කියවූ තරම්

Wednesday, October 21, 2020

මම රෙස්ට්

22.4.17 FB

1989 නොවැම්බර් කැන්බරා ...

සෑහෙන කාලෙක ක්‍රිකට් ඉඩෝරයකින් පසු අපිටත්  ඕස්ටරේලියානු සංචාරයක්
මාස දෙකහමාරක ...

ඒ කාලෙ රටේ අභ්‍යන්තර ප්‍රශ්න
මරාගන මැරෙනෙ නැතිනම් දුරස්ථ පාලක බෝම්බ ...
හැබැයි උන් කියුවෙනං "පොලිටිකල් අන්රෙස්ට්"

මේ හේතූන් නිසා රටවල් ලංකාවට එන්න අදි මදි කලා ...

පාඩුව ...
ක්‍රීඩාවට ආදරයක් දක්වන රසිකයින්ට විනිසුරුකරුවන්ට ක්‍රීඩකයින්ට පමනක්ම නෙවි
මුළු ක්‍රීඩාවටම සම්බන්ධ සෑම එකෙකුටම ...

ග්‍රවුන්ඩ්න්ඩ් බෝයිගෙ නැතිනම් තණනිල්ලෙ තණ කොළ හිටවන අමරාවතීගෙ ඉඳළ ...

අද කාලෙ එවුන් ක්‍රීඩකයන්ගෙ අම්ම අප්පගෙ ඉඳල දැක ගත්තට ...
ඒ කාලෙ අපි එකෙකුටවත් ජාත්‍යන්තර ක්‍රීඩකයෙක්වත් දකින්න ලැබුනෙ නෑ
දැක්කත් මහ මෙරක් දැක්ක වගෙ ...

එතකොට අපි කොහොමද ජාත්‍යන්තරයට යන්නෙ
කොහොමද අපේ එකෙක්වත් ජාත්‍යන්තර පලපුරැද්ද ගන්නෙ ...

ඉතී කවුරු හරි කොහේ හරි ඉඳල ඇරයුමක් එවනකන්
අපි දත නියවන් බලාන ඉන්නව ක්‍රිකට් ගහන්න යන්න ...

ඔය වගේ දත නියවං බලාන ඉන්නකොට ආ එකක් තමයි මේ ඕස්ට්‍රේලියානු සංචාරයත් ...

ඕං ඉතිං ඔස්ට්‍රේලියාවටත් ආව කියමුකො ...

කෙලින්ම බැස්සෙ සිඩ්නි ...

ඔසි සුද්දො එංගලන්තෙ සුද්දො වගේ නෙවෙයි හරි අමාරුකාරයො ...
පිටියට බහින්නත් කලිං පත්තරෙන් තමයි ගහන්න පටන් ගන්නෙ ...

අත්ත මුත්ත පනත්ත කිත්ත කිරිකිත්තගෙ ඉඳල
වංහුං හොයාගෙන එන එකාට ගහනව
උන්ට මහ රුජින උනත් කමක් නැහැ ...

ඒ නිසාම ටුවර් එකේදි අපි උන්ගෙ පත්තර කියවන්නෙත් නෑ ...
කියෙව්වත් තේරෙන එකක්යැ
මොකෝ උං සිංහලෙන් පත්තර අච්චු ගහන එකක්යැ ...

අපේ පත්තරෙන් ගහන්නෙ පිල් බෙදිල අපිටමනෙ
ඉතිං අපට මොටෝ කියල තමයි අපි ඉන්නෙ ...
ඔය තමයි අපේම පත්තරේ එවුන්ට මගේම මෝටෝ එක
එවුන් මොකෑ ලීවත් "අපට මොටෝ"
ලොකු පුටු මාරු වෙනකොට උන් ඕවට ගෙවනව පොලියත් එක්ක ...

ඒත් ආයිත් ඒකම කරනව ඉගෙන ගැනිල්ලක් නම් නෑ ...

ඔසියන්ට වෙලාව නෑ අපිව හුරතල් කර කර ඉන්න ...
බැස්ස ගමන් බබා උකුන් නෑ කෙලින්ම පළවෙනි පුහුණු තරඟෙ ...
කැන්බරා නුවර නව දකණු වේල්සය සමග ...
(New South Wales)
ජාතික කණ්ඩායමේ එවුන් භාගෙකටත් වැඩියි  ...

ලෝසනුයි විට්නියි මැතිව්සුයි බේලිසුයි එම්රියි
මහන්නො දෙන්නයි (2 Taylors Mark & Peter)
යුද දෙබෑයොයි (Waugh Twins) ඔ'නීලුයි ස්මෝලුය ...

ස්මෝල් කිව්වට ඌත් පොඩි නෑ පුම්බන්ම තමයි ඉන්නෙ .......

කාසියේ වාසිය අපිට වුනාට අපේ අවාසියට ...
පළමුවෙන්ම පිත්ත එවුන්ට ...

ප්ලේන් එකෙන් ආපු හිරි යන්නත් එක්ක අප සැමට ස්පෝට් මීට්
මානුකා පිටිය පුරාම ...

මැරතන් එකයි හන්ඩ්රඩ් එකයි උස පැනුමයි දුර පැනුමි හිටි පැනුමයි
යගුලියයි ඩයිවිනුයි මේ ඔක්කොම කවලමේ ...

ඕවර 112ට  423ක්  කඩුලු 7ට ...
අපෙ ලැබීට කඩුළු පහයි (Graeme Labrooy) ...

මුල දවසමයි දෙවන දිනේ දහවල් සප්පායම වෙනකන්ම ඔසියන්ට අපිව සප්පායම් ...
දෙවෙනි දවසෙ සප්පායමෙන් පස්සෙ අපේ වාරෙ ...

ධම්මිකයයි (රණතුංග) මමයි මුලින්ම ...
පළමු කඩුල්ල 159දි
ධම්මිකයට 56ක් ...
දවස අවසානයෙ 268ක් සියල්ල දැවී ඕවර 111ට ...

මගෙ පිත්තෙන් මගේ සම්මාදම ලකුණු 133ක් ...

කාලෙකින් ගහපු මැච් එකක් නරකත් නෑ මට හැපී ...
පළමු තරඟෙන්ම මම fපෝම් බලාපොරොත්තු තියාගන්න පුළුවන් ...
දීපං තව දෙන්නං ජම්බු කියල තමයි හිටියෙ ...

ඔය මැච් එකේ වැඩ්ඩො ටික ඔක්කොම ගැහුව ...
පහළ ලින්ක් එකෙන් බලා ගන්න පුළුවන් නම් ලිස්ට් එක ...
දෙවෙන් ඉනිමෙ නං අපේ 117ට 7ක් ...
ධම්මිකයයි මමයි දෙන්නටම බිංදු

මෙතන ලස්සනම කතාව ඕක නෙවි ......
මේක පිවිසුමක් පමනයි ලස්සනම හරිය මේකයි ...
ඒක ඇහුවම උඹලට පිස්සු ඩබල් වෙයි ...
මට නීරසම උන්ට රසම දේ තමයි දෙවෙනි තරඟය ...

දෙවෙනි තරඟය වික්ටෝරියාව සමග සේල් වල ...
වික්ටෝරියානු නායක සයිමන් ඔ’ඩොනල්ඩ් ...

රෑ ටීම් මීටින් එකෙන් පස්සෙ ටීම් එක කියෙව්ව මගෙ නම නෑ ...
මම බංකුවෙ ඒ කියන්නෙ මම ඩ්රොප්
හිතාගන්න බෑ ...
මුලින් හිතුවෙ වැරදිල කියල ආයෙත් ඇහුව
නෑ හරි මම ඩ්රොප් ...
මුල් එකෙන්ම ඔය අඹරල තියෙන්නෙ ගුලිය ...

මීට දින දෙකතුනකට කලින් 268 න් 133 ක් ගහපු මම ඩ්රොප් .....
විශ්වාස කරපන් අම්මපා කාට කියන්නද ...
අම්මෙක් අප්පෙක් පේනතෙක් මානෙක නෑ දුක බෙදාගන්න ...
හේතු කරණාත් කියුව ඇහැව්වහම ...

"අතුල යූ ආ බැටිං වෙල් හෑව්
අ රෙස්ට්" ...

අප්පගෙ වැඩක්නෙ බං මේක ...
මෙච්චර කාලයක් රෙස්ට් එකේ ඉඳල තමයි බොල මේක ගැහුවෙ ...
අනික උන්ම කියනව "බැටිං වෙල්" කියල
හොඳට ගහන එවුන් අතහරින එකම රට අපි වෙන්න ඇති ...

ඇයි ඉතිං කලින් එකත් මට දුන්නෙ ඒකෙත් බංකුවෙ තිබ්බනං
මේ මොකුත් නෑනෙ ඕමි පාරක් ගහගෙන ඉන්න තිබුන ...
බලන කොට ඔසියො  අපි ගෙන්නල තියෙන්නෙ ඕමි ටුවර් එකකට වගෙ ...

ඕමි ටුවර් එකේ සෙට් එකක් හිටිය මාත් සමග
අපි වැඩිපුර ගැහුවෙ කන්ට්රි ඇන්ඩ් වෙස්ටන්
ඒ කියන්නෙ මුදල් නොගෙවන තරඟ ...
මුදල් ගෙවන තරඟ වලට වෙනම සෙට් එකක් හිටිය ...

ඉතින් හිතා ගනිල්ලකො ඕනෑම ක්‍රීඩකයෙකුගෙ මානසිකත්වය ...
මාස දෙකහමාරක සංචාරයක පළමු තරඟෙම උස්සල පොලොවෙ ගැහුවම ..........
ඊට පස්සෙ මුළු ටුවර් එකම එපා වෙල ඕන රෙද්දක් උනදෙන්
උඹල  _කා ගනිල්ල කියල තමයි මම හිටියෙ ...

දැන් මේක කියවල උඹල හිතේ වේගෙට
අනං මනං ප්‍රශ්න අහන්න එපා ...
මම දන්නව උඹල අහිංසකයො කියල     
ගිය හකුරට අඬන එකෙක් නෙවෙයි මම ...
ඒත් මේ දේවල් උඹල  දැනගත්තට කමක් නෑ උඹලගෙ දාඩිය මහන්සියත් මෙතන ඇති ...

උඹල ඕනෑම දෙයක් හිතාගනිල්ල ...
නැතිනම් ඕනෑම දෙයක් ලියාපල්ල ...

මට උත්තර නං දෙන්න බෑ මොකද උන් කියුව වගේ ...

මම තාමත් රෙස්ට්    



????????


1.8.17. FB

ප්‍රශ්ණ ???

කාටද බං ප්‍රශ්ණ නැත්තෙ ...

බැඳල නැතිනං 
බැඳල නැති උන්ගෙ ප්‍රශ්‍ණ ...
බැඳල නං බැඳපු එවුන්ගෙ ප්‍රශ්න

ළමයි නැතිනං
ළමයි නැති එවුන්ගෙ ප්‍රශ්ණ ...
ළමයි ඉන්නවනං
ළමයි ඉන්න එවුන්ගෙ ප්‍රශ්ණ ...

රස්සාවක් නැතිනං
රස්සාවක් නැති එවුන්ගෙ ප්‍රශ්ණ ...
රස්සාවක් තියෙනවනං
රස්සාවක් තියෙන එවුන්ගෙ ප්‍රශ්ණ ...

සල්ලි නැතිනං
සල්ලි නැති එවුන්ගෙ ප්‍රශ්ණ ...
සල්ලි තියෙනවනං
සල්ලි තියෙන එවුන්ගෙ ප්‍රශ්ණ ...

ගෙයක් දොරක් නැතිනං
ගෙයක් දාෙරක් නැති එවුන්ගෙ ප්‍රශ්ණ ...
ගෙයක් දොරක් තියෙනවනං
ගෙයක් දාෙරක් තියෙන එවුන්ගෙ ප්‍රශ්ණ ...

කොණ්ඩෙ තියෙනවනං
කොණ්ඩෙ තියෙන එකාගෙ ප්‍රශ්ණ
කොණ්ඩෙ නැතිනං
කොණ්ඩෙ නැති එකාගෙ ප්‍රශ්ණ  ...

කොන්ද කෙලින් නං
කොන්ද කෙලින් එකාගෙ ප්‍රශ්ණ
කොන්ද කෙලිං නැතිනං
කොන්ද කෙලිං නැති  එකාගෙ ප්‍රශ්ණ ...

කළු නං කළු එකාගෙ ප්‍රශ්ණ
සුදු නං සුදු එකාගෙ ප්‍රශ්ණ ...

ජනාධිපතිනං ජනාධිපතිගෙ ප්‍රශ්ණ
ජනාධිපති නෙවෙයිනං
ජනාධිපති නොවුන එකාගෙ ප්‍රශ්ණ ....

පිරිමියෙක්නං
පිරිමියෙක්ගෙ ප්‍රශ්ණ ...

ගැහැණියෙක්නං
ගැහැණියෙක්ගෙ ප්‍රශ්ණ ...

මට තියෙනව මගේ ප්‍රශ්ණ
බොට තියෙනව බොගේ ප්‍රශ්ණ ....

ලිස්ට් එක නං තව ලියන්න පුළුවන්
නහුතෙටම යනකං ...

ඉතිං කියහංකො ....

කාටද බං ප්‍රශ්ණ නැත්තෙ ....








Sunday, October 18, 2020

අනිච්චේ දුක්කේ

හනේ මංද අනුලක්කත් නෝ මෝ බං ...

මං අනුලක්ක මුලින්ම දැක්කෙ ගාලු පුරහලේ වේදිකාව උඩ ඇස් දෙක කරොක කරොක
දීකිරි විකුණනව ...

ඒ හැත්තෑවෙ අගබාගෙ විතර ...
නාට්‍ය ගැන වැඩි ගැම්මක් ඒ වයසෙදි අපිට නොතිබුනත් ...

ගාලු පුරහල අහලින් යනකොට සෙනග පිරිල හිටියොත්
මේ මක්කැයි බං මෙතන වෙන්නෙ යන කුතුහලය මගහැර ගන්න ...
කොලු කමට හොරෙං පුරහලේ ජනේල වලින් ඇතුලට පැනල
නාට්‍ය සංවිධායකයො දකියි හැකයෙන් වටපිට බල බල
කළුවරේ දනිස් කොන්ද නමාගෙන ගොහිං මැද පුටුවක වාඩිවෙනෝ ...

අනුලක්ක විතරක්ම නෙවි
ලංකාවම දෙවනත් කල මහා නාට්‍ය කාරයො සියල්ලක්ම අපි දැක්කෙ
ගාලු පුරහලෙ ජනේලෙන් පැනල නොමිලේ ...

ඇයි බං සල්ලි දීල නාට්‍ය බලන්න කොයිංද අපට කාසි ...

හැබැයි ඉතිං වේදිකාවට ඇහැ ගියත් අපි  බලාන ඉන්නෙ සංවිධායකයෙක් ඇවිත්
කනෙං ඇදල දෙකක් දීල කොයි වෙලේ එලියට ඇදල දායිද කියල බයේ ගැහි ගැහී ...

බොලාට බොරු කියන්නෙ මක්කටෙයි බං
එහෙම උන වාරත් අනන්තයි අප්‍රමාණයි  
කං අඩි දෙක බාගෙට පැලුනත් ජනේලෙන් පැනල නාට්‍ය බලපු එකනං නැවතුනෙ නෑ
ගාල්ලෙං කොළඹට දිරාමාර් වෙනකං ...

එදා ගාලු පුරහලේ මුලින්ම දුටු දා සිට අද දක්වා
අනෙක් නාට්‍ය කරුවන් සියල්ලට සේම
බොක්කෙන්ම අනුලක්කටත් මම ආදරය කලා ...

පෙරෙයිදා බුද්ධි කතා කර වෙලේ
 
"අනුලක්ක ජයවර්ධනපුර රෝහලේ ටිකක් අමාරුයි අතුල " කීවත්

පහුවදාම අපිව අතෑරල යයි කියල හීනෙකින්වත් හිතුවෙ නෑ ...

කර්මානුකූලව ගෙනා ආයුෂ හමාරවී අප සැම අතැර ගියත් ...

නිවන් දක්නා ජාති දක්වා හතර අතට කැරකෙන මේ සංසාර චක්‍රයේ අනුලක්කේ උඹ අප අතරම ඉපදේවා ...

එවන් ආ විටක ගාලු පුරහලේ වේදිකාවට නැවත එන්නට ආරාධනා

අපිත් ආයෙ එන්නං සංවිධායකගෙන්  කං අඩි පලාන හරි ඔබ දැක්මට ජනේලයෙන් පැනලා ...

අනුලක්කේ ඔබට දෙව් මිනිස් සැප කෙලවර අමා මහ නිර්වාන ශාන්තිය උදාවේවා !

🙏🙏🙏🙏🙏

Saturday, October 17, 2020

තරඟයේ වීරයා

 

2.7.17 FB

මේ  කියන්න යන්නෙ ....

අසූවෙ මැද භාගෙ විතර සිද්ධියක් ....
හරියටම මාසය නිච්චි නෑ පිටිය සීසීසී හෝ එන්සීසී  ....
 
දවසක් මම ඉන්ටනැෂනල් බී තරඟයක් සෙල්ලම් කරල ....
ලකුණුත් දාගෙන කඩුළුත් අරගෙන තරඟයෙ වීරය උනා ...

තරඟෙ අවසානයෙ කප් එකකුත් දුන්න රුපියල් දාහක චෙක් එකක් සමග ....
නරඹන්නන්ගෙ ඔල්වරසන් හඬ මැද්දෙම ....
(මගේ මාසෙ පඩියත් අටසීයක්
විතර ඔය කාලෙ ඉතිං දාහත් පොඩි නෑ)

දාහෙ චෙක් පත මුදල් අතේ ගැවසෙන මෙම්බර් මහත්තයෙකුට දීල  
මාරු කරගෙන ....
(අපෙ ආදර නෙලී KM Nelson - මගෙ සීසීසී ටීම් මේට් රිචීගෙ ආදරණීය පියා  Richie De Silva  )

යාළුවො කිහිප දෙනෙක් එක්ක සයිවර් එකෙන් කාලා ඔන්න ඉතුරු සල්ලිත් සාක්කුවෙ දා ගත්ත ....

සයිවර් ලාබයි ඒකාලෙ වඩයක් උනත් සත විසි පහක් විතර ....
පොඩි ගානකින් හොඳට බඩ පුරව ගන්න පුළුවන්
අද කාලෙ නං ඒකත් කෙහොමද දන්නෑ

(මම 95හේ ලංකාවෙන් එනකම්ම මට බැංකු ගිනුම් තිබුනෙ නෑ , එන් ආර් එෆ් සී එකක් විතරක් දාල තිබුන මහජන බැංකුවෙ ටුවර් එකක්ගිහිල්ල ආවම ලැබුන කීය හරි දාන්න ...
ඒකත් රංග අයියට Ranga Goonasekera  පින්සිද්ද වෙන්න )

දැන් කප් එකත් උස්සන් බස් එකේම ගෙදර යන්න තමයි තරඟයෙ වීරයගෙ සූදානම ....

සයිවර් කෑවට බඩත් ටිකක් බොර බොර ගානව ....
ඒත් ඒක නම් ඉවසන් ඉන්න පුළුවන් අපි කාල තියෙන සයිවර් වල හැටියට ...

බස් එකත් සයිවර් කඩේ දොර ළඟටම එන්නෙ නැහැ නොවැ ...
ඉතිං පයින්ම ගියා බස් නැවතුමට ....

බස් කිව්වට ලංගම තමයි ඒ පාර වල වැඩිය දුවන්නෙ ....
පොඩි පාරවල පුද්ගලික බස් යන්නෙ එන්නෙ නෑ ඒ කාලෙ ....
උන්ට ගාන කපන්න සෙනග මදි නිසා ...

ඉතිං රෑට සමහර වෙලාවට පැයක් විතර බස් එනකන් ඉන්න වෙනව ....

කප් එකත් වාතයක් වෙනව මේ වගෙ වෙලාවට ....
ඇයි යකෝ මල වනයක්නෙ මේක උස්සන් යන එක ....

කප් එකක් දීල මුන් මාව ඇන්දුවද කියලත් හිතුන ....

හොඳටම මහන්සියි මටත් හත වැදිල ගමනත් දුරයි බෑග් එකත් බරයි
ඒ අස්සෙ කප් එකකුත් හෙට උදේට වැඩ
කොරේ පිටට මරේ ....

දහස් වාරයක් හිතුන ඇයි බං වෙන එකෙකුට මේක දුන්නෙ නැත්තෙ කියල ....

මට දාහ විතරක් දීල කප් දෙන්න තිබුනෙ කාර් තියෙන එකෙකුට ....
එතකොට අපි වගේ උන් මේ පරිප්පු කන්න ඕන නැහැනෙ

එහෙම එකෙකුට කප් එක දුන්න නම් ඒකා යස අගේට උඩ තියාගෙන ගෙනිහිල්ල
පොලිෂ් කරපු කැබිනට් එකේ දාගෙන පුළුං වලින් ඇඟිලි මාක් පිහිද පිහිද එන එන එකාට ආඩම්බරෙන් පෙන්නයි ....

මට ඉතිං මේක ගෙනිහිල්ල තියන්න තැනකුත් නෑ ....

83නේ ලෝක කුසළානෙ සල්ලි වලින් "ඩියුට් ෆ්‍රී රංජියගෙන්" ගත්තු 
පතුරු ගහපු අඟල් විසි හතරෙ "ෂාප්" ටෙලිවිසොන් එක උඩ කප් එක තියන්නත් ප්ලෑන ගහගත්ත ඒ අස්සෙම ...

ඒ ඇරුනම ඈඳි ගන්න තිබුන වැල් කැඩුනු පුටු කබල් ටිකයි
කොහු මෙට්ටෙ දාපු පොලු ඇඳයි සන්තකේ
ඇයි කුලී ගෙවල්නෙ බං ....

දැන් ඕං මගෙ එක අතක කප් එක අනෙක් අතේ ක්‍රිකට් බෑග් එක
ගෙදර යන්නයි සූදානම ....

දැන් මේක නෙමෙයි සොමිම වැඩේ ...
සොමිම වැඩේ මොකක්ද දන්නවද ...

මම සීය ගහනකොට ලයින් එකෙන් එළියෙ ඉදන්
හුරේ දාගෙන අත්පුඩි ගහපු රසිකයන් ....

මම උස නැති වේදිකාවට නැගල කප් එක ගන්නකොට ඔල්වරසන් දුන් නරඹන්නන් ....

එතකොට කතා පවත්වල කප් එක දුන් අනුග්‍රාහකයින් .....

තරඟය ඉවරවෙල මම කප් එකත් අරගෙන පාරෙ හත වැදිල ඇවිදගෙන යනකොට ....

සිංහයො වගේ ඔලුව එලියට දාගෙන මට අත වනාගෙන කාර්වල යනව ....  

"වෙල් ප්ලේඩ් අතුල අඅඅඅඅ"

"ග්‍රේට් වර්ර්ර්ර්ක්" ....

"යූ ඩිසව් ඉඉඉඉට් අතුල අඅඅඅ" ...

කියාගෙන කෑමොර දීගෙන ....
එකෙක්වත් ඇහුවෙ නෑ අතුල උඹ ගෙදර යන්නෙ කොහොමද කියල ....

උන් හිතන්න ඇති මගෙ මමා හරි ඩැඩා හරි මගට එයි කියල
මාව පික් කරන්න ටර්බෝ චාජ් ඉන්ටර් කූලරේ ...

ඇත්තටම එතකොට මේ ... මේ තරඟයේ වීරය ....

ඌ රෑ නමයටත් බස් හෝල්ට් එකේ ගෙදර යන්න බස් එකක් එනකං ඉන්නව ....
කප් එකත් එක අතකින් උස්සගෙන
ක්‍රිකට් බෑග් එක උරහිසේ එල්ලගෙන ....

හරියට මනෝරත්න මහත්තයගෙ"තල මල පිපිලා" වේදිකා නාට්‍යයෙ
රංබරණා ගුරුන්නාන්සෙ වගේ ...

ඉඳල ඉඳල ආපු බස් එකත් පොල් පටවල ....

ඔන්න ඉතිං උඹලගෙ මහ ලොකු තරඟයෙ වීරය ....
උඹළට හෙන පොර උනාට ඌ දාඩිය පෙරාගෙන පොල් පටවපු බස් එකේ
පිටි පස්සෙ දොරටුව අසලම තියෙන සීට් එක යටට ක්‍රිකට් බෑග් එක රිංගවල
කප් එකත් එක අතකින් උස්සගෙන කනුව බදාගෙන ෆුට් බෝඩ් එකේ ....

දෙයියන්ගෙ පිහිටෙන් තරඟයෙ වීරය හයේ පාරවල් හතරෙ පාරවල් ගහනකොට හුරේ දාගෙන මැච් එක බලපු එවුනුයි
 
කියවල කියවල කප් එක දීපු එවුනුයි දැන් හොඳට හීන බල බල සැපට බුදි ඇති ....

පින් කරපු ඇත්තොනෙ ....
 
එතකොට උඹලන්ගෙ වීරයට නං
පිටකෝට්ටෙ හන්දියෙ බස් එකෙන් බැහැල බොරලු පාර දිගේ තව හැතැප්ම තුන්කාලක් විතර
පයිනුත් යන්න තියෙනව කට්ට කරුවලේ ....

ඒ මදිවට කකුල්වලට පාරෙ බොරලු පෑගෙන සද්දෙට
හැමදාම හන්දියෙ වල බහින කටුව කාපු බල්ලො සෙට් එකත්

උන්ගෙ බාසාවෙන්ම සද්දෙ දාගෙන
උඹළන්ගෙ වීරයව බයිට් එකට ගන්නයි උත්සාහය ....

උන්ගෙන් බේරෙන්න වීරයත්කප් එක උස්සගෙන කුන්ග් ෆු මිශ්‍ර මැරතන් ....

එතන තව කප් එකක් ගහන්න තිබුන මංතීරු පරීක්‍ෂකයෙක් හිටියනම්
දුවපු දිවිල්ලට ....

ඔය අභියෝගත් මග හැරගෙන වීරය ගෙදර යනකොට එළිවෙයි වගේ ....

ඔය තමයි අපේ කාලෙ තරඟයෙ වීරයො ....  

උඹළත් මේව දැනගෙන හිටියට කමක් නෑ ....

උඹලටත් වීරයෙක් වෙච්චි දවසකට

එක්ස්පීරියනස් ගන්න ....

Sarath Wijerathna

වලේ ගෙදර මගෙ රූම් මේට්
ඒකාලෙ තියෙන දෙයක් කාල එකට හිටිය උන්ගෙන් එකෙක් ....

*****

ෆෝමල්


22.9.17 FB


මගෙ ලොකු කොලුවට අද ඉස්කෝලෙ ෆෝමල් එකලු
එහෙම තමයි මෙහේ ඔහේ වගේ නෙවේ ...

මේ අවුරුද්දෙන් ඉස්කෝලෙ ගමන අහවරයි
ඒකෙ සන්තෝසෙට වෙන්ටැ ....

හැබැයි උන්ට තාම වැටහෙන්නෙ නෑ
ඔතනින් පස්සෙයි නියම වැඩ පටන් ගන්නෙ කියල
ඒත් ඉතිං සූට් බූට් ගහල කොණ්ඩ නැවුම් කට් හදාගෙන
මහා නගරෙ මහා හෝටලේක ලිමොසින් එකෙන් ගොහිං එක විකාරයයි
දෙමාපියන්ට ගානකට තට්ටුවෙන වැඩක් ...


ඇයි බං මුන්ට යට ඇඳුමෙ ඉඳල අළුතෙන් ගන්න එපැයි ...

*****

අන්න ඒකට අපෙ ෆෝමල් ....

අන්තිම දවසෙ විභාගෙ ඉවරවෙල කෙලින්ම ගියෙ සූරිආරච්චියගෙ ගෙදර ....
උගෙ ගේ පිටි පස්සෙ ගිං ගඟේ අත්තක් ....
ඒකෙ පැනල හිතේ හැටියට නාල එගොඩ මෙගොඩ පැදල
උංගෙම ගස් වලින් කුරුම්බත් කඩාගෙන බීල ....

සූරිආරච්චියගෙ අම්ම
වත්තෙන්ම උදුරල අරගෙන උණු උණුවෙම තම්බල දීපු
මඤ්ඤොක්කා හට්ටියෙනුයි කොච්චි මිරිස් සම්බෝලෙනුයි සප්‍පායමි වෙල
සූරිආරච්‍චියගෙ තාත්ත ගහෙන් බාල තිබුන තෙලිජ්ජ හට්ටියටත් වග කියල 

පයින්ම ගෙදර ආව කිලෝ මීටර හත අටක්
ලංගමෙන් අපේ චෙක් බාරගන්නෙ නැති නිසා ....

ඔය ඉස්ටාර්ට් එක ....

*****

එතකොට එන්ඩ් එක ...

එදාම රෑ ...

චූටියි මමයි ගුරුගේයි ප්‍රින්ස් එකේ ගැලරියෙ සත පනස් පහට
නවයයි තිහ චිත්‍රපටියක් බලල

ඉවරවෙල එන ගමන්
කැනල් පාර කොනේ පාළම යට තුංමං හන්දියෙ
ගමේ තොවිලයක් ඉවරවෙල ගෙනත් දාල තිබුන
පිදේනි තටුවෙ පුළුටු ටිකත් පාළම යටම තියාගෙන බෙදාගෙන කාල ...

පිදේනි තටුවෙ උඩින්ම තිබුන ඇස්ස කපපු තැඹිලි ගෙඩියත්
බෙදාගෙන බීල ...
 
රෑ දොලහට විතර ගෙදර ආව මතකයි ...

අද වෙනකං ඉහෙන් බහින ලෙඩක් නෑ

ඕං අපෙ ෆෝමල් ....

*****

සැලකිය යුතුයි :

ගමේ තොවිල් පවිල් තිබුනහම පිදේනි තටු ගෙනත් දාන්නෙ
ඔය තුංමං හන්දියට තමයි ...

තුංමං හන්දිය අයිනෙම ඇල
ඇලට අනික් පැත්තෙන් කෝච්චි පාර
කෝච්චි පාරට උඩින් මගී පාළම ...

ඔය තුංමං හන්දිය පලාතෙ කව්රුත් වැඩිය යන්නෙ නෑ රෑට
පිදේනි කන්න යක්කු පෙරේතයො එනව කියල ...

ඇයි ගිය එකාට පිදේනි කන්න එන යකෙක් ගැහුවොත් ...

ඉතිං තුංමං හන්දිය පාළුම පාළුයි
හන්දිය අයිනෙ තිබුන වීදි ලාම්පුව විතරයි
ඒකත් මක්කවත් නැතිවට හොඳයි ...

පිදේනි තටුවෙ බැදපු මස් ජාති තමයි වැඩියෙන් තියෙන්නෙ
ඇට්ටෝම් පිඟානක් වගෙ තමයි කෑම පුරවල කිරි පැණි සමග ....

තොවිලෙ කරපු එවුන්ටත් දේ ඇවිල්ල තටුව බැලුවම සන්තෝස ඇති ....

ඇයි පස් පාටින් තියපු මල් ටිකයි
හඳුන් කූරු ටිකයි විතරයි ඉතුරු ....

පිදේනි ටික මල පෙරේතයො කාල ගිහිල්ලනෙ ...

*****

චරිතයක්

16.6.17 FB

චරිතයක් .....

අවුරැදු ගානකින් පරණ යාළුවෙක් මුනගැහුන ...

Hi, Machan how u doing ...
කියල වැඩක් නෑ මචං සැප කැඩෙනව
ඉල අැදෙනව ...

Ooo that's great Machan ....
Good to here ...
Good to hear ...
ඉතිං මචං so ... So....so

සෝ සෝ  නෙවි බං අපි ඉන්නව සනීපෙන් ...
You still the same machan ....
you haven't changed you haven't changed ...

Ok ok, what r u doing now ...

ජොබ් කට්ටක් කරන් ඉන්නව බං කෝචිං පාරකුත් දාගෙන ...

That's great ...that's great
I'm a ______ ,
machan doing good ...
Very well ...
very well ...

මොකද බං මූට වෙලා තියෙන්නෙ බඩ යන්නෙත් ඉංගිරිසියෙන් වගෙ ...
ඇයි අක්සන්ට් එක ...
ඉස්සර මෙහෙම නෑ ...

මූට ඇක්සිඩන්ට් එකක්වත් වෙලා ඔලුව කොහේවත් හැප්පිලද දන්නෙත් නෑ

ගම පලාබද්දරද කාෙහෙද
ඉස්සර නං ගැරඬිය වගෙ හිටියෙ දැන් තමයි නයාවෙල තියෙන්නෙ ...

මමත් චීනකොරටුවෙ ...
සංඝාරාමෙ රෑ ඉස්කෝලෙටත් ගියා
ඉංගිරිසි ඉගෙන ගන්න ...
මොකටද සෙකන්ඩ් වෙන්නෙ කියල හිතුනත් ...
මව් බාසාවෙන්ම කතා කරා මූව පොඩ්ඩක් බස්සන්න ...
හැබැයි ඒත් උෟ යවන්නෙම නයා ...

මචං උඹ බැඳලද ...

Yes machan, I'm married to a Kandyan ...

අාාා මගේ වයිෆුත් නුවර ...
මහාමයා ඉගෙන ගත්තේ ...

No machan my wife from  _____
Very good family ....
Very good family ....

මූට නං උණ තදවෙල
ප්ලේට් කවුන්ට් එක හොඳටම බැහල වගෙ ...

What's your wife doing mate ...

ගෙදරට වෙල ඉන්නව බං ලමයිත් බලාගෙන
 
ඉස්කෝලෙ ගෙනියනවා ගේනවා
අමතර පංති ගෙනියනවා ගේනවා ...
ක්‍රීඩා වලට ගෙනියනවා ගේනවා ...

මට වැඩිය වැඩ එයාට ...

Oh .... My wife is a _____
She is in Brisbane with my daughter who is studying _____ in the Uni ...

එතකොට උඹ මෙහේ ???

Yaa machan ...
I m here with my son he is doing VCE ...
My wife has her own house
I have mine ...
I visit them in the holidays ...
Lovely weather up there machan ...
We are very independent
Very independent ...

අම්මපා ....
අපිටත් නිදහස තියෙනව හැබැයි උඹට වගෙ වල්බූරු නිදහසක් නෙවි ...

කමක් නෑ බං මක්කරන්නෙයි මට උඹ ගැන දුකයි බං ...

ලුනුයි බතුයි කාල හරි අපි පස්දෙනා එකට ඉන්නව එක ගෙදරක 

ඒකනෙ අපි බැන්දෙ ...

හොඳයි මචං මම යන්නං ...

උඹත් ඔය යන ගමන් මහජන පුස්තකාලෙන්
පොතක් අරං ගොහිං සිංහල ටිකක් මතක්කර ගනිං ...

ලංකාවට ගියාම පලාබද්දර නෑදෑයන්ට කතා කරන්නත් එපැයි ...

ඌ නං ආයෙ මට කතා කරන එකක් නෑ ...

*****

Thursday, October 15, 2020

මට හිතෙන හැටි

FB 20.1.17

මට හිතෙන හැටි ...

ගාලු මහජන ක්‍රීඩාංගනය ...

පන නැතිවත් මුළු ගාල්ලටම පන දුන් අපේම හදවත ...
ඒ කියන්නෙ මුලු මහත් ගාලු ජනතාවටම

එය එසේමැයි ...

අපි මව් කුසෙන් මෙලොව එළිය දුටුවායින් පසු අපිට මිනිසුන් එහෙමත් නැතිනම් වැඩිහිටියන් ලෙස උපදින්නට ...
අපේ පාසැල් දෙමාපිය ගුරුවරැන්ට  අමතරව විශාල රුකුලක් උනෙ ගාලු මහජන ක්‍රීඩාංගනය ...

අපේ කාලෙ ...

නැතිනම් ඊට කලින් ඉපදුන
ලක්ෂ කෝටි ගනනක් මේ කියපු දේට නැතිනම් කියන්න යන දේට සත්තකින්ම ඔට්ටු තියයි ...

සමහරවිට මෙය කියවන ඔබත් මෙහි පංගුකාරයෙක් වෙන්න පුළුවන්  ....
මොකද ගාල්ලෙ ඒ කාලෙ හැදුනු අපේ කතාව එපමනටම සුන්දරයි අහිංසකයි ...  
(මහජන ක්‍රීඩාංගනය කාලෙ)
සමාවන්න දැන් කාලෙ ගැන කියන්න මට සුදුසුකමක් නැහැ ...

ගාලු පිට්ටනිය ...
ජාත්‍යන්තර වෙන්ට කලියෙන් ගාල්ලෙ ඉපදුන නැතිනම්
හැදුන වැඩුන එවුන්ගෙ හදවත කියල මුලින්ම සඳහන් කලෙ ඒකයි...

පිට්ටනිය වටේම තිබුන කස ගස් පේලිය
පිටුපසින් පෙනෙන ඕලන්දක්කාරයින්ගෙන් අපිට ලැබුන දායාදය දැවැන්ත කොටු පවුර ...
                                  
දෙපැත්තකින් මුහුද වගේම ඒ සීතල මුහුදු හුලඟ ... සමනල පාලම ... පට්ටියමුල්ල ...  
ගාමිනී ක්‍රීඩා සමාජය ... ගාලු ක්‍රිකට් සමාජය ...

බස් නැවතුම ... ඊටම අල්ලපු පේව්මන්ට් කඩ පේලිය ... සවුත් සිලෝන් කේ එල් එච් ...  සදර්න් එක ...
සිඩ්නි එක ... ටවුම මැද්දෙ  තිබුන පච ගහ ... 

ඥාණෙ අයියගෙ සත දහයෙ සරුවත් එක ...
කිරි මණ්ඩලය ... බෝ ගහ ... බෝ‍ධිය අසල තිබුන
මොරිස් මයිනර් ටැක්සි සෙට් එක ...

මෙකී නොකී සියල්ලක්මඅපේ ජීවිතවල කොටස් වෙන් කල නොහැකි ...

මුලු  ගාල්ලම ...

ඒ කියන්නෙ වචනයේ පරිසමාප්තයෙන්
මුලු ගාල්ලම ...

කොටුව ... චීනකොරටුව ... කලුවැල්ල ... ඔරොප්පුවත්ත ... වැල්වත්ත ... වලව්වත්ත ... මාගාල්ල ...
 
ටවුමට මායිම් උන මේ ගම් ටික වගේම පැත්තකින් රත්ගම බුස්ස දොඩන්දූව හික්කඩුව ...
අනෙක් පැත්තෙන් හබරාදුව අහංගම
තවත් පැත්තකින් ඇල්පිටිය  බද්දෙගම එහෙමත් නැතිනම් පින්නදූව පිලාන
වගේ ටවුමෙන් ටිකක් දුර ගම්වලත් ඒ අතර මැදි ගම්වලත්
කොල්ලො කුරැට්ටො කෙල්ලො වගේම මහ එවුනුත්  උස් පහත් ලොකු පොඩි
කුල ආගම් වර්ණ ජාති පාසැල් බේදයක්  නැතුව එක් කලේ ඔය පිට්ටනියයි ...

දැන් පාසැල් අනුවත් අපි බෙදිල ...
මම ඒක පහුගිය අවුරැදුවල ගාල්ලෙ ආදරවන්තයන්ගෙයි කියන සටන් වලදි ආදණීය ගල් මිශ්‍ර කඳුළු ගෑස් අන්තර් ජාලයෙන් දැක්ක
මෙතන විශාල බෙදීමක් තියෙනව ...

මොකද ඉස්සර පාසැල් දෙකේම කොල්ලො පිස්සු කෙලියෙ එකට
Lovers  Quarrel  කිව්වෙ ඒකයි ...

ඒ කාලෙ අපේ මුලු ගාල්ලම එකයි ...
ගාල්ල අපේ අපි ගාල්ලේ ...

අපි වෙන්වෙලා හිටියෙ නෑ කෝන්තරයක් තිබුනත් දවසයි දෙකයි ...

ඇයි ඒ විතරක්යැ මාළු මාකට් එකේ ලෑල්ල වහල බාරොං මාමත් එන්නෙ ඔතනට ...
එතකොට එළවළු මාකට් එකේ මස් කඩේ රෙදි කඩේ
ඒ වගේම අන්නාසි මාම රටකජු පාල බාසුන්නැහෙ මේ අයත් තමන්ගෙ රස්සාව ඉවරවෙල එන්නෙත් ඔතනට ...

ජෝජි අයිය ...පීටර් අයිය ... රත්ත ... බූච්ච ... නිව්ටන් අයිය ... පියසේන අයිය ... හමීඩ් සෙට් එක ... තිරැප්පන් ... සපත්තු දොරේ .... තව නම් වැලයි ...

අයියල මාමල කිව්වට ඔය ඔක්කොම නෑදෑ නොවන නෑදෑයො ...

ගාල්ලෙන් මුලින්ම ලංකාව නියෝජනය කලේ ක්‍රිකට් වලින් නෙවෙයි
පාපන්දු වලින් ...
 
ඒ මම කලින් සඳහන් කල මාළු කඩේ බාරොං මාම ... පොඩි මහත්තය ... කන්නන්ගර ...  
බෙන් පෙරේරා (බෙනා සර්)

මේගොල්ලො බූට්ස් සපත්තු දැම්මෙ නෑ බෙයා ෆුට් තමයි ගැහුවෙ  ...

පහු කාලෙක ඇලෝසියස් එකේ වේරදුව පාපන්දුවෙන් ලංකාව නියෝජනය කල මට මතක ඇති
අපේ කාලෙ අපේම වීරයො අපේම වීරයො කිහිප දෙනෙක් ...

එතකොට පොලීසියෙ කොස්තාපල් මහත්තයි ඉස්පැට්ටර් මහත්තයයි ...

ඇයි කොටුවෙ ආමි කෑම්ප් එකේ කැප්ටන් ගජමන්ගේ ගෙ ඉඳල
සොල්දාදුව දක්වා ඩියුටි නැතිනං ඇවිල්ල එක පොදියට සෙල්ලම....

අපේ පරණ අගමැති විජයානන්ද දහනායක මහත්තයත් පොළට ගොහින් එන ගමන් වෙන්ටැ මිට නැවිච්ච
කළු දිග කුඩෙත් අරගෙන පයින්ම ...

ඔක්කොමල එක එකා දිහා බැලුවෙ එකම ඇස් මට්ටමකින් මිස නහයට යටින් නෙවෙයි
ඒකයි අනෙක් විශේෂය ...

ඒ වගේම ඩොක්ටර් මහත්තයයි ප්‍රොක්ටර් මහත්තයයි ...

ගාල්ලෙ අපිට මොන ප්‍රශ්නෙ ආවත් කවුරු හරි හිටිය ...
ඒ නිසාම අපිට ප්‍රශ්න තිබුනෙත් නෑ ආර්ථික ඇරෙන්න
ඒවත් සොමියෙන්ම වැළඳ ගත්ත ...

ඔය පිට්ටනිය දෙපැත්තෙන් එකපාරට පාපන්දු තරඟ දෙකක් ගහන ගමන් මැද්දෙ අපි ක්‍රිකටුත් ගහනව  
ඒ තරමටම විශාලයි ...

ආමිකාරයයි , පොලිස්කාරයයි ගනංකාරයි ඔක්කොම පිට්ටනිය පැත්තක එකට ටැක්සි ස්ටෑන්ඩ් අසල රාගෙ දානව ...

කට්ටියක් සෙල්ලම කට්ටියක් කයිය
තවත් කට්ටියක් හතෙන් පස්සෙ බෝතලයක අඩිය බලනව ...
රොකට් දුමකුත් ඈතින් ...
ඒ අස්සෙන් සයිඩ් ස්ක්‍රීන් එක පිටුපස්සෙ පුංචි ඡායාවක් ...                                                                    

බද්දෙගමද කොහෙද ... දන්නෝ දනිති ....

එවයින් මේවයින් ජොබ් ඉන්ටවිව්ත් තිබුන මේ පිට්ටනියෙ
ඇයි බිස්නස් ඩීල්ස් මංගල යෝජනා මෙකී නොකී සෑම දෙයක්ම ...

කළුවැල්ලෙ කෝවිලේ පූසාරි මහත්තය ඒ කිව්වෙ අපේ මිත්‍රය නඩාගෙ (නඩරාජ) තාත්ත ....
දාහක්  අපි  බෝල ගහල ඇඟිලි අතපය කඩා ගත්තම  අපි කාටත් පිහිටවුන
අපේ ආදරණීය පාදිලිතුමා අපේම දොස්තර Father Mark ...

ඒවගේම විද්‍යාලෝක පිරිවෙණේ පංති ඉවරවෙල යන තරැණ ස්වාමීන් වහන්සේලා ටික 

කඹ බානෙ මුස්ලිම් පල්ලියෙ ලෙබ්බෙ

මේ ඔක්කොම එකම කස ගහ යට ඉඳගෙන එකට අත්පුඩි තල තල මැව් බලපු අපූරැව ...

උඹට අමතක උනත් අමතක නොවෙයි  මට ...

අපිට ආගම් බේදයක් තිබුනෙ නෑ යකෝ
ඒ කාලෙ උඹල දැන් බෙදෙන්න හැදුවට ...
 
එහෙම නැතිනම් එක එකා උනුනගෙ වාසියට උඹල බෙදන්න හැදුවට ....

සමාවෙන්න ... ටිකක් තරහත් ගියා ...

ඒකමයි ඔය පිට්ටනිය අපේ හද ගැස්ම උනෙත් ...

ඉස්කෝල ගත්තොත්
ඇලෝසියස් ... මහින්ද ...රිච්මන්ඩ් ඕල්සන්ස් ... විද්‍යාලෝක ...සවුත්ලන්ඩ්ස් ... කොන්වන්ට් ... පරාක්‍රම  ... වැලිවත්තෙ ඉස්කෝලෙ සංඝාරාමෙ රෑ ඉස්කෝලෙ  ... මෙකී නොකී සෑම ඉස්කෝලෙකම අපි ඔක්කොම එක අම්මගෙ දරැවො වගේ ...

සෑම කෙනෙක්ම හැම ප්‍රැක්ටිස් එකක්ම මෙතන ...
කෙල්ලන්ගෙ ඉස්කෝල පිට්ටනියට එන දවසට පුංචි කිචියකුත් නැතිව නෙවෙයි ...

හැබැයි ඒ සහෝදර කමට මිසක්ක වෙන මක්කටවත් හෙම නෙවෙයි ...

සංඝමිත්ත ... රිපන් අපිට මිස් උනා ඒ ඉතිං එවුන්ට වෙනම පිට්ටනි තිබුන නිසා...

ඒ ඇරැනම ස්පෝට් මීට් නිදහස් උත්සව ... ඇසළ මේලා බක්මහ උළෙලවල් දේශපාළණ රුස්වීම් ...
මේ ඔක්කොම එකම පිට්ටනියෙ ...

ඇයි හෙලිකොප්ටරැත් බස්සනව ඔතනට
ඒකාලෙ හෙලිකොප්ටර් අද වගේ තිබුනෙ නෑ ...
රතුයි සුදුයි වන්ඩිය තමයි නිතරම එන්නෙ

කෙල්ලන්ගෙ ස්පෝට් මීට් වලට කොල්ලන්ගෙ ඉස්කෝලවල ඔක්කොම බුරැතු පිටින් යනව හුරේ දාන්න ...

හැබැයි කොල්ලන්ගෙ ඒවට උන් එකෙක්වත් එන්නෑ
තාමත් හිතා ගන්න බෑ ඇයි කියල ...
අපි කළු වෙන්ටැ ඒ දවස්වල ...

මට මහින්දෙ යාළුවො තරමටම අනික් ඉස්කෝලවලත් යාළුවො හිටිය ...
ගෑනු පිරිමි බේදයක් තිබුනෙ නෑ මුලු ගාල්ලම මගේ යාළුවො ...

උන් මට ආදරේ කරා මං උන්ට ආදරේ කරා බොක්කෙන්ම  ...

ඒ මම අතුල සමරසේකර වෙන්න කලින් ...
අයිස් මෝල හන්දියෙ නිකන්ම නිකන් සමරෙ කාලෙ ...

එනිසාම තමයි ඒ ආදරේ විශේෂ ...
ඒකමයි මේ අය ජීවිතේටම අමතක නොවන්නෙත් ...
හැම එකාම හැම එකාගෙම සනුහරේ හිට දන්නව ...
එතනයි ලෙන්ගතුකම ...

තාමත් මම උඹළන්ට ආදරෙයි බොක්කෙන්ම ...

ගාල්ලෙන් ඇවිල්ල අවුරැදු තිස් අටක් උනත් තාමත් ඒ සබඳකම් තියෙනව ...
අපි කසාද බැඳල  දරැමල්ලො හිටියත් ඒ සබඳකම් එහෙමමයි ...

ඒ හැමටම මුල ගාලු පිට්ටනිය ...

මට වගේම මේ හැමෝන්ටම ...

ඔය පිට්ටනියෙ තණ කොල කපන්න මැෂිමක් තිබුනෙත් නෑ  ...
ජීවිතේට තණ කොල කැපුවෙත් නෑ
ඒකට වග කිව්වෙ චීනකොරටුවෙ විමලෙ අයියගෙ හරක් පට්ටිය ...

විමලෙ අයියට අපි කිව්වෙ කව් බෝයි කියල ...

උන් අපූරැවට උන්ගෙ රාජකාරිය කලා ...
උන්ටම හිටිය කටුව කාපු සුනඛ සෙට් එකකුත් ....

ගාලු පිට්ටනියෙ හද ගැස්ම නැවතුනේ නෑ කිසිම දවසක ...
ගාලු පිට්ටනියෙ හෟදස්පන්දනය
එදා නැවතුනානං අපිත් එදා නැවතිලා නන්නත්තාර වෙලා මුලු ජීවිතයම
එකම විකාරයක් වෙන්න තිබුන ...

ඒත්. ...........

ඒකමයි අද වෙලා තියෙන්නෙත් ....
ගාලු මහජන ක්‍රීඩාංගනය ....

ගෝල් ඉන්ටනැෂනල් කරල ....

බන්ධනාගාරෙ වගේ ලොකු ගේට්ටුත් දාල
සිකුරිටි මහත්තුරු  හතර පස් දෙනෙකුත් ඉන්නව
අර මම කලින් කියපු උඹත්  මමත් ඇතුළු මුලු ගාලු ජනතාවම එලියෙන් තියන්න
 සත්තු සෙට් එකත් එක්කම ...

දැනටමත් උන් උඹළ අපිව වෙන්කරල සීසී කඩ යවල ඉවරයි ...
ඉස්සර එකට හිටිය උන් දැන් තැන් තැන් වල ...
එකාට එකා අඳුරන්නෙ නෑ ...
ඉස්සර බෝල ගහපු එකා දැන් කුඩු ගහනව ....

අයි  ඒ  ?   
ඌට යන එන මං නෑ ඒකයි ...

මුළු ගාලු ජනතාවගෙම හදවත ඒ ජනතාවගෙන්ම කොල්ල කාල ...  
      
තූර්ය වාදන ගැටබෙර හඬ මැද්දෙම ඒ කාලකන්ණින්ගෙම තාලෙට ...

අහිංසක උන්ට ජ්‍යාත්තන්තරය පෙන්නල
එකම ක්‍රීඩාවකටම වෙන් කරල ...

කොහොමද එහෙම කරන්නෙ ?????????

මේ කියවන උඹල එකඟ වෙන්නත් පුළුවන් නොවන්නත් පුළුවන් ...
එත් ඉතිං ඔය මට හිතෙන හැටි ...

ඒක නං වෙනස් වෙන්නෙ නෑ මං මැරැවත්.....

අපිත් එක්ක ඔය පිට්ටනියෙ එකටම සෙල්ලම් කරපු මැති ඇමතිවරු
එදත් හිටිය අදත් ඉන්නව හෙටත් ඉඳියි  රාජ සභාවෙ ...

මේ උන්නාන්සෙලටවත් තේරිල
ආයෙත් ගාලු ජනතාවටම ගාලු ජනතාවගෙ හදවත බාරදෙනවනම් ...

මසුරං

සැන් ජෝන්ස් .... රතු කුරැසෙ ..... මක්කටෙයි මං එන්නං
මුවට මුව තියන්න    ෴


Anything you remember about old Galle Esplanade please add as a comment,   
Memories ..........