කියවූ තරම්

Saturday, June 19, 2021

චූටි

 10.2.18

චූටි ...

හිච්චිම කාලෙ මගේ යාළුවො තමයි චුට්ටයි චූටියි
සෙල්ලමටම තමයි හිත හිච්චි එවුන්නෙ බං ඉතින් ...

චුට්ට මෙත්තානන්ද චූටි චිත්‍රානන්ද අයිය මලෝ
චූට්ට වැඩිමල් චූටි මං වගේම බඩපිස්ස

පහු කාලෙක තල හාමිනේගෙ කඩේ ප්‍රියන්තයි ජයන්තයිත් මට එකතුවුනා ...

ඒ ගොල්ලො ආවෙ කොළඹ ඉඳල මයෙ හිතේ ...

ප්‍රියන්තය දැන් ටයිනි මුදලාලි Kingsly Chitraratne සිරා පොරක් ...

චූටි මග හැරුනට පස්සෙ මං ලංවුනෙ ප්‍රියන්තයට ...
ප්‍රියන්තය හොඳ එකා ...

ප්‍රියන්තගෙ අයිය ජයන්තට කියන්නෙ තිලකරත්න  
ඒ දෙන්නම ගියෙ විද්‍යාලෝකෙට...

චූටියි මායි එකම වයසෙ එකම පන්තියෙ

චුට්ටයි චූටියි මායි හිච්චිම කාලෙ ඉඳල ඉස්කෝලෙ යන්නෙත් එකට
මගදි චන්ද්‍රලාලුත් අපිට එකතුවෙනව
Chandralal Vithanage
අනෙකා සරත්චන්ද්‍ර ගුරුගේ
ගුරුගේ නං මොන දිග්බාගෙක ඉන්නවද දන්නෑ ...

මගේ කුළුඳුල් මිත්‍රය චූටි කිව්වත් වැරදි නෑ ...

අපි හිච්චි කාලෙ හැම දෙයක්ම වගෙ කලේ එකට ...

චූටියි මායි වක්වැල්ල පාරෙ දිගටෝම ගිහිල්ල කෝච්චි පාරට වැටිල
එතනින් එලියට් පාර දිගේ ඉස්කෝලෙට යනව හැමදාම පයින් හැතැප්මක්
ආපසු ගමනත් එහෙමමයි ...

ඔය යන මග දිගට අපි මොනවා කරන්න ඇතිද අවුරුදු ගානක් ...

ඔහොම යනකොට අපි නිතරම වගෙ කරන දෙයක් තමයි
ගෙදරින් ඇනයක් නැතිනම් තඹ සතයක් ගෙනල්ල
කෝච්චිය ඈත එනකොට රේල් පීල්ලට ඇනේ හරි සතේ හරි තියල 

රෝදෙට අහුවෙනකම් හැංගිල හොරෙන් බලාන ඉන්න එක ...

හැංගිල බලාන ඉන්නෙ අපේම ආරක්‍ෂාවට වැඩහිටියො අපිව බය කරල තිබුන නිසා ...

අපිව පුංචි කාලෙ දැනුවත් කරල තිබුනෙ
යකඩ රාේදෙට එක එක ඒව තියල
කෝච්චිය පෙරලුනොත් පොලෝසියෙන් ගෙනිහිල්ල අපිව හිරේ දායි කියල ...

ඒ අපිව කෝච්චි පාරෙන් වෙන් කරන්න ...

ඒත්  කෝච්චි පාරයි අපියි වෙන් වුනේ නෑ කවදාවත්
අද ගියත් කෝච්චි පාර දිගේ යන්න ආසයි
අතීතය මෙනෙහි කරමින් ...

ඕං ඉතින් පළමු යකඩ රෝදෙට අහුවුන තඹ සතේ දෙකක් වෙල වීසි වෙනව ...
ඇනේ පැතලි වෙල සිනිඳුවට දිලිසෙන කොට චූටිටයි මටයි හරි සන්තෝසයි ...

අපි උඩ පැන පැන හිනා වෙවී අත්පුඩි තලනව ...

අපි හැංගිල කියල අමතකයි ඒ වෙලාවට
එතකොට අපි එකේ පන්තියෙ විතර ...

ඉස්කෝ‍ලෙ ඇරිල එනකොට එලියට් පාර පහල දොලේ බැහැල
පාට පාට ගප්පි අල්ලල ආයෙත් දොලටම දානව ගෙදර ගෙනියන්නෙ නෑ
දොලේ බැස්ස කියල දැනගත්තනං ගෙදරින් අමර ගුටි ...

චූටිගෙ පවුලෙ 9යි කොල්ලො හතයි කෙල්ලො දෙකයි
මගෙ යාළුවො චුට්ටයි චූටියි ...

කෙල්ලො දෙන්න ලොකු රාණියි පුංචි රාණියි
දෙන්නම මගෙ අක්කලගෙ යාළුවො සංඝමිත්තෙ ...

තාත්ත මාටින් මාම අම්ම ජම්මෝති නැන්ද
මාටිං මාම මිටියි ජම්මෝති නැන්ද සුදුයි ...

මාටිං මාම රස්සාවට කලේ ගේ පිටිපස්සෙ තියාගෙන දැන්වීම් පුවරැ ඇඳපු එක
ටවුමෙ කඩවල ලොකු අකුරු තියෙන දැන්වීම් පුවරු ඔක්කෝම ඇන්දෙ මාටිං මාම ...

චූටියි මායිත් ඉඳ හිට උදව්වට ගන්නව බෝඩ්‍ වල චෝක් ඉරි ගහන්න ....

මාටිං මාම දිග නූලක් අරගෙන ඒකෙ හොඳට සුදු චෝක් උලල
තනි පාට ගාපු තහඩු බෝඩ් ලෑල්ලෙ  ගෑවෙන්න  එක කොනක් මට දීල
අනෙක් කොන චූටිට දෙනව අල්ල ගන්න
 
ඊලඟට මාටිං මාම හරියටම ගනං හදල බලල
නූලෙ හරි මැද්දට ගොහිං ඇඟලි දෙකෙන් අල්ලල ඇදල අතාරිනව

ස්ප්‍රින් එකක් වගේ ගිය නූල
බෝඩ් එකේ දිග ඉරක් අඳිනව හරිම කෙලින් ....

පස්සෙ ඒ ඉර උඩ තමයි ඇද වෙන්නෙ නැතුව අකුරු ලියන්නෙ ...

මගේ ජීවිතේට මුලින්ම ත්‍රී ඩී අකුරු මට කියා දුන්නෙ මාටිං මාම

මාටිං මාමයි ජම්මෝති නැන්දයි චූටිට චුට්ටට වගේම මටත් ආදරෙයි ...

මම සමහර දවසට වැඩිවෙලාවක් ගත කලේ චූටිගෙ ගෙදර ...

චූටිගෙ ගෙදර ලොකූ කැරම් බෝඩ් එකක් තිබුන
අපි වට වෙල හැන්දෑවට කැරම් ගහනව ...

චූටිගෙ ගෙදරත් හරි යුනීක් ගෙදරක්
ඒ කියන්නෙ ඉස්සරහ දොර තියෙන පැත්තටමයි පස්සෙ දොර තියෙන්නෙත් ...

හරියට ඉංගිරිසි යූ අකුර වගේ
යූ අකුරෙ එක පැත්තක්‍ ඉස්සරහ දොර අනෙක් පැත්‍ත පස්‍සෙ දාෙර ...

චූටි වගේම මමත් ඒ ගෙදර හැම කාමරයක්ම දන්නව ...

ඇයි මම ඉස්සරහ දොරෙන් ගියොත් පස්සෙ දොරෙන් තමයි ආපිට එන්නෙ ...

හිච්චි කාලෙ ඉස්කෝලෙදි කවුරු හරි මට සත්තම දැම්මොත්
චූටි තමයි මැද්දට පැනල මගේ පැත්ත ගන්න හිටිය එකම එකා ...

පපුව ඉස්සරහට දාල දෙපාරයි ඔරවන්නෙ
වැඩි දෙනෙක් සරෙන්‍ඩර් ...

හදිසියෙවත් එහෙන් මෙහෙන් නරුම ආලවකයෙක්ට අහුඋනොත්
අඩෝ එන්නෙපා අයිස්මෝල හන්දියෙන් කිය කියා
අපි දෙන්නම සෙරෙප්පු දෙක අතට අරන්‍ එලෝ හසරක් නැතුව දුවනව

මගදි චන්ද්‍රලාලය හිටියොත් අපිව බේරගන්නව
නැතිනං නවතින්නෙ ගෙදර දොර මුල්ලෙන් ...

ඒ කාලෙ ඉස්කෝලෙට සෙරෙප්පු දාන්න පුළුවන් ...

සපත්තු දෙකක් ගන්න බැරි උන් සෑහෙන්න හිටිය ඉස්කෝලෙ ...

චූටිගෙ ගෙදර තිබුනෙ අයිස්මෝල හන්දියෙ පයිප්‍පෙ ඉස්‍සරහමයි ...

අයිස් මෝල හන්දිය ඒ කාලෙ වලි පුරයක්

ඔය පයිප්පෙ ඉදිරිපිටදි වැල්ලෙ සුනිල්ට
කොස් කොටන්‍න වගෙ
චොකොස් චොකොස් ගාල බිම දාගෙන කඩුවෙන් කොටනව  මගෙ දෑහින්ම දැක්ක ...

ලේ හැමතැනම පාරෙන් එකයි  
සුනිල්ව ඉස්පිරිතාලෙ ගෙනිච්චෙ ගෝනියක දාගෙන ...

මම තම්බි මාමගෙ කඩේ ඉස්සරහ ඉඳගෙන ඔක්කෝම බලාගෙන ...

ඇඟ පුරාම කඩු පාරවල් කාලත් සුනිල් බේරුන
හැබැයි ඩෑල් එක වෙනස් ...

මොනව කලත් කර්ම ටික ගෙවන ගමන්
තවත් කර්ම එකතු කරගන්න ඉන්නම වෙනව ...

සංසාරෙ පුරුදු පුහුණු කරගත්තුව තමයි
ඉතිං ඔය එළියට ආවෙ ...

අයිස්මෝල හන්දියෙ හැමදාම වගේ
මොකක් හරි කිරිමෙල් කේස් එකක් ...

වයලන්ස් ලයිව්ම
අපි හිච්චි කාලෙ හැදුනෙම වයලන්ස් අස්සෙ ...
 
ඒ අතින් මෙහෙම හා පැටියො වගෙ ඉන්න එක කොච්චර දෙයක්ද ...

මොකා මොකෙක් එක්ක රණ්ඩු උනත්
ඒ ඔක්කොම යන්නෙ තම්බි මාමගෙ කඩේ බෝතල් පිටින් ...

මොන මල යකෙක් රණ්ඩු උනත්
උං කරන්නෙ තම්බි මාමගෙ තේ කඩේට පැනල
නාරං බික් බෝතල ටික නැතිනං
බටර් විස්කෝතු ඉඟුරු විස්කෝතු බෝතල ටික පාරට ගෙනල්ල
උස්සල පොලොවෙ ගහන එක ...

තම්බි මාම කලෙ ඔලුවෙ අත තියාන බලා හිටපු එක විතරයි ...

මමයි චූටියිවත් ඒ කාලෙ ලොකු වෙලා හිටියනං
තම්බි මාමට එච්චර අලාබ කරන්න දෙන්නෙ නෑ ...

තම්බි මාම හැමදාම හවසට පැණි සීනක්කුවක්
ඉතුරු කරල තියෙනව මට ...

මම චූටිත් එක්ක ඒක බෙදාගෙන
පාරෙම තියාගෙන රස කර කර කනව ...

කොච්චර අලාබ උනත් තම්බි මාම හන්දිය දාල ගියෙ නෑ ...

චූටිගෙ හිච්චි කාලෙ හිනාව මට තාමත් මැවිල පේනව ....

හැබැයි ලොකු වෙනකොට ඒ හිනාව වෙනස්  වුනා ...
චූටිත් වෙනස් වුනා ...

චූටි පහු කාලෙක පාප මිත්‍ර සේවනයට වැටිල උළු නැති ගෙදරත් හිටිය ...

මගෙ කුළුඳුල් මිත්‍රය දැන් අපි අතර නෑ මියෑදිල ගෙඩාක් කල් ...

මොකාට නරක උනත් චූටි හොඳ එකා
ඌ මගේ හිත හොඳ යාළුව ...

ලොකු මහත්වෙල අපි හමුවෙන හැම වෙලාවකම
අවවාද පිට අවවාද දුන්නත් චූටි ඇහුවෙ නෑ ...

මම මොනව කියුවත් බැන්‍නත්
ඔලුව නවාගෙන අහගෙන ඉන්නව හ්ම් කියන්නෙ නෑ ...

චූටි විනාඩි ගානක් මා දිහා ඇහි පිල්ලන් ගහන් නැතිව බලාන ඉඳල  
මගේ අත තදින් අල්ලල මිරිකගන්නව ...

පුංචි කාලෙ ආදරය ගෞරවය එහෙමමයි

හැබැයි ආපිට හැරිල ගිය ගමන්
එපැයි කියපු දේමයි ආයෙත් කරන්නෙ  ...

සමහර විට චූටිගෙ ඇස් දෙකේ චූටිටත් හොරාම කඳුළු ...

මාත් උගේ කඳුළු ඇඟිල්ලෙන් පිහල
උර හිසට අතක් තියන කොට
හිමින් සැරේ මගෙ අතට චූටි ඔලුව හේත්තු කරගන්නව

එතකොට අපිට වයස විසි ගානක් ...

චූටි මගෙ ගැන හරී ආඩම්බරයෙන් හිටියෙ
මගෙ අත අල්ලගෙන චූටි මට ඒක කියල තියෙනව
හමුවුන හැම වතාවකම ...

ඒ වෙන කොට පාප මිත්‍ර සේවනයෙන්
චූටිව සහමුලින්ම වෙලාගෙන ඉවරයි ...

චූටිට ගොඩ එන්න ඕනෑ උනත් බේරුමක් තිබුනෙ නෑ
ඒක තමයි ඒ ඇස් දෙකෙන් මම කියෙව්වෙ ...

ඒ ඇස් දෙකේ කවදාවත් කාටවත් නොකියපු කතාවක් තිබුන
ඒක මටවත් කීවෙ නෑ ...

චූටිව එවැනි මගක ගෙනියන්න
සිස්ටම් එකේ කොහේ හරි වරදක් තිබුන

චූටි මාත් එක්ක ඉංගිරිසි ඉගෙන ගන්න
රූ ඉස්කෝලෙ ගිය එකෙක්
හාෙඳට ඉංගිරිසි කතා කලා ...

මහින්දෙ දාසයෙන් පහළ පාපන්දු නායකයා
ඒ කියන්නෙ දිගටම ගියානම් පළමු කණ්ඩායමේ නායකය ...

එහෙව් එකෙක් මෙහෙව් තැනකට තල්ලුවෙන්න හේතුවක් තියෙන්න ඕනෙ

අපිට ඉස්කෝලෙ රත්තරං ගුරුවරු හිටිය
හැබැයි ඒ රත්තරං ගුරුවරු දැනගෙන හිටියෙ
හොඳයි කියල පංතියෙ ඉස්සරහ පේලිවල හිටි උන් ගොඩ දාන්න විතරයි ...

අන්තිම පේ‍ලිවල හිටි උන් ගොඩදාන්න
ගුරුවරු තියා මුළු අධ්‍යාපන ක්‍රමේම වැඩ පිළිවෙලක් තිබුනෙ නෑ
තාමත් එහෙම එකක් නෑ ...

ඉතිං කෙහොමෙයි බං යහපත් සමාජයක් ගොඩ නගන්නෙ ...

කොහොම නමුත් කරගත්ත කර්ම අනුව තමයි හැම දෙයක්‍ම පෙල ගැහෙන්නෙ
ඒව වලක්වන්න අපිට බෑ ...

තමන්ට විතරමයි තමන්ගෙ කර්මය වෙනස් කරගන්න පුළුවන් ...

රත්තරං චූටියෝ ...
උඹ කොයිම හරි ආත්මයක සත්‍ය අවබෝධ වෙල එදාට ගොඩවෙයි ....

රත්තරං චූටියෝ එතකං
උඹට මෙවන් අකල් මරණයක් කිසිම ආත්මයක නොවේවා ...

මේ උඹේ කුළුඳුල් මිත්‍රයා

පොඩි සමරේ

*******

සිදුහත් කුමාරයට තිබුනෙත් මනුස්ස හිතක්
දේ‍වදත්ත කුමාරයට තිබුනෙත් මනුස්ස හිතක් ...

පුරුදු පුහුණු කල දේ තමයි අපිව මෙහෙයවන්නෙ

ඔය ඉතිං මට තේරෙන හැටි ...

Wednesday, October 21, 2020

මම රෙස්ට්

22.4.17 FB

1989 නොවැම්බර් කැන්බරා ...

සෑහෙන කාලෙක ක්‍රිකට් ඉඩෝරයකින් පසු අපිටත්  ඕස්ටරේලියානු සංචාරයක්
මාස දෙකහමාරක ...

ඒ කාලෙ රටේ අභ්‍යන්තර ප්‍රශ්න
මරාගන මැරෙනෙ නැතිනම් දුරස්ථ පාලක බෝම්බ ...
හැබැයි උන් කියුවෙනං "පොලිටිකල් අන්රෙස්ට්"

මේ හේතූන් නිසා රටවල් ලංකාවට එන්න අදි මදි කලා ...

පාඩුව ...
ක්‍රීඩාවට ආදරයක් දක්වන රසිකයින්ට විනිසුරුකරුවන්ට ක්‍රීඩකයින්ට පමනක්ම නෙවි
මුළු ක්‍රීඩාවටම සම්බන්ධ සෑම එකෙකුටම ...

ග්‍රවුන්ඩ්න්ඩ් බෝයිගෙ නැතිනම් තණනිල්ලෙ තණ කොළ හිටවන අමරාවතීගෙ ඉඳළ ...

අද කාලෙ එවුන් ක්‍රීඩකයන්ගෙ අම්ම අප්පගෙ ඉඳල දැක ගත්තට ...
ඒ කාලෙ අපි එකෙකුටවත් ජාත්‍යන්තර ක්‍රීඩකයෙක්වත් දකින්න ලැබුනෙ නෑ
දැක්කත් මහ මෙරක් දැක්ක වගෙ ...

එතකොට අපි කොහොමද ජාත්‍යන්තරයට යන්නෙ
කොහොමද අපේ එකෙක්වත් ජාත්‍යන්තර පලපුරැද්ද ගන්නෙ ...

ඉතී කවුරු හරි කොහේ හරි ඉඳල ඇරයුමක් එවනකන්
අපි දත නියවන් බලාන ඉන්නව ක්‍රිකට් ගහන්න යන්න ...

ඔය වගේ දත නියවං බලාන ඉන්නකොට ආ එකක් තමයි මේ ඕස්ට්‍රේලියානු සංචාරයත් ...

ඕං ඉතිං ඔස්ට්‍රේලියාවටත් ආව කියමුකො ...

කෙලින්ම බැස්සෙ සිඩ්නි ...

ඔසි සුද්දො එංගලන්තෙ සුද්දො වගේ නෙවෙයි හරි අමාරුකාරයො ...
පිටියට බහින්නත් කලිං පත්තරෙන් තමයි ගහන්න පටන් ගන්නෙ ...

අත්ත මුත්ත පනත්ත කිත්ත කිරිකිත්තගෙ ඉඳල
වංහුං හොයාගෙන එන එකාට ගහනව
උන්ට මහ රුජින උනත් කමක් නැහැ ...

ඒ නිසාම ටුවර් එකේදි අපි උන්ගෙ පත්තර කියවන්නෙත් නෑ ...
කියෙව්වත් තේරෙන එකක්යැ
මොකෝ උං සිංහලෙන් පත්තර අච්චු ගහන එකක්යැ ...

අපේ පත්තරෙන් ගහන්නෙ පිල් බෙදිල අපිටමනෙ
ඉතිං අපට මොටෝ කියල තමයි අපි ඉන්නෙ ...
ඔය තමයි අපේම පත්තරේ එවුන්ට මගේම මෝටෝ එක
එවුන් මොකෑ ලීවත් "අපට මොටෝ"
ලොකු පුටු මාරු වෙනකොට උන් ඕවට ගෙවනව පොලියත් එක්ක ...

ඒත් ආයිත් ඒකම කරනව ඉගෙන ගැනිල්ලක් නම් නෑ ...

ඔසියන්ට වෙලාව නෑ අපිව හුරතල් කර කර ඉන්න ...
බැස්ස ගමන් බබා උකුන් නෑ කෙලින්ම පළවෙනි පුහුණු තරඟෙ ...
කැන්බරා නුවර නව දකණු වේල්සය සමග ...
(New South Wales)
ජාතික කණ්ඩායමේ එවුන් භාගෙකටත් වැඩියි  ...

ලෝසනුයි විට්නියි මැතිව්සුයි බේලිසුයි එම්රියි
මහන්නො දෙන්නයි (2 Taylors Mark & Peter)
යුද දෙබෑයොයි (Waugh Twins) ඔ'නීලුයි ස්මෝලුය ...

ස්මෝල් කිව්වට ඌත් පොඩි නෑ පුම්බන්ම තමයි ඉන්නෙ .......

කාසියේ වාසිය අපිට වුනාට අපේ අවාසියට ...
පළමුවෙන්ම පිත්ත එවුන්ට ...

ප්ලේන් එකෙන් ආපු හිරි යන්නත් එක්ක අප සැමට ස්පෝට් මීට්
මානුකා පිටිය පුරාම ...

මැරතන් එකයි හන්ඩ්රඩ් එකයි උස පැනුමයි දුර පැනුමි හිටි පැනුමයි
යගුලියයි ඩයිවිනුයි මේ ඔක්කොම කවලමේ ...

ඕවර 112ට  423ක්  කඩුලු 7ට ...
අපෙ ලැබීට කඩුළු පහයි (Graeme Labrooy) ...

මුල දවසමයි දෙවන දිනේ දහවල් සප්පායම වෙනකන්ම ඔසියන්ට අපිව සප්පායම් ...
දෙවෙනි දවසෙ සප්පායමෙන් පස්සෙ අපේ වාරෙ ...

ධම්මිකයයි (රණතුංග) මමයි මුලින්ම ...
පළමු කඩුල්ල 159දි
ධම්මිකයට 56ක් ...
දවස අවසානයෙ 268ක් සියල්ල දැවී ඕවර 111ට ...

මගෙ පිත්තෙන් මගේ සම්මාදම ලකුණු 133ක් ...

කාලෙකින් ගහපු මැච් එකක් නරකත් නෑ මට හැපී ...
පළමු තරඟෙන්ම මම fපෝම් බලාපොරොත්තු තියාගන්න පුළුවන් ...
දීපං තව දෙන්නං ජම්බු කියල තමයි හිටියෙ ...

ඔය මැච් එකේ වැඩ්ඩො ටික ඔක්කොම ගැහුව ...
පහළ ලින්ක් එකෙන් බලා ගන්න පුළුවන් නම් ලිස්ට් එක ...
දෙවෙන් ඉනිමෙ නං අපේ 117ට 7ක් ...
ධම්මිකයයි මමයි දෙන්නටම බිංදු

මෙතන ලස්සනම කතාව ඕක නෙවි ......
මේක පිවිසුමක් පමනයි ලස්සනම හරිය මේකයි ...
ඒක ඇහුවම උඹලට පිස්සු ඩබල් වෙයි ...
මට නීරසම උන්ට රසම දේ තමයි දෙවෙනි තරඟය ...

දෙවෙනි තරඟය වික්ටෝරියාව සමග සේල් වල ...
වික්ටෝරියානු නායක සයිමන් ඔ’ඩොනල්ඩ් ...

රෑ ටීම් මීටින් එකෙන් පස්සෙ ටීම් එක කියෙව්ව මගෙ නම නෑ ...
මම බංකුවෙ ඒ කියන්නෙ මම ඩ්රොප්
හිතාගන්න බෑ ...
මුලින් හිතුවෙ වැරදිල කියල ආයෙත් ඇහුව
නෑ හරි මම ඩ්රොප් ...
මුල් එකෙන්ම ඔය අඹරල තියෙන්නෙ ගුලිය ...

මීට දින දෙකතුනකට කලින් 268 න් 133 ක් ගහපු මම ඩ්රොප් .....
විශ්වාස කරපන් අම්මපා කාට කියන්නද ...
අම්මෙක් අප්පෙක් පේනතෙක් මානෙක නෑ දුක බෙදාගන්න ...
හේතු කරණාත් කියුව ඇහැව්වහම ...

"අතුල යූ ආ බැටිං වෙල් හෑව්
අ රෙස්ට්" ...

අප්පගෙ වැඩක්නෙ බං මේක ...
මෙච්චර කාලයක් රෙස්ට් එකේ ඉඳල තමයි බොල මේක ගැහුවෙ ...
අනික උන්ම කියනව "බැටිං වෙල්" කියල
හොඳට ගහන එවුන් අතහරින එකම රට අපි වෙන්න ඇති ...

ඇයි ඉතිං කලින් එකත් මට දුන්නෙ ඒකෙත් බංකුවෙ තිබ්බනං
මේ මොකුත් නෑනෙ ඕමි පාරක් ගහගෙන ඉන්න තිබුන ...
බලන කොට ඔසියො  අපි ගෙන්නල තියෙන්නෙ ඕමි ටුවර් එකකට වගෙ ...

ඕමි ටුවර් එකේ සෙට් එකක් හිටිය මාත් සමග
අපි වැඩිපුර ගැහුවෙ කන්ට්රි ඇන්ඩ් වෙස්ටන්
ඒ කියන්නෙ මුදල් නොගෙවන තරඟ ...
මුදල් ගෙවන තරඟ වලට වෙනම සෙට් එකක් හිටිය ...

ඉතින් හිතා ගනිල්ලකො ඕනෑම ක්‍රීඩකයෙකුගෙ මානසිකත්වය ...
මාස දෙකහමාරක සංචාරයක පළමු තරඟෙම උස්සල පොලොවෙ ගැහුවම ..........
ඊට පස්සෙ මුළු ටුවර් එකම එපා වෙල ඕන රෙද්දක් උනදෙන්
උඹල  _කා ගනිල්ල කියල තමයි මම හිටියෙ ...

දැන් මේක කියවල උඹල හිතේ වේගෙට
අනං මනං ප්‍රශ්න අහන්න එපා ...
මම දන්නව උඹල අහිංසකයො කියල     
ගිය හකුරට අඬන එකෙක් නෙවෙයි මම ...
ඒත් මේ දේවල් උඹල  දැනගත්තට කමක් නෑ උඹලගෙ දාඩිය මහන්සියත් මෙතන ඇති ...

උඹල ඕනෑම දෙයක් හිතාගනිල්ල ...
නැතිනම් ඕනෑම දෙයක් ලියාපල්ල ...

මට උත්තර නං දෙන්න බෑ මොකද උන් කියුව වගේ ...

මම තාමත් රෙස්ට්    



????????


1.8.17. FB

ප්‍රශ්ණ ???

කාටද බං ප්‍රශ්ණ නැත්තෙ ...

බැඳල නැතිනං 
බැඳල නැති උන්ගෙ ප්‍රශ්‍ණ ...
බැඳල නං බැඳපු එවුන්ගෙ ප්‍රශ්න

ළමයි නැතිනං
ළමයි නැති එවුන්ගෙ ප්‍රශ්ණ ...
ළමයි ඉන්නවනං
ළමයි ඉන්න එවුන්ගෙ ප්‍රශ්ණ ...

රස්සාවක් නැතිනං
රස්සාවක් නැති එවුන්ගෙ ප්‍රශ්ණ ...
රස්සාවක් තියෙනවනං
රස්සාවක් තියෙන එවුන්ගෙ ප්‍රශ්ණ ...

සල්ලි නැතිනං
සල්ලි නැති එවුන්ගෙ ප්‍රශ්ණ ...
සල්ලි තියෙනවනං
සල්ලි තියෙන එවුන්ගෙ ප්‍රශ්ණ ...

ගෙයක් දොරක් නැතිනං
ගෙයක් දාෙරක් නැති එවුන්ගෙ ප්‍රශ්ණ ...
ගෙයක් දොරක් තියෙනවනං
ගෙයක් දාෙරක් තියෙන එවුන්ගෙ ප්‍රශ්ණ ...

කොණ්ඩෙ තියෙනවනං
කොණ්ඩෙ තියෙන එකාගෙ ප්‍රශ්ණ
කොණ්ඩෙ නැතිනං
කොණ්ඩෙ නැති එකාගෙ ප්‍රශ්ණ  ...

කොන්ද කෙලින් නං
කොන්ද කෙලින් එකාගෙ ප්‍රශ්ණ
කොන්ද කෙලිං නැතිනං
කොන්ද කෙලිං නැති  එකාගෙ ප්‍රශ්ණ ...

කළු නං කළු එකාගෙ ප්‍රශ්ණ
සුදු නං සුදු එකාගෙ ප්‍රශ්ණ ...

ජනාධිපතිනං ජනාධිපතිගෙ ප්‍රශ්ණ
ජනාධිපති නෙවෙයිනං
ජනාධිපති නොවුන එකාගෙ ප්‍රශ්ණ ....

පිරිමියෙක්නං
පිරිමියෙක්ගෙ ප්‍රශ්ණ ...

ගැහැණියෙක්නං
ගැහැණියෙක්ගෙ ප්‍රශ්ණ ...

මට තියෙනව මගේ ප්‍රශ්ණ
බොට තියෙනව බොගේ ප්‍රශ්ණ ....

ලිස්ට් එක නං තව ලියන්න පුළුවන්
නහුතෙටම යනකං ...

ඉතිං කියහංකො ....

කාටද බං ප්‍රශ්ණ නැත්තෙ ....








Sunday, October 18, 2020

අනිච්චේ දුක්කේ

හනේ මංද අනුලක්කත් නෝ මෝ බං ...

මං අනුලක්ක මුලින්ම දැක්කෙ ගාලු පුරහලේ වේදිකාව උඩ ඇස් දෙක කරොක කරොක
දීකිරි විකුණනව ...

ඒ හැත්තෑවෙ අගබාගෙ විතර ...
නාට්‍ය ගැන වැඩි ගැම්මක් ඒ වයසෙදි අපිට නොතිබුනත් ...

ගාලු පුරහල අහලින් යනකොට සෙනග පිරිල හිටියොත්
මේ මක්කැයි බං මෙතන වෙන්නෙ යන කුතුහලය මගහැර ගන්න ...
කොලු කමට හොරෙං පුරහලේ ජනේල වලින් ඇතුලට පැනල
නාට්‍ය සංවිධායකයො දකියි හැකයෙන් වටපිට බල බල
කළුවරේ දනිස් කොන්ද නමාගෙන ගොහිං මැද පුටුවක වාඩිවෙනෝ ...

අනුලක්ක විතරක්ම නෙවි
ලංකාවම දෙවනත් කල මහා නාට්‍ය කාරයො සියල්ලක්ම අපි දැක්කෙ
ගාලු පුරහලෙ ජනේලෙන් පැනල නොමිලේ ...

ඇයි බං සල්ලි දීල නාට්‍ය බලන්න කොයිංද අපට කාසි ...

හැබැයි ඉතිං වේදිකාවට ඇහැ ගියත් අපි  බලාන ඉන්නෙ සංවිධායකයෙක් ඇවිත්
කනෙං ඇදල දෙකක් දීල කොයි වෙලේ එලියට ඇදල දායිද කියල බයේ ගැහි ගැහී ...

බොලාට බොරු කියන්නෙ මක්කටෙයි බං
එහෙම උන වාරත් අනන්තයි අප්‍රමාණයි  
කං අඩි දෙක බාගෙට පැලුනත් ජනේලෙන් පැනල නාට්‍ය බලපු එකනං නැවතුනෙ නෑ
ගාල්ලෙං කොළඹට දිරාමාර් වෙනකං ...

එදා ගාලු පුරහලේ මුලින්ම දුටු දා සිට අද දක්වා
අනෙක් නාට්‍ය කරුවන් සියල්ලට සේම
බොක්කෙන්ම අනුලක්කටත් මම ආදරය කලා ...

පෙරෙයිදා බුද්ධි කතා කර වෙලේ
 
"අනුලක්ක ජයවර්ධනපුර රෝහලේ ටිකක් අමාරුයි අතුල " කීවත්

පහුවදාම අපිව අතෑරල යයි කියල හීනෙකින්වත් හිතුවෙ නෑ ...

කර්මානුකූලව ගෙනා ආයුෂ හමාරවී අප සැම අතැර ගියත් ...

නිවන් දක්නා ජාති දක්වා හතර අතට කැරකෙන මේ සංසාර චක්‍රයේ අනුලක්කේ උඹ අප අතරම ඉපදේවා ...

එවන් ආ විටක ගාලු පුරහලේ වේදිකාවට නැවත එන්නට ආරාධනා

අපිත් ආයෙ එන්නං සංවිධායකගෙන්  කං අඩි පලාන හරි ඔබ දැක්මට ජනේලයෙන් පැනලා ...

අනුලක්කේ ඔබට දෙව් මිනිස් සැප කෙලවර අමා මහ නිර්වාන ශාන්තිය උදාවේවා !

🙏🙏🙏🙏🙏

Saturday, October 17, 2020

තරඟයේ වීරයා

 

2.7.17 FB

මේ  කියන්න යන්නෙ ....

අසූවෙ මැද භාගෙ විතර සිද්ධියක් ....
හරියටම මාසය නිච්චි නෑ පිටිය සීසීසී හෝ එන්සීසී  ....
 
දවසක් මම ඉන්ටනැෂනල් බී තරඟයක් සෙල්ලම් කරල ....
ලකුණුත් දාගෙන කඩුළුත් අරගෙන තරඟයෙ වීරය උනා ...

තරඟෙ අවසානයෙ කප් එකකුත් දුන්න රුපියල් දාහක චෙක් එකක් සමග ....
නරඹන්නන්ගෙ ඔල්වරසන් හඬ මැද්දෙම ....
(මගේ මාසෙ පඩියත් අටසීයක්
විතර ඔය කාලෙ ඉතිං දාහත් පොඩි නෑ)

දාහෙ චෙක් පත මුදල් අතේ ගැවසෙන මෙම්බර් මහත්තයෙකුට දීල  
මාරු කරගෙන ....
(අපෙ ආදර නෙලී KM Nelson - මගෙ සීසීසී ටීම් මේට් රිචීගෙ ආදරණීය පියා  Richie De Silva  )

යාළුවො කිහිප දෙනෙක් එක්ක සයිවර් එකෙන් කාලා ඔන්න ඉතුරු සල්ලිත් සාක්කුවෙ දා ගත්ත ....

සයිවර් ලාබයි ඒකාලෙ වඩයක් උනත් සත විසි පහක් විතර ....
පොඩි ගානකින් හොඳට බඩ පුරව ගන්න පුළුවන්
අද කාලෙ නං ඒකත් කෙහොමද දන්නෑ

(මම 95හේ ලංකාවෙන් එනකම්ම මට බැංකු ගිනුම් තිබුනෙ නෑ , එන් ආර් එෆ් සී එකක් විතරක් දාල තිබුන මහජන බැංකුවෙ ටුවර් එකක්ගිහිල්ල ආවම ලැබුන කීය හරි දාන්න ...
ඒකත් රංග අයියට Ranga Goonasekera  පින්සිද්ද වෙන්න )

දැන් කප් එකත් උස්සන් බස් එකේම ගෙදර යන්න තමයි තරඟයෙ වීරයගෙ සූදානම ....

සයිවර් කෑවට බඩත් ටිකක් බොර බොර ගානව ....
ඒත් ඒක නම් ඉවසන් ඉන්න පුළුවන් අපි කාල තියෙන සයිවර් වල හැටියට ...

බස් එකත් සයිවර් කඩේ දොර ළඟටම එන්නෙ නැහැ නොවැ ...
ඉතිං පයින්ම ගියා බස් නැවතුමට ....

බස් කිව්වට ලංගම තමයි ඒ පාර වල වැඩිය දුවන්නෙ ....
පොඩි පාරවල පුද්ගලික බස් යන්නෙ එන්නෙ නෑ ඒ කාලෙ ....
උන්ට ගාන කපන්න සෙනග මදි නිසා ...

ඉතිං රෑට සමහර වෙලාවට පැයක් විතර බස් එනකන් ඉන්න වෙනව ....

කප් එකත් වාතයක් වෙනව මේ වගෙ වෙලාවට ....
ඇයි යකෝ මල වනයක්නෙ මේක උස්සන් යන එක ....

කප් එකක් දීල මුන් මාව ඇන්දුවද කියලත් හිතුන ....

හොඳටම මහන්සියි මටත් හත වැදිල ගමනත් දුරයි බෑග් එකත් බරයි
ඒ අස්සෙ කප් එකකුත් හෙට උදේට වැඩ
කොරේ පිටට මරේ ....

දහස් වාරයක් හිතුන ඇයි බං වෙන එකෙකුට මේක දුන්නෙ නැත්තෙ කියල ....

මට දාහ විතරක් දීල කප් දෙන්න තිබුනෙ කාර් තියෙන එකෙකුට ....
එතකොට අපි වගේ උන් මේ පරිප්පු කන්න ඕන නැහැනෙ

එහෙම එකෙකුට කප් එක දුන්න නම් ඒකා යස අගේට උඩ තියාගෙන ගෙනිහිල්ල
පොලිෂ් කරපු කැබිනට් එකේ දාගෙන පුළුං වලින් ඇඟිලි මාක් පිහිද පිහිද එන එන එකාට ආඩම්බරෙන් පෙන්නයි ....

මට ඉතිං මේක ගෙනිහිල්ල තියන්න තැනකුත් නෑ ....

83නේ ලෝක කුසළානෙ සල්ලි වලින් "ඩියුට් ෆ්‍රී රංජියගෙන්" ගත්තු 
පතුරු ගහපු අඟල් විසි හතරෙ "ෂාප්" ටෙලිවිසොන් එක උඩ කප් එක තියන්නත් ප්ලෑන ගහගත්ත ඒ අස්සෙම ...

ඒ ඇරුනම ඈඳි ගන්න තිබුන වැල් කැඩුනු පුටු කබල් ටිකයි
කොහු මෙට්ටෙ දාපු පොලු ඇඳයි සන්තකේ
ඇයි කුලී ගෙවල්නෙ බං ....

දැන් ඕං මගෙ එක අතක කප් එක අනෙක් අතේ ක්‍රිකට් බෑග් එක
ගෙදර යන්නයි සූදානම ....

දැන් මේක නෙමෙයි සොමිම වැඩේ ...
සොමිම වැඩේ මොකක්ද දන්නවද ...

මම සීය ගහනකොට ලයින් එකෙන් එළියෙ ඉදන්
හුරේ දාගෙන අත්පුඩි ගහපු රසිකයන් ....

මම උස නැති වේදිකාවට නැගල කප් එක ගන්නකොට ඔල්වරසන් දුන් නරඹන්නන් ....

එතකොට කතා පවත්වල කප් එක දුන් අනුග්‍රාහකයින් .....

තරඟය ඉවරවෙල මම කප් එකත් අරගෙන පාරෙ හත වැදිල ඇවිදගෙන යනකොට ....

සිංහයො වගේ ඔලුව එලියට දාගෙන මට අත වනාගෙන කාර්වල යනව ....  

"වෙල් ප්ලේඩ් අතුල අඅඅඅඅ"

"ග්‍රේට් වර්ර්ර්ර්ක්" ....

"යූ ඩිසව් ඉඉඉඉට් අතුල අඅඅඅ" ...

කියාගෙන කෑමොර දීගෙන ....
එකෙක්වත් ඇහුවෙ නෑ අතුල උඹ ගෙදර යන්නෙ කොහොමද කියල ....

උන් හිතන්න ඇති මගෙ මමා හරි ඩැඩා හරි මගට එයි කියල
මාව පික් කරන්න ටර්බෝ චාජ් ඉන්ටර් කූලරේ ...

ඇත්තටම එතකොට මේ ... මේ තරඟයේ වීරය ....

ඌ රෑ නමයටත් බස් හෝල්ට් එකේ ගෙදර යන්න බස් එකක් එනකං ඉන්නව ....
කප් එකත් එක අතකින් උස්සගෙන
ක්‍රිකට් බෑග් එක උරහිසේ එල්ලගෙන ....

හරියට මනෝරත්න මහත්තයගෙ"තල මල පිපිලා" වේදිකා නාට්‍යයෙ
රංබරණා ගුරුන්නාන්සෙ වගේ ...

ඉඳල ඉඳල ආපු බස් එකත් පොල් පටවල ....

ඔන්න ඉතිං උඹලගෙ මහ ලොකු තරඟයෙ වීරය ....
උඹළට හෙන පොර උනාට ඌ දාඩිය පෙරාගෙන පොල් පටවපු බස් එකේ
පිටි පස්සෙ දොරටුව අසලම තියෙන සීට් එක යටට ක්‍රිකට් බෑග් එක රිංගවල
කප් එකත් එක අතකින් උස්සගෙන කනුව බදාගෙන ෆුට් බෝඩ් එකේ ....

දෙයියන්ගෙ පිහිටෙන් තරඟයෙ වීරය හයේ පාරවල් හතරෙ පාරවල් ගහනකොට හුරේ දාගෙන මැච් එක බලපු එවුනුයි
 
කියවල කියවල කප් එක දීපු එවුනුයි දැන් හොඳට හීන බල බල සැපට බුදි ඇති ....

පින් කරපු ඇත්තොනෙ ....
 
එතකොට උඹලන්ගෙ වීරයට නං
පිටකෝට්ටෙ හන්දියෙ බස් එකෙන් බැහැල බොරලු පාර දිගේ තව හැතැප්ම තුන්කාලක් විතර
පයිනුත් යන්න තියෙනව කට්ට කරුවලේ ....

ඒ මදිවට කකුල්වලට පාරෙ බොරලු පෑගෙන සද්දෙට
හැමදාම හන්දියෙ වල බහින කටුව කාපු බල්ලො සෙට් එකත්

උන්ගෙ බාසාවෙන්ම සද්දෙ දාගෙන
උඹළන්ගෙ වීරයව බයිට් එකට ගන්නයි උත්සාහය ....

උන්ගෙන් බේරෙන්න වීරයත්කප් එක උස්සගෙන කුන්ග් ෆු මිශ්‍ර මැරතන් ....

එතන තව කප් එකක් ගහන්න තිබුන මංතීරු පරීක්‍ෂකයෙක් හිටියනම්
දුවපු දිවිල්ලට ....

ඔය අභියෝගත් මග හැරගෙන වීරය ගෙදර යනකොට එළිවෙයි වගේ ....

ඔය තමයි අපේ කාලෙ තරඟයෙ වීරයො ....  

උඹළත් මේව දැනගෙන හිටියට කමක් නෑ ....

උඹලටත් වීරයෙක් වෙච්චි දවසකට

එක්ස්පීරියනස් ගන්න ....

Sarath Wijerathna

වලේ ගෙදර මගෙ රූම් මේට්
ඒකාලෙ තියෙන දෙයක් කාල එකට හිටිය උන්ගෙන් එකෙක් ....

*****

ෆෝමල්


22.9.17 FB


මගෙ ලොකු කොලුවට අද ඉස්කෝලෙ ෆෝමල් එකලු
එහෙම තමයි මෙහේ ඔහේ වගේ නෙවේ ...

මේ අවුරුද්දෙන් ඉස්කෝලෙ ගමන අහවරයි
ඒකෙ සන්තෝසෙට වෙන්ටැ ....

හැබැයි උන්ට තාම වැටහෙන්නෙ නෑ
ඔතනින් පස්සෙයි නියම වැඩ පටන් ගන්නෙ කියල
ඒත් ඉතිං සූට් බූට් ගහල කොණ්ඩ නැවුම් කට් හදාගෙන
මහා නගරෙ මහා හෝටලේක ලිමොසින් එකෙන් ගොහිං එක විකාරයයි
දෙමාපියන්ට ගානකට තට්ටුවෙන වැඩක් ...


ඇයි බං මුන්ට යට ඇඳුමෙ ඉඳල අළුතෙන් ගන්න එපැයි ...

*****

අන්න ඒකට අපෙ ෆෝමල් ....

අන්තිම දවසෙ විභාගෙ ඉවරවෙල කෙලින්ම ගියෙ සූරිආරච්චියගෙ ගෙදර ....
උගෙ ගේ පිටි පස්සෙ ගිං ගඟේ අත්තක් ....
ඒකෙ පැනල හිතේ හැටියට නාල එගොඩ මෙගොඩ පැදල
උංගෙම ගස් වලින් කුරුම්බත් කඩාගෙන බීල ....

සූරිආරච්චියගෙ අම්ම
වත්තෙන්ම උදුරල අරගෙන උණු උණුවෙම තම්බල දීපු
මඤ්ඤොක්කා හට්ටියෙනුයි කොච්චි මිරිස් සම්බෝලෙනුයි සප්‍පායමි වෙල
සූරිආරච්‍චියගෙ තාත්ත ගහෙන් බාල තිබුන තෙලිජ්ජ හට්ටියටත් වග කියල 

පයින්ම ගෙදර ආව කිලෝ මීටර හත අටක්
ලංගමෙන් අපේ චෙක් බාරගන්නෙ නැති නිසා ....

ඔය ඉස්ටාර්ට් එක ....

*****

එතකොට එන්ඩ් එක ...

එදාම රෑ ...

චූටියි මමයි ගුරුගේයි ප්‍රින්ස් එකේ ගැලරියෙ සත පනස් පහට
නවයයි තිහ චිත්‍රපටියක් බලල

ඉවරවෙල එන ගමන්
කැනල් පාර කොනේ පාළම යට තුංමං හන්දියෙ
ගමේ තොවිලයක් ඉවරවෙල ගෙනත් දාල තිබුන
පිදේනි තටුවෙ පුළුටු ටිකත් පාළම යටම තියාගෙන බෙදාගෙන කාල ...

පිදේනි තටුවෙ උඩින්ම තිබුන ඇස්ස කපපු තැඹිලි ගෙඩියත්
බෙදාගෙන බීල ...
 
රෑ දොලහට විතර ගෙදර ආව මතකයි ...

අද වෙනකං ඉහෙන් බහින ලෙඩක් නෑ

ඕං අපෙ ෆෝමල් ....

*****

සැලකිය යුතුයි :

ගමේ තොවිල් පවිල් තිබුනහම පිදේනි තටු ගෙනත් දාන්නෙ
ඔය තුංමං හන්දියට තමයි ...

තුංමං හන්දිය අයිනෙම ඇල
ඇලට අනික් පැත්තෙන් කෝච්චි පාර
කෝච්චි පාරට උඩින් මගී පාළම ...

ඔය තුංමං හන්දිය පලාතෙ කව්රුත් වැඩිය යන්නෙ නෑ රෑට
පිදේනි කන්න යක්කු පෙරේතයො එනව කියල ...

ඇයි ගිය එකාට පිදේනි කන්න එන යකෙක් ගැහුවොත් ...

ඉතිං තුංමං හන්දිය පාළුම පාළුයි
හන්දිය අයිනෙ තිබුන වීදි ලාම්පුව විතරයි
ඒකත් මක්කවත් නැතිවට හොඳයි ...

පිදේනි තටුවෙ බැදපු මස් ජාති තමයි වැඩියෙන් තියෙන්නෙ
ඇට්ටෝම් පිඟානක් වගෙ තමයි කෑම පුරවල කිරි පැණි සමග ....

තොවිලෙ කරපු එවුන්ටත් දේ ඇවිල්ල තටුව බැලුවම සන්තෝස ඇති ....

ඇයි පස් පාටින් තියපු මල් ටිකයි
හඳුන් කූරු ටිකයි විතරයි ඉතුරු ....

පිදේනි ටික මල පෙරේතයො කාල ගිහිල්ලනෙ ...

*****

චරිතයක්

16.6.17 FB

චරිතයක් .....

අවුරැදු ගානකින් පරණ යාළුවෙක් මුනගැහුන ...

Hi, Machan how u doing ...
කියල වැඩක් නෑ මචං සැප කැඩෙනව
ඉල අැදෙනව ...

Ooo that's great Machan ....
Good to here ...
Good to hear ...
ඉතිං මචං so ... So....so

සෝ සෝ  නෙවි බං අපි ඉන්නව සනීපෙන් ...
You still the same machan ....
you haven't changed you haven't changed ...

Ok ok, what r u doing now ...

ජොබ් කට්ටක් කරන් ඉන්නව බං කෝචිං පාරකුත් දාගෙන ...

That's great ...that's great
I'm a ______ ,
machan doing good ...
Very well ...
very well ...

මොකද බං මූට වෙලා තියෙන්නෙ බඩ යන්නෙත් ඉංගිරිසියෙන් වගෙ ...
ඇයි අක්සන්ට් එක ...
ඉස්සර මෙහෙම නෑ ...

මූට ඇක්සිඩන්ට් එකක්වත් වෙලා ඔලුව කොහේවත් හැප්පිලද දන්නෙත් නෑ

ගම පලාබද්දරද කාෙහෙද
ඉස්සර නං ගැරඬිය වගෙ හිටියෙ දැන් තමයි නයාවෙල තියෙන්නෙ ...

මමත් චීනකොරටුවෙ ...
සංඝාරාමෙ රෑ ඉස්කෝලෙටත් ගියා
ඉංගිරිසි ඉගෙන ගන්න ...
මොකටද සෙකන්ඩ් වෙන්නෙ කියල හිතුනත් ...
මව් බාසාවෙන්ම කතා කරා මූව පොඩ්ඩක් බස්සන්න ...
හැබැයි ඒත් උෟ යවන්නෙම නයා ...

මචං උඹ බැඳලද ...

Yes machan, I'm married to a Kandyan ...

අාාා මගේ වයිෆුත් නුවර ...
මහාමයා ඉගෙන ගත්තේ ...

No machan my wife from  _____
Very good family ....
Very good family ....

මූට නං උණ තදවෙල
ප්ලේට් කවුන්ට් එක හොඳටම බැහල වගෙ ...

What's your wife doing mate ...

ගෙදරට වෙල ඉන්නව බං ලමයිත් බලාගෙන
 
ඉස්කෝලෙ ගෙනියනවා ගේනවා
අමතර පංති ගෙනියනවා ගේනවා ...
ක්‍රීඩා වලට ගෙනියනවා ගේනවා ...

මට වැඩිය වැඩ එයාට ...

Oh .... My wife is a _____
She is in Brisbane with my daughter who is studying _____ in the Uni ...

එතකොට උඹ මෙහේ ???

Yaa machan ...
I m here with my son he is doing VCE ...
My wife has her own house
I have mine ...
I visit them in the holidays ...
Lovely weather up there machan ...
We are very independent
Very independent ...

අම්මපා ....
අපිටත් නිදහස තියෙනව හැබැයි උඹට වගෙ වල්බූරු නිදහසක් නෙවි ...

කමක් නෑ බං මක්කරන්නෙයි මට උඹ ගැන දුකයි බං ...

ලුනුයි බතුයි කාල හරි අපි පස්දෙනා එකට ඉන්නව එක ගෙදරක 

ඒකනෙ අපි බැන්දෙ ...

හොඳයි මචං මම යන්නං ...

උඹත් ඔය යන ගමන් මහජන පුස්තකාලෙන්
පොතක් අරං ගොහිං සිංහල ටිකක් මතක්කර ගනිං ...

ලංකාවට ගියාම පලාබද්දර නෑදෑයන්ට කතා කරන්නත් එපැයි ...

ඌ නං ආයෙ මට කතා කරන එකක් නෑ ...

*****