කියවූ තරම්

Sunday, December 26, 2021

මෙරි ක්‍රිස්මස් !


සැමට සුභ නත්තලක් !

ඔෆීෂියලි අපිට නත්තල් නෑ ...

ඒ ඉතිං අපේ උප්පැන්න සහතිකේ
ආගම ඉදිරියෙන් බුද්ධාගම කියල දාල තීන නීසා ...
ඒ කියන්නෙ අපි තෝරගන්ටත් කලියෙන්
අපිට ආගමක් තෝරල දීල ...

කොටින්ම කීවොත් උප්පැන්නෙන්ම අපිව බෙදල
උන්ගෙ පහසුවට ...

අනේද බං කියන්නෙ ඒයි
ආණ්ඩුවෙ අච්චු කන්තොරුවෙ උන්ටත් තීන පිස්සු
ඇයි බං උං උප්පැන්නෙ මව්පියන් විවාහකද/අවිවාහකද කියලත් අහල තීනවනෙ ...
චීයා ඒගොල්ලො හරීඊ වල්නේහ් ...

විවාහක නැතිනං බබ්බු හම්බ වෙනවැයි බං ...
අපේ ගමේ අයිස් මෝල හන්දියෙ එකෙක් ගෙන් ඕව හෙම ඇහුවනං
මුං අහ ගනියි උංගෙං හොඳවැයින් දෙකක් ...

මම දන්න විදියට නං
බුදුන්ගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරල තීන්නෙ
ධර්මයක් මිස ආගමක් නං නෙවි ඕං ...

පරම සත්‍ය වන චතුරාර්ය සත්‍ය ධර්මයක්
ආර්ය අෂ්ටාංගික මාර්ගය ධර්මයක්
හේතු ඵල වාදය ධර්මයක්
බුදුන්ගෙ ශ්‍රී මුඛයෙන් පිට වුන හැම වදනක්ම ධර්මයක්
ඇසට පෙනෙන නොපෙනෙන
මුළු මහත් සත්ව වර්ගයාටම බලපාන ධර්මයන් ..

ආණ්ඩුවෙ අච්චු කන්තොරුවෙ
ඔය පෝරම අච්චු ගහපු මහත්තුරු දන්නෙ නැතිව ඇති
බුදුන් දෙසුවෙ
සාරාසංඛ කල්ප ලක්ෂයක්  පෙරුම් පුරල හොයා ගත්තු ධර්මයක් මිස
සාරාසංඛ කල්ප ලක්ෂයක්  පෙරුම් පුරල හොයා ගත්තු ආගමක් නෙවි කියල ...

හෙනම හෙන බහුශෘත පොරක්ගෙන් ඇහුවම ඌ කියනව
ඔය ඔක්කොම එකතු කරල පහසුවටලු ආගම කියල දාල තීන්නෙ
ඕ බලහං උං කරන කොලොප්පං
උප්පැන්නෙන්ම අපිව බෙදල වෙන් කරන්න උංගෙ පහසුවට වෙන්ටැ ...

බුදුන් විතරක් නෙවි බං
ජේසු තුමා දෙසුවෙත් ධර්මයක්  නබිනායක තුමා දෙසුවෙත් ධර්මයක් ...
ඒකනෙ බං බුද්ධ ධර්මය ක්‍රිස්තු ධර්මය ඉස්ලාම් ධර්මය කියන්නෙ ...
මං හිතන්නෙ ඔය ආගම් කියල දාගත්තෙ
පහුකාලෙක බොල අපිව අන්තයටම බේද බින්න කරල
උන්ට වැජඹෙන්න මිසක්ක වෙන මක්කටවත් හෙම නෙවි ...

උප්පැන්නෙ අපිට නත්තල් නැතිවට
හිච්චිම කාලෙ ඉඳල අපිත් නත්තල් සැමරුවා
අපේ යාළු මිත්‍රයො සහ ඒ පවුල්වල අය සමග ...
 
මුලින්ම කෑවෙ අපේ ගේ ඉස්සරහ හිටිය
කෝච්චි ඩ්‍රයිවර් කනිංග්හැම් මහත්තයැයි නෝන
මිසිස් කනිංග්හැම්ගෙ නත්තල් කේක්
ඒ නවසිය හැට ගනන්වල ...

එදා ඉඳල
නත්තල් රාමසාන් දීවාලි වෙසක් පොසොන් අවුරුදු
මේ ඔක්කෝම එකට එකම මේසෙ
සමහර විට එකම පළංගමේ අත් හත අටක් ...

ඒ කාලෙ හිටිය අපේ හූඟක් එවුන් දැං නෑ
තැන තැන විසිරිල ගොහිං සමහරක් මියෑදිල 😭 ...
ඒ සැමට නිවන් සුව

අපේ නං තාම හුස්ම වැටෙනව ...
ඉතිරිව ඇති අනෙක් අයටත් මෙය කියවන නුඹටත් මටත්
උප්පැන්නෙ ආගමක් ඇති/නැති උනත් ...
 
කෝවිඩ් වලින් තොර පැණියෙන් පිරුන
සාමය සතුට පිරි අති උත්තම සුභම සුභ නත්තලක් ...

ඔය මක්කා නැතත්
ස්ටේ සේෆ් එව්රිවන් හරියෙයි ...

*****

5 comments: