කියවූ තරම්

Thursday, April 16, 2026

උතුර දකුණ

ක්‍රිකට් ගහලා බලලා කතා කරලා 
උතුර දකුණ අමතකවෙලා ඉන්න වෙලාවක …

උතුර දකුණ එකතු කරන කණට මී පැණි වගේ ප්‍රවෘත්තියක් ඇහෙනවා …

ගාල්ලෙ මහින්දයි යාපනේ හින්දුයි ...
එක පිටියක හමුවෙනවා …

අගෙයි අගෙයි … 
සැබෑටම අගෙයි …

“විජේසූරිය – සෝමසුන්දරම්”  
නාම දෙක අතරින් නව කතාවක් ලියවෙනවා 
එය සුන්දර ප්‍රේමණීය එකක් විය යුතුමය …

කොන් දෙකක් එකතු කරන එක ලේසි නෑ
විශේෂයෙන්ම රළු අතීතයක් තිබ්බ කොන් දෙකක්  එකතු කරන්න නම් 
මැදින් නවන්න වෙනවා …

ඒකට හරිදේට නැවෙන්න කැමති
මනුෂ්‍යත්වයට පමණක් නැවෙන 
සුන්දර හදවත් ඇති එවුනුත් සිටිය යුතුයි ...

නවන විට කැඩෙන් නැතිව හෙමින් හෙමින් නැවීමත් බොහෝම පරිස්සමෙන් කල යුතුයි ...

අමාරුවෙන් නවා එකතු කරගත්තත් පවත්වාගෙන යෑම එයිටත් වඩා අමාරුයි 
කොන් දෙක වෙන් කරන්න 
එකම එක කාළකණ්ණි පාහර දේශපාලකයෙක් විතරමයි අවශ්‍ය …

විශේෂයෙන්ම ආවේගකාරී තරුණ හදවත් වලට …

ඒත් …
මෙවන් සුන්දර සිතුවිල්ලක් උපදවපු එකම
ජයග්‍රහණයක් නොවේද …

එය සැබෑ කරගන්න වෙහෙසෙන සැමට බොක්කෙන්ම ප්‍රණාමය ...

🙏🙏🙏

1975 …

එදාත් මේ වගේම කතාවක් අපිට තිබුණා …

නවසිය හැත්තෑ පහේ  ජැෆ්නා කොලේජ් 
දාහතරෙන් පහළ ක්‍රිකට්  කණ්ඩායම යාපනේ සිට කෝච්චියෙන් ගාල්ලට …

මහින්දෙ 14න් පහළ නායකයා ලෙස මං ගියා 
ඒ මිතුරන් පිළිගන්න ගාලු ඉස්ටේසමට 
කුලසූරිය සර් සමග 
මේජර් සිල්වා සර්ගේ අනුදැනුම මත …

පහුවදා සුළු ලකුණු ගනනකින් තරඟයේ ජයග්‍රහණය මහින්දෙට …

එහෙත් ...
දවසේ සැබෑ ජයග්‍රහණය ලකුණු පුවරුවෙ නෙවෙයි තිබුණෙ …
ඒක තිබුණේ අපි හැම එකාගෙම හදවත්වල ❤️

කොන් දෙකක හිටි නිසා 
ඒ ඇත්තන් හිතුවෙ අපි අමුතුයි කියලා 
අපි හිතුවෙ ඒ ඇත්තන් අමුතුයි කියලා ...

කැඩිච්ච ඉංගිරිසියෙන් අදහස් හුවමාරු කරගන්නකොටයි වැටහුනෙ 
දෙකොනක හිටියත් අපි ඔක්කෝම 
එකම ලේ මස් නහර තියෙන එවුන් කියලා ....

ඇත්තටම අපේ එකම අමුතුවකට තිබුනෙ භාෂාව විතරමයි
ඒත් ඇහැක් හැටියට කැඩිච්ච ඉංගිරිසියෙන් එයත් අපි විසඳ ගත්තා ...
එයාල  එනකොට අපිට තල් හකුරුයි කොට්ට කිලංගුයි ගෙනත් තිබුනා ...
අපේ අම්මල තාත්තල එකතුවෙල එයාලට රුහුණේ මී කිරියි කිතුල් පැණියි කළු දොදොලුයි දුන්නා යාල්පානම් ගෙනියන්න ...

ගාලු කොටුව රූමස්සල උණවටුන වැල්ලෙ කෝවිල මාරකැට්ටුව සී බාත් එක 
එදා අපි හිනාවෙවී එකතු වෙලා
ගමන් ගියා තරඟයට පහුවදා …

දකුණෙ අපිව දාලා එවුන් ආපහු උතුරට යනකොට ...
හිච්චි එවුන් වුන අපි සමුගත්තෙ වැළඳගෙන වෙන්වන්න අකමැත්තෙන් වගේ 
එතරමටම අපි ළංවුනා දෙමාපියන්ද සමග
අදටත් ඒ මතක වියළෙන්නෙ නෑ ...

ක්‍රීඩාව කියන්නේ දිනන්න පරදින්න ගහන
එහෙම නැතිව අකුරු කෙටුව පිත්තල කෑල්ලක් ලී කෑල්ලක් බෙදාගන්න 
පමණක් සීමාවුන තරඟයක් විතරක් නෙමේ …

ඒක එකතරා විදියක ආගමක්  
සැම දෙනාම එකතු කරන සමඟි කරන 
ජය පැරදුම එකසේම පිළිගන්න
පිරිපුන් මිනිස්සුන් හදන මහා මෙවලමක් …

එබැවින් …
මෙවන් තරඟ අදට පමණක් නොව …

හෙටටත් අනිද්දාටත් ඉන් පසුවත් …
පරම්පරා ගණනාවකටම නොකඩවා යන
සම්ප්‍රදායක් විය යුතුමයි … 

කොයි මුල්ලක සිටියද අනාගත පරපුර එක්වී බේද නොමැතිව ඉදිරියට යායුතුය ...

නැවතත් ...
මෙම ප්‍රේම තරඟය සූදානම් කිරීමට කටයුතු කල බොලා සැමට 
හැට්ස් ඕෆ් මචංලා ... 

🙏🙏🙏

අවසන දෙසන්නේ එකම එක දෙයයි ...

මෙවන් තරඟ හදන්නෙ ක්‍රීඩකයන් විතරක් නෙවි

එකම රටක් එකම ජාතියක් ...

No comments:

Post a Comment