කියවූ තරම්

Sunday, September 5, 2021

Mr Roy Dias


 මිස්ට රෝයි ඩයස් ...

මම මුලින්ම දකින්නේ හැත්තෑව දශකය අවසාන බාගයේ ගාලු පිටියේදීය  ...
 
හිච්චි අයියා එතකොට  ගෝල් සීසීය
මිස්ට රෝයි ඩයස් කළම්ඹු කෝල්ට්ස්ය ...
මම මහින්දෙ ජූනියර්ස්ය ...

නවසිය හැත්තෑව කාලෙත් මිස්ට රෝයි ඩයස්ගේ බැටිං ෆීල්ඩිං ගැන අසා තිබුනද
ශිල්ප වැඩ කිඩ  දැක්කෙ නං එදාමය ...

මොකෝ අපි හිච්චි එවුං කාලෙ ටැලිවිසොං තිබ්බැයි බං ...

අයිස්මෝල හන්දියෙ තම්බි මාමගෙ කඩේ හත හමාරට ගුවන් විදුලියෙ ගිය
බ්‍රිස්ටල් ඉස්පෝට්ස් නිවුස් අපිට තිබුන එකම පිහිටය
ඒකත් තම්බි මාමගෙ පුතා හිච්චි තම්බිට වැඳලම විනාඩි දහයකට දාගන්නෝනේය
නැතිනං එහි යන්නේ පැරණි රසාංගය ...

පරණ ගෝල් සීසී බිල්ඩිමේ
කොට්ටම්බ ගහ පැත්තෙ තිබුන ඩ්‍රෙසිං රෑම් එක විසිටර්ස්ලාටය ...

සයිට්ස්ක්‍රීන් එක පැත්තේ හෝම් ටීම්ය ...

මම හැමදාම මැච් බලන්නෙ
පැවීලියන් එකේ හෝම් ටීම් පැත්තෙ බංකුවක් උඩ වාඩි වෙලාය ...

එකම හේතුවක් නිසා
ඔය කියාපු දවස් දෙකේ විතරක් මැච් එක බැලුවේ
විස්ටර්ස් ටීම් එක පැත්තෙ
තුන්වෙනි පඩිය උඩ  සුරුට්ටුව වගෙ රෝල් කරපු හම ගිය පරණ මැටිම උඩ ඉඳගෙනය ...

හේතුව මගෙ හිච්චි අයියා මිස්ට රෝයි ඩයස්ගේ බැටිං ගැන මට දී තිබුන පම්පෝරියය ...

මිස්ට රෝයි ඩයස් පමණක් ක් නොව
හැට හැත්තෑ ගනන් වල ජාත්‍යන්තරේ හිටි සුපිරි ක්‍රීඩකයන් හැමෙකෙක් ගැනම මට කියා දුන්නෙ හිච්චි අයියාය ...

හිච්චි අයියා නැතිනං මම විස්තර ගත්තෙ
ගාල්ලෙ කැරකෝප්පුව පිටුපස තිබුන පුස්තකාලේ දිනපතා පත්තර කියවලාය ...

ඉංගිරිසි බැරි උනාට මම ඉස්පෝට් පේජ් එක කියව්වේ
හන්දියෙ ගෙදර සෝමරත්න මාම ඉංගිරිසි බැරි උනත් රේස් කොලේ කියෙව්වා වාගේමය ...

ඒකාලෙ සරා ගැහුවෙ ට(ර්)ෆ්ය
ඩොනවන් ඇඩ්‍රෲ ඇන්ඩ් ඩේලි නිවුස් මැටිංය ...

මම ඒ දින දෙකේම මැච් එකට වැඩිය බලාන හිටියෙ
මිස්ට රෝයි ඩයස් දිහාය ...

මිස්ට රෝයි ඩයස් බැට් කරනව ෆීල්ඩ් කරනව වගේම ...
බත් කනව තේ බොනව වතුර බොනව දිහාත් බලාන හිටියා අද වගේම මතකය ...

හදිසියෙ වත් මිස්ට රෝයි ඩයස් මිසිං උනොත්
ඩ්‍රෙසිං රූම් එකේ දොර ලඟට ගොහිං
අසව්වයි දොරයි අතර තිබුන හිච්චි කිතර දාරෙ අස්සෙන්
මම මිස්ට රෝයි ඩයස් හොයනවාය ...

ඒ මතකය තාමත් පැළපදියම් වී ඇත්තේ
මිස්ට රෝයි ඩයස් වගෙ (Eligant)
පෙනුමෙන් හා පිත්ත හැසිරවූ ආකාරයෙන්
ප්‍රියමනාප පිතිකරුවෙක් මගෙ දෑහින් තවමත් නොදැක්ක නිසාය ...

එදායින් පසු ආයෙ මිස්ට රෝයි ඩයස් හැබැහින් මම දුටුවේ
අසූ දෙකේ අසූ තුනේ විතර කොළඹ ආවහාමය ...

එතකොට මිස්ට රෝයි ඩයස් එස්එස්සීය
හිච්චි අයියයි මමයි ටැමිල්ස්ය ...

ඒ වරුසෙ එස්එස්සී ටැමිල් තරඟේදී
පළමු දින ටැමිල්ලා එස්එස්සියට ෆස්ට් ඉනිංග්ස් පැරදුනද දෙවෙනි දින අවසානයේ මැච් එක දිනුවාය ...

කොහොමෙන් කොහොම හරි
ඒ මැච් එකේ මම ලකුණුත් ගසා මිස්ට රෝයි ඩයස්ට බෝලුත්  කරාය ...

දෙවෙනි දින මැච් එක  අවසානයේ
එස්එස්සියෙන් පිනට ලැබුන බීර වීදුරුවක් තොල ගාන ගමන්ම
මිස්ට රෝයි ඩයස් සමග කතා කිරීමටද අගනා අවස්ථාවක් ලැබුනාය ...

මගේ හිච්චි පිතිහරඹය ගැන වර්ණනාවෙන් උපදෙස් දෙමින්ම
මිස්ට රෝයි ඩයස් කියුවේ
මල්ලි මිස්ට කෑල්ල කපලා මට රෝයි ඩයස් කියන්න කියලාය ...

එදා සිට මිස්ට රෝයි ඩයස්
රෝයි ඩයස් උනාය

පසුව අසූදෙකේ මම සංචතියට එකතුවී එකට පුහුණු වීම් කිරීමට පටන් ගත්දා සිට
එවන් ක්‍රීඩකයෙක්ට නමින් කතාකිරීමට හිත නොදුන් නිසාම
රෝයි ඩයස් අපි සියල්ලටම රෝයි අයියා උනාය ...

හරි හමන් පුහුණු කරුවකුද නැති  සංචතියේ
ඉවක් බවක් නොමැතිව පන්දුව එන එන අතට පහර ගැසූ  මා වැන්නවුන් හට
රෝයි අයියාගෙ ඔවදන් ඉල්ලමක් වූ වාර අනන්තයි අප්‍රමානය ...

මේ අතරේ බන්දු අයියා අජිත් අයියා බර්නාඩ් අයියා සිදත් හා රංජන්ටද  
ප්‍රධාන තැනක් හිමිය ...

වැඩියෙන් පහසුවන ලෙස මගෙ ස්ටාන්ස් එක
ටිකක් වෙනස් කලෙත් රෝයි අයියාය ...

රෝයි අයියා පහුකාලෙක "අ" යන්නයි "යි"යන්නයි ලොප් වී ...
රෝයියා යන සුරතල් නාමෙන් අප අතරේ නම්ප්‍රසිද්ද උනාය ...

මම වැඩියෙන්ම ලං උනේ රෝයියා සීසීසී ක්‍රීඩා සමාජයට බැඳුනායින් පසුවය
ඒ ඔහුගේ අගනා ගුණයන් නිසාමය ...

හැත්තෑව අග බාගේ මිස්ට රෝයි ඩයස් වූ ඔහු ....

අසූව මැද බාගේ වන විට රෝයියා වී  
ඉඳහිට මාත් සමග ගොම්මනේ ලාවට හිච්චි කිතර දෙකක් දාන පාට්නර් කෙනෙක්වන  තරමටම නිහතමානී විය  ...

අපි සීසීසී ඉන්නතාක් කල් අවුරුදු ගානක්
මහා මම  චරියා කපිලවිජේ පොඩිජුරා   ඇතුළු තවත් කිහිප දෙනෙක් ...
හැම සති අන්තයකම වාගේ ගොම්මනේ සැට් උනෙත් රෝයියාගෙ නිවහනේය ...

බයිට් ඇතුළුව රට බීම සහ ෆයිව් ස්ටාර් ඩිනර්ස් රෝයියා ගෙන්ය
අපේ ගානේ පැමිනීම පමනමය ...

අරමුණක් නොමැතිව එහෙ මෙහෙ ගිය අපිව බලාගත්
රෝයියා තරංගා අක්කා අම්මා මල්ලිලා ඇතුළු පවුලේ සියලු දෙනාටම හා
කිචන් ඩිපාර්ට්මන්ට් හෙඩ්
මාස්ටර් ෂෙෆ් අනුලක්කා ඇතුළු සේවක මඩුල්ලටම අනේක වාරයක් තුතිය ...

රෝයියාත් සමග අසූව දශකයේ සංචාර කිහිපයක් ගිය මේ ලියන්නා ...

රෝයියා වැනි වන් ඉන් අ මිලියන් ක්‍රීඩකයකුට ...
මණ්ඩලයෙන් ඒකාලේ සැලකූ ආකාරය ගැන ඉතාමත් කේන්තියෙන් කනගාටුවෙමිය ...

මා සමග රෝයියාගේ මෙහි ඇති පින්තූරය
අසූව මැද බාගයේ ෂාජ සංචාරයේදි ඩුබායි රටේදී ගත් එකකිය ...
අරාබිකාරයා දැං ලෝකෙටම පේන්න තප්පදෝරු බිල්ඩින් ගැහුවද
ඒ කාලේ ඩුබායි වල පංචිකාවත්ත වැනි ප්‍රදේශ අනන්තවත් තිබුනාය ...

මේ සංචාරයේ දුක්ඛම සත්‍යය නම් ...

ද්වේශයෙන් පිරි හාල්පාරු සිලෙක්ටර්ලා විසින්
රටක් වටින ශ්‍රී ලංකා වයිස් කැප්ටන් බංකුවේ තැබීමය ...

නාවල රෝයියා බංකුවේ තැබූ උන්
අයිස්මෝල හන්දියේ අතුලයා ගැස්සවූහ ...

ඒ අයිස්මෝල හන්දියේ අතුලයාට තිබූ ආදරයට නොව ...
රෝයියාට උන්ගේ තිබූ ද්වේශයටය ...

අයිස්මෝල හන්දියේ අතුලයාට පොළොව පලාගන යාමට සිතුනද කරකියා ගත කිසිවක් නොතිබූයේ
ඔහුද සිටියේ ෂාජා මිස අයිස්මෝල හන්දියෙ නොවන නිසාය ...

එහෙම කියුවේ ෂාජා කිරිමෙල් "ලෝ" එක අයිස්මෝල හන්දියේ කිරිමෙල් "ලෝ" එකට වඩා වෙනස් නිසාය ...  

රෝයියා ඉතාමත් නිහතමානීව අතිරේක ක්‍රීඩකයෙකුගේ කටයුතු සියල්ල අඩුවක් නැතිව කලාය ...

එපා කියද්දිත් මගේ දහවල් කෑම එක බෙදා ගෙනත් දුන්නේද රෝයියාය
දහඩිය ඇඳුම් වේලා ගෙනත් දුන්නේද රෝයියාය ...

ශ්‍රීමත් අයිසැක් විවියන් රිචඩ්ගේද
සදාතනික වීරයෙක් වූ අපේ රත්තරං රෝයියාට
අමුතු ඇටේ අමන කාළකණ්ණී සිලෙක්ටර්ලා මානසිකව පහර දුන්නෙ එසේය ...

රෝයියා වැනි ක්‍රීඩකයකුට එසේනම්
අයිස්මෝල හන්දියේ අප වැනි උන්ට
කෙසේ සැලකුවාදැයි උඹළාට සිතාගත හැකිය ...

සිලෙක්ටර්ලා වැඩි කල් ජීවත් වූයේ නැතිය ...
එවුන් නිවන් ගියාදැයි නොදනිමිය ...
ගියානං හොඳය  
එවිට ලබන ආත්මේ ඔවුන් සිලෙක්ටර්ලා වී අපසු නොපැමිනේය ...

රෝයියා නං යහපත් කර්ම ශක්තීන්ගේ බලයෙන් තවමත් දැහැමින්  වැජඹේය ...

රෝයියාට හා තරංගා අක්කාට
යෝධ බල යෝධ විරිය හා දීර්ඝායුෂ ලැබේවායි
ඔබ සැම වෙනුවෙන් මා පතමිය ...

මීට
අයිස්මෝල හන්දියේ අතුලයා ...

Roy Dias Tharanga Dias

FB 23.08.2020

3 comments:

  1. Nice writeup Athula.In your every post you are showing what a nice human being you are.

    ReplyDelete
  2. අතුල ඔය කියන "සුරුට්ටුව වගේ" ඔතපු මෑටිම උඩ මමද වාඩි වි මෑච් බලා තිබේ ....

    ReplyDelete
  3. Thanks for your efforts here Athula we are definitely going back to our younger days keep it up

    ReplyDelete