කියවූ තරම්

Tuesday, January 25, 2022

හම් ඔලුවෝ ඇන්ඩ් පන්ක්ස්




හම් ඔලුවෝ නොහොත් ස්‍කින් හෙඩ්ස්

83නේ ලෝක කුසළාණෙට එංගලන්තෙ ගිය අපිට ක්‍රිකට් වලට අමතරව පිටියෙන්‍ පිට තිබුන එක ප්‍රශ්ණයක් තමයි කෑම ...

ලංකාවෙදි කරවල කෑල්ලක් පුච්චල
බතයි සම්බෝලෙයි පරිප්පුයි කාල පුරුදු අපිට ...
 
කිසිම ලුනු ගම්මිරිස් රහක් නැති
සුදු මහත්තරුන්ගෙ නෝනලගෙ තම්බපු මස් කෑල්ලයි
හාවුන්ට දෙන සලාදෙයි අරහං ...

ඉතිං අපි කෝඩුකාරයො ටික එකතුවෙල ඉක්මනටම බත් කල්ලියක් හදා ගත්ත
නැතිනම්‍ එංගලන්තෙදි සීතලෙයි  බඩගින්නෙයි
මැරෙන්න වෙයි කියල හිතල ...

ඒ කියුවෙ මම ග්‍රැන්විල් බ්‍රෙන්ඩන් විනෝදන්
Granville De Silva  Vinothen John Brendon Kuruppu

ඉඳල හිටල තවත් එකෙක් දෙකෙක් එකතු වුනා අපි සෙට් එකට ...

ඒ තමයි අපි කිහිප දෙනෙකුගෙම
කුළුඳුල් ශ්‍රී ලංකා සංචාරය ...

වැඩි වෙලාවට හතරදෙනා විතරක් සෙට් වෙන්නෙ
ටැක්සියට ෆිට් වෙන්නෙ හතරදෙනා නිසා ...

අනික අපි හතර දෙනාම හතර රියන්
එංගලන්තෙදි තඩි සීතල කබාත් දා ගත්තම
අපි හතරම ආනල්ඩ් ස්වාසනාදන්ගෙ මල්ලිගෙ යාළුවො වගේ තමයි
ටැක්සියෙන් එකයි ...

ඒවා පත ටැක්‍සි නොවන්න ඩ්‍රයිවර්ටත් යන්න වෙන්නෙත් එලියෙ ...

වෙන රටවලදි ප්‍රාන්ත අතර ගුවන් යානයෙන් ගමන තිබුනට
එංගලන්තෙදි සාමාන්‍යයෙන් ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට තරඟ වලට යන්නෙ බස් එකෙන් ...

බස් එක කීවට පෝලිමේ ඉඳල
ටිකට් අරං යන ලංගමේ නම් නෙවි මේ ..

අපිටම කියල එංගලන්තෙ ක්‍රිකට් මණ්ඩලයෙන් පාවිච්චියට දීල තිබුන
අති සුඛෝපභෝගී බස් රියෙන් ...
 
බස්ර රිය ඇතුලෙම හදිසියකට යන්න වැසිකිලියක් වගේම
තේකක් කෝපියක් හදාගන්න පුංචි පැන්ට්‍රියකුත් තියෙනව ...

ඩ්‍රයිවර් මහත්තයත් හරිම හිත හොඳ මිනිහ
අපිට පන දෙයි ඕනෑ වෙලාවක ...

ඒත් ඉතිං
ඉස්සර අපෙ වැකුණගොඩ බස් එක ආම්බාම් කරපු ඩ්‍රයිවර් මහත්තය වගේ
කොණ්ඩෙ වවාගෙන සරමයි බැනියමයි ඇඳල නලල පුරාම සිද්ධාලේප උලල නෑ මෙයා ...

 
මේකා බස් එක එලවන්නෙ
සන්‍ග්ලාස් දාගෙන වැස්ලින් ගාල පැත්තෙන් ඉර තියල
කොණ්ඩෙ බෙදල පීරල
ටයි කෝට් දමාගෙන ෆුල් නීට් එකේ තමයි ...

ඒ අස්සෙ අපිට වගෙ නෙවෙයි ඒකට ඉංග්‍රීසිත් බඩ යනව ...

ඉතිං ඔය බස් එකේ එක ප්‍රාන්තයක ඉඳල අනෙක් ප්‍රාන්තයට යනකොට
බත් කල්ලියෙ ප්‍රධානම කාරිය තමයි නවතින හෝටලේට ළඟම ඇති
බත් කඩ ලකුණු කර කර යන එක ...

ඒයි මචං ජෝනා මෙන්න ඉන්දියන් එකක් ...
තව ටිකක් දුර ගියහම
මචං ග්‍රැනා මේ චයිනීස් පාරක් ...

බ්‍රෙන්ඩ මචං බංගලි කඩේකුත් මෙතන
අතුල මචං තායි පාරක් ...

ඕක තමයි ඉතිං අපේ වැඩේ ...
සෝ‍(ර්)බස් උන්නාන්සෙත් ඔලුව කහ කහ බලනව
මේ මොකද මුන්ට වෙලා තියෙන්නෙ කියල ...

ඇයි බං ඉතිං මැච් තියා ඕමි අතක් ගහන්නත් බතක් කාල ඉන්න එපායැ
නැතිනං ඇඟට හරි නෑ ...

ලන්ඩන් පැත්තට ආසන්න තරඟ ඇති දවසට අපිට ජයයි ...

ලන්ඩන් ආසන්න වාසී ශ්‍රී ලාංකීය ජනතාවගේ ආගන්තුක සත්කාර ඉහලින්ම ...
සෑමදෙයක්ම ඉහටත් උඩින් ...

ඒ මදිවට පාන්දරින්ම නැගිටල
දරුමල්ලොත් අන්දගෙන කෑමට අමතරව
වඩෙත් බැදගෙන කඩලත් තම්බගෙන රොටිත් පුච්චගෙන ...

හම්මේ ...
ඒ ඇත්තාෙ ගන්න මහන්සියක් අපි වෙනුවෙන්  
වැඩි වැඩියෙන් ලැබෙන්නෝන ඒ හැමටම
ඉස්තූති වෙච්චාවෙ ...

දවසක් ඔය වගේ කලින් හොයාගත්ත හෝටලයකට
රෑ කෑමට එළියට ගිය වෙලාවක කෑම කාල ආපිට ආවෙ පයින් ...
(රෑ කෑමට තමයි කොහොමටත් එළියට යන්නෙ
උදේ කෑම හෝටලයෙම දවාලට ග්‍රවුන්ඩ් එකෙදි දෙන ලඩයක්
ඩිනර්ස් එක ඉතිං අපෙ හිතේ හැටියට)

ඕක තමයි අපේ රූටින් එක ...

ලකුණු කර ගත්තු කඩේට ටැක්සියෙ ගොහින් කෑම කාල ආපිට ගමන පයින් ...

කරුණු කිහිපයක් මත

එක ...
ගානක් ඉතුරු කර ගන්න ...
(මම මුලින් සටහනක ලියල ඇති
අපිට ලෝක කුසළාණ සංචාරයට ලැබුනෙ
බ්‍රිතාන්‍ය පවුම් නම සීයක් විතර කියල)

දෙක ...
බත ගහල කිලෝ මීටරයක් දෙකක් පයින් යනකොට තියෙන සැප ...

තුන ...
රාත්‍රියට උනත් නගරයෙ වීදි වල සොබාව දැක ගැනීම හා එංගලන්තෙ සීතල අත්විඳීම ...

නැතිනම් හෝටලෙන් ටැක්සියට ටැක්සියෙන් බත් කඩේට
ආයෙත් බත් කඩෙන් ටැක්සියට
ටැක්සියෙන් හෝටලයට
හෝටලයෙන් ඇඳට ...

ගතියක් නෑනේ බං
එංගලන්තෙ ආවම රටේ ලැයිට් කණුවක් හරි දකින්න එපායැ
අයිස්මෝල හන්දියෙ එවුන්ට ගොහිං කියන්න මක්කවත් තීන්නත් එපායැ බං ...

ඉතිං ඔය කියාපු දවසෙත් රෑ
අපි බතෙන් සප්පායම් වෙල හෝ‍ටලේට ගාටනව
 
හතර රියන් අපි හතරදෙනා උරෙන් උර ගෑවිල යනකොට
පාරෙන් එකයි වෙන කාටවත් ආයෙ
අපිව පහුකර යන්නවත් මාරු වෙන්නවත් නම් බෑ ...

අනෙක ඉතිං අපි
හාමුදුරුවො පිණ්ඩපාතෙ වඩිනව වගේ බිම බලාගෙන
සද්ද නැතිව යන්නෙත් නැහැ නෙව බං ...

කතා කිය කිය එක එකාට කාඩ් ගහමින් හිනහවෙන් නිදහසේ රිලැක්ස්ම ගමනක්
වැඩියෙන්ම යන්නෙ ඉංගිරිසි කාඩ් තමයි
දවාලෙ සුද්දෙක් එක්ක කතා කරනකොට කාට හරි වචනයක් වැරදුනාද
ඕං ඉතිං කාඩ් ...

අපි කාල බීල හෝටලේ පේන තෙක් මානෙකටම එනකොට
ඕං අපිට පෙනුන හන්දියෙ ඔරලෝසු කණුව වගෙ තැනක
දහ දොලොස් දෙනෙකුගෙ පුංචි ගැන්සියක්
කන් පැලෙන සද්දෙට එන්ජින් රේස් කරන මෝටර් සයිකල් දහයක් පාලහක් ...

අමුතුම කොන්ඩා මෝස්තර
දෙපැත්තෙම තට්ටෙ
මැද්දෙ රෝම සොල්දාදුවන්ගෙ හිස්වැසුම වගේ
අඟල් හයක් විතර උසට ඉනිහිටවල වගේ උල් කොණ්ඩේ ...

එකෙකුගෙ තට්ටෙ මැද්දෙ මුලින් කියුව
කානු වගේ ඉරි තුනක් ...

තවෙකෙකුගෙ ඔලුව පුරාම  පතොක් හිටවල වගේ  උල් උල් කොණ්ඩෙ ...
 
ගමේ මුං එකෙක්වත්‍ හිටියනං හදිසියකට පොල් ගෙඩියක් ලෙලි ගහගන්නත් තිබුන කොණ්ඩෙ ගහල ...

ඇයි බං ඒ මදිවට ඒවා දේදුනු පාට ...
උන්ගෙ සපත්‍තු කව්බෝයි සපත්තු වගේ
උල්වට යකඩ පතුරු අල්ලල ඉස්සරහටයි පස්සටයි ...
 
ගෙලේ දම්වැල් කනේ කරාබු නහයේ ජිම්නාස්ටික් වලලු ...

හරියට චීනකොරටුවෙ විමලේ අයියගෙ ගව පට්ටියෙ හිටිය
ගව සැට් එක වගේ නාස් ලණු දාපු ...

හැම තැනම හිල් කරල දම්වැල් දාල  
කොල්ලොත්‍ ඇස් ඇඳල කං ඉරාගෙන නහය පලාගෙන ...
යම පල්ලාෙද බං මේ කියලත් හිතුන ....

මීට කලින් මුන්ව දැකල තිබුනෙම නෑ මුන් ගැන අහල තිබුන මිසක් ...

දැන් අපි හතරදෙනාත් හරහට එක පේලියට හෝටලේ පැත්තට ඇවිදිනව ...

මුන් හත් අට දෙනෙකුත් අපිව දැකල බලාන ඉඳල
වාඩිවෙල හිටිය බයිසිකල් වලින් බැහැල කුටු කුටු ගගා අපේ පැත්තට එනව ...

හෝටලෙත් දැන් අපිට කෙලින්ම පේනව
ඒ උනාට දුවන්න හිතුනෙත් නෑ
ඇයි බං එදා දවාලෙ පිට්ටනියෙ ස්පොර්ට් මීට්
ඒ එක්‍කම අපිට තරුත් එක දෙක ලාවට ...
ඇඟත් නිල්වේගන දත කට පූට්ටු සයිස් එකේ ...
ඇයි බං මුන් එන පොට හරි නෑ ...

අපිට කෙලින්නම තමයි මේ එන්නෙ ...
අපි සද්දෙ දාගෙන එන විදිය මුන්ට ඇල්ලුවෙ නෑ ...

මුන්ගෙ වැයික්කිය මුන්ට ඒක මදි කමක්
අනික අපි කලුයි උන් සුදුයි ...

දැන් හුස්ම රැල්ල මූනෙ වදින ගානට ලංවෙල උන් ඇඟටමයි එන්නෙ ...

අපිත් නැවතිල නිල්වෙල ඒ මදිවට
සීතලට දිවත් ගල් වෙල ගොලුවෙල ඉංග්‍රීසි තියා සිංහල වචන එන්නෙත් නෑ ...

ඉතිපිසෝ ගාථාව කිවිවත් වැඩක් නෑ
ඇයි බං මුන් සුද්දො පාලි දන්‍නවයැ ...

අනෙක අපි ක්‍රිකට් ගැහුවට කරාටි ගැහුවෙ නෑනෙ ...

අත පය උස්ස ගන්නවත් බෑ සීත කබාවල බරට ...

හැබැයි ඉතිං අපි අතක් ඉස්සුවනං උන්ගෙ අත් හැට අටක් විතර
උන්ගෙ ඇසුත් නිකං ගිනි පුපුරු වගේ තරහෙන් ....

මුන්ට කරුණාව ගැන කියා දෙන්න එකෙක් නැතිද බං මේ රටේ
අඩුම ගානෙ අපි ගැනවත් හිතල ...

අපි හතර දෙනාටම උතුර දකුණ අමතකවෙල ...
අයිස් මෝල හන්දියෙ අතුලය
බෙලෙක් කඩේ ජෝනා පාමංකඩ බ්‍රෙන්ඩා මොරටුමුල්ලෙ ග්‍රැනා
බයිල තමයි ...

අපිට ගිනි සීතලෙත් දාඩිය දානව දත කට පූට්ටු වෙලා ...

හැබැයි ඒ වෙලාවෙම සුද්දගෙ ඩික්ෂනරියෙන් කියනවනං ...

ගෝඩ් දි එල්ඩර් බ්‍රදර් කැප්ටන්
අපෙ මූණ බැලුව ...

ඒ කියුවෙ අයිය නායක දෙවියො අපෙ මූණ බැලුව ...

අපි හතර දෙනාගෙන් මොකාගෙ වෙලාව හොඳද දන්නෙ නෑ ...
ඒ වෙලාවෙම එතනට පාත් උනේ
එදා දවල් අපි සෙල්ලම් කල තරඟය බලපු එංගලන්තෙ රසිකයො දෙන්නෙක්

ඒ දෙන්න එකතුවෙල අපි කව්ද කියල හම් ඔලුවන්ට කියාදීල උන්‍ට බැනල එලෙව්වෙ නැතිනං ....

අපි එදා හම් ඔලුවන්ගෙන් සම්බල් ...

ඇයි බං උන් කොණ්ඩෙන් ඇන්නත් අපෙ අඟල් හයක් බහිනව ...

************

83 කියන්නෙ හම් ඔලුවන්ගෙන්
පාට අයට සෑහෙන කරදර තිබුන කාලයක් ...

ඔවුනගෙ අතින් ජීවිත හානි පවා සිදුවුනා කියල ඒ කාලෙ පත්තරවල
මම කියවලත් තිබුන ...

ඊට පසු වසරේ සංචාරය කල කණ්ඩායමෙ සිටි රන්ජන් මඩුගල්ලටත් පහරදීල රාේහලෙත් හිටිය ...

ඉතිං අපිට එදා ගෝඩ් දි එල්ඩර් බ්‍රදර් කැප්ටන්
මාර උදව්වක් කලෙ  ...

අම්මප බං මම මේ විහිළුවෙන් කියුවට
මේක මාර සිරා කේස් එකක්
තව ඩිංගෙන් ෆේෂල් එකක් දාගෙනම එන්න තිබුන
මයෙ අමිමාපල් ...

Monday, January 10, 2022

AJ මයි බ්‍රදර් ...


ඒ ජේ මයි බ්‍රදර් ...

අද ජනවාරි දහය හිච්‍චි අයියගෙ උපන් දිනේ
කාලෙක ඉඳල පවුලෙ උපන් දිනවලට
අනෙක් නොයෙකුත් කටයුතු වලට මම නෑ වාසෙ සයුරෙන් එපිට නිසා ...
 
දුක තමයි මක්කයි ඉතිං කරන්නෙ බං ...

*****

අපි හැම කෙනාගෙම පවුල් සංස්ථාවල නොයෙකුත් හැඩතල
වැඩි දෙනෙකුටම වගෙ සහෝදරයො සහෝදරියො ඉන්නව එහෙම නැති අයත් නැත්තෙ නෑ  
ඒව ඉතිං තම තමන්ගෙ පාලනයෙන් පිට ...

මටත් හිටිය හතරක්
දෙකයි දෙකයි මම තමයි බඩපිස්ස

මම කලින් සටහනක සඳහන් කරා මට දහතුනේදි තාත්ත නැති වුනා කියල
ඒ දවස මට හොඳට මතකයි ...
 
තාත්ත හැමදාම වගේ පාන්දර පහට දුවන්න යනව  
මායි හිච්චි අයියයි  
තාත්තගෙ පස්සෙන් දුවනව ....

මොන හේතුවක් නිසා හරි ලොකු අයිය එකතු උනෙ නෑ
අපි දුවන්නෙ කෙලින්ම ගාලු මහජන කීඩාංගනයට ...

තාත්ත පාපන්දු ගහනව නැත්නම් ගාලු පිටිටනිය වටේ දුවනව
අපිත් බෝලෙකට පයින් ගහනව ...
 
ඉස්සර තිබුනෙ ලේස් කරන බෝල
ඒ කියන්නෙ හම් කවරෙ ඇතුලට බැලුම් බෝලයක් වගේ ටියුබ් එක ඔබල
බයිසිකල් පොම්පෙන් හුළං ගහල හම් කවරෙ ලේස් එකෙන්
සපත්තුව ගැට ගහනව වගෙ ගැට ගහනව ...

බැරිවෙලාවත් ගැට ගහපු තැනට පයින් හරි ඔලුවෙන් හරි ගැහුවොත්
ෆුට්බෝලෙ විතරක් නෙවි බෝලෙ හදපු එකාගෙ සනුහරෙත් එක්කම එපා වෙනව ...

එහෙම බෝලයක්වත් තිබුනෙ නැතිනම් අපි දෙන්නත් තාත්තගෙ පස්සෙ  දුවනව
නැතිනම් බිම පෙරලි පෙරලි ඉන්නව තාත්ත ඉවර වෙනකන් ...

ඒ කාලෙ අද වගේ එක කණ්ඩායමකට බෝල හැටක් විතර තිබුනෙ නෑ ...

මැච් ගහන හොඳ බෝලෙ හැර වැඩිම උනොත්
තව හමගිය බෝල දෙක තුනක් තියෙන්න ඇති පුහුණුවට ...

මහින්දෙ නං කෝකටත් තිබුනෙ දෙකයි
"බී" ටීම් බෝලෙයි "ඒ" ටිම් බෝලෙයි

සෙල්ලම ඉවර උනාම තාත්ත අපි දෙන්නට
ගාමිණි ක්ලබ් එක ලඟ බෝ ගහ අයිනෙ තිබුන
කිරි මණ්ඩලෙන් කල්කිරි කාලෙ බෝතල් දෙකක්
අරන් දෙනව බටේකුත් එක්ක දාල උරන්න ...

වෙනද වගේම එදත් ඔය රවුම ඉවරවෙල අපි ගෙදර ආව
ගෙදර ආපු අපෙ තාත්ත හිච්චි අක්කගෙන් තේ එකක් ඉල්ලල
ඉස්තෝප්පුවෙ තිබුන ඈඳි පුටුවෙ වාඩි උනා උනාමයි  ආයෙත් නැගිට්ටෙ නෑ ...

හිච්චි අක්ක තේක ගේන කොට තාත්ත අපිව අතෑරල මෙලොවින් ගොහින් ...

ඒ තමයි අපෙ තාත්‍තගෙ අවසන් උදෑසන
මියෑදෙන කොට තාත්තට පනස් නමයයි

ඒ 75හේ ජනවාරි 12හ
හිච්චි අයියගෙ උපන් දිනේ ජනවාරි 10ය

*****

එදා ඉඳල මට තාත්ත උනෙ හිච්චි අයිය
ඒ කියන්නෙ උඹල දන්න AJ ...

ලොකු අයිය හරිම අහිංසකය වැඩිය තැලිල පොඩි වෙල නෑ
තමන්ගෙ පාඩුවෙ වැඩක් බලාගෙන කාටවත් කරදරයක් නැතිව ඉන්න කෙනෙක්

අනික තමයි ලොකු අයියගෙයි මගෙයි වයස පරතරය අවුරුදු දාහතරක්
අනෙක් කාරණය තමයි
මම හැදෙන කාලෙ ලොකු අයිය හිටියෙ ගම්පොළයි ගලේවෙලයි රැකියාව කරමින්
නිවාඩු වලට තමයි අපි වැඩිපුර මුණ ගැහුනෙ
ඒ ඉතිං මාස තුන හතරකට වතාවක් ...

ඉතිං මම වැඩිය ලං උනෙ හිච්චි අයියට
එතන ඉඳල මුලු පවුලෙම බර වැඩියෙන් ගත්තෙ ලොකු අයියයි හිච්චි අයිය ....

හිච්චි අයිය එයාගෙ ඉගෙනීම නවත්වලා ඉස්කෝලෙන් අයින්වුනා අවුරැදු දහඅටේදි
උපාලි දෙල්පචිත්‍ර මහත්තය අරන් දුන්න පී ඩබ්ලිව්‍ ඩී එකේ ඕර්සියර් පට්ටමට
අපේ ඇස් පාදන්නයි බඩගෝස්තරේ හොයන්නයි
පුදුම කැපකිරීමක් ඒක ....

අපේ මුලු පවුලෙම ශක්තිය උනෙ ලොකු අයියයි
හිච්චි අයිය
මගෙ තාත්ත අයිය මිත්‍රය ...

පහු කාලෙක හිච්චි අයිය පොඩි අයිය උනා ...
ඒ කොළඹ උන් මට හිනාවෙන්න ගත්තම ගාල්ලෙ බාසාවට ...

තියෙන ඒව මදිවට තවෙකක් ඕන නෑ කියලයි එහෙම කලෙ ඔය තමයි කොළඹ උන්ගෙ හැටි ....

අපි වචනයක් කතා කරාද කොළඹ උන් හිනාවෙනව ...
අපිට පුරුදු විදියට අපේ බසාව කතා කරන්නත් උන්ගෙන් අවසර ගන්න ඕනෙ
උන් කොහෙන් ආපු එවුන්ද දන්නෙ නෑ ඒරොප්පෙන් වෙන්ටැ මයෙ හිතේ ...

කොළඹ කාක්කන් ගෙන් බේරිල ඉන්න
ක්‍රම සහ විධි සාස්තරේ දුන්නෙත් හිච්චි අයිය ...

අයිය වැඩකරෙ නැවතිල හිටියෙ කොම්පඤඤ වීදියෙ නිසා
හොඳට තැම්බිලයි හිටියෙ ...

මට කෙලින් හිටගන්න පුළුවන් වෙනකන් මගෙ අම්මයි සහෝදරයො දෙන්නයි සහෝදරියො දෙන්නයි තමයි පිටිපස්සෙන්ම හිටියෙ ...

මේ අතරින් හිච්චි අයියට වැඩි තැනක් ලැබුන ...
පුළු පුළුවන් හැම වෙලාවෙම හිච්චි අයියයි මායි
හුඟාක් දේවල් එකටම තමයි බැලුවෙ කරේ ...

ක්‍රිකට් තරඟ පැසි පන්දු තරඟ මලල ක්‍රීඩා
සුගතදාස එකෙ පාපන්දු තරඟ
පෙරහැරවල් චිත්‍රපටි සංගීත සංදර්ශණ විනෝද ගමන්
මේ හැමදෙයක්ම එකට ...

එක් දෙසැම්‍බර් තිස්එක් වෙනිදාවක
කොච්චිකඩේ පල්ලිය ලඟ සංගීතයක් බලන්න ගොහින්
මහ රෑ ගෙදර යන්න බස් නැතිව අපි දෙන්න පිටකොටුවෙ බස් නැවතුමේ බංකුවක් උඩ
එලිවෙනකං බුදිය ගත්‍ත ...

ජෝති අයිය රෑදොලහට වේදිකාවට නැගල

"කිරි ඉතිරේවා නව වසරේ" කියල තමයි කියුවෙ නං ....

හැබැයි අපි දෙන්න බස්නැවතුමේ බංකුව උඩ ...
ජෝති අයියනං දෙකක් දාලා හොඳට බුදියන්න ඇති  

අපි දෙන්නගෙ හොඳම කාලෙ තමයි ටැමිල් යූනියන් ...

දෙපොලක හිටියත් ...  
සති මැද පුහුණුවටත් සති අන්තෙ තරඟවලටත් ක්ලබ් එකේදි හමුවුන නිසා ...
 
ඒ දිනවලට පුහුණුව ඉවරවෙල ක්ලබ් එකේ යාළුවන් එක්ක
කතාව දාගෙන ඉඳල දෙන්නම ගෙදර යන්නෙ යක්කු ගස් යන වෙලාවට
ඒ යනකොට බස් එකෙත් පිස්සු හට්ටියයි

හිච්චි අයිය රස කර කර හරි හරි කතා කියනව
හැබැයි ඉතිං අයියගෙ අතට ටිකක් දුරින් ඉඳන් තමයි කතා අහන් ඉන්න ඕන ...

කතාවෙ රසම හරියට ආවම වචන දෙක තුනකට සැරයක්

"ඉතිං බච් දන්නවද බච්" කිය කිය ඇඟිල්ලෙන් අනිනව ඒකයි ...
 
කපාපු මුරුංග වගේ ඇඟිලි උනාට යකඩ වගේ හයියයි ඉතීං රිදෙනව ...

මට හිච්චි අයිය කියන්නෙ "බච්"

ඉස්සර හිටිය එරික් බචෝ කියල නහරයෙක් ...
ඒ නම කෙටි කරල තමයි අයිය මට බච් කියන්නෙ
ඒ පුරුද්දට ටැමිල් යූනියන් සමහර යාළුවො මට කියන්නෙත් බච් කියල

මමත් ඉස්සර අමු නහරයලු අයියල අක්‍කල තමයි එහෙම කියන්නෙ ...
අනේ මං දන්නෑ දැන්නං මට අමු නහර නෑ
ඒ ඔක්කොම දැන් වේලිල ...

හිච්චි අයියත් එක්ක ඉන්‍නකොට වෙලාව යනව දැනෙන්නෙ නෑ ...

හිච්චි අයිය හිනා සාගර හතක්
අවවාදයක්‍ දුන්‍නත් බැන්නත් ඒකත් විහිළු වෙන්මයි ...

දැන් ටිකක් අසනීපෙන් හැබැයි ඉක්මනටම කෙලින් වෙයි ...

කියනවනං හිච්චි අයිය ගැන කතා ගොඩයි
මගේ කතා මොන කතාද හිච්චි අයිය ළඟනෙ කතා තියෙන්නෙ
අහල බලාපල්ලකො හිච්‍චි අයියගෙ පරණ යාළුවන්ගෙන් ...

හිච්‍චි අයිය ගැන කියන කොට මතකයට එන
එකම එක රසවත් වර්ල්ඩ් රෙකෝර්ඩ් ක්‍රිකට් කතාවකුත් කියන්නං ...

නැතිනං ඒක විශාල අඩුවක් ...

වර්ල්ඩ් රෙකොර්ඩ් කියුවෙ
මේ මනුස්ස ලෝකේ කිසිම කෙනෙක් එහෙම දෙයක් කරල නැතිව ඇති ...

1976/1977 විතර
එංගලන්‍ත කණ්ඩායම ලංකාවට ආව මයික් බ්‍රියලිගෙ නායකත්වයෙන් ...

එතකොට අපිට ටෙස්ට් වරම් නෑ ...
දැන් ඔන්න නිළ  එම් සීසී කණ්ඩායම ගාල්ලටත් ඇවිල්ල සභාපතිගෙ කණ්ඩායමත් එක්ක තරඟෙ ...

අපි දෙන්නත්‍ දවල් වෙලා මැච් එක බලන්න යන්න කියල හිතාගෙන උදෙන්ම ගෙදර පොඩි වැඩක් පටන් ගත්ත ...

අපි දෙන්න තමයි ගෙදර පිරිමි
මට පාලහයි අයියට දහ නවයයි ...
තාත්ත නෑ ලොකු අයිය ගලේවෙල දුම්කොල සමාගමේ රස්‍සාව ...

ඉස්සර ගමේ ගෙවල් වල ඇටෑච් බාත් ටොයිලට් නෑ ...

තියෙන හතර රියනෙත් වැසිකිලියක් හදාගත්තම ඉන්නෙ කොහෙද බං ...

ඒව තියෙන්නෙ ගෙදර ප්‍රධාන ගොඩනැගිල්ලෙන් පිට
අපේ එකත් තිබුනෙ එළියෙ ...

හුළඟට අපේ වැසිකිලියෙ වහළ ගැලවිල
අපි දෙන්න පාන්දර වහළ උඩ නැගල වහළ ගහනව ...

වහළ ගහනව කිව්වට කරන්නෙ
ලී පටි ටිකක් දෙපැත්තට තියල
ඊට උඩින් ටකරං හරි දිග ඇරපු තාර බැරල් තහඩු හරි තියල
දිගට ඇන ගහනව ...

වැඩි හොඳට හුළඟට ඔරොත්තු දෙන්න ජොයින්ට්ස් උඩින් තඩි ගල් තියනව බරට

ඔය තමයි ගමේ ලාබදායී ක්‍රමේ නගරෙට නං ඕව අමුතුයි ...

දැන් වෙලාව උදේ නවයට විතර ඇති

අපි දෙන්නත් ඔන්න කලිසං කොටේ ගහගෙන
උඩු කය නිරුවතින් වහලෙ වැඩේ බාගෙට කරගෙන ඉන්නකොට
ගෝල් සීසී ග්‍රවුන්ඩ් බෝයි අපේ පීටර් අයිය
(පියසේන අයියගෙ අයිය)
දුවගෙන එනව ළතෝනි තියාගෙන

" සමරසේකර මහත්තයා සමරසේකර මහත්‍තයා " කියල කෑමොර දීගෙන ...

හිච්චි අයියත් ඉතිං වහල උඩ ඉඳගෙන
ඇයි මොකෝ පීටර් අයියෙ කියල අහපි ...

"ඇයි මොකෝ නෙවෙයි කක්කුස්සි වහලෙන් බැහැල ඉක්මනට එන්න
අන්න ඇම්සීසියෙ සුද්දොත් එක්ක මැච් එක ගහන්න ඔහෙට කතා කරනව
ඉස්පිනර් කෙනෙක් නැතිලු"

අයියත් කට ඇරගෙන බලාන ඉන්නව කොහොමෙයි විශ්වාස කරන්නෙ
පීටර් අයිය සිලෙක්ටර්යැ ...
 
ඔෆීෂියල් කෝලප් එක ග්‍රවුඩ් බෝයි පීටර් අයියගෙ කටින්  
හොඳ වෙලාවට වැසිකිලි වහලට සිග්නල් තිබුනෙ ...

දහ නවයෙ එකා මහින්දෙට ගහල ගෝල් සීසී ගහන්න ගත්ත විතරයි ...

"මක්කැයි ඔහෙ තවත් බලාන ඉන්නෙ
මගෙ අම්මාපල් බොරු නෙවෙයි ඔහෙට මක්කටෙයි මං බොරු කියන්නෙ ඉක්මනට යං
මේ බයිසිකලෙන්ම යන්න පුළුවන්"

හිච්‍චි අයියයි මායි එක පිම්මට ඉනිමග නැතිව වහලෙන් බිමට ...

මට දැනුනෙ හරියට මට මැච් ගහන්න කතා කර වගේ

සුදු කලිසමකුයි ෂර්ට් එකකුයි
පරණ පත්තර කොලේක ඔතාගෙන කිහිල්ලෙ ගහගත්තු හිච්චි අයිය
සපත්තු දෙකත් කරේ එල්ලගෙන පීටර් අයියගෙ බයිසිකලේ පොල්ලෙ
ඇම් සීසී මැච් එකට ගියා ...

මමත් ස්පොන්සර් ෂිප් හොයන ප්ලේයර් ඒජන්ට් වගෙ
බයිසිකලේ පස්සෙන් තවුසන් මීටර්ස් ...

ඔස්ටිය වගෙ ගාන කැපුවෙ නං නෑ ...

හැබැයි දවල් හිච්චි අයියගෙ කෑම එකෙන් බාගයයි
තේ වෙලාවෙදි කේක් කෑල්ලයි කිරි තේකයි බඩට දාගත්ත ...
 
ඒව ඉතිං රජ බොජුන් ඒ කාලෙ ...

එදා වැසිකිලි වහලෙ ඉඳල මයික් බ්‍රියලි එක්ක මැච් ගහන්‍න ගිය හිච්චි අයිය ගෙදර ආවෙ ...
 
ඇම් සීසීයෙ තඩි සුද්දාෙ තුන්දෙනෙක්ම ආයෙත් ඇතුලට යවල ...

හිච්චි අයියට කඩුළු තුනක් ...
Denise Amiss
Graham Barlow
Geoff Miller
(අයියගෙ මතකෙ හැටියට)

මමත් එදා ගියෙ උඩින්
සෙල්ලන්ද කොල්ලෝ කිව්වලු
ඇයි බං ඇම්සීසියෙ සුද්දො තුනක්
කක්කුස්සි වහල උඩ හිටපු අපෙ හිච්චි අයියගෙ බෝල වලට ගහගන්න බැරිව ඇතුලෙ ...
මුළු අයිස්මෝල හන්දියටම මාර ආඩම්බරයක්නනෙ බං අපෙ හිච්චි අයිය ගැන

අදත් ඒකෙ වෙනසක් නෑ ...

ඔය අවුට් වෙච්චි එවුන් තාම දන්නෙ නැතිව ඇති ...
වැසිකිලි වහල හද හද ඉඳපු එකා අරගෙන ඇවිල්ලයි
උන්ගෙ විකට් ගත්තෙ කියල ...

එහෙම දැන ගත්‍තනං සුද්දට විලි ලැජ්ජාවේ පන යයි ...

හිච්චි අයියට අවුට් වෙච්චි සුද්දො කියයි
 
ඇයි උඹ මැච් එකට ආවෙ
ගෙදර ඉඳල කියුවනං අපි උඹට ෆුල් වැසිකිලියක්ම හදල දෙනවනෙ කියල ...

ලෝකෙ වෙන කවුද බං කක්කුස්සි වහලෙ ඉඳල
පිටර් අයියගෙ බයිසිකලේ පොල්ලෙ  ගොහින් ඇම් සීසී සුද්දන්ගෙ
විකට් තුනක් ගත්තෙ අපෙ හිච්චි අයිය ඇර ...

හා පුළුවන්නං කියපල්ල බලන්න ...

ඔය තමයි මයි බ්‍රදර් ඒජේ ...

මට කලින් ලංකාවට ගහන්න තිබුනෙ හිච්චි අයිය ...
ඒ මට වඩා ගොඩාක්  හිච්චි අයිය දක්‍ෂ නිසා ...

මණ්ඩලෙන් පාස්පෝට් එක හතර පස් වතාවක්ම ඉල්ලගෙන ආයෙත් දුන්න ...
 
අඩුම ගානෙ කටුනායක පාරටවත් ගිහින් දැම්මෙ නෑ

මක් කොරන්නෙයි ඉතිං රටේ වැරැද්දක්නං නෙවි බං ඔය
රටේ  ඉන්න හිටින එවුන්ගෙ වැරැද්දක් ...

නැතිනං අපෙ හිච්චි අයියත් ලෝකප්ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක් ...

රත්තරං හිච්චි අයියේ නිදුක් නීරෝගී
සුභම සුභ උපන් දිනයක් !!!

ආවඩා ආයුබෝ වේවා !!!!

තෙරුවන් සරණයි  ෴

 

 



Friday, December 31, 2021


නව වසරට ආසිරි ???
අනේ මන්දා නව වසර ඇරඹීමත්
සමගම සිය පවුලේ
ප්‍රියයන්ගේ වෙන්වීමක් ...

ඒහෙත් ඉතිං ...

ස්තූතියි ඔබ සැමගෙ
අවුරුදු සුපැතුම් වලට
විවිධත්වයෙන් සපිරි
මිහිරි මි් පැණි වදන් වැලට
විවිධ භාෂා වලින්  ...

එහෙත් ...
නුඹළා කියනා ලෙසට
නොලැබුනිය කිසිවක්ම
ලෙහෙසියෙන් අත මිටට
එදා සිට මෙදා තෙක් මෙමට

නොපසුබට විහිරියෙන් 

ගත පිරුන දහඩියෙන්
කට්ට කා හැමදාම
හිච්චි කාලේ පටන්
ලබා ගති සැමදේම ...

ඉතිං උඹ ඔය කියන
සබ්බ සකල මනාවම
රිදී බන්දේසි මත
නව වසරෙ  ලැබුනහොත්
හරිම  බෝරිං  වේවි ...
මේ අළුත් අවුරැද්දම ...

මෙමා හට සිත් නොදේ
එස‍ේම ව‍ේවා යයි පතන්නට
ඔය කියන ඒ දිවියෙ
කිසිම ස‍ොමියක් න‍ොමැත ...

ධර්මයක් ඇත ලොවෙහි
නිර්මානයත් සමග
විශ්වයටම පොදුයි එය
අටල‍ෝ දහමයි මෙය  ...

ලාබෝ - අලාබෝ - දුඛ්ඛෝ - සුඛෝ  
නින්දා - ප්‍රසංසා - අයසෝ - යසෝ ...

මේ දමෙන් අප විඳිති
ගෙවන හැම අසුරු සැන
එහෙයින්ම පතමි මා
ඉත සිතින් සැමදාම ...

ලැබේවා ශක්තිය හා විරිය බොට
නොවැටී නොසැලී සිටින්නට
මහා පර්වතයක්සේ
සත්‍යයක්ම වූ අටලෝ දහමින් ...

නිදුක් නිර‍ෝගී වේවා තුණුරැවන් සරණින්ම ...

ආවඩා ආයුබෝවේවා !!!

🙏🙏🙏🙏🙏


අයිස්මෝල හන්දියේ අතුලයා
ඇතුළු පවුලේ සැම ...

Sunday, December 26, 2021

මෙරි ක්‍රිස්මස් !


සැමට සුභ නත්තලක් !

ඔෆීෂියලි අපිට නත්තල් නෑ ...

ඒ ඉතිං අපේ උප්පැන්න සහතිකේ
ආගම ඉදිරියෙන් බුද්ධාගම කියල දාල තීන නීසා ...
ඒ කියන්නෙ අපි තෝරගන්ටත් කලියෙන්
අපිට ආගමක් තෝරල දීල ...

කොටින්ම කීවොත් උප්පැන්නෙන්ම අපිව බෙදල
උන්ගෙ පහසුවට ...

අනේද බං කියන්නෙ ඒයි
ආණ්ඩුවෙ අච්චු කන්තොරුවෙ උන්ටත් තීන පිස්සු
ඇයි බං උං උප්පැන්නෙ මව්පියන් විවාහකද/අවිවාහකද කියලත් අහල තීනවනෙ ...
චීයා ඒගොල්ලො හරීඊ වල්නේහ් ...

විවාහක නැතිනං බබ්බු හම්බ වෙනවැයි බං ...
අපේ ගමේ අයිස් මෝල හන්දියෙ එකෙක් ගෙන් ඕව හෙම ඇහුවනං
මුං අහ ගනියි උංගෙං හොඳවැයින් දෙකක් ...

මම දන්න විදියට නං
බුදුන්ගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරල තීන්නෙ
ධර්මයක් මිස ආගමක් නං නෙවි ඕං ...

පරම සත්‍ය වන චතුරාර්ය සත්‍ය ධර්මයක්
ආර්ය අෂ්ටාංගික මාර්ගය ධර්මයක්
හේතු ඵල වාදය ධර්මයක්
බුදුන්ගෙ ශ්‍රී මුඛයෙන් පිට වුන හැම වදනක්ම ධර්මයක්
ඇසට පෙනෙන නොපෙනෙන
මුළු මහත් සත්ව වර්ගයාටම බලපාන ධර්මයන් ..

ආණ්ඩුවෙ අච්චු කන්තොරුවෙ
ඔය පෝරම අච්චු ගහපු මහත්තුරු දන්නෙ නැතිව ඇති
බුදුන් දෙසුවෙ
සාරාසංඛ කල්ප ලක්ෂයක්  පෙරුම් පුරල හොයා ගත්තු ධර්මයක් මිස
සාරාසංඛ කල්ප ලක්ෂයක්  පෙරුම් පුරල හොයා ගත්තු ආගමක් නෙවි කියල ...

හෙනම හෙන බහුශෘත පොරක්ගෙන් ඇහුවම ඌ කියනව
ඔය ඔක්කොම එකතු කරල පහසුවටලු ආගම කියල දාල තීන්නෙ
ඕ බලහං උං කරන කොලොප්පං
උප්පැන්නෙන්ම අපිව බෙදල වෙන් කරන්න උංගෙ පහසුවට වෙන්ටැ ...

බුදුන් විතරක් නෙවි බං
ජේසු තුමා දෙසුවෙත් ධර්මයක්  නබිනායක තුමා දෙසුවෙත් ධර්මයක් ...
ඒකනෙ බං බුද්ධ ධර්මය ක්‍රිස්තු ධර්මය ඉස්ලාම් ධර්මය කියන්නෙ ...
මං හිතන්නෙ ඔය ආගම් කියල දාගත්තෙ
පහුකාලෙක බොල අපිව අන්තයටම බේද බින්න කරල
උන්ට වැජඹෙන්න මිසක්ක වෙන මක්කටවත් හෙම නෙවි ...

උප්පැන්නෙ අපිට නත්තල් නැතිවට
හිච්චිම කාලෙ ඉඳල අපිත් නත්තල් සැමරුවා
අපේ යාළු මිත්‍රයො සහ ඒ පවුල්වල අය සමග ...
 
මුලින්ම කෑවෙ අපේ ගේ ඉස්සරහ හිටිය
කෝච්චි ඩ්‍රයිවර් කනිංග්හැම් මහත්තයැයි නෝන
මිසිස් කනිංග්හැම්ගෙ නත්තල් කේක්
ඒ නවසිය හැට ගනන්වල ...

එදා ඉඳල
නත්තල් රාමසාන් දීවාලි වෙසක් පොසොන් අවුරුදු
මේ ඔක්කෝම එකට එකම මේසෙ
සමහර විට එකම පළංගමේ අත් හත අටක් ...

ඒ කාලෙ හිටිය අපේ හූඟක් එවුන් දැං නෑ
තැන තැන විසිරිල ගොහිං සමහරක් මියෑදිල 😭 ...
ඒ සැමට නිවන් සුව

අපේ නං තාම හුස්ම වැටෙනව ...
ඉතිරිව ඇති අනෙක් අයටත් මෙය කියවන නුඹටත් මටත්
උප්පැන්නෙ ආගමක් ඇති/නැති උනත් ...
 
කෝවිඩ් වලින් තොර පැණියෙන් පිරුන
සාමය සතුට පිරි අති උත්තම සුභම සුභ නත්තලක් ...

ඔය මක්කා නැතත්
ස්ටේ සේෆ් එව්රිවන් හරියෙයි ...

*****

Saturday, December 25, 2021

කැරට්ටුවක්

චරිතයක් .....

අවුරැදු ගානකින් පරණ යාළුවෙක් මුනගැහුන ...

Hi Machan how u doing ...

කියල වැඩක් නෑ මචං සැප කැඩෙනව
ඉල ඇදෙනව ...

Ooo that's great Machan ....

Good to here ...

Good to hear ...

ඉතිං මචං So ... So....So

සෝ සෝ නෙවි බං අපි ඉන්නව සනීපෙන් ...

Ok ok what r u doing now ...

ජොබ් කට්ටක් කරන් ඉන්නව බං කෝචිං පාරකුත් දාගෙන ...

That's great ...that's great

I'm a ______ ,

machan I m doing good ...

Very well ...

very well ...

[මොකද බං මූට වෙලා තියෙන්නෙ බඩ යන්නෙත් ඉංගිරිසියෙන් වගෙ ...

ඇයි ඇක්සන්ට් එක ...
ඉස්සර මෙහෙම නෑ ...
ගම පලාබද්දරද කාෙහෙද ...

ඉස්සර නං ගැරඬිය වගෙ හිටියෙ
දැන් තමයි නයාවෙලා තියෙන්නෙ ...

මමත් ඉතිං චීනකොරටුවෙ ...
සංඝාරාමෙ රෑ ඉස්කෝලෙටත් ගියා
ඉංගිරිසි ඉගෙන ගන්න ...

මූට මොකටද සෙකන්ඩ් වෙන්නෙ කියල හිතුනත් ...

මව් බාසාවෙන්ම කතා කරා
මූව පොඩ්ඩක් බස්සන්න ...

හැබැයි ඒත් ඌ යවන්නෙම නයා]

මචං උඹ බැඳලද ...

Yes machan, I'm married to a kandyan ...

අාාාහ් මගේ වයිෆුත් නුවර
මහාමයා ඉගෙන ගත්තේ ...

No machan my wife from  _____

Very good family ....

Very good family ....

මූට නං උණ තදවෙල ප්ලේට් කවුන්ට් එක හොඳටම බැහල වගෙ

What's your wife doing mate ...

ගෙදරට වෙල ඉන්නව බං ලමයිත් බලාගෙන ඉස්කෝලෙ ගෙනියනවා ගේනවා ...

අමතර පංති ගෙනියනවා ගේනවා ...
ක්‍රීඩා වලට ගෙනියනවා ගේනවා
මට වැඩිය වැඩ එයාට ...

Oh .... My wife is a _____

She is in Brisbane with my daughter and she is in the Uni doing a Masters ...

එතකොට උඹ මෙහේ ???

Yaaa machan ...

I m here with my son he is doing VCE ...she has her own house I have mine ...

I visit them on the holidays
We are very independent machan ...

Lovely weather up there machan
Soo tripical close to the beach ...

අම්මපා ....

අපිටත් නිදහස තියෙනව හැබැයි උඹට වගෙ නිදහසක් නෙවි ...

කමක් නෑ බං ...
මට උඹ ගැන දුකයි බං ...

ලුනුයි බතුයි කාල හරි
අපි පස්දෙනා එකට ඉන්නව එක ගෙදරක ...
ඒකනෙ අපි බැන්දෙ ...

හොඳයි මචං මම යන්නං ...

උඹත් ඔය යන ගමන් පුස්තකාලෙන් පොතක් අරගෙන ගොහිං
සිංහල ටිකක් මතක්කර ගනිං ...

ලංකාවට ගියාම පලාබද්දර නෑදෑයන්ට කතා කරන්නත් එපැයි ...

(ඌ නං ආයෙත් මට කතා කරන එකක් නෑ ...)


Thursday, December 16, 2021

ඇතිද නැතිද

මොළේ කචල් අංජ බබල් රඹටල් කුඩල් ජාන් ...

ඇති එකා කැමති නෑ නැති එකාට ඇති වෙනවට
එහෙම උනොත් නැති එකාට ඇති වෙල ඇති එකා නැති වෙයි කියල
ඇති එකාට ඇති බයට  ...

නැති එකා කැමති නෑ අනෙක් නැති එකාට ඇති වෙනවට
ඒ ඉරිසියාවට ...

ඇති එකා කැමතියි නැති එකාගෙ දෝලාවෙන් ගොහිං ...
අනෙක් ඇති එවුන්ටත් එවුන්ට නැති ඒව
මට තියෙයි කියල පෙන්නල ආතල් ගන්න  ...

නැති එකා කැමතියි අනෙක් නැති එවුන්ට පේන්න ඇති එකාව දෝලාවෙන් ගෙනිහින්
ඇති එකාව දන්නව කියල අනෙක් නැති එකාට පෙන්නල ආතල් ගන්න  ...

ගොබ්බ සේන ...

ඇති එකාට අවශ්‍ය නැති එකා නැති වෙල ඉඳල නැතිම වෙනවට ...

නැති එකා බයයි ඇති එකා නැති උනොත්
නැති එකා නැත්තටම නැතිවෙයි කියල ...

ඉතීං ඇති එකායි නැති එකායි තව තවත් ඇති නැති එවුන් එක්කාසු කරගෙන
ඇති එකා නැති වෙන්න නොදී
කම්බ හොරුන් මංකොල්ල කරුවන් දූෂකයන් මිනීමරුවන් බෝ පැළ වැනි හාවුන් යැයි කෑමොර දෙමින්  
සුරතලුන් සේ ආරක්ෂා කර බලා කියා ගෙන නැති එකාට ඇති  දෑද නැති කරගන්න ...

නැති එකා දන්නෑ ඇති එකා නැති වෙන්නෑ කියල ...

ඇති එකා විහිළුවට වගේ නැති එකාට පේන්න නැති උනත්
ඇති එකාගෙ ඇති තරම් ඒව තියෙන්නෙ
ඇති හැටි රටවල කියල නැති එකා දන්නෙ නෑ ...

නැති එකා හිතන්නෙ
ඇති එකාගෙ ඇති හැටි දෑ ඇත්තෙ සණස ග්‍රාමීය බැංකුවෙ කියල ...

නැති එකා ඒ තරමටම ගොබ්බයි

ගොබ්බ සේන ...

ඇති එකා දක්ෂ නැති එකා අනෙක් නැති එකාත් එක්ක අවුළුවල
ඇති එකත් එක්ක නැති එකාට හොරෙන්
නැති වෙන්න කාල බීල නටල තරු පහේ සාද පවත්වන්න  ...

නැති එකා දක්ෂ ඇති එකා වෙනුවෙන් සටන් කරල
තමාගෙම අල්ලපු වැටේ සිටින අනෙක් ඇති නැති එකාත් නැති ඇති එකාත් නැති කරගන්න ...

ඇති එකා කරන්නෙ නැති එකාට ඇති එකාට ඇති ඒව පෙන්නල
නැති එකාත් ඇති එකා වගේම ඇති සැටි කරනව කියල ගිරිය පුප්පල කෑ ගහල
නැති එකාට නැති එවැයි රූප ශබ්ද ගන්ධ රස පහස පෙන්නන එක ...

නැති එකා දක්ෂ ඇති එකා නැති එකාට පෙන්වන රූප ශබ්ධ ගන්ද රස පහසට රැවටිල
ඌටත් ඒව ඇති කරගන්න රෑ වැටුන වලේ උදේටත් වැටිල මද්දහනෙත් වැටිල
හවහටත් වැටෙන්න ...

ගොබ්බ සේන ...

ඇති එකා ඇති කිරීමේ කලාව ප්‍රගුණ කරන ගමන්ම ...
නැති එකාව නැති කිරීමේ කලාවත් ප්‍රගුණ කරනව ...

නැති එකා ඇති වීමේ කලාව යයි සිතමින්  නැති වීමේ කලාවම ප්‍රගුණ කරනව ...

ගොබ්බ සේනලා ...

ඇති එකා දක්ෂයි නැති නොවී සිටීමේ ආරක්ෂාවට
වටේටම තව තවත් නැති එවුන් ඇති කරගන්න ...
හුඟ වෙලාවට මේ ගාන බහුතරය පනිනව ...

ඇති එකා දක්ෂයි නැති එකාව පාවිච්චි කරල
ඇති එකා වෙනුවෙන් නැති එකාගෙ රීරි මංශෙ හූරගෙන කාල නැති එකා නැත්තටම නැති කරන්න ...

ඇති එකා දක්ෂයි නැති එකා නැත්තටම නැති උනාම ඇති එකාට  පවන් ගහන්න තවත් නැති එකෙක් ඇති කරන්න  ...

නැති එකාට ඇති එකා පස්සෙ ගොහිං ඇතියි කියල තේරුම් යනකොට
නැති එකා නැත්තටම නැති වෙල අහවරයි ...

ගොබ්බ සේනලා ...

ඊට පස්සෙ ඇති එකා කරන්නෙ ඇති එකා ගෙනාපු බැටන් එක
ඇති එකාගෙ දරු පරපුර ඇතුළුව ඤාතීන්ට  පාස් කරන එක ...

නැති එකා කරන්නෙ නැති එකා ගෙනා බැටන් එක නැති එකාගෙ දරු පරපුරට පාස් කරන එක ...

ගොබ්බ සේනලා ...

ඇති එකා තව තවත් ඇති වෙනතුරුත්
නැති එකා සුන්නද්දූලි වෙනතුරුත් ඔය බැටන් එක මාරු වෙනව ...

නැති එකා කරන්නෙ නැති එකාගෙ සිහිනය ඇති එකාගෙ දරුවන්ගෙන්
ලබාගනින් කියල පරම්පරාවෙන් පරම්පාවට එන උන්වත් නැති කරන එක ...

ගොබ්බ සේනලා ...

දෙගොල්ලන්ම
නැති වෙන්න ඇති සිහිනයත් ඇති වෙන්නෙ නැති සිහිනයත් සැබෑ වෙනකම්ම
ඇති එකාත් නැති එකාත් බැටන් එක නං අතාරින්නෙ නෑ ...

ගොබ්බ සේනලා ...

මම ඇති තරමට නැති වෙල ඉඳල  
නැති තරමට ඇති වෙච්චි එකෙක් ...

තව කාලෙකින් කර්මයට අනුව මමත් නැත්තටම නැතිවෙල යයි ...

උඹ ඉන්නෙ ඇති පැත්තෙද නැති පැත්තෙද කියල උඹම හිතා ගනින්

මොළේ කචල් අංජබබල් රඹටල් කුඩල් ජාන් කරගන් නැතිව ...

*****


 


Sunday, December 12, 2021

බ්‍රෙන්ඩා

 

 

 


අපේ කාලෙ මගේ වයසෙ ...

ක්‍රීඩා කල සෑම ක්‍රීඩකයෙක්ම වගේ විවිධ පාසැල් වල ඉගෙනුම ලැබුවත්
එකම කාලෙ එකට හිටිය එවුන් ...
 
දිස්ත්‍රික්ක හා පළාත්‍  (District & Provincial)
අන්තර් ක්‍රීඩා සමාජ  (Inter Club)
ජනසතුසේවා  ක්‍රිකට් (Nationalised Services)
මර්කන්ටයිල්  (Mercantile)
මෙකී නොකී සෑම තරඟාවලියන් හිදීත් ...

එකම ක්‍රීඩා කණ්ඩායමකට ක්‍රීඩා කලත්
වෙනත් ක්‍රීඩා කණ්ඩායම්වල ක්‍රීඩා කලත්
අපි අපිම තමයි එකිනෙකා සමගින් හෝ එකිනෙකාට එරෙහිව හිටියෙ ...

මේ නිසාම අපි සියලන්ම දැන හැඳූනුම් කම් ඇති එවුන් ඉස්කෝල කාලෙ පටන් ...
තවමත් එහෙමමයි ...

මැද්දෙදි මරාගෙන කන්න හැදුවත්
මම මොකටද මූට සෙකන්ඩ් වෙන්න කියන අභියෝගය අපි හැම එකාටම තිබුනත් ....
(ඒකම තමයි තරඟය කියන්නෙත්)
තරඟෙන් පස්සෙ සුමිහිරි පානෙත් එකටමයි ...

දැන් නැතිවට ඒ දවස්වල මමත් මූඩියෙන් හීන් එකක් දෙකක් කටට හලා ගත්ත ...

දත් කැක්කුමකට බඩේ රුදාවකට හෙම ආදි කාලෙ ඉඳල එන අත් බෙහෙතක් නොවැ
ගානකට ගත්තොත් ...

අපි සංචිතයෙ හිටියෙත් එකට ....
පුහුණුවීම් වලට ලංගමේ ආවෙ ගියෙත් එකට ....

(සීසන් ටිකට් එකෙන් තමයි ආවෙ ගියෙ වැඩි හරියක් ඒකයි ලංගමේම අල්ලන්නෙ)

අපි කෑවෙ බිව්වෙ එකට සමහරවිට ගමන් බිමන් ගියෙත් එකට
ඉඳල හිටල සෙට් වෙන්නෙත් එකට
ඉතින් යාළු මිත්‍රකම වැඩියි ...

අපි හැම එකෙකුගෙම පීක් එකත් එකම කාලෙම තමයි ...

හැම එකාම සීයෙ කෑලි පනහෙ කෑලි ගහන්නෙත් නැති නම් විකට් පහේ කෑලි ගන්නෙත් එකට
කඩුළු රකින්නෙක් නම් ඒකත් එකට ...

ඔය නිසා අපි අතර තරඟය හරි තියුම්
ඒ එකම ප්ලේස් එකට තරඟ කරන්නෙත් අපි අපිම නිසා ...

හැබැයි එහෙම උනාට එකෙක්වත් අනිකගෙ බෙල්ල දියරෙද්දන් කපාගෙන යන ගති
විහිළුවටවත් තිබුනෙ නෑ
අදටත් අපි එකයි ...

මැද්දට ගිහිල්ල බොක්කෙන්ම අපිට කරන්න පුළුවන් දේ උපරිමයෙන් කරල අපි ආව ...

ලැබුනොත් ගැහුව හැලුනොත් උදේ නැගිටල වැඩට ගිය ...
ඒ තරමටම සරලයි අපේ ජීවිතෙයි ක්‍රීඩාවයි ...

බුකියක් තිබුනෙත් නෑ රසිකයන්ට ඇරගන්න ...
ඒ නිසා රසිකයින් සෙට් වෙන්නෙත් එකට
උන් බෙදිලත් නෑ ...

අපි රසිකයන් සමගත් රසිකයන් අපි සමගත්
තරඟයෙන් පසු එකම බීර භාගෙ බෙදාගත්‍ත දවස් අනන්තවත් තිබුන
එකාට බීර බෝතලේ ගානෙ ගන්න අතමිට සරුවට තිබුනෙ නෑ ...

හැම එකාම වගේ එනදේ එන විදියට බාර ගත්ත ...

අරෑගෙ මූගෙ පස්සෙ ගිය එවුන් එකෙක් දෙකෙක් හිටිය තමයි එහෙන් මෙහෙන් ෂේප් එකේ ...
උන් තමයි දැනටත් වාතෙ වෙලා ඉන්නෙ ...
උන් ගැන අපි කතා නොකර ඉමු ...

දැන් ඉන්න උන් ක්‍රීඩාව තමන්ගෙ අම්ම අප්පගෙ බූදලයක් කියල හිතාන ටයි පොලු දාගෙන ඇඹරුනාට ...

ලෝක යුද්දෙටත් කලින් ඉඳල ක්‍රීඩා කල සෑම ක්‍රීඩක මහත්මයෙක්ගෙම
දාඩිය මහන්සිය හා කඳුළු වලට පින්සිදුවන්ට
අසූ දෙකේ මුල අපිට ටෙස්ට් වරම් ...

(මේ ඇත්තන්ට මහත්වරු කියුවෙත් හේතුවක් ඇතුව )

පළමු තරඟය අසූ දෙකේ පෙබරවාරි  දාහත
වනාතෙ ඕවල් එකේ තම් මැට්ටම් ගැටබෙර හඬ මැද්දෙම ...

අසූ දෙකේ අග කැරළිකාර දකුණ අප්‍රිකානු සංචාරය ...
අපේ රොත්තක්ම එහේ අප්‍රිකාවෙ වයිල්ඩ් ලයිෆ් බලන්න ගිහිල්ල ...

(එයාලට එහෙ යන්නත් එයාලගෙ පැත්තෙන් බැලුවම සාධාරන හේතු තිබුන )

අසූ තුනේ මැද කළු ජූලිය මම එතකොට ටැමිල් යූනියන් ...

මටත් හිටිය රත්තරන් හදවත් තියෙන යහළුවො රොත්තක් ටැමිල් එකේ ...
උන් ටික කොහොම හරි බේරගත්ත ඒ උනාට දේපල හානිය ????

ඉන් පස්සෙ දශක ගානක් කොටි කේස් ...

උන්ගෙ විතරක් නෙවි අත්ත පනත්තගෙ ඉඳල
සිරි ලංකාවෙ සංවර්ධනය වෙනුවෙන් කැප කල සෑම දෙයක්ම සුන්නත් දූලි ...
දසක ගනනක් රට ආපස්සට ...

දෙපැත්තෙම කාළකණ්ණි පාහර අඥාණ දේශපාලුවන්ගෙ දුර දැක්මක් නොමැතිකම නිසා ...
රටේ සංවර්ධනයට උර දෙන්න හිටි  අහිංසක තරුණ ජීවිත දෙපැත්තෙන්ම බිල්ලට ...

"නොවේ මෙවන් විපත් ලොවේ"

ඕං ඉතිං මේ හේතූන් නිසා ක්‍රිකට් ක්‍රීඩාවට රටවල් ලංකාවට එන්න අදි මදි කලා ...
ආවත් කොහේ හරි මුල්ලක බෝම්බයක් ගියාද සුරුස් ගාල ආයෙත් ගියා
දොර මුල්ලෙ හරි කමක් නෑ උන්ට ...

රිටර්න් ටිකට් එක උඩ සාක්කුවෙ දාගෙනමයි
උන් බැට් කරෙත් ...
ඒක එවුන්ගෙ යුනිෆෝම් එකේම කොටසක් වෙච්චි කාලෙකුත් තිබුන ...

මට විතරක් නෙවෙයි මගේ කාලෙ ක්‍රීඩා කල හැම එකෙකුට වගේම ක්‍රීඩාවට සම්බන්ධ සෑම කෙනෙකුටමත් දැනුන ඒ පාඩුව
පිටියෙ තණ කොළ හිටවපු අමරාවතීගෙ ඉඳල
පත්තර මහත්තය දක්වා ...

ඒ කාලෙ හිටිය පත්තර මහත්වරුත්  නියම සෙට්‍ එක මහත්තුරු කියුවට ණය නෑ ...

අපි එකෙකුටවත් ජාත්‍යන්තර ක්‍රීඩකයන්ව ...
ජාත්‍යන්තර තරඟ වැඩිය දකින්න ලැබුනෙ නෑ ඒකාලෙ
දැක්කත් කළු නික දැක්ක වගෙ ...

ඉතිං කොහොමද ඔය කියපු එකෙක්වත් ජාත්‍යන්තරෙත් එක්ක තරඟ කරන්න ජාත්‍යන්තර පලපුරැද්ද ගන්නෙ ...

නැතිනම් ඒ දවස් වල හිටිය පහු කාලෙක සෙල්ලම් කල නැතිනම් 

දැනට සෙල්ලම් කරන සෑහෙන උන් කරේ එල්ලගෙන ගහන්න පුළුවන් කොට්ටාශයක් .....

උදාහරන කීවොත් දෙන්න පුළුවන් ලොරි ගානට
ඒත් කෙටියෙන් එකක් දෙන්නම් නැතිනම් ...
 
නැතිනම් ලිස්ට් එක දිග වැඩිවෙයි  ...

බ්‍රෙන්ඩා ...

Brendon Kuruppu ...

1st Sri Lankan Batsman to score a
Test double hundred on debut
කුළුඳුල් තරඟයෙන්ම ද්විත්ව ශතකයක් ලබාගත් එකම ශ්‍රී ලාංකික පිතිකරු ...

3rd Batsman in the world after Tim Foster (England 1903) and Lawrence Rowe (West Indies 1972)

ලෝකයෙන්ම තෙවැනි පිතිකරු ටිම් ෆොස්ටර් (එංගලන්ත - 1903 ) හා ලෝරන්ස් රෝ (බටහිර ඉන්දීය කොදෙව් - 1972) ට පසු.

බ්‍රෙන්ඩ කාලෙක ඉඳල පුහුණු සංචතියෙ හිටිය එකෙක් මාත් එක්ක ...
බ්‍රෙන්ඩ ආනන්දෙට ගහනකොට මම මහින්දෙට ...

මම ටැමිල් ගහනකොට බ්‍රෙන්ඩ බ්ලූම්fපීල්ඩ් ...
අපි දෙන්න බ්ලූම්fපීල්ඩ් ගැහුවෙත් එකට අවුරුද්දක් දෙකක් ...
කාලයක් බ්‍රවුන්ස් එකේ රස්සාවත් එකටමයි ...

දෙන්නම ආරම්භක පිතිකරුවන්
එම නිසාම අපි දෙන්නම ප්ලේස් එකට fපයිට් කලෙත් එකට

1983 එංගලන්තෙ ලෝක කුසලානයත් අපි දෙන්නගෙම කුළුඳුල් සංචාරය ...
(ඒකත් හරි ලස්සන කතාවක් ඒක පසුවට)
කුළුඳුල් සංචාරයෙ කුළුඳුල් රෑම් මේටුත් බ්‍රෙන්ඩා ...

කාලෙක ඉඳල සංචතියෙ හිටියත් බ්‍රෙන්ඩට දුන්නෙ ටෙස්ට් මැච් හතරයි ...

මේ මම කියන තරඟය බ්‍රෙන්ඩගෙ කුළුඳුල් ටෙස්ට් තරඟය
කොළඹ සීසීසී ක්‍රීඩාංගනයෙ නවසීලන්තෙ සමග ...

ඉඳල ඉඳල දුන්න බ්‍රෙන්ඩට අවස්ථාවක්
ගැහුව බ්‍රෙන්ඩ දෙසිය එකක් ඕපන් කරල
නිකන්ම නිකන් නෙවි නොදැවී .....

පන්දු 548 විනාඩි 777ක් .....
 
ඒ කියන්නෙ පන්දු ඕවර 91
පැය 13.5 ක් පිටිය මැද්දෙ තනියෙන්ම ...
ලේසිපාසු වැඩක්නෙවි ...

හාබර් එකේ කම්කරු වැඩ මුර දෙකක් එකට කලා වගේ තමයි ...

ඒ අමාරුකම මම හොඳට දන්නව මමත් ආරම්භක පිතිකරුවෙක් නිසා
හැඩ්ලියත් සමග හොඳම සෙට් එක හිටිය අනික් පැත්තෙ ...

පිටකොටුවෙ බස් නැවතුමෙ පිපිරුවා බෝම්බයක් ...
ආයෙ ඇහිල්ලක් බැලිල්ලක් නෑ නවසීලන්තෙ එවුන්ගෙන් බාගයක්ම අකුලගෙනම ගියා ගමරට ...
නූල් පොටක්වත් තියල ගියෙ නෑ ආයෙත් එන්න බලාගෙන ...

අපෙ බ්‍රෙන්ඩ ...
එදා එදාමයි ආයිත් ටෙස්ට් එකක් ගැහුවෙ මාස දහයකින්
ඒ දෙවෙනි එක ...

තුන ???
තවත් මාස දාසයකින් ...

එතකොට හතර ???
තවත් වසර තුනකින් ...

පොඩ්ඩක් කොණ්ඩෙ පීරන්න තියෙන ඔලුවෙන් හිතල බලපල්ල
දැන් ඉන්න සමහර බිංදුමතීල එක මාසෙට හතරක් ගහනව
එක මාසෙට බං ...

ඉතිං කොහොමද fපෝම් එක කියන දේ දිගටම ගෙනියන්නෙ ...

දෙවෙනි තරඟෙ එනකොට උගෙ දෙසීය එක සිලෙක්ටරලටත් අමතකයි  
ලකුණු දාපු එකාටත් අමතකයි ...

බ්‍රෙන්ඩටත්  නැවත පටන් ගැනීම නවකයෙක් නොවුනද නවකයෙක් ලෙසමයි ...

එහෙම ගහලත් බ්‍රෙන්ඩ ටෙස්ට් තරඟ හතරට 320 ක් ...
ටෙස්ට් ලකුණු සාමන්‍ය 53.33 ...

ඒකාට දිගටම දුන්න නං කොහොම හිටින්න තිබුනද
ඕව තමයි ඒකාලෙ අපේ උන්ට උන හදි ...

හැබැයි ඉතිං කුරිරු යුද්දෙන් උනෙ රටවල් මෙහෙ නාව එක විතරයි ...

බ්‍රෙන්ඩ ඇතුළු අනෙක් උන්ට තරඟ නොලැබෙන්න හේතුව යුද්දෙම නම් නෙවෙයි ...

කාලෙන් කාලෙට ආව ගිය හාල්පාරු තේරුම් කමිටුම තමයි ....

 
සැ:යු:

සමාවෙයල්ල කියනවට මම මේ බින්දුමතීල කියුවෙ අපහාසෙකට හෙම නෙවෙයි ...
මේ ඉනිමෙ වටිනාකම ගැන කියන්න ...

ෆිට්නස්ම බලපල්ලකො
පැය 13.5 ශාරීරික පමණක්ම නෙවි
මානසික තාක්‍ෂණික හැඩ්ලි ඇන්ඩ් ද ගැංග්ට එරෙහිව ...

කොළඹ මැද්දෙ ගිනි කාශ්ඨක අව්වෙ
කුළුඳුල් තරඟයෙ පන්දු ඕවර අනූ එකක් ...

ලේසි පාසු කෙලියක්ද පොඩ්ඩක් ඇනලයිස් කරල බලපල්ල ...

ඇයි දෙයියනේ මුංව කව්රුවත් අගය කරන්නෙ නැත්තෙ ?

Thank you for entertaining us Brenda ...