කියවූ තරම්

Tuesday, January 25, 2022

හම් ඔලුවෝ ඇන්ඩ් පන්ක්ස්




හම් ඔලුවෝ නොහොත් ස්‍කින් හෙඩ්ස්

83නේ ලෝක කුසළාණෙට එංගලන්තෙ ගිය අපිට ක්‍රිකට් වලට අමතරව පිටියෙන්‍ පිට තිබුන එක ප්‍රශ්ණයක් තමයි කෑම ...

ලංකාවෙදි කරවල කෑල්ලක් පුච්චල
බතයි සම්බෝලෙයි පරිප්පුයි කාල පුරුදු අපිට ...
 
කිසිම ලුනු ගම්මිරිස් රහක් නැති
සුදු මහත්තරුන්ගෙ නෝනලගෙ තම්බපු මස් කෑල්ලයි
හාවුන්ට දෙන සලාදෙයි අරහං ...

ඉතිං අපි කෝඩුකාරයො ටික එකතුවෙල ඉක්මනටම බත් කල්ලියක් හදා ගත්ත
නැතිනම්‍ එංගලන්තෙදි සීතලෙයි  බඩගින්නෙයි
මැරෙන්න වෙයි කියල හිතල ...

ඒ කියුවෙ මම ග්‍රැන්විල් බ්‍රෙන්ඩන් විනෝදන්
Granville De Silva  Vinothen John Brendon Kuruppu

ඉඳල හිටල තවත් එකෙක් දෙකෙක් එකතු වුනා අපි සෙට් එකට ...

ඒ තමයි අපි කිහිප දෙනෙකුගෙම
කුළුඳුල් ශ්‍රී ලංකා සංචාරය ...

වැඩි වෙලාවට හතරදෙනා විතරක් සෙට් වෙන්නෙ
ටැක්සියට ෆිට් වෙන්නෙ හතරදෙනා නිසා ...

අනික අපි හතර දෙනාම හතර රියන්
එංගලන්තෙදි තඩි සීතල කබාත් දා ගත්තම
අපි හතරම ආනල්ඩ් ස්වාසනාදන්ගෙ මල්ලිගෙ යාළුවො වගේ තමයි
ටැක්සියෙන් එකයි ...

ඒවා පත ටැක්‍සි නොවන්න ඩ්‍රයිවර්ටත් යන්න වෙන්නෙත් එලියෙ ...

වෙන රටවලදි ප්‍රාන්ත අතර ගුවන් යානයෙන් ගමන තිබුනට
එංගලන්තෙදි සාමාන්‍යයෙන් ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට තරඟ වලට යන්නෙ බස් එකෙන් ...

බස් එක කීවට පෝලිමේ ඉඳල
ටිකට් අරං යන ලංගමේ නම් නෙවි මේ ..

අපිටම කියල එංගලන්තෙ ක්‍රිකට් මණ්ඩලයෙන් පාවිච්චියට දීල තිබුන
අති සුඛෝපභෝගී බස් රියෙන් ...
 
බස්ර රිය ඇතුලෙම හදිසියකට යන්න වැසිකිලියක් වගේම
තේකක් කෝපියක් හදාගන්න පුංචි පැන්ට්‍රියකුත් තියෙනව ...

ඩ්‍රයිවර් මහත්තයත් හරිම හිත හොඳ මිනිහ
අපිට පන දෙයි ඕනෑ වෙලාවක ...

ඒත් ඉතිං
ඉස්සර අපෙ වැකුණගොඩ බස් එක ආම්බාම් කරපු ඩ්‍රයිවර් මහත්තය වගේ
කොණ්ඩෙ වවාගෙන සරමයි බැනියමයි ඇඳල නලල පුරාම සිද්ධාලේප උලල නෑ මෙයා ...

 
මේකා බස් එක එලවන්නෙ
සන්‍ග්ලාස් දාගෙන වැස්ලින් ගාල පැත්තෙන් ඉර තියල
කොණ්ඩෙ බෙදල පීරල
ටයි කෝට් දමාගෙන ෆුල් නීට් එකේ තමයි ...

ඒ අස්සෙ අපිට වගෙ නෙවෙයි ඒකට ඉංග්‍රීසිත් බඩ යනව ...

ඉතිං ඔය බස් එකේ එක ප්‍රාන්තයක ඉඳල අනෙක් ප්‍රාන්තයට යනකොට
බත් කල්ලියෙ ප්‍රධානම කාරිය තමයි නවතින හෝටලේට ළඟම ඇති
බත් කඩ ලකුණු කර කර යන එක ...

ඒයි මචං ජෝනා මෙන්න ඉන්දියන් එකක් ...
තව ටිකක් දුර ගියහම
මචං ග්‍රැනා මේ චයිනීස් පාරක් ...

බ්‍රෙන්ඩ මචං බංගලි කඩේකුත් මෙතන
අතුල මචං තායි පාරක් ...

ඕක තමයි ඉතිං අපේ වැඩේ ...
සෝ‍(ර්)බස් උන්නාන්සෙත් ඔලුව කහ කහ බලනව
මේ මොකද මුන්ට වෙලා තියෙන්නෙ කියල ...

ඇයි බං ඉතිං මැච් තියා ඕමි අතක් ගහන්නත් බතක් කාල ඉන්න එපායැ
නැතිනං ඇඟට හරි නෑ ...

ලන්ඩන් පැත්තට ආසන්න තරඟ ඇති දවසට අපිට ජයයි ...

ලන්ඩන් ආසන්න වාසී ශ්‍රී ලාංකීය ජනතාවගේ ආගන්තුක සත්කාර ඉහලින්ම ...
සෑමදෙයක්ම ඉහටත් උඩින් ...

ඒ මදිවට පාන්දරින්ම නැගිටල
දරුමල්ලොත් අන්දගෙන කෑමට අමතරව
වඩෙත් බැදගෙන කඩලත් තම්බගෙන රොටිත් පුච්චගෙන ...

හම්මේ ...
ඒ ඇත්තාෙ ගන්න මහන්සියක් අපි වෙනුවෙන්  
වැඩි වැඩියෙන් ලැබෙන්නෝන ඒ හැමටම
ඉස්තූති වෙච්චාවෙ ...

දවසක් ඔය වගේ කලින් හොයාගත්ත හෝටලයකට
රෑ කෑමට එළියට ගිය වෙලාවක කෑම කාල ආපිට ආවෙ පයින් ...
(රෑ කෑමට තමයි කොහොමටත් එළියට යන්නෙ
උදේ කෑම හෝටලයෙම දවාලට ග්‍රවුන්ඩ් එකෙදි දෙන ලඩයක්
ඩිනර්ස් එක ඉතිං අපෙ හිතේ හැටියට)

ඕක තමයි අපේ රූටින් එක ...

ලකුණු කර ගත්තු කඩේට ටැක්සියෙ ගොහින් කෑම කාල ආපිට ගමන පයින් ...

කරුණු කිහිපයක් මත

එක ...
ගානක් ඉතුරු කර ගන්න ...
(මම මුලින් සටහනක ලියල ඇති
අපිට ලෝක කුසළාණ සංචාරයට ලැබුනෙ
බ්‍රිතාන්‍ය පවුම් නම සීයක් විතර කියල)

දෙක ...
බත ගහල කිලෝ මීටරයක් දෙකක් පයින් යනකොට තියෙන සැප ...

තුන ...
රාත්‍රියට උනත් නගරයෙ වීදි වල සොබාව දැක ගැනීම හා එංගලන්තෙ සීතල අත්විඳීම ...

නැතිනම් හෝටලෙන් ටැක්සියට ටැක්සියෙන් බත් කඩේට
ආයෙත් බත් කඩෙන් ටැක්සියට
ටැක්සියෙන් හෝටලයට
හෝටලයෙන් ඇඳට ...

ගතියක් නෑනේ බං
එංගලන්තෙ ආවම රටේ ලැයිට් කණුවක් හරි දකින්න එපායැ
අයිස්මෝල හන්දියෙ එවුන්ට ගොහිං කියන්න මක්කවත් තීන්නත් එපායැ බං ...

ඉතිං ඔය කියාපු දවසෙත් රෑ
අපි බතෙන් සප්පායම් වෙල හෝ‍ටලේට ගාටනව
 
හතර රියන් අපි හතරදෙනා උරෙන් උර ගෑවිල යනකොට
පාරෙන් එකයි වෙන කාටවත් ආයෙ
අපිව පහුකර යන්නවත් මාරු වෙන්නවත් නම් බෑ ...

අනෙක ඉතිං අපි
හාමුදුරුවො පිණ්ඩපාතෙ වඩිනව වගේ බිම බලාගෙන
සද්ද නැතිව යන්නෙත් නැහැ නෙව බං ...

කතා කිය කිය එක එකාට කාඩ් ගහමින් හිනහවෙන් නිදහසේ රිලැක්ස්ම ගමනක්
වැඩියෙන්ම යන්නෙ ඉංගිරිසි කාඩ් තමයි
දවාලෙ සුද්දෙක් එක්ක කතා කරනකොට කාට හරි වචනයක් වැරදුනාද
ඕං ඉතිං කාඩ් ...

අපි කාල බීල හෝටලේ පේන තෙක් මානෙකටම එනකොට
ඕං අපිට පෙනුන හන්දියෙ ඔරලෝසු කණුව වගෙ තැනක
දහ දොලොස් දෙනෙකුගෙ පුංචි ගැන්සියක්
කන් පැලෙන සද්දෙට එන්ජින් රේස් කරන මෝටර් සයිකල් දහයක් පාලහක් ...

අමුතුම කොන්ඩා මෝස්තර
දෙපැත්තෙම තට්ටෙ
මැද්දෙ රෝම සොල්දාදුවන්ගෙ හිස්වැසුම වගේ
අඟල් හයක් විතර උසට ඉනිහිටවල වගේ උල් කොණ්ඩේ ...

එකෙකුගෙ තට්ටෙ මැද්දෙ මුලින් කියුව
කානු වගේ ඉරි තුනක් ...

තවෙකෙකුගෙ ඔලුව පුරාම  පතොක් හිටවල වගේ  උල් උල් කොණ්ඩෙ ...
 
ගමේ මුං එකෙක්වත්‍ හිටියනං හදිසියකට පොල් ගෙඩියක් ලෙලි ගහගන්නත් තිබුන කොණ්ඩෙ ගහල ...

ඇයි බං ඒ මදිවට ඒවා දේදුනු පාට ...
උන්ගෙ සපත්‍තු කව්බෝයි සපත්තු වගේ
උල්වට යකඩ පතුරු අල්ලල ඉස්සරහටයි පස්සටයි ...
 
ගෙලේ දම්වැල් කනේ කරාබු නහයේ ජිම්නාස්ටික් වලලු ...

හරියට චීනකොරටුවෙ විමලේ අයියගෙ ගව පට්ටියෙ හිටිය
ගව සැට් එක වගේ නාස් ලණු දාපු ...

හැම තැනම හිල් කරල දම්වැල් දාල  
කොල්ලොත්‍ ඇස් ඇඳල කං ඉරාගෙන නහය පලාගෙන ...
යම පල්ලාෙද බං මේ කියලත් හිතුන ....

මීට කලින් මුන්ව දැකල තිබුනෙම නෑ මුන් ගැන අහල තිබුන මිසක් ...

දැන් අපි හතරදෙනාත් හරහට එක පේලියට හෝටලේ පැත්තට ඇවිදිනව ...

මුන් හත් අට දෙනෙකුත් අපිව දැකල බලාන ඉඳල
වාඩිවෙල හිටිය බයිසිකල් වලින් බැහැල කුටු කුටු ගගා අපේ පැත්තට එනව ...

හෝටලෙත් දැන් අපිට කෙලින්ම පේනව
ඒ උනාට දුවන්න හිතුනෙත් නෑ
ඇයි බං එදා දවාලෙ පිට්ටනියෙ ස්පොර්ට් මීට්
ඒ එක්‍කම අපිට තරුත් එක දෙක ලාවට ...
ඇඟත් නිල්වේගන දත කට පූට්ටු සයිස් එකේ ...
ඇයි බං මුන් එන පොට හරි නෑ ...

අපිට කෙලින්නම තමයි මේ එන්නෙ ...
අපි සද්දෙ දාගෙන එන විදිය මුන්ට ඇල්ලුවෙ නෑ ...

මුන්ගෙ වැයික්කිය මුන්ට ඒක මදි කමක්
අනික අපි කලුයි උන් සුදුයි ...

දැන් හුස්ම රැල්ල මූනෙ වදින ගානට ලංවෙල උන් ඇඟටමයි එන්නෙ ...

අපිත් නැවතිල නිල්වෙල ඒ මදිවට
සීතලට දිවත් ගල් වෙල ගොලුවෙල ඉංග්‍රීසි තියා සිංහල වචන එන්නෙත් නෑ ...

ඉතිපිසෝ ගාථාව කිවිවත් වැඩක් නෑ
ඇයි බං මුන් සුද්දො පාලි දන්‍නවයැ ...

අනෙක අපි ක්‍රිකට් ගැහුවට කරාටි ගැහුවෙ නෑනෙ ...

අත පය උස්ස ගන්නවත් බෑ සීත කබාවල බරට ...

හැබැයි ඉතිං අපි අතක් ඉස්සුවනං උන්ගෙ අත් හැට අටක් විතර
උන්ගෙ ඇසුත් නිකං ගිනි පුපුරු වගේ තරහෙන් ....

මුන්ට කරුණාව ගැන කියා දෙන්න එකෙක් නැතිද බං මේ රටේ
අඩුම ගානෙ අපි ගැනවත් හිතල ...

අපි හතර දෙනාටම උතුර දකුණ අමතකවෙල ...
අයිස් මෝල හන්දියෙ අතුලය
බෙලෙක් කඩේ ජෝනා පාමංකඩ බ්‍රෙන්ඩා මොරටුමුල්ලෙ ග්‍රැනා
බයිල තමයි ...

අපිට ගිනි සීතලෙත් දාඩිය දානව දත කට පූට්ටු වෙලා ...

හැබැයි ඒ වෙලාවෙම සුද්දගෙ ඩික්ෂනරියෙන් කියනවනං ...

ගෝඩ් දි එල්ඩර් බ්‍රදර් කැප්ටන්
අපෙ මූණ බැලුව ...

ඒ කියුවෙ අයිය නායක දෙවියො අපෙ මූණ බැලුව ...

අපි හතර දෙනාගෙන් මොකාගෙ වෙලාව හොඳද දන්නෙ නෑ ...
ඒ වෙලාවෙම එතනට පාත් උනේ
එදා දවල් අපි සෙල්ලම් කල තරඟය බලපු එංගලන්තෙ රසිකයො දෙන්නෙක්

ඒ දෙන්න එකතුවෙල අපි කව්ද කියල හම් ඔලුවන්ට කියාදීල උන්‍ට බැනල එලෙව්වෙ නැතිනං ....

අපි එදා හම් ඔලුවන්ගෙන් සම්බල් ...

ඇයි බං උන් කොණ්ඩෙන් ඇන්නත් අපෙ අඟල් හයක් බහිනව ...

************

83 කියන්නෙ හම් ඔලුවන්ගෙන්
පාට අයට සෑහෙන කරදර තිබුන කාලයක් ...

ඔවුනගෙ අතින් ජීවිත හානි පවා සිදුවුනා කියල ඒ කාලෙ පත්තරවල
මම කියවලත් තිබුන ...

ඊට පසු වසරේ සංචාරය කල කණ්ඩායමෙ සිටි රන්ජන් මඩුගල්ලටත් පහරදීල රාේහලෙත් හිටිය ...

ඉතිං අපිට එදා ගෝඩ් දි එල්ඩර් බ්‍රදර් කැප්ටන්
මාර උදව්වක් කලෙ  ...

අම්මප බං මම මේ විහිළුවෙන් කියුවට
මේක මාර සිරා කේස් එකක්
තව ඩිංගෙන් ෆේෂල් එකක් දාගෙනම එන්න තිබුන
මයෙ අමිමාපල් ...

6 comments:

  1. රම්පෙට පොරි හැලෙන්ට කන්න තිබුණ නේද 😃😃
    දැං ඔව්ව කියල මතක් වෙද්දි සමහරවිට ඔයාලට හිනා ගියත් අර දෙන්න හම්බුනේ නැත්තං...
    සොරිම තමා නේද. 😃

    ReplyDelete
    Replies
    1. අනීවාර්යයෙන්ම , ඉන් පසු වසරක ශ්‍රීලංකා කණ්ඩායම සමග සංචාරය කල රන්ජන් මඩුගල්ලට පන්ක්ලා විසින් පහරදී රෝහල් ගතවීමට පවා සිදුවුනා

      Delete
  2. දෙයියෝ බැලුවා එහෙනම්.

    ReplyDelete
  3. දැන් හැම ජාතියෙන්ම තග්ස්

    ReplyDelete