් අතාරින්නෙ නෑ ...
අපෙ රත්තරංගෙ අක්ක ස්වීටි තමයි ඒකෙ මැනේජරී
විමල අක්කගෙයි විජෙ අයියගෙයි
ලොකු දෝණි...
 Neil Algewatta ගෙ ලොකු නෑන...

ඔතනදි ඇඬෙනම වැඩේ තමයි
පාන් පෝලිමේ ඉඳල ඉඳල පාන් පුසුඹ දැනෙන ළඟටම යනකොට ...
 
"පාන් ඉවරායි" පෝලිමෙ ඉඳල වැඩක් නෑ "පාන් ඉවරායි" ...

ඒ වෙලාවට ඕක කියන එකාගෙ පාන් නෙවෙයි
මාළු තමයි කන්න හිතෙන්නෙ ...

මක් කරන්නෙයි බං ...
ඉතීං පදිනව ළඟම තියෙන අනෙක් එකට ...
හැබැයි ඉතිං පස්සෙ දොරෙන් අඳුනන ගෙවල් වලට ඉතිරි පාන් යනව ...

අපි නිකන්වත් ඇහුවොත් ඒ මක්කැයි ඒ කියල ...

"ඒවා ඩැමේජ් පාන් තමුසෙලට දීල අපිට ලොකු මහත්තයගෙන් බැනුං අහන්න බෑ "

බඩු කිරන එකාගෙ රුස්පොට් එක සමූපකාර අධිකාරිටත් වැඩිය ...

මක්කරන්නෙයි බං අපි ඉතිං ලොකු නෑනෙ ...

කොහොමෙන් කොහොම හරි අමාරුකම් මැද්දෙම
පාන් ටික එකතු කරගත්ත කියමුකො ....

ඊට පස්සෙ එකතු කර ගත්තු පාන් ටිකත් පෙට්ටියෙ දාගෙන
බයිසිකලේ පැදගෙන කෙලින්ම එන්නෙ ටවුමට ...

පාන් ගෙඩි විස්සක් විසිපහක් එකතු කරගන්න පුළුවන් එක රවුමෙන් ...
මහන්සිය අනුව තමයි ප්‍රතිඵළ ...

ඊට පස්සෙ ඔය එකතු කරගත් පාන් පෙට්ටියම
ටවුමෙ කලින් ලැහැස්ති කර ගත්තු හෝටල දෙක තුනකට ගෙනිහින් අලෙවි කරනව ...

සමූපෙන් පාන්ගෙඩියක් සත හැත්තෑ පහකට හරි අසූවකට හරි මිලට අරන්
රුපියලට එකයි දහයට තමයි මම විකුනන්නෙ
ඔය තමයි මගෙ පොකට් මනී ...

හත් හවුලෙ ආණ්ඩුව සමාජවාදී පැත්‍තට ගියාට
මම මිළ නියම කරෙ ධනවාදී ක්‍රමේට ඉල්ලුම හා සැපයුම අනුව ...

මගෙ පාන් විකිනිල්ල නම් කෙරුනා දිගටම ගජරාමෙට
77තේ ජේ ආර්ගෙ ඇට අටේ ආණ්ඩුව එනකන් ...

මට ගමේ යාළුවෙකුත් හිටිය සහේට
තල හාමිනේගෙ කඩේ ජයන්තය ...
"තිලකරත්න"

ප්‍රියන්තයගෙ අයිය
ප්‍රියන්ත කියුවෙ දැන් ටයිනි මුදලාලි ...

මගෙ අසල්වාසී හිතවත්ම මිත්‍රය හිච්චි එකා කාලෙ ඉඳල ...
ඒ ගැන පෙර ලිපි වලිනුත් සඳහන් කරල ඇති ...
 Kingsly Chitraratne

එහෙම පාන් විකුනල ඉතිරි කරපු සල්ලි වලින් මම ටවුමෙ කඩේකින්  
ක්‍රිකට් සපත්තු දෙකකුයි සුදු මේස් කූට්ටමකුයි ගත්ත ...

අන්නාසි කඩේ තියෙන පේමන්ට් පේළියෙ  පිට්ටනිය පැත්‍තට වෙන්න
පරණ කැරකෝප්පුව ඉස්සරහ තිබුන කොනේම සාප්පුව ...

මතකෙ හැටියට නම "සදර්න් ෂූ පැලස්"

බූට් සපත්තු දෙක රුපියල් හැට හැත්තෑවක්  විතර වුනා ඒ දවස්වල ...

බූට් සපත්තු දෙක සුදු පාට ගෝනි වගේ රෙද්දක් ...
ටෝ එකට රෙද්දට යටින් හයිය තුනී හීනි තහඩු කෑල්ලක්
ගල් බෝලෙ වැදුනොත් ඇඟිලි ආරක්‍ෂා වෙන්න ...
අද කාලෙ තියෙන බාස්‍කට් බෝල් සපත්තු වගේ ඇන්කල් එකටම උසයි ...

හුනු ගෑම අවශ්‍යයි ගෝනි රෙද්ද සුදුවෙන්න ...
නැතිනම් මේජර් සර් ගෙන් බේරිල ඉන්නව බොරු ...

ඉස්සර සපත්තු සුදු කරන්න අඟලක් විතර උස රවුම්
හරි හයියට සබන් කෑල්ල වගෙ පයිප්ලේ කියල කැටයක්‍ තිබුන ...

ඕක බ්ලේඩ් එකෙන් හූරල පොඟල සපත්තුවෙ ගෑවම කිරි කොකා වගෙ
පාට වෙනව ...

අපි ඉතිං පයිප්ලේ  ගනන් නිසා චෝක් කෑල්ලක් හූරල වතුරෙ දිය කරල
සපත්තු සුදු කරගන්නව ...

පයිප්ලේ වගෙ කල් පැවතුනෙ නැතිවට චෝක් කුඩු අපට හොඳා ...

බූට් සපත්තු දෙක කිලෝ බාගයක් විතර බරයි ...

ඒත් ඉතිං මට හරි ඉහලයි
හරීම ආඩම්බරෙන් තමයි ඕක පැළඳගෙන හිටියෙ ..

අඩියට හම් පටි තට්ටු පහක් විතර...
දැන් වගේ තනි අඩිය නෙවි ...
සාමාන්‍ය සපත්තු වගේ තමයි අඩිය කෑලි දෙකට ...
විලුඹ තියන කෑල්ල උසයි අනෙක් කෑල්ල ෆ්ලැට් ...

හම් අඩිය ලිස්සනවට ඇන ගහල
හොබ් නේල්ස් කියල තමයි කව්රුත් කීවෙ ඒවට ...

දැන් තියෙන ඉස්කුරුප්පු වගෙ
කරකවන ඇන නෙවි ඒකාලෙ තිබුනෙ ...
කෙලින්ම උල් ඇනේ සපත්තු අඩියට තියල මිටියෙන් යටටම ගහල ...

ඇතුලෙන් අඩිය පසාරු කරන් ඇවිත් ඇන කකුලෙ ඇනුන වාරත් එමටයි ...

ඒ වෙලාවට ඉතිං පිහිටවෙන්නෙ
සිඩ්නි එක ඉස්සරහ පාරෙ බිම ඉටිකොලයක් එලාගෙන සපත්‍තු රෙපයාර් කරපු
අපේ දොරේ අයිය

බුලත්‍ කහට පිරුන දත් තිස්දෙක පෙන්නල ඇස් ලොකු කරල
දොරේ අයිය දාන හිනාව අපිට රටක් වටිනව ...
දොරේ අයියගෙන ගාන ඇහැව්වම දොරේ අයිය කියන්නෙ සල්ලි එපා ඔහේ අද පනහක් ගහනෝ ඒ ඇති කියල

ඕං මගේ මුල්ම ක්‍රිකට් බූට්ස් දෙක
කාටද ඉතිං ආඩම්බර මටම මිසක් ...

ඔක්කෝටම වැඩිය මට ආඩම්බර බූට් සපත්තු දෙකගත්තු විදිය ...

පහු කාලෙක ටිකෙන් ටික කකුල් ලොකු වෙන කොට
හිච්චි අයිය පාව්ච්චි කරපු බූට් සපත්තු මගේ කළුඳුල් බූට් දෙකේ තැන ගත්ත ...

බූට් විතරක්‍ නෙවි ලොකු කාලෙදි කලිසම් කමිසත් ලෙකු අයියගෙයි හිච්චි අයියගෙයි තමයි ...

හිර උනත් පළමු බූට් සපත්තු දෙක කාලයක්ම මගෙ ළඟ තිබුන අතාරින්න ලෝබ කමට ...

******

නවසිය අසූ එකේ මම මහින්දෙ නායක උනහම
ගාල්ලෙ කොටුවෙ ගැමුණු බළසේනාවෙ කැප්ටන් ගජමන්ගේ අයිය
කිරිටොයිය වගේ මයිටර් බූට්ස් දෙකක් රුපියල් දෙසිය පනහකට කොළඹ චාන්ඩ්ස් එකෙන් මට අරගෙන දුන්න ...

එතුමා දැන් නෑ එතුමාගෙ නෝන විතරක් ඉන්නව මහරගම ...

ඒ උත්තමයටත් නිවන් සුව !!

13 comments:

  1. ++++++++++++
    තාම පෝස්ට් එක කියෙව්වෙ නෑ. වැට ගැහුවෙ පෝස්ට් එක දැම්මාට. ඇත්තටම දැම්ම කියවන්න ටිකක් ලෝබයි. නැගිට්ට ගමන් කුණු කෙල පිටින් පෝස්ට් කියවන්න එපා කියල ප්‍රාජේ උගන්නල තියනවා. උදේට කාලා ආතල් එකේ කියවන්නම්.:)

    පෝස්ට් එකේ ෆෝමැට් එක සහ බ්ලොග් තීම් එක ඉතා ඉහලයි වගේම ඇහැට හරිම ප්‍රියයි. සමස්තයක් වශයෙන් කියවන අපට සොඳුරු අත්දැකීමක්.:)

    මේ ලියන රටාවට මම නං හරිම කැමතියි. කොහොමත් ජීවිත අත්දැකීම්, මිනිස් සබඳතා තමයි මගේ කැමතිම කියවීම්.

    මෙච්චර ලස්සනට මේක හදල දුන්න සුදීරට, RSS Feed එක මිස් වුනේ කොහොමද? බ්ලොග් රෝල්/ සින්ඩි වල අප්ඩේට් නොවන නිසා, කියවන්න මිස් වෙන අය ගැනයි දුක.:(

    සුදීරව ආයෙ ගෙන්න ගන්න ඇහැකි නං, මෙන්න මේක පෙන්නලා කියන්න, ලිපියෙ උපදෙස් අනුව external RSS Feed එකක් burn කරන්න කියල.

    https://support.google.com/blogger/thread/5490067/how-do-i-get-rss-feed-url?hl=en

    සුභ දවසක්!

    (ආයෙ එන්නම් )

    ReplyDelete
    Replies
    1. අමතක වුනා. උපදෙස් වල ස්තූතිය යන්න ඕනෙ බුරතීනෝට. මොකටෑ නිකං, "මගේම කලසම අගේට ඇඳගෙන උගේ වගේ යනවා" කිය අහගන්නෙ?:)

      Delete
  2. නිසඳැසක් වගේ ලියපු කතාවක්. අගෙයි. අගෙයි - කොළඹ ගමයා

    ReplyDelete
  3. notification දැම්මේ නැහැ

    ReplyDelete
  4. ඒක මරු. ඒත් අද රහ කරල කිව්වට ඒ කාලෙ යමර කටු කන්ට ඇත්තෙ නෙහ්..
    ජය

    ReplyDelete
  5. https://www.theguardian.com/sport/2009/jul/05/harold-larwood-ashes-england-australia

    ReplyDelete
  6. උදේ හතරාමාරට පහට පිටත්වෙන්නෙ පාං පෝලිමට යන්ඩ.
    ටෝච් නෑ පංදමක් පත්තුකරං යන්නෙ.
    ලාම්පුතෙල් නැතිදාට පොල්කට්ටෙ ඉටිපන්දං කෑල්ල ගහල හරියට මැසි ෆර්ගසන් 35X ටැට්ටරේ හෙඩ් ලාම්පුව වගේ.
    මගදි තව එවුං එකතුවෙනව ගේට්ටු ළඟ ඉඳං, බල්ලො බුරනවා එකසිය ගානට.

    හැතැම්ම දෙකක් විතර ගොහිං බේකරියේ පාං පෝලිමට එකතුවෙනව.
    පෝලිමේ උංගේ පඩ ගඳ වහගෙන පාං සුවඳ දැනෙනවා. එතකොටම හරියට පිච්චෙන්නත් කලිං උං පාං බානවා.
    ගෙදර අරං ඇවිත් පොල් සම්බලේ එක්ක කනකොට හුකා මැද්ද අමුයි. තාම පිටි ගුලිය.
    ඒක විසිකොරලා කන්ඩ ඇහැක් ටික කෝමහරි ගිලදානවා.

    වෙලාවට චාලි සර් ටීම් එකට ගත්තේ නෑ.
    ඒකත් සුලලිත බේකරියේ කොල්ලට චාන්ස් එක දෙන්ඩ.
    ඌ ගහනව නෙවෙයි නානව.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
  7. කියෙව්වා.හ්ම්... මතක මංපෙත් දිගේ දිග ගමනක් ගියා. ඔහෙට කියන්න සෑර්, ගිංතොට(වටරැක), දඩැල්ල ඔය හැමතැනම ගියා.පොල් ගෙඩියක් ඔයමින් හිටි හිච්චි හාමිනේ, මගෙන් "ඔහේ දැන් මක්කැයි කොරන්නෙ?" කියල ඇහැව්වා. එතකොට හින්නෙක් මයෙ කකුල කෑව, එතකොට මාව ඇහැරුනා.

    ඇත්තම කියනව නං ගියේ, ඉමෝශනල් රෝල-කෝස්ටර් රයිඩ් එකක්. කියන්න වචන නෑ බොස්. ස්තූතියි, සොලිටරි බකමූණෙක්ට එහෙම චෑන්ස් එකක් දුන්නට.👌🙏😂😁

    වෙලාව අරගත්තත් කාරි නෑ, මෙහෙම ලියනවා නම්. මම අද තේරුම් ගත්තා, මට talon තිබ්බට, ලියන්න ටැලන්ට් එකක් නෑ කියල.

    ඔය කාලෙ ගැන, මගේ දේශපාලන දැක්ම ටිකක් වෙනස්. දේශපාලනේ යකාට ගියාදෙන්, අපි මේකෙ කලාත්මක පැත්ත රසවිඳිමු. ස්තුතියි, නැවතත්.

    ReplyDelete
    Replies
    1. අඩේ ෆීඩ් එක වැඩ:). සින්ඩි වලත් වැඩ. ආයෙ ඉතිං වෙන මොනවද? :)

      Delete
    2. හොඳට තිබ්බා, මගෙ බ්ලොග් රෝලෙයි, සිංහල වියුණව සින්ඩියෙයි.ආයෙත් මිසින් ඉන් ඇක්ෂන්.

      Delete
    3. ඕකේ දැන් ආයෙ සින්ඩියේ ඉන්නවා. පොස්ට් එකේ කලින් විදිහ හොඳයි කියලයි මට හිතුනෙ - Left alignment text. මතක විදිහට, අපේ ඇහැ යන්න පුරුදු එහෙමයි වගේ. හොයල බලන්න.

      Delete
    4. ෆීඩ් සින්ඩ් මක්කා කියනවද දන්නෑ බං
      මටනං ඕව අප්‍රබංස

      Delete