කියවූ තරම්

Monday, February 23, 2026

ඉගෙනුම

පාසැල් සිස්ටම් එකේ එදා හිට තියෙන්නෙ පන්තියෙ ඉස්සරහ පේලිවල ඉන්න එවුන් ගොඩ ගන්න ක්‍රමයක්  විතරමයි ...

මැද පේලිවල හිටි එවුන් හම්බානක මහන්සි උනොත් ගොඩ 
අනෙකුන් යුරෝපෙයි මැද පෙරදිගයි අහල පහල රටවලුයි නොතිබුනානං අනාතයි ...

අන්තිම පේලියෙ හිටිය සැට් එකට අම්මගෙ අප්පගෙ බූදලයක් 
එහෙමත් නැතිනං දෑතේ කරුමාන්තයක් නොතිබුනානං ඇඩ්‍රස් ඉල්ලේ  ...

අපේ පන්තිවලත් හිටිය මුළු ලංකාවම බබලවන ඒ වගේම ජාත්‍යන්තරයටත් ගිය 
පන්තියෙ මුල්ම පේළිවල හිටිය සැට් එකක් ...
සමහර සගයො තාමත් රටේ වගකිවයුතු තැන්වල වගකිවයුතු වැඩ කොටහක් කරනවා ... 

එවුන් ඉස්කෝලෙ ආවෙත් ක්ලීන් සූට් ගහගෙන සපත්තු හෙම කිරි ටොයියො වගේ පොලිෂ් කරල ...

ඒ කාලෙ එවුන්ම තමයි පංති නායකයො ශිෂ්‍ය නායකයො 
ඉස්කෝලෙ හැම වැඩකදිම පොලිෂ් වෙලා ඉස්සරහට යන්නෙත් ඒ සැට් එකමයි  
ත්‍යාග ප්‍රදානෝත්සවයෙ තෑගි ටික සුද්ද කරගන්නෙත් එවුන්මයි
එදාට පහළ ඉඳන් උන්ට හුරේ දාන්නෙ අපිම තමයි ...
හැබැයි ඉතිං එහෙමෙයි කියල එවුන් එක්ක අනෙක් එවුන්ගෙ කිසිම ඇරියස් එකක් තිබුනෙ නෑ  ...

අපි ගොඩාක් දේවල් එවුන්ගෙන් ඉගෙන ගත්තා 
ඇහැක් හැම වෙලාවකම ගුරුවරුන්ගෙන් ගුටි නොකන හැටියට එවුන් අපිව ආරක්ෂා කරා ...
එලෙසින්ම තවමත් අපි එක්කුස උපන් සහෝදරයො වගේ 
ආයෙ ඒකෙ කිසී වෙනසක් නෑ ...

මැද පේලිවල හිටි එවුන්ටත් ගුරුවරුන්ගෙන් පොඩි සැලකිල්ලක් තිබුනා හැබැයි අරිට වඩා අඩුයි 
එවුන් ඇහැක් හැටියට ෂේප් එකේ කල්ගෙව්වා ජීවිතෙත් සාමාන්‍ය හැටියට ජයගත්තා  ...

අන්තිම පේලිවල හිටිය එවුන්ටනං අබම සරණයි 
සමහර ගුරුවර ගුරුවරියො කතා කලේ හරියට එවුන් එයාලගෙ වෛරක්කාරයො වගේ ...
එවුන්ට ආමන්ත්‍රණය කරන්න සත්තු වත්තෙ නම් සැට් එකම පාවිච්චිකරා ...
සත්තුන්ගෙ අඩුපාඩුවක් උනහම  කාළකණ්ණියා  වලතුකොල්ලා ගල්මූසලය යන වචනත් එළිබැස්ස ...

ඒ විතරක් නෙවි එවුන් ඈනුමක් ඇරියත් ඇහිල්ලක් බැලිල්ලක් නැතිව උන්ට තඩිබෑවා  ...
උන් විෂයන් ඔක්කෝම කරේ එකම පොතක නැතිනම් පොත් දෙකක
ඒ එවුන් සන්තකේම තිබුනෙ එච්චර නිසා 
තීන්ත පෑන් ගන්න කාසි හිඟ එවුන් පාවිච්චි කලේ අතටවත් අහුවෙන් නැති පැන්සල් කොට ...
එවුන්ට ක්ලීන් සූට් තිබ්බෙ නෑ 
හැට්ට කටු ගහං පටි අමුන ගත්ත රබර් සෙරෙප්පු  කුට්ටම තමයි 
හැතැප්ම ගානක් ඉස්කෝලෙ එන පාරෙ තාර වලින් සිනිඳු යටිපතුල් නොපිච්චෙන්න තිබ්බ එකම පිහිට ...
ඒකටත් එවුන්ට තඩිබෑව
එවුන් ඈනුම් ඇරල පන්තිය ඇතුලෙ කලන්තෙ දාන්නෙ වේල්ගානක් බඩගින්නෙ හිටි නිසා කියල ගුරුවයො හෙව්වෙ නෑ ...

කමීසෙ පොඩිවෙලැයි කියලත් තඩිබෑවා 
ටීචර්ල දන්නෑ ඒ උඩ පැන පැන තඩිබෑවෙ දුප්පත් කමටයි කියලා ...

එවුන් පැලක් අටවගෙන හිටිය වත්තටම ඉස්තිරික්කයක් නෑ කියල දවසක් එකෙක් මට කිව්වා  ...
අපේ ගෙදර පොල්කටු අඟුරු ඉස්තිරික්කයක් තියෙයි කිව්වම ...
එදා ඉඳලා ඉස්කෝලෙ යන ගමන් එවුන් අපේ ගෙදර ආවා කමීසෙ මැදගන්න ...

එවුන් දුප්පත් උනත් මම ඒ ගෙවල් වල ගියා 
එනිසා ඒ අම්මල තාත්තල ජීවත් වෙන්න කරන සටන මයෙ දෑහින් හොඳටෝම දැක්කා
මුළු පවුලම බුදියගත්තෙ බිම මැටි ගෑ පොල් අතු හෙවිලි කරගත් 
අහසෙ තරුපේන හතරැස් කොටුවක  
වැහි රෑට උන් ඇහෑරල හිටියෙ ...

උන්ගෙ දුප්පත්කම නිසාම මං උන්ට ආදරය කලා 
ඒ කිව්වෙ අනෙක් උන්ට ආදරේ නෑ කියන එක නෙවි ...
මුන්ගෙ දුප්පත්කම අසරණකම දැකල මං ඒ පැත්තට වැඩිය බරවුනා එච්චරයි 
ඒ මාත් අසරණ නිසා ... 
උනුත් පවුල් පිටින්ම මට ආදරය කලා 
අදටත් ගියාම එහෙමමයි  ...

පන්තියෙ වෙච්චි හැම බඩ කඩුත්තුවකටම ගුටි කාපු උන් සැට් එක ...
පන්තියෙ අන්තිම පේලියෙනුත් හැලිල 
අන්තිමට කාටවත් නොදන්වාම ඉස්කෝලෙනුත් හැලුනා ...
එවුන් නොදකින කොට අපිට හරිම වේදනාවක් තිබුනේ 
හැබැයි එවුන් අතරෙ හොඳ දක්ෂයො හිටිය ...
ඒත් උන්ව තෝරල බේරල ගන්න සිස්ටම් එකක් අපිට තිබුනෙ නෑ
අන්න ඒ වගේ අය ගොඩ දාන්න ක්‍රමයක් අපිට අවශ්‍ය‍යි 
එහෙව් එකක් තාමත් අපිට තියෙද හැකයි ...

පහුකාලෙක සමහරක් එවුන් තමන්ගෙම මහන්සියෙන්ම දක්ෂතාවන් අනුව එක එක ක්ෂේත්‍රවල උඩටම ගියා ...
සමහර එවුන් හිරේ විලංගුවෙ වැටුනා 
තවත් සමහරු මත් රකුසට ගොදුරු උනා ...

දුප්පතකම විසින්ම එවුන් අතරමං කලාට
අදටත් මං ඒ හැම එකාටම ආදරෙයි 
ඒ උන්ගෙ බොක්ක හොඳ නිසා ...
අදටත් ගමේ ගියාම තාමත් මං එවුන්ව හොයනවා ...
ඒත් සමහර එවුන්ගෙ ආගිය තැන් දන්න එකෙක් අද ගමේම නෑ ...

මෙය කියවන නුඹලාත් 
අනිවාර්යෙන්ම මෙම ගොඩවල් තුනෙන් එකකට වැටුන පිංවන්තයින් යැයි සිතමි ...

පවතින ක්‍රමේට අනුව 
ඇති එවුන් නැති එවුන්ව පාගලා නැති බංගස්තාන කරලා ...
එවුන් අමාරුවෙන් පැලක් අටවගෙන ජීවත්වුන වතු මුඩුක්කු ඔක්කෝම යට කරගෙන 
අද මහා තප්පදෝරු බිල්ඩින් ඉලිප්පිල ඇවිත් ...

ගමත් අද හරියට අමුතුවෙලා  
එදා තිබිච්ච සොබා සෞන්දර්ය අද නෑ ...

හුඟක් එවුන් ඒකට කියන්නෙ දියුණුව කියලයි
එක පැත්තකින් දියුණු වෙච්චි කොන්ක්‍රීට් වනාන්තර අහස උසට දුටුවත් 
තවත් පැත්තකින් මිනිස් සිත් ඉරිසියාවෙන් තණ්හාවෙන් වෛරයෙන් පිරිලා ඉතිරිලා ...

ඉස්සර ගහක් යට ඈඳි වෙලා ඉන්නකොට 
ගස් අතරින් අපිට හැමදාම ඇහැ ගැටුන සුන්දර සන් රයිස් එක සන් සෙට් එක බලන්න ...

අද අර තප්පදෝරු බිල්ඩින් වල ස්කයි ඩෙක් එකට නගින්ටෝනැ
උන් ඒකටත් ගමේ එකාගෙන් සල්ලි ගන්නවා 
නැති නම් දකින්න ලැබෙන්නෙ තමන්ගෙම හෙවනැල්ල විතරමයි ...

හුඟාක් එවුන් හිතාන ඉන්නෙ දියුණුව කියන්නෙ රුපියල් සත කියලයි ...
ඒත් රුපියල් සත වලින් දියුණුව දකිනකොට හුඟාක් අය අමු තිරිසන් වෙනවා ...

ධර්මයෙන් පෙන්වන සැබෑ දියුණුව නම් 
ලෝභ ද්වේශ මෝහ වලින් මිදුන මිනිස් සිතේ දියුණුවයි  ...

මග හැරුණු අන්තිම පෙළේ අන්තිම එකාවත්
අත අල්ලලා ගොඩ දාන දවසට පමණමයි  
අපේ අධ්‍යාපනයෙ නියම දියුණුවක් දකින්ට ඇහැක් වෙන්නේ ... 

එය ඈතක නොවේවායිද 
එය දකිනතුරු මේ හුස්ම පොද වැටෙනු ඇතැයිද සිතමි ...

~ අයිස්මෝල හන්දියේ අතුලයා ~

1 comment:

  1. අම්මප පට්ට ලියවිල්ල ලොක්කා, බොක්කටම වැදුනා. මහිතේ මම හිටියෙ මැද කෑල්ලෙ. එඩියුකේෂනල් රිෆෝර්ම්ස් කියල මොනවා ආවත් සිලබස් එක වෙනස් වේවී, ඒත් ඔය මජර සිස්ටම් එක/ ෆේවරිසම් වෙනස් වෙන එකක් නෑ.👌💐

    ReplyDelete