කියවූ තරම්

Sunday, August 29, 2021

නිවන් දකිත්වා


මචං ආනන්ද

අපිට උඹ ගැන හරි ආඩම්බරයි බං ...

කඹ කෑලිවල එල්ලිල පිස්සු කෙලින
සුපර්මෑන්ල බැට් මෑන්ල රොබින් හුඩ්ලට වැඩිය
උඹ අපිට වීරයෙක් බං ...
ආඩම්බර වැඩි කමටද කොහේදෝ
ජීවිත ගොඩදාන්න උඹල කරන කැපවීම සිහිවෙන වෙලාවට
කම්මුල් පිම්බිල රතුවෙල ඇස් වලට කඳුළු උනනව බං ...

උඹට වැඩිය දුරකථනයෙන් කතා නොකරට අමනාප වෙන්න එපා
ඒ ඉතිං උඹ වගේ
රත්තරන් ජීවකයෙක්ගෙ රන් හා වටිනා කාලය
මං වගේ එකෙක් නිකං බයිල ගහල අපතේ යවන එක අපරාධයක් කියල  හිතෙන නිසා ...
ඇයි බං ඒ වෙලාවෙත් උඹට තව ජීවිතයක් දෙකක් බේරගතෑකිනේ ...

මං හිතන්නෙ උඹ බෝවෙන රෝග විශේෂඥයෙක් උනේ
දුප්පත් අහිංසක මිනිස්සුන්ගෙ පිනටම වෙන්ටෝනැ ...

නැතිනං අර මහ එවුන් ගහන පදේට හතළිස් පහට නැවිල නටන
පොඩි එවුන්ගෙ දේකේ කොලේටත් ඉස්ට්‍රැයික් කරන අපතයෙක් උඹෙ ජොබ් එක කරානං
ජනතාවට පුහ්හ් ...

මක්කීවත් උඹත් ටිකක් පරිස්සමෙන්
බොක්ක ඉඹං හිටියත් අපේ මහ එවුන් විශ්වාස කරන්න බෑ බං
උන්ට අරහං නං දුන්නා ගේම ...
අර පේන්නෑ මුල් වටේදිම සීරෝ එකට කොරෝනා හාන්සි ගස්සපු
එකම පන්තියෙ හිටපු අනිලයත් පරිසරේට යැව්වෙ හුළං වැදි වැදී ඉන්න ...
අපෙ මණ්ඩලවත්තයත් හෙන සපෝර්ට් එකක් දුන්න බං අපෙ හිච්චි අයියට ...

මං දන්නව බොක්කෙන්ම කොරෝනා එක්ක
ෆේස් ටු ෆේස් හැප්පෙන තව හෙන ජීවකයො සැට් එකක්  ඉන්නව කියල ...
ඒත් උඹ ගැන විශේෂයෙන්ම මතක් කරන්නෙ
උඹල අපි එකම ගල් කූරෙන් අකුරු ලියපු මිසක්ක
අනෙක් ඇත්තන් අමතක වෙලා නං නෙවි ඕං ...

අපේ සැට් එකේ කව්රු හරි එකෙක්ට කතා කරොත් මම උඹ ගැනත් නිතරෝම අහනව ...
ඒ හැම වතාවකම උන් කියන්නෙ
උඹ හරියට කන්නෙ බොන්නෙ නිදියන්නෙත් නැතිව
කොටින්ම කියුවොත් තමන්ගෙ ශරීර සෞඛ්‍ය ගැනවත් හිතන් නැතිව
අනෙක් අය වෙනුවෙන් මාරාන්තික කොරෝනත් එක්ක දෙන අමුම අමු ගේම ගැන ...

උඹළ දෙන ගේමෙන්
දශම බිංදුවයි බිංදුවයි බිංදුවයි එකක හරි වුවමනාවක්
පැණි බිබී මුට්ටි ගඟේ දාන මෝඩ මැටි මෝල් ගොං තඩියන්ට තිබුනනං
අපි මෙලහටත් ගොඩ බං ...

ඇයි බං ඔය ලෑටි ගාපු හින්නි කිතර අඹ ඇටයක් වගෙ
මුහුදෙන් වට වෙච්චි රත්තරං දූපතවත්
උන්ට ආරක්ෂා කර ගන්න බැරි නං
ආයෙ මොන කතාද බං ...

අනේද කියන්නෙ
මෝඩ චූන් ගන්න උන්ගෙ පුරසාරම උන්ටම හොඳා ...

උඹල තමයි බං රියල් වීරයො
උඹගෙ ඔය රත්තරං අත් දෙකෙන් අන්ත අසරණ ජීවිත කීයක් ගොඩ දාන්න ඇතිද බං ...
ඒනිසා උඹ ප්‍රවේසම් වෙයං ඔක්කෝටම කලියෙන් ...
මොකද උඹ වැටුනොත් මුළු අයිඩීඑච් පද්ධතියම වැටෙනව ...

දුප්පතුන්ගෙන් පූජා වටිටි හිඟන ගම්බාරල විශ්ණු කතරගම පත්තිනිල කාලිල නෙවි බං
ඕං උඹළ වගේ ජීවකයො සැට් එක තමයි මේ මිහිපිට ජීවමාන දෙවිවරු ...
ඔක්කොම එක්කාසුවෙල උඹළන්ට තමයි මල් තියල හඳුන්කූරු පත්තු කරන්ටෝනැ ...

ආයෙ කතා දෙකක් නෑ
උඹට නං ඊළඟ මහෞෂධ පඬිය වෙන්න හැම සුදුසු කමක්ම තියෙනවා ...
වේකන්සිය ආවොත් ඇප්ලිකේෂන් එකක් දාපං අපිත් ෆුල් සප
මොකා නැතත් හෝඩියෙ ඉඳල එකට ආ සැට් එක උඹට ඉන්නව ඕනෑම වෙලාවක ...

රත්තරං ආනන්දයෝ රත්තරං උඹට යෝධ බල යෝධ විරිය
උඹළන්ට දෝත් මුදුන් දී නමස්කාර කරනව බොක්කෙන්ම දෙන ගේමට ...
උඹටත් උඹගෙ ලොකු දොස්තර මහත්තයගෙ සිට කසල ශෝදක මහත්තයා දක්වා
ලොකු කුඩා  සියළුම කාර්ය මණ්ඩලයටත් අපේ භක්තිය ප්‍රණාමය ...

මේ කරගන්නා වූ මහා පින් මහිමයෙන්
බොලා සැම දෙනාටත් බොලැයි පවුල් වල සැම දෙනාටත්
ඒ පවුල් වලට ගෑවිච්ච ගෑවිච්ච සියළු දෙනාටත් ...

මේ ආත්මයෙත් නිවන් දක්නා ජාති දක්වා උපදින සෑම ආත්මයක් ආත්මයක් පාසාත්
කිසිදු ලෙඩක් දුකක් කරදරයක් අතුරු ආන්තරාවක් නොවී
සියළුම සැප සම්පතින් සපිරි නිදුක් නීරෝගී වාසනාවන්ත ජීවිත උදාවේවා ...

සසර මග කෙටි කරගැනීමට අවශ්‍ය  ධෛර්යය ශක්තිය වීර්ය ලැබේවා ...

දෙව් මිනිස් සැප කෙලවර අමා මහ නිර්වාණ සම්පත්තියද  උදාවේවා ...

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

මීට
අයිස්මෝල හන්දියේ අතුලයා ...

1 comment:

  1. අතුල අය්යා,
    දොස්තර ආනන්ද විජේවික්‍රම මහතා පසුගිය වසර 10ක පමණ කාළයක සිට මා හොදින් දන්නවා. බොහෝ මිනිස්සු කොන් කරන ජන කොට්ඨාසයක් වෙනුවෙන් පුදුම විදිහේ ආදරයකින් හා කරුණාවෙන් සේවය කරනවා.රාජකාරීමය තත්වයෙන් ඔබ්බට උදව් කරනවා.
    ඔහු මිහිපිට දෙවියෙක් ����

    ReplyDelete