කියවූ තරම්

Monday, January 19, 2026

පිරිවෙන

හිච්චි එවුන් කාලෙ ...
අපි හැදුන වැඩුන ගාල්ලෙ අයිස්මෝල හන්දියෙ 
ගෙදර දෙපැත්තෙම තිබුනෙ පිරිවෙන් ...

පිරිවෙන් දෙක මැද්දෙන් කඹබානෙ මුස්ලිම් පල්ලිය 
ඊට මීටර සීයක් විතර ගිහින් කෝච්චි පාරෙන් එගොඩ උනහම පෙන්තකොස්ත සභාව
ඊටත් ටිකක් එහායින් කන්ද මුදුනෙ කතෝලික පල්ලිය 
පල්ලියට අනෙක් පැත්තෙන් කන්‍යාරාමෙ
කන්‍යාරාමෙට තවත් මීටර පනහක් සීයක් විතර දුරින් කෝවිල් දෙක ...

ඉතිං මේ හැම ආගමික ස්ථානයකටම අපි ආවා ගියා
හැම ආගමික නායකයෙක්ගෙන්ම 
හොඳ නරක ඉගෙන ගත්තා  
හැබැයි වැඩියෙන්ම ලංවුනේ පිරිවෙනට ...

(පිරිවෙන = ලංකාවෙ බෞද්ධ භික්ෂූන්ගේ අධ්‍යාපනය සඳහා පවත්නා ආයතනයක්  ...
පාලි, සංස්කෘත, සිංහල, බෞද්ධ දර්ශනය භික්ෂු විනය වගේ විෂයයන් ඉගැන්වූ ප්‍රධාන බුද්ධිමය උරුමය රැකගත් මහා අධ්‍යාපන පද්ධතියක්)

ගෙදරට දකුණු පැත්තෙ ටිකක් ඉස්සරහින්  ශ්‍රී පුඤ්ඤසාර පිරිවෙන
වම් පැත්තෙන් විද්‍යාලෝක පිරිවෙන
ගෙදර ඉඳලා මේ දෙකටම තිබුනෙ මීටර සීයක් දෙසීයක් විතර දුර ...

ඒ කාලෙ හුඟක් දරුවො ඉස්කෝලෙ යන ගමන් පිරිවෙනටත් ගියා 
ගමේ දහම් පාසැල්වල ඉගෙන්නුවෙත් පිරිවෙනේම ඉගෙන ගන්න අයියල අක්කලයි 
පිරිවෙනේම උගන්වන හා ඉගෙන ගන්නා ස්වාමීන් වහන්සේලායි තමයි  ...

නොමේරූ කාලෙ අපිත් නරුමයො තමයි 
හිච්චි වයසට කරතෑකි හැම කඩප්පුලි වැඩක්ම කරා ...
හැබැයි හිත් ගැඹුරෙ පිරිවෙන් ඉගැන්වීම් පැළපදියම් වෙල තිබිල 
වයසින් මුහුකුරා යනකොට මග වැරදිච්ච වෙලාවට 
ඒවා උඩට මතුවෙනවා අපිටම මාර්ගය හදාගන්න 
එතනයි වෙනස ...

මට මේ ගැන කොටන්න හිතුනෙ මේං මේ නිසා  ...
~~~~~

අම්මපා බං පහුගිය ජෙන් ගනනාවකම 
වැඩිමනක් තරුණ පරපුර කරන කියන මනස්ගාත දැක්කහමයි
මහ එවුන් කරන පිස්සුයි දැක්කම
රටේ අධ්‍යාපනය කොච්චරට පිරිහිලාද කියල හිතා ගතෑකිනෙ …

හරි ඒක එහෙමයි කියල ඩිංගිත්තකට පැත්තට කරමුකෝ  ...

දැං වැඩේ කියන්නෙ බං ...
ඔය ගිරිය පුප්පං පිඹින වැඩිමනක් සඟ පරපුර කරන කියන මනස්ගාත දැක්කහම
බොලැයි දෑහට පැහැදිලිවම පේන්නෙ පිරිවෙන් අධ්‍යාපනේ පිරිහීමක් නෙවිද  බං ???

මට නං පේන්නෙ එහෙමයි ...

ඕං දැන් බලහං ...
වැඩිමනක් අපේ ඇත්තන් අති උතුම් කෝටියක් සංවර සීලය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වැළඳ ගෙන 
කරදණ්ඩ ටිකක් ලොකු මහත් වෙනකොට ඔවුන් විසින්ම ඒ  සීලයෙන් නිර්වස්ත්‍ර වෙලා
ප්‍රඥාවෙන් කරකුට්ටං වෙන්නම හිත වේලගෙන
විනයෙන් නැති බංගස්ථාන වෙලා 
පැවිද්ද බිමටම වට්ටලා …

ඔවුන් විසින්ම ප්‍රඥාව භාෂාවේ ශබ්දයකට විතරක්ම හිරකරගෙන
පැවිද්ද කහ වස්ත්‍රයකට පමණක්ම සීමා කරගෙන  …
ධර්මය පොත් පිටුවකට පමණක්ම වෙන්කරලා ...

ධර්මය වෙනුවට ආගම පෙරට  ඈඳගෙන 
ආගමත් පැවිද්දත් දිවියකට වඩා රැකියාවක් බිස්නස් එකක් කරගෙන …
කහවනු පොදි බර වුණාට හිත් පොජ්ජ හිස් කරගෙන ...

ඒ අති උතුම්ම ධර්මය මනාව ඉගෙන ගෙන 
සංසාරය කියන ගංගාව තරණය කරන්ට අවශ්‍ය ශක්තිමත් පාරුවක් කර නොගෙන 
ඒ අති උතුම් දර්ශනය පිළිපදින්න කැපනොවී වෙළඳ භාණ්ඩයක් කරගෙන ...

මොන මහා විගඩමක්ද බං මේ නටන්නෙ ???

ඇයි බං ගඟ හරහා එතෙර වෙන්න තියෙන ඔරුව ...
උස්සගෙන හිස මත තියාන යන කොට
මිනිස්සු ඒ ගඟේම ගිලිල මැරෙනවනෙ බං 
ඒක ඉතිං ආයෙ අහන්න කියන්න දෙයක්යැ …

ප්‍රවජ්ජාව මුල් කරගෙන බැස්ස සැට් එක සංසාරේ නව නාම වලින් තවත් වට ගානක්ම කැරකෙයි වගේ ...

හා නැද්ද මං අහන්නෙ ???

අන්ධයන්ට අන්ධයන්ම පාර පෙන්නනකොට
වළට වැටෙන්නෙ එකෙක් නෙවෙයි බං 
පරම්පරා හැට හුට හමාරක්ම  ...

ඒත් අපියි කියල දොස් කියන්නෙ කාටද බං ...

පහනුත් තියෙනං 
තෙලුත් තියෙනං 
තිරත් තියෙනං ...

සැඩ සුළඟකටවත් නොනිවී ආලෝකය දෙන්න නොදන්නවානං අපි මක් කොරන්නද බං ...

හැබැයි ඉතිං දෝෂය ඇත්තෙ තරුණ සිත්වලමත් නෙවි බං …

මයෙ ගොන් මොළේට අහුවෙන හැටියටනං දෝෂය ඇත්තේ ...

දල්වන්න අසූහාර දාහක් පහන් තිබුණත් ...
ඒ පහන් වලට පිළියෙල කල තෙල් ටිකත් 
පහන් තිරත් දාන්න අමතක කළ හැම එකාගෙම අතේ  …

අනේ මන්දා බං
අඳුරෙම ඉඳගෙන
අඳුරටම පිරිත් කිය කිය
කවදා අඳුරෙන් ගැලවෙයිද බං අපි  ...

~ අයිස්මෝල හන්දියේ අතුලයා ~

No comments:

Post a Comment