ඒ ඇස
ඒ සම්මාන
ඒ කාමරය
ඒ පුස්තකාලය …
ඒ ඇසින් දුටු දේ
ඒ සිතින් සිතු දේ
ඒ කයින් කළ දේ
ඒ කටින් කියූ දේ …
ඒ සතරෙ එකතුවෙන්
අප ඇසට දුන් දේ
අප සිතට දුන් දේ
අප ගතට දුන් දේ
අප කණට දුන් දේ …
අප විනෝදමත් කළ
ඔහු ලියූ කවියක
පුළුල් තිර සිනමාවක
පුංචි තිරයක
හවුස් ෆුල් වේදිකාවක
දැනුම බෙදූ දේශනාවක ...
රඟහලක කෙළවරක
නිහඬව සිටි මොහොතක
පිස්සු බෙහෙත්
ෂැන්ඩි ඇතිවද නැතිවද
අපට දුන් ඒ සිනා සාගරය …
අපට මුණගැසුණු
එකම හදවතක හඬ
සිනාසෙන මුහුණක
නිහඬ කඳුළු බිඳුවක
ජයගත් උදෑසනක
පරාජිත සැඳෑවක
හැම හැඟීමක් තුළම
ඔහු තැබූ අත්සනකි …
කාලය ගෙවී ගියත්
පරපුර මාරු වුවත්
වචන මැකී ගියත්
තුන්වන සීනුව නොඇසුනත්
හඬ නිහඬ වූවත් …
අර්ථය නොමැකෙන්නේ
මිනිසෙකු ජීවත් වන්නේ
ඔහු ඉතිරි කළ දෑ තුළින් බැවින් …
එදා ඒ ඇසින් දුටු දේ
අද අපි සිතින් දකිමු
එදා ඒ කටින් කියූ දේ
අද අපි හදවතින් අසන්නෙමු…
එනිසාම ...
කවියක
ගීයක
දේශණයක
වේදිකාවක
සිනමාවක
කලාවක
අපේම ජීවිතයක
අද ඔහු නොමැති වූවද
අද ඔහු අප අතර සිටී ...
අප මෙන්ම
ස්වර්ණතිලකාවද
ගත දුබල වූවද
සිත හයිය කරගෙන
ඇහැක් හැටියකට
නුඹේ පැරණි පොත්වල
නුඹ ලැබූ සම්මානවල
දූවිලි පිසමින්
නුඹ නැවත එනතුරු නිහඬව බලා සිටී …
නුඹ ගිය මඟ අවසන් වුවද
නුඹ තැබූ සලකුණු අවසන් නොවේ ..
මන්ද
මිනිසෙකුගේ අවසානය
ඔහු නික්ම ගිය දවස නොව
ඔහු ගැන මතකයක් අවසන් වරට මැකී යන දවසයි ...
ඒ දවස ළඟා නොවන්නකි
එබැවින් සැමදා ඔබ අප අතරම සිටී ...
~ අයිස්මෝල හන්දියේ අතුලයා ~
No comments:
Post a Comment