කියවූ තරම්

Friday, May 1, 2026

සාමයයි සායමයි


ඇමරිකාවේ පීස් වෝක් එකක් ගියේය  
එය පීස්ම පීස්ෆුල්  පීස්ම පීස් වෝක් එකකි ...

අනෙක් උන්ගේ පීස් එක ගැන අබමල් රේණුවක් නොදන්නා 
ට්‍රම්ප් වෑන්ස් හෙග්සෙත් ඇතුළු වැඩිමනක් ඇමරිකන්කාරයන්ද
පීස්ෆුල් එකේ පීස් වෝක් එක දිහා හැබැහින් හෝ රූප පෙට්ටියෙන් බැලුවේය ...
 
පීස් වෝක් එකේ නොගිහින් 
පීස් වෝක් එක දිහා බලා සිටියත් ගත සිත පීස් වෙනවාය ...
එය නෙතටත් සිතටත් සුන්දර දසුනකි සැනසීමකි පීස් එකකි ...

ඇමරිකන් පීස් වෝකයෙන් හම්බානක වෝම් අප් වූ උන්වහන්සේළා
ඉන්දියන් සාගරෙ මුතු ඇටේටද පීස් වෝක් එකකට වැඩියාය ...

හැබැයි උන්වහන්සේලාගේ ඉර්දි බලයටවත් නොපෙනුනේ 
ඇටේ මුතු වූවත් එහි ඉන්නා ජීවීන්ගේ ඇට පට්ටමම පට්ටම පට්ට අමුතු බවය ...

මුතු ඇටේ අමුතු උන්ට පීස් ට්‍රිගර් වෙන්නේ පීස් ඕන් නැති වෙලාවටය 
ඒ කියන්නේ උන්ට පීස් අවශ්‍ය වෙලාවට පීස් අවශ්‍ය නැතිය ...
අනුන්ගේ පීස් එකත් උදුරාගෙන උන්ගේ පීස් ටික වැඩි කරගත්තොත් උන්ට ඇතිය ...

උන්ට සාමයද අවශ්‍ය නැත ඒ සාමය විකුනන් කන්ට බැරි නිසාය 
උන්ට අවශ්‍ය අනෙක් උන්ගේ සාමය ගියත් 
සාමයේ නාමයෙන් උන්ගේ සායමේ පාට වැඩිකර ගැනීමටය ...

ආරම්භයටත් පෙර සිට ආවසානය තෙක්
අපේ පීස් වෝක් එකේ නොතිබුනේම පීස් එකය ...

ඒත් ආලෝකාටත් දනගසා වඳින ආතල් පීස් ටිකක් ජීවමානවම පාර දෙපස වැඩ සිටියේය ...
ආලෝකා සුනඛයකු වුවද මක්කීවත් අනෙක් සුනඛයන්ට වඩා පින්කර ඇත ...

නැතිනම් බුද්ධ ප්‍රත්‍රයන් ගේ ඔඩොක්කුවෙ වාඩිවී 
ශ්‍රද්ධාවෙන් පිළියෙල කල දානය  ගිලන්පස පිරිකර හා නොමිලේම වෛද්‍ය ප්‍රතිකාර ලබමින් 
එරොප්ප්ලේන් එකේ ලෝකෙ වටේ රවුම් ගසන්ට ලැබෙන්නේ නැත ...

ආලෝකාට වඳින උන්ට ඇමරිකන් වීසා නැතිවාට 
ආලෝකාට ඇමරිකන්  වීසාද දන්නා තරමින් රෙසිඩන්සිද ඇත තව කාලෙකින් සිටිසන්ය 
ආලෝකාගේ පින එතරම්ය ...

හැබැයි ආලෝකාට දණ නමා වඳින අපේ ඇත්තන් 
අමාරුවෙන් මනුස්ස ආත්මයක් ලැබ සිටින්නේ පෙර කල පින් හේතුවෙන් තිස්තුන් කෝටියක් දෙවියන්ටත් උඩින් බව නොදනී 


මා එසේ කීවේ "සබ්බේදේවා අනුමෝදන්තූ" කියා දෙවියන්ට පින් දෙන්නෙත් මනුස්සයන් නිසාය ...

එතෙරින් වැඩි බුද්ධ පුත්‍රයන්ගේ පීස් එකද පීස් පීස් කරමින් 
අපේ එවුන් පීස් එක නිමා කරේය ...

ඔය ඉතිං අපේ එවුන්ගේ පීස් ඇන්ඩ් බුද්ධාගමය ...

උන්ට කල පුරවං ගොස් වට ගානක් කැරකි කැරකී බෝධිය නෑව්වාම ඇතිය ...
බෝධියේ කොඩි වැල් එල්ලා පඬුරු බැන්දාම උන්ගෙ පරම්පරාවටම ඉනෆ්ය 
අවුකන පිළිම වහන්සේට  සිවුරු ඇන්දුවාම උන්ට ආතල්ය ...
මහ සෑයට රෙදි පෙරෙව්වාම උන්ට නිවන් යා හැක 

ශ්‍රී මහබෝධියේ වැට රන් ආලේප කරාම හත්මුතු පරම්පරාවම ගොඩය ...

එහෙත් උන් නොදන්නවාට 
බුදුන් දෙසූ ධර්මය නං වෙරිම සිම්පල්ය

බුදුන් හැමෙකාටම දෙසූ එකම ධර්මය වූයේ ...

සිත 
කය 
වචනය 

ආරක්ෂා කරගෙන මේ මොහොතේ ජීවත් වීමටය ...

බොලා සැමටම පීස් එකක් වේවා  !!!

~ අයිස්මෝල හන්දියේ අතුලයා ~

Thursday, April 16, 2026

උතුර දකුණ

ක්‍රිකට් ගහලා බලලා කතා කරලා 
උතුර දකුණ අමතකවෙලා ඉන්න වෙලාවක …

උතුර දකුණ එකතු කරන කණට මී පැණි වගේ ප්‍රවෘත්තියක් ඇහෙනවා …

ගාල්ලෙ මහින්දයි යාපනේ හින්දුයි ...
එක පිටියක හමුවෙනවා …

අගෙයි අගෙයි … 
සැබෑටම අගෙයි …

“විජේසූරිය – සෝමසුන්දරම්”  
නාම දෙක අතරින් නව කතාවක් ලියවෙනවා 
එය සුන්දර ප්‍රේමණීය එකක් විය යුතුමය …

කොන් දෙකක් එකතු කරන එක ලේසි නෑ
විශේෂයෙන්ම රළු අතීතයක් තිබ්බ කොන් දෙකක්  එකතු කරන්න නම් 
මැදින් නවන්න වෙනවා …

ඒකට හරිදේට නැවෙන්න කැමති
මනුෂ්‍යත්වයට පමණක් නැවෙන 
සුන්දර හදවත් ඇති එවුනුත් සිටිය යුතුයි ...

නවන විට කැඩෙන් නැතිව හෙමින් හෙමින් නැවීමත් බොහෝම පරිස්සමෙන් කල යුතුයි ...

අමාරුවෙන් නවා එකතු කරගත්තත් පවත්වාගෙන යෑම එයිටත් වඩා අමාරුයි 
කොන් දෙක වෙන් කරන්න 
එකම එක කාළකණ්ණි පාහර දේශපාලකයෙක් විතරමයි අවශ්‍ය …

විශේෂයෙන්ම ආවේගකාරී තරුණ හදවත් වලට …

ඒත් …
මෙවන් සුන්දර සිතුවිල්ලක් උපදවපු එකම
ජයග්‍රහණයක් නොවේද …

එය සැබෑ කරගන්න වෙහෙසෙන සැමට බොක්කෙන්ම ප්‍රණාමය ...

🙏🙏🙏

1975 …

එදාත් මේ වගේම කතාවක් අපිට තිබුණා …

නවසිය හැත්තෑ පහේ  ජැෆ්නා කොලේජ් 
දාහතරෙන් පහළ ක්‍රිකට්  කණ්ඩායම යාපනේ සිට කෝච්චියෙන් ගාල්ලට …

මහින්දෙ 14න් පහළ නායකයා ලෙස මං ගියා 
ඒ මිතුරන් පිළිගන්න ගාලු ඉස්ටේසමට 
කුලසූරිය සර් සමග 
මේජර් සිල්වා සර්ගේ අනුදැනුම මත …

පහුවදා සුළු ලකුණු ගනනකින් තරඟයේ ජයග්‍රහණය මහින්දෙට …

එහෙත් ...
දවසේ සැබෑ ජයග්‍රහණය ලකුණු පුවරුවෙ නෙවෙයි තිබුණෙ …
ඒක තිබුණේ අපි හැම එකාගෙම හදවත්වල ❤️

කොන් දෙකක හිටි නිසා 
ඒ ඇත්තන් හිතුවෙ අපි අමුතුයි කියලා 
අපි හිතුවෙ ඒ ඇත්තන් අමුතුයි කියලා ...

කැඩිච්ච ඉංගිරිසියෙන් අදහස් හුවමාරු කරගන්නකොටයි වැටහුනෙ 
දෙකොනක හිටියත් අපි ඔක්කෝම 
එකම ලේ මස් නහර තියෙන එවුන් කියලා ....

ඇත්තටම අපේ එකම අමුතුවකට තිබුනෙ භාෂාව විතරමයි
ඒත් ඇහැක් හැටියට කැඩිච්ච ඉංගිරිසියෙන් එයත් අපි විසඳ ගත්තා ...
එයාල  එනකොට අපිට තල් හකුරුයි කොට්ට කිලංගුයි ගෙනත් තිබුනා ...
අපේ අම්මල තාත්තල එකතුවෙල එයාලට රුහුණේ මී කිරියි කිතුල් පැණියි කළු දොදොලුයි දුන්නා යාල්පානම් ගෙනියන්න ...

ගාලු කොටුව රූමස්සල උණවටුන වැල්ලෙ කෝවිල මාරකැට්ටුව සී බාත් එක 
එදා අපි හිනාවෙවී එකතු වෙලා
ගමන් ගියා තරඟයට පහුවදා …

දකුණෙ අපිව දාලා එවුන් ආපහු උතුරට යනකොට ...
හිච්චි එවුන් වුන අපි සමුගත්තෙ වැළඳගෙන වෙන්වන්න අකමැත්තෙන් වගේ 
එතරමටම අපි ළංවුනා දෙමාපියන්ද සමග
අදටත් ඒ මතක වියළෙන්නෙ නෑ ...

ක්‍රීඩාව කියන්නේ දිනන්න පරදින්න ගහන
එහෙම නැතිව අකුරු කෙටුව පිත්තල කෑල්ලක් ලී කෑල්ලක් බෙදාගන්න 
පමණක් සීමාවුන තරඟයක් විතරක් නෙමේ …

ඒක එකතරා විදියක ආගමක්  
සැම දෙනාම එකතු කරන සමඟි කරන 
ජය පැරදුම එකසේම පිළිගන්න
පිරිපුන් මිනිස්සුන් හදන මහා මෙවලමක් …

එබැවින් …
මෙවන් තරඟ අදට පමණක් නොව …

හෙටටත් අනිද්දාටත් ඉන් පසුවත් …
පරම්පරා ගණනාවකටම නොකඩවා යන
සම්ප්‍රදායක් විය යුතුමයි … 

කොයි මුල්ලක සිටියද අනාගත පරපුර එක්වී බේද නොමැතිව ඉදිරියට යායුතුය ...

නැවතත් ...
මෙම ප්‍රේම තරඟය සූදානම් කිරීමට කටයුතු කල බොලා සැමට 
හැට්ස් ඕෆ් මචංලා ... 

🙏🙏🙏

අවසන දෙසන්නේ එකම එක දෙයයි ...

මෙවන් තරඟ හදන්නෙ ක්‍රීඩකයන් විතරක් නෙවි

එකම රටක් එකම ජාතියක් ...

Thursday, March 12, 2026

🕊️ 🕊️ 🕊️ 🕊️ 🕊️ 🕊️ 🕊️ 

නවත්වපියව් 
යකුනේ මේ මිනිස් සංහාරය …

රතු ලේ ගඟක් මෙන් 
පොළොව මත ගලන විට 
ගිගුම් දෙයි අහස් තලයම මාපියන්ගේ විලාපයෙන් …

එක්වෙයි දූවිල්ලට 
කුරිරු යුද්ධය ගැන මෙලෝ හසරක් නොදත් 
ඒ දරුවන්ගේ අහිංසක සිනහවන්   …

මිහිදන් වෙයි 
තවමත් මෙලොව එළිය නොදුටු කලලයන් …

“ජයග්‍රහණය”

යන වචනයට කිසිම යුද්ධයක කෙසේවත් තැනක් නැත …

මක්නිසාද සෑම පැත්තකින්ම පරාජය වන්නේ මනුෂ්‍යත්වයයි …

ලෝකයක් ගොඩනගන්නට
වසර බිලියන හතරක් තිස්සේ අත් දුන් මිනිස් වරිගයාටම
එම ලෝකයම විනාශ කිරීමට කිසිසේත්ම අයිතියක් නැත …

මෝහයෙන් වියරුව විකල් වූ මනසින් නොව
නිවුන පැහැදිලි මනසින් පමණක් දකින ලෝකයක්
හෙට උපදින වරිගයාට ඉතිරි කරමු …

නවත්වපියව් යමපල්ලනේ
මේ උමතු යුද්ධය ...

🌍🕊️

~ අයිස්මෝල හන්දියේ අතුලයා ~

#StopWar #Humanity #Peace

Tuesday, February 24, 2026

සංඝ


සංඝයා නම් ...


ගල් පිළිම බදාගෙන
මායිම් බෙදාගෙන
පිං කැටය තුරුළු කරන්

බුදු වදන් බැහැර කර
අනෙකුන්ට වද දෙනා
කසාවත පමණක්ම ඇඳි
නාමයක් නොවේ …

එය …

සිත නිවූ නිහඬ ගමනකි
ශාස්තෘවරයාණන්ගේ 
ශ්‍රී මුඛයෙන් දේශනා කල
උතුම් සද්ධර්මය 
හදවතේ දරාගෙන
ලෝකය කෑගසද්දීත්
නිහඬවම
නිවන දිසාවට
පියවර තබනා
ආර්ය ජීවිත සංගමයකි ...

බියකරු සංසාරයේ
නිහඬවම නිවන සොයා යන
ආර්ය අඩි සලකුණකි …

සන්තකව ඇති 
සියල්ල අතහැර
මෝහය බිඳ
උතුම් නිර්වානය
සාක්ෂාත් කරගැනීමට 
අවිහිංසාවෙන් වෙහෙසෙනා
උත්තරීතර ජීවිත විප්ලවයකි ...

~ අයිස් මෝල් හන්දියේ අතුලයා ~

 

 

 

 

 

 

 

 

 

Monday, February 23, 2026

ඉගෙනුම

පාසැල් සිස්ටම් එකේ එදා හිට තියෙන්නෙ පන්තියෙ ඉස්සරහ පේලිවල ඉන්න එවුන් ගොඩ ගන්න ක්‍රමයක්  විතරමයි ...

මැද පේලිවල හිටි එවුන් හම්බානක මහන්සි උනොත් ගොඩ 
අනෙකුන් යුරෝපෙයි මැද පෙරදිගයි අහල පහල රටවලුයි නොතිබුනානං අනාතයි ...

අන්තිම පේලියෙ හිටිය සැට් එකට අම්මගෙ අප්පගෙ බූදලයක් 
එහෙමත් නැතිනං දෑතේ කරුමාන්තයක් නොතිබුනානං ඇඩ්‍රස් ඉල්ලේ  ...

අපේ පන්තිවලත් හිටිය මුළු ලංකාවම බබලවන ඒ වගේම ජාත්‍යන්තරයටත් ගිය 
පන්තියෙ මුල්ම පේළිවල හිටිය සැට් එකක් ...
සමහර සගයො තාමත් රටේ වගකිවයුතු තැන්වල වගකිවයුතු වැඩ කොටහක් කරනවා ... 

එවුන් ඉස්කෝලෙ ආවෙත් ක්ලීන් සූට් ගහගෙන සපත්තු හෙම කිරි ටොයියො වගේ පොලිෂ් කරල ...

ඒ කාලෙ එවුන්ම තමයි පංති නායකයො ශිෂ්‍ය නායකයො 
ඉස්කෝලෙ හැම වැඩකදිම පොලිෂ් වෙලා ඉස්සරහට යන්නෙත් ඒ සැට් එකමයි  
ත්‍යාග ප්‍රදානෝත්සවයෙ තෑගි ටික සුද්ද කරගන්නෙත් එවුන්මයි
එදාට පහළ ඉඳන් උන්ට හුරේ දාන්නෙ අපිම තමයි ...
හැබැයි ඉතිං එහෙමෙයි කියල එවුන් එක්ක අනෙක් එවුන්ගෙ කිසිම ඇරියස් එකක් තිබුනෙ නෑ  ...

අපි ගොඩාක් දේවල් එවුන්ගෙන් ඉගෙන ගත්තා 
ඇහැක් හැම වෙලාවකම ගුරුවරුන්ගෙන් ගුටි නොකන හැටියට එවුන් අපිව ආරක්ෂා කරා ...
එලෙසින්ම තවමත් අපි එක්කුස උපන් සහෝදරයො වගේ 
ආයෙ ඒකෙ කිසී වෙනසක් නෑ ...

මැද පේලිවල හිටි එවුන්ටත් ගුරුවරුන්ගෙන් පොඩි සැලකිල්ලක් තිබුනා හැබැයි අරිට වඩා අඩුයි 
එවුන් ඇහැක් හැටියට ෂේප් එකේ කල්ගෙව්වා ජීවිතෙත් සාමාන්‍ය හැටියට ජයගත්තා  ...

අන්තිම පේලිවල හිටිය එවුන්ටනං අබම සරණයි 
සමහර ගුරුවර ගුරුවරියො කතා කලේ හරියට එවුන් එයාලගෙ වෛරක්කාරයො වගේ ...
එවුන්ට ආමන්ත්‍රණය කරන්න සත්තු වත්තෙ නම් සැට් එකම පාවිච්චිකරා ...
සත්තුන්ගෙ අඩුපාඩුවක් උනහම  කාළකණ්ණියා  වලතුකොල්ලා ගල්මූසලය යන වචනත් එළිබැස්ස ...

ඒ විතරක් නෙවි එවුන් ඈනුමක් ඇරියත් ඇහිල්ලක් බැලිල්ලක් නැතිව උන්ට තඩිබෑවා  ...
උන් විෂයන් ඔක්කෝම කරේ එකම පොතක නැතිනම් පොත් දෙකක
ඒ එවුන් සන්තකේම තිබුනෙ එච්චර නිසා 
තීන්ත පෑන් ගන්න කාසි හිඟ එවුන් පාවිච්චි කලේ අතටවත් අහුවෙන් නැති පැන්සල් කොට ...
එවුන්ට ක්ලීන් සූට් තිබ්බෙ නෑ 
හැට්ට කටු ගහං පටි අමුන ගත්ත රබර් සෙරෙප්පු  කුට්ටම තමයි 
හැතැප්ම ගානක් ඉස්කෝලෙ එන පාරෙ තාර වලින් සිනිඳු යටිපතුල් නොපිච්චෙන්න තිබ්බ එකම පිහිට ...
ඒකටත් එවුන්ට තඩිබෑව
එවුන් ඈනුම් ඇරල පන්තිය ඇතුලෙ කලන්තෙ දාන්නෙ වේල්ගානක් බඩගින්නෙ හිටි නිසා කියල ගුරුවයො හෙව්වෙ නෑ ...

කමීසෙ පොඩිවෙලැයි කියලත් තඩිබෑවා 
ටීචර්ල දන්නෑ ඒ උඩ පැන පැන තඩිබෑවෙ දුප්පත් කමටයි කියලා ...

එවුන් පැලක් අටවගෙන හිටිය වත්තටම ඉස්තිරික්කයක් නෑ කියල දවසක් එකෙක් මට කිව්වා  ...
අපේ ගෙදර පොල්කටු අඟුරු ඉස්තිරික්කයක් තියෙයි කිව්වම ...
එදා ඉඳලා ඉස්කෝලෙ යන ගමන් එවුන් අපේ ගෙදර ආවා කමීසෙ මැදගන්න ...

එවුන් දුප්පත් උනත් මම ඒ ගෙවල් වල ගියා 
එනිසා ඒ අම්මල තාත්තල ජීවත් වෙන්න කරන සටන මයෙ දෑහින් හොඳටෝම දැක්කා
මුළු පවුලම බුදියගත්තෙ බිම මැටි ගෑ පොල් අතු හෙවිලි කරගත් 
අහසෙ තරුපේන හතරැස් කොටුවක  
වැහි රෑට උන් ඇහෑරල හිටියෙ ...

උන්ගෙ දුප්පත්කම නිසාම මං උන්ට ආදරය කලා 
ඒ කිව්වෙ අනෙක් උන්ට ආදරේ නෑ කියන එක නෙවි ...
මුන්ගෙ දුප්පත්කම අසරණකම දැකල මං ඒ පැත්තට වැඩිය බරවුනා එච්චරයි 
ඒ මාත් අසරණ නිසා ... 
උනුත් පවුල් පිටින්ම මට ආදරය කලා 
අදටත් ගියාම එහෙමමයි  ...

පන්තියෙ වෙච්චි හැම බඩ කඩුත්තුවකටම ගුටි කාපු උන් සැට් එක ...
පන්තියෙ අන්තිම පේලියෙනුත් හැලිල 
අන්තිමට කාටවත් නොදන්වාම ඉස්කෝලෙනුත් හැලුනා ...
එවුන් නොදකින කොට අපිට හරිම වේදනාවක් තිබුනේ 
හැබැයි එවුන් අතරෙ හොඳ දක්ෂයො හිටිය ...
ඒත් උන්ව තෝරල බේරල ගන්න සිස්ටම් එකක් අපිට තිබුනෙ නෑ
අන්න ඒ වගේ අය ගොඩ දාන්න ක්‍රමයක් අපිට අවශ්‍ය‍යි 
එහෙව් එකක් තාමත් අපිට තියෙද හැකයි ...

පහුකාලෙක සමහරක් එවුන් තමන්ගෙම මහන්සියෙන්ම දක්ෂතාවන් අනුව එක එක ක්ෂේත්‍රවල උඩටම ගියා ...
සමහර එවුන් හිරේ විලංගුවෙ වැටුනා 
තවත් සමහරු මත් රකුසට ගොදුරු උනා ...

දුප්පතකම විසින්ම එවුන් අතරමං කලාට
අදටත් මං ඒ හැම එකාටම ආදරෙයි 
ඒ උන්ගෙ බොක්ක හොඳ නිසා ...
අදටත් ගමේ ගියාම තාමත් මං එවුන්ව හොයනවා ...
ඒත් සමහර එවුන්ගෙ ආගිය තැන් දන්න එකෙක් අද ගමේම නෑ ...

මෙය කියවන නුඹලාත් 
අනිවාර්යෙන්ම මෙම ගොඩවල් තුනෙන් එකකට වැටුන පිංවන්තයින් යැයි සිතමි ...

පවතින ක්‍රමේට අනුව 
ඇති එවුන් නැති එවුන්ව පාගලා නැති බංගස්තාන කරලා ...
එවුන් අමාරුවෙන් පැලක් අටවගෙන ජීවත්වුන වතු මුඩුක්කු ඔක්කෝම යට කරගෙන 
අද මහා තප්පදෝරු බිල්ඩින් ඉලිප්පිල ඇවිත් ...

ගමත් අද හරියට අමුතුවෙලා  
එදා තිබිච්ච සොබා සෞන්දර්ය අද නෑ ...

හුඟක් එවුන් ඒකට කියන්නෙ දියුණුව කියලයි
එක පැත්තකින් දියුණු වෙච්චි කොන්ක්‍රීට් වනාන්තර අහස උසට දුටුවත් 
තවත් පැත්තකින් මිනිස් සිත් ඉරිසියාවෙන් තණ්හාවෙන් වෛරයෙන් පිරිලා ඉතිරිලා ...

ඉස්සර ගහක් යට ඈඳි වෙලා ඉන්නකොට 
ගස් අතරින් අපිට හැමදාම ඇහැ ගැටුන සුන්දර සන් රයිස් එක සන් සෙට් එක බලන්න ...

අද අර තප්පදෝරු බිල්ඩින් වල ස්කයි ඩෙක් එකට නගින්ටෝනැ
උන් ඒකටත් ගමේ එකාගෙන් සල්ලි ගන්නවා 
නැති නම් දකින්න ලැබෙන්නෙ තමන්ගෙම හෙවනැල්ල විතරමයි ...

හුඟාක් එවුන් හිතාන ඉන්නෙ දියුණුව කියන්නෙ රුපියල් සත කියලයි ...
ඒත් රුපියල් සත වලින් දියුණුව දකිනකොට හුඟාක් අය අමු තිරිසන් වෙනවා ...

ධර්මයෙන් පෙන්වන සැබෑ දියුණුව නම් 
ලෝභ ද්වේශ මෝහ වලින් මිදුන මිනිස් සිතේ දියුණුවයි  ...

මග හැරුණු අන්තිම පෙළේ අන්තිම එකාවත්
අත අල්ලලා ගොඩ දාන දවසට පමණමයි  
අපේ අධ්‍යාපනයෙ නියම දියුණුවක් දකින්ට ඇහැක් වෙන්නේ ... 

එය ඈතක නොවේවායිද 
එය දකිනතුරු මේ හුස්ම පොද වැටෙනු ඇතැයිද සිතමි ...

~ අයිස්මෝල හන්දියේ අතුලයා ~

Monday, January 19, 2026

පිරිවෙන

හිච්චි එවුන් කාලෙ ...
අපි හැදුන වැඩුන ගාල්ලෙ අයිස්මෝල හන්දියෙ 
ගෙදර දෙපැත්තෙම තිබුනෙ පිරිවෙන් ...

පිරිවෙන් දෙක මැද්දෙන් කඹබානෙ මුස්ලිම් පල්ලිය 
ඊට මීටර සීයක් විතර ගිහින් කෝච්චි පාරෙන් එගොඩ උනහම පෙන්තකොස්ත සභාව
ඊටත් ටිකක් එහායින් කන්ද මුදුනෙ කතෝලික පල්ලිය 
පල්ලියට අනෙක් පැත්තෙන් කන්‍යාරාමෙ
කන්‍යාරාමෙට තවත් මීටර පනහක් සීයක් විතර දුරින් කෝවිල් දෙක ...

ඉතිං මේ හැම ආගමික ස්ථානයකටම අපි ආවා ගියා
හැම ආගමික නායකයෙක්ගෙන්ම 
හොඳ නරක ඉගෙන ගත්තා  
හැබැයි වැඩියෙන්ම ලංවුනේ පිරිවෙනට ...

(පිරිවෙන = ලංකාවෙ බෞද්ධ භික්ෂූන්ගේ අධ්‍යාපනය සඳහා පවත්නා ආයතනයක්  ...
පාලි, සංස්කෘත, සිංහල, බෞද්ධ දර්ශනය භික්ෂු විනය වගේ විෂයයන් ඉගැන්වූ ප්‍රධාන බුද්ධිමය උරුමය රැකගත් මහා අධ්‍යාපන පද්ධතියක්)

ගෙදරට දකුණු පැත්තෙ ටිකක් ඉස්සරහින්  ශ්‍රී පුඤ්ඤසාර පිරිවෙන
වම් පැත්තෙන් විද්‍යාලෝක පිරිවෙන
ගෙදර ඉඳලා මේ දෙකටම තිබුනෙ මීටර සීයක් දෙසීයක් විතර දුර ...

ඒ කාලෙ හුඟක් දරුවො ඉස්කෝලෙ යන ගමන් පිරිවෙනටත් ගියා 
ගමේ දහම් පාසැල්වල ඉගෙන්නුවෙත් පිරිවෙනේම ඉගෙන ගන්න අයියල අක්කලයි 
පිරිවෙනේම උගන්වන හා ඉගෙන ගන්නා ස්වාමීන් වහන්සේලායි තමයි  ...

නොමේරූ කාලෙ අපිත් නරුමයො තමයි 
හිච්චි වයසට කරතෑකි හැම කඩප්පුලි වැඩක්ම කරා ...
හැබැයි හිත් ගැඹුරෙ පිරිවෙන් ඉගැන්වීම් පැළපදියම් වෙල තිබිල 
වයසින් මුහුකුරා යනකොට මග වැරදිච්ච වෙලාවට 
ඒවා උඩට මතුවෙනවා අපිටම මාර්ගය හදාගන්න 
එතනයි වෙනස ...

මට මේ ගැන කොටන්න හිතුනෙ මේං මේ නිසා  ...
~~~~~

අම්මපා බං පහුගිය ජෙන් ගනනාවකම 
වැඩිමනක් තරුණ පරපුර කරන කියන මනස්ගාත දැක්කහමයි
මහ එවුන් කරන පිස්සුයි දැක්කම
රටේ අධ්‍යාපනය කොච්චරට පිරිහිලාද කියල හිතා ගතෑකිනෙ …

හරි ඒක එහෙමයි කියල ඩිංගිත්තකට පැත්තට කරමුකෝ  ...

දැං වැඩේ කියන්නෙ බං ...
ඔය ගිරිය පුප්පං පිඹින වැඩිමනක් සඟ පරපුර කරන කියන මනස්ගාත දැක්කහම
බොලැයි දෑහට පැහැදිලිවම පේන්නෙ පිරිවෙන් අධ්‍යාපනේ පිරිහීමක් නෙවිද  බං ???

මට නං පේන්නෙ එහෙමයි ...

ඕං දැන් බලහං ...
වැඩිමනක් අපේ ඇත්තන් අති උතුම් කෝටියක් සංවර සීලය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වැළඳ ගෙන 
කරදණ්ඩ ටිකක් ලොකු මහත් වෙනකොට ඔවුන් විසින්ම ඒ  සීලයෙන් නිර්වස්ත්‍ර වෙලා
ප්‍රඥාවෙන් කරකුට්ටං වෙන්නම හිත වේලගෙන
විනයෙන් නැති බංගස්ථාන වෙලා 
පැවිද්ද බිමටම වට්ටලා …

ඔවුන් විසින්ම ප්‍රඥාව භාෂාවේ ශබ්දයකට විතරක්ම හිරකරගෙන
පැවිද්ද කහ වස්ත්‍රයකට පමණක්ම සීමා කරගෙන  …
ධර්මය පොත් පිටුවකට පමණක්ම වෙන්කරලා ...

ධර්මය වෙනුවට ආගම පෙරට  ඈඳගෙන 
ආගමත් පැවිද්දත් දිවියකට වඩා රැකියාවක් බිස්නස් එකක් කරගෙන …
කහවනු පොදි බර වුණාට හිත් පොජ්ජ හිස් කරගෙන ...

ඒ අති උතුම්ම ධර්මය මනාව ඉගෙන ගෙන 
සංසාරය කියන ගංගාව තරණය කරන්ට අවශ්‍ය ශක්තිමත් පාරුවක් කර නොගෙන 
ඒ අති උතුම් දර්ශනය පිළිපදින්න කැපනොවී වෙළඳ භාණ්ඩයක් කරගෙන ...

මොන මහා විගඩමක්ද බං මේ නටන්නෙ ???

ඇයි බං ගඟ හරහා එතෙර වෙන්න තියෙන ඔරුව ...
උස්සගෙන හිස මත තියාන යන කොට
මිනිස්සු ඒ ගඟේම ගිලිල මැරෙනවනෙ බං 
ඒක ඉතිං ආයෙ අහන්න කියන්න දෙයක්යැ …

ප්‍රවජ්ජාව මුල් කරගෙන බැස්ස සැට් එක සංසාරේ නව නාම වලින් තවත් වට ගානක්ම කැරකෙයි වගේ ...

හා නැද්ද මං අහන්නෙ ???

අන්ධයන්ට අන්ධයන්ම පාර පෙන්නනකොට
වළට වැටෙන්නෙ එකෙක් නෙවෙයි බං 
පරම්පරා හැට හුට හමාරක්ම  ...

ඒත් අපියි කියල දොස් කියන්නෙ කාටද බං ...

පහනුත් තියෙනං 
තෙලුත් තියෙනං 
තිරත් තියෙනං ...

සැඩ සුළඟකටවත් නොනිවී ආලෝකය දෙන්න නොදන්නවානං අපි මක් කොරන්නද බං ...

හැබැයි ඉතිං දෝෂය ඇත්තෙ තරුණ සිත්වලමත් නෙවි බං …

මයෙ ගොන් මොළේට අහුවෙන හැටියටනං දෝෂය ඇත්තේ ...

දල්වන්න අසූහාර දාහක් පහන් තිබුණත් ...
ඒ පහන් වලට පිළියෙල කල තෙල් ටිකත් 
පහන් තිරත් දාන්න අමතක කළ හැම එකාගෙම අතේ  …

අනේ මන්දා බං
අඳුරෙම ඉඳගෙන
අඳුරටම පිරිත් කිය කිය
කවදා අඳුරෙන් ගැලවෙයිද බං අපි  ...

~ අයිස්මෝල හන්දියේ අතුලයා ~

Tuesday, January 6, 2026

හිච්චි අයියා

ගිනියම් වූ තාර පාරෙ
ඕර්සියර් ලොකු සමරේ ...

ගස් සෙවනෙයි බංකු උඩයි 
හරිත පොළොවෙ පහස සැපයි
හැම එකාම ගොඩ ගන්නට
දීපු සටන දැනට නිමයි ...

උන් හිටි තැන් 
ආ ගිය තැන් 
අපටම වෙන්වූ රහසක් ...
දුක සැප සිනහව කඳුළද 
නැත දන්නේ වෙන කිසිවක් 

අයිස් මෝළ හන්දිය ළඟ
පේදිකුඹුර මිහිඳුව තුළ 
පුඤ්ඤසාරෙ දහම් පියස
සංඝරාමෙ  රෑ පාසැල
කොම්පඤ්ඤවීදියෙ හන්දිය
පීරිස් රෝඩ් ජුබිළි කණුව 
පිටකෝට්ටෙ වලේ ගෙදර 
වත්තෙගෙදර කැළණිමුල්ල ...

දූපත්වල කල්පිටියේ
බල කරවල වාඩි ඇතුලෙ
ඇළේ දොලේ වැවේ ගඟේ
සී බාත් නං ගාලු කොටුවෙ

පොළොන්නරුවෙ අනුරපුරේ
මඩුපල්ලියෙ කොච්චිකඩේ
කඳසුරිඳුගෙ කතරගමේ
ජමි අල්ෆර් කොළඹ කොටුවෙ

සුගතදාසෙ ප්‍රේමදාසෙ
සීටීබී ශාලිකාවෙ
කටුකුරුන්දෙ ෆෝමියුලා
ගෙදර ආවෙ වෙරි හිඳිලා ...

ලුම්බිණියෙයි ටවර් එකෙයි
රියෝ එකෙයි සැවෝයි එකෙයි
බුහාරියෙයි තෝසෙ කඩෙයි
ෆලූඩ බිව් නානා කඩෙයි ...

කරවට අත දමායන්න 
නුඹ මිස වෙන කවුරු එයිද ...

ගාලු සමාජය සරසන්ස් 
ටැමිල්ස් සිංහලීස් මුවර්ස්
බීආර්සි කෝල්ට්ස් නොමැඩ්ස්
එයා ෆෝස් ආමි ග්‍රවුන්ඩ්ස් 
හැව්ලොක් පාර්ක් පොලිස් ග්‍රවුන්ඩ්ස්
බ්ලූම්ෆීල්ඩ් රීඩ් ඇවනිවු
අස්ගිරියෙයි ඇතුගල්පුරෙයි
ඩී සොයිසා මොරටුවෙනං ...

ගියවිට  අදටත් නැගෙන්නේ 
ඒ සුන්දර වූ මතකයි ...

සිය මිතුරන් පුරවාගෙන
පිටිය කොනේ රාගෙ දාන
සදර්න් ගාමිණී රන්තරු
ගෝල් යූත් හා සමගිද 
වොලි බෝලය පාපන්දුව
බැට් එක බෝලෙද අතැතිව
කුඹුරෙ කෙතේ පොල් වත්තේ
කුණු වත්තේ ග්‍රවුන්ඩ් එකේ
රෑම් පාට්ස් ගාලු කොටුවෙ ...
ගෝල් ග්‍රවුන්ඩ්ස් එස්එස්සී  
ඕවල් ඇන්ඩ් ඇන්සීසී 
මෙකී නොකී හැම පිටියක
උඹෙ ඉස්පින් වැඩ කෙරුවොත් 
හැන්දෑවට අපි යයි ගොඩ ...

පාටියකදි කෑ බිව් විට
අනෙක් එවුන් හෙලවෙනවිට
උඹේම නැටුමක් උඹහට 
තිබුනා මතකයි ...

මෙත්තා  මුදිතා කරුණා
ඔවදන් තරවටු ආදර
සාදය මංගල පාටිය 
මරණය බණ සහ දානය 
පල්ලිය පන්සල පිංකම
දන්සල සහ වෙසක් තොරණ ...
අපි ආ ගිය හැම තැන්වල 
හිස් වී ඇත ඔබ නැති තැන ...

හිනාව විහිළුව පුරවන
නුඹ සිටිනා තැන හිස් නැත ...

සංසාරේ කවදා හෝ
අපි ආයෙත් හමුවුනවිට
සුපුරුදු උණුහුම පිරිච්චි
සුපුරුදු ලෙන්ගතු කමකින් 
අනෙ ආයෙත් වැළඳගනින් 
මේ මාවම ...

ආං එදාට උඹට කියතෑකි නං ...

“බච් ... මං මේ උඹේ හිච්චි අයියා කියලා" 
මං එන්නං ආයෙත් උඹෙ අතේ එල්ලිලා ...

නිවන් දක්නා ජාති දක්වා ...

~ අයිස්මෝල හන්දියේ අතුලයා ~

Thursday, January 1, 2026

අනේ මන්දා ...

අනේ මන්දා …  

හැමෝටම පන්සිල් දෙන ඇත්තන්ටත් පන්සිල් දෙන්න කෙනෙක් නැති හැටි දැක්කම අපි මක්කා කරන්නද හිතෙනවා …  

අන් අයගේ සිත් සනසන්න දහස් වාර ගිලිහුණු අත් අල්ලලා තමාගේම සිත නිහඬව පන්සිල් ඉල්ලද්දී  

ඒ හඬ අහන්න කෙනෙක්වත් නැති ලෝකෙක 

ඇත්තටමද සිවුරත් බරක් වගේ දැනෙනවා ඇති …  

ඒත් ... 

එහෙම හිතෙන එකත් පව් නොවෙයි කියලා හිතට පන්සිල් දීලා මේ කාම ලෝකෙ තුන් දොර පිනවමින් 

තවත් දවසක් ජීවත් වෙන්න ඔවුන් උත්සාහ කරනවාත් ඇති …  

ඒ උත්සාහය අතරේ නමස්කාරයක්වත් නැති හිතාගත් පන්සිලක් කඳුළු තුලින්ම ඔවුන් තමන්ටම දීගෙන 

නිහඬව බුදුන් වෙත සිත් නමාගෙන ඉන්නවාත් ඇති … 

නිමක් තියේවිද  සංසාරේ ...  

සියළු සත්වයෝ  නිදුක් වෙත්වා  

නීරෝගී වෙත්වා  

සුවපත් වෙත්වා  

සත්‍යම අවබෝධ වී 

මෙදුකින් මිදෙත්වා  !!! 

 🙏🙏🙏

Saturday, June 15, 2024

කපිතාන්

 

 
ඇත්තටම බං ඔය කැප්ටන්සිය කියන්නෙ මොකක්ද බං ...
 
අපි ඉතිං ඔය රූප පෙට්ටියෙ කෑගහන ක්‍රිකට් ඔස්තාර්ල වගේ හෙන හෙන එක්ස්පර්ට්ල නොවුනත්

හෙනම හෙන ගොං මැටි මෝල්ලුත් නෙවිනෙ බං ...
ඉතිං ඕං ඔහෙ නිකං ඉන්නේ එකේ ටිකක් හිතල බලමුද ඒ ගැන අපිට තේරෙන හැටියට ...

මං අහල කියවල තේරුම් අරන් තියෙන හැටියට නං කැප්ටන්සිය කියන්නේ ...
ඉතාමත් කුතුහලය දනවන  අභියෝගාත්මක වගකීම් සහගත එහෙත් ඉතාමත් උද්යෝගිමත්ව කරගෙන යායුතු  ගෞරවනීය චාරිකාවකි
Yes its a journey ...
නැතිනම් ඇන ගැනීම පස්වාන් දහසකට සිකුරුය ...

මේ සියල්ලක්ම මැද නායකයකු කිසිවෙකුටවත් අහංකාර නොවී සැමට ඉතාමත් නිරහංකාරව නිහතමානීව සිටීම වැදගත් විය යුතුය ...

Down to earth but still above all ...

පුස් නැති නියම නායකයෙක්ට අවශ්‍ය ප්‍රධානම සහ මූලිකම සුදුසුකම තමයි හොඳ ස්ට්‍රෝන්ග් කැරට්ටුව ...

තම සගයන් කණ්ඩායමේ ආචාර ධර්ම වලට අනුකූලව ක්‍රියා කරන්නේ නම්
කෑල්ලෙන් කෑල්ල ගියත් මුළු කණ්ඩායමේම එකිනෙකාට ඇති අන්නෝන්‍ය අවබෝධය විශ්වාසය හා ගෞරවය ශක්තිමත් කරගනිමින් ඉදරියට යෑම නායකයෙකුට ඉතා වැදගත්ය  ...
එවන් කණ්ඩායමක් වැට්ටීම පහසු නැත ..

අනිවාර්යෙන්ම නායකයෙක් එක පැත්තකින් සමබර විය යුතු වන ගමන්ම අනෙක් පැත්තෙන්
අවශ්‍ය අවස්ථාවල ඇඟට පතට නොදැනී කූල් එකේ නිර්දය (Ruthless) තීරන ගන්නා සූක්ෂම උපාය මාර්ගිකයෙක්ද විය යුතුය ...

අනෙක් අතට ඔහු තම සගයන්ට හොඳම මිතුරා වන ගමන්ම ඔවුනගේ උපදේශකයෙකු හා මනෝ විද්‍යාඥයෙකු ලෙස කටයුතු කිරීමද ඇහැක් නම් යෙහෙකිය ...

(මෙය වැදගත් වන්නේ තම කණ්ඩායමේ සගයන්ගේ විවිධ අවස්ථාවන්හිදී ඔන් ඇන්ඩ් ඕෆ් ෆීල්ඩ් උඩ පහළ යන විවිධ මානසික තත්වයන් හඳුනාගෙන අවශ්‍ය උපදෙස් ලබාදීම නායකයෙකු වශයෙන් සුවිශේෂ වගකීමක් ඇති නිසාය)

මේ සියල්ල හඳුනාගත් නායකයා තම කණ්ඩායම මෝටිවේට් කරනා මෝටිවේටර් කෙනෙකුද විය යුතුය ...

(A faithful " People's Person" who is in touch with the human frailties and moods of his players)

මස්තිෂ්කය උඩ වාඩිවී සිටිනා නිළධාරීන් ඇති ආයතනයකින් නායකයාට බලපෑම් ඇති විය හැකි වුවද ...
ඒ මැටි මෝලන්ගේ බලපෑම් වලින් ඇතිවන ආතතියන් පාලනය කරගනිමින් ජයග්‍රහණයේ ඉලක්කය කරා යෑමට බොහෝ විට දුෂ්කර  වූවද ...
මිනිසකු ලෙසින් හා නායකයෙක්  ලෙසින් ඔහුගේ භූමිකාවන් සහ වගකීම් හරියාකාරව සිතා බලා තම සිතට අවංකව ක්‍රියාකල යුතුය ...
කිසි විටෙකවත් නායකයා තමන් පත්කළ  එවුනගේ රූකඩයක් නොවිය යුතුය ...

මන්ද ඔහු එකොළොස් දෙනෙකු පමණක් මැද්දට රැගෙන ගොස් ක්‍රිඩා කළද ...
ඔහු නියෝජනය කරන පිරිස මිලියන  ගනනකටත් වඩා වැඩිවිය හැකි නිසාය ...

කොටින්ම කියුවොත් නායකයා තම රටෙත් රසිකයන්ගෙත් ජනතාවගෙත් ගෞරවය ආරක්ෂා කරගනිමින්
එය තවත් ඉදිරියට ගෙනියන රාජ්‍ය තාන්ත්‍රිකයෙකි ...

~~~~
නායකයෙකුට ආදර්ශයෙන් නායකත්වය දීමට හැකියාව තිබිය යුතුවන අතර එමඟින් තම ක්‍රීඩකයන්ගේ ගෞරවය හා විශ්වාසය දිනා ගත යුතුය ...

Trust and Respect
Respect and Trust

තම කණ්ඩායමේ සෑම සාමාජිකයෙකුටම
ඔවුන්ගේ උපරිමයෙන් දස්කම් දැක්වීමට පෙළඹවීමට හැකි වන්නේ කුමක් දැයි ඔහු දැන සිටිය යුතුය ..
මෙය ක්ෂේත්‍ර නිපුනතාවයන් මත ප්‍රායෝගික බවට පරිවර්තනය කලයුතුය ...
(තම පන්දු රකින්නන් ස්ථානගත  කිරීම පිතිකරණ ලැයිස්තුව පන්දු යවන පිළිලෙවල මේ සියල්ලක්ම පන්දුවෙන් පන්දුව වෙනස්විය හැක ...
එනිසා මේ අවස්ථාවන් හඳුනා ගෙන ජයග්‍රහණය කරා තම කණ්ඩායම මෙහයවීමට අවශ්‍ය සූක්ෂම දැනුමක් ඔහුට තිබිය යුතුමය)

ප්‍රහාර එල්ල (Attack) කළ යුත්තේ කුමන අවස්ථාවකද සහ
ආරක්ෂා සහිතව (Defend) ක්‍රීඩා කළ යුත්තේ කුමන අවස්ථාවකද යන්න ඔහු හොඳින් ක්ෂණිකව අධ්‍යයනය කල යුතුය ...
පිතිකරුගේ දුර්වලතා හඳුනාගෙන ඒවා ප්‍රයෝජනයට ගැනීමට ඔහුට හැකි විය යුතු අතර
පිතිකරුගේ පිතිකරණය මත පන්දු රකින්නන් ස්ථාන ගත කිරීමේ සම්පූර්ණ පාලනය හා දැනුම ඔහුට තිබිය යුතුය ...

නිවැරැදි තීරණ ගැනීමට සහ නිසි ප්‍රතිචාර දැක්වීමට හැකි වන පරිදි නායකයා ක්‍රිකට් ක්‍රීඩාවේ සියලුම නීති දැන සිටිය යුතුමය ...

නායකයාට තම ක්‍රීඩකයින් සෑම විටම නිවැරදි මාවතේ සිටිනා බවට වග බලා ගැනීම සඳහා
සමහර අවස්ථාවන්වල කසය අතට ගැනීමට වුවද සිදු විය හැක ...

තම ප්‍රතිවාදීන්ට මොහොතක හෝ විවේකයක් ලබා නොදී තරගය නිමා කිරීමට නායකයාට මරුමුස් (Killer instinct) සහ බුද්ධියක් තිබිය යුතුය ...

එමෙන්ම නායකයා හොඳ පරිපාලකයෙකුද විය යුතුය ...
ක්‍රීඩකයින් හා ඔවුන්ගේ යහපැවැත්ම හොඳින් රැකබලා ගැනීම
තරඟ දිනවලදී කඩුල්ල නිවැදි ලෙස තක්සේරු කිරීම
කණ්ඩායම දිරිමත් කරමින් පිතිකරණ අනුපිළිවෙල සකස් කිරීම සහ ඔහුගේ මූලික අදහස් සහ උපාය මාර්ගයන් කණ්ඩායමේ සගයන්ට එකසේ තේරුම් යන ලෙස  සන්නිවේදනය කිරීමේ හැකියාවද තිබිය යුතුය ...

ඔය ඉතිං මයෙ හිතට එන ඒවා ...
බොලාත් දන්න දෙයක් තියෙනං යටින් කොටහල්ලා
හැබැයි ඉතිං පුද්ගලිකව එකෙක් කෙනාට මඩ ගහන්න නං මෙතන පාවිච්චි එපා බොලල්ලා ...
මෙය හුදෙක්ම දන්නා නොදන්නා අපි අපි දැනුවත්වීම සඳහාම පමණි ...

වැරදි ඇතොත් සමාවෙයල්ලා මොකද අපි වැඩි යමක් දන්න එවුන් නෙවිනේ ...

Monday, June 10, 2024

පුංචි බොරැල්ල



අසූ දෙකේ මුල 
මම නැවතිල හිටියෙ පුංචි බොරුල්ලෙ බෞද්ධ මධ්‍යස්ථානෙ ...
පුංචි බොරුල්ලෙ බෝගහ හන්දියෙ මාතර කඩේ ලඟ තිබුන පුංචි ගුරු පාරෙන් තමයි ඕකට යන්නෙ
අපිත් එක්ක ක්‍රිකට් ගහපු ප්‍රීතියගෙ විමලධර්ම බ්‍රදර්ස් ඔරලෝසු කඩෙත්
ඒ අහලමයි ...
බෞද්ධ මධ්‍යස්ථානයට ඇතුළුවෙල දකුණු අත පැත්තෙ තිබුන දිය සෙවෙල බේරුන පාට බිල්ඩිමේ දෙවෙනි තට්ටුවෙ කෙලවරේ කාමරේ අපි
නරකත් නෑ දිය බේරුන සෙවලෙත් ලස්සන රටා තියෙනව බං ...
දැන් ඔය ගොඩනැගිලි තියෙනවද දන්නෙත් නෑ
දේශපාළකයො එකතුවෙල රට කොයික වෙතත්
ඝණයන්ව අන්දල පන්සල්ම සංවර්ධනය කරල නිසා ...

මුළු ගාල්ලටම එහෙමත් නැතිනම් මුළු සිරිලකටම මිණි පහනක් වූ තිළෝක සුන්දරී කාරියවසම් මාතාවගෙ ගෙදර තිබුනෙ
අපි හිටිය ගොඩනැගිල්ල ඉදිරිපිට ගුරුපාරෙන් අනෙක්‍ පැත්තෙ ...

අපිටත් ඉතිං හරී ආඩම්බරයි ඒ ගෙදර ලඟ ඉන්‍නව කියන්නත්
ඒ පහනෙ එළිය අපිටත් වැටුන කාලයක් මගෙ අක්කලගෙ මාර්ගයෙන් ...
මයෙ අක්කල දෙන්නා ඉගෙන ගත්තෙ මිණි පහන විදුහල්පතිනිය වෙල හිටියෙ ගාල්ලෙ ඝංමිත්තෙ ...
ගෙදර ඉස්තෝප්පුවෙ එතුමිය හිටියොත් සිරස නවල හිනාවක් දාල සංඤක ළයන්න වගේ ඇඹරිල තමයි
අපි බෞද්ධ මධ්‍යස්ථානෙට යන්නෙ ...

කාරියවසම් මාතාවටත් වඩා අපෙ උන්ගෙ ඇහැ ගියෙ මිණි පහනගෙ දෝණිට ...
මොකද ඒකිත් ඇහැට කනට පේන එකී ...
උඩ තට්ටුවෙ අපේ‍ පැත්‍තට පේ‍න කෙලවරේම කාමරේ තමයි දෝණි හිටියෙ

හා ... හා ... ඒ ගැන දැං ඇති ...

අපේ උන් මනෝමෙන් රටා මැවූ කාලෙනෙ ඒ දැරිවි දන්නෙත් නැතිව ඇති ඕවා ...
අපෙ සුම්මට (උපුල් සුමතිපාල) බෞද්ධ මධ්‍යස්ථානෙ පුංචි කාමරයක් තිබුන මීටර හතරයි හතරෙ ...
ඒකෙත් බාගයක් විතර අයිතිකාරයගෙ ලට්ට ලොට්ට පුරවල අපිට තිබුනෙ පුංචි තීරුවක් ...
කුලිය රැපියල් හතලිහයි මාසෙට
එකා රුපියල් දහය ගානෙ දාල අපි හතරක් ඕකෙ ලගේ
ඒ කියන්නෙ එකාට වර්‍ග මීටරයයි ...
අපි කොහොමටත් මීටරේ හොඳම එකනෙ ...
මගේ මිත්‍රයන් වන විජේ (සරත් විජේරත්න ), පිට්ට (ගජබා පිටිගල) සහ මගේම හිච්චි අයිය ඒජේ
හිච්චි අයිය හිටියෙ ඉඳල හිටල වැඩ කරන ෂිෆ්ට් එක අනුව ...
එතකොට අයිය පියෝ බෙවරේජර්ස් මම බ්‍රවුන්ස්
විජේ මොබයිල් මැරීන් පිට්ට ටුබැකෝ ...
හැබැයි ඉතිං අපි වැඩ කල කොම්පැණිවල සුද්දගෙ නම් තිබ්බට පඩිය පිච්චියයි
රස්සාවක් තියෙයි කියන්න නං හොඳයි ...

හැබැයි ඩෙසිග්නේෂන් ජූනියර් එක්සෙකටිව් කාටද ආඩම්බර නේහ් ...
ඕනෙ තැනක ගිහිල්ල කියන්න පුළුවන් කටක් ඇරල එක්සෙකටිව් කෑල්ලක් තියෙන නිසා ...

පඩි පත මාසෙ අන්තිමට අතට ආවම එක්සකටිව් කෑල්ල උරල  සූප්පු කරන එක තමයි අපි කරන්නෙ
ඇයි බං වෙන මක්කරන්නෙයි ...
වැරදිලාවත් ඇහැට කනට පේන කෑල්ලක් අපි දිහා හැරිල බැලුවත් ...
ඇහැක් ගහල හන්දියෙ කඩෙන් කස ඇට දාපු අයිස් සරුවත් එකක් වත් ඔෆර් කරන්න සත පනහක් රුපියලක්වත් සාක්කුවෙ තිබ්බෙ නෑ බං
මයෙ අම්මාපල් ...
ඒ නිසා අපි උන් දිහා බැලුවෙත් නෑ බං උන් බැලුවත්
ඕං ඒකාලෙ එක්සෙකටිව්ලගෙ රඟේ ...
අසහනේ උපරිමේ ඒත් අපි උපරිම සැනසුමේ ...
මක්කරන්නද බං කොටින්ම කියුවොත් සීසන් ටිකට් එක නැති තැන්වලට යන්නෙ පයින්‍ ...
ඒ මාසෙ අන්‍තිමට පඩි පත පන අදින කොට ...
ඇයි බං බස් ටිකට් එක ගන්න කාසි නෑ
ඒ කාලෙට පුහුණුවීම් වලට පුංචි බොරුල්ලෙ ඉඳල වනාතෙටම
බෑග් එකත් උස්සන් පයින් ...

බෞද්ධ මධ්‍යස්ථානෙ අපි හිටිය ගොඩනැගිල්ලට
අනෙක් ගොඩනැගිල්ලෙ බිම් මහලෙ කන්ඩම්බි අයියගෙ අයියගෙ කාමරෙ ...
Harithalal Sirikumara Kandamby
ඒක නං ඕං ෆුල් ලක්ෂරි 
කාමරේ ලොකුයි ඩබල් බෙඩ් සමග ලියන මේසයක් ...
රේඩියෝව සහ රෑප පෙට්ටිය ස්ටීරියො ඩොල්බි ටූ වේ ඔටෝ රීවයින්ඩ් ඩබල් කැසට්‍ ප්ලෙයර්
හොට් ප්ලේට් හීටර් මොස්කිටෝ නෙට් ඇටෑච් බාත් ...
ඒ කියුවෙ කාමරේටම අල්ලල එලියෙ පොඩි වතුර ටැංකියක් එයාලටම වෙන් කරල
ඉබ්බෙක් සමග දොරකුත් දාල  ...
නැතිනං බං පුංචි බොරුල්ලම ඇවිල්ල ඕකෙන් නාල යයි ...
කණ්ඩම්බි අයියගෙ අනුකම්‍පාවෙන් අපිටත් පඩිපෙල බැහැල ගියාම ඇටෑච් බාත් ...
නැතිනම් කෝකටත් තෙෙලය නාන නොනාන දෙකටම පොදු පයිප්පෙ
බල්ලො කාක්කො සහ උනහපුලළුවො නාන්නෙත් ඒකෙ ...
බෞද්ධ මධ්‍යස්ථානෙ ප්‍රධාන ගොඩනැගිල්ල අපි හිටිය ගොඩනැගිල්ලට අනෙක් පැත්තෙ ...
 
ඒක පිටිපස්ස තමයි ඔය කාමර සියල්ලටම තිබුන වැසිකිලි පේලිය
පේමන්ට් කඩ පේලිය වගෙ එකට එක අල්ලල ...
ඒ කියන්නෙ කාමරේ පුංචි බොරැල්ලෙ
වැසිකිලිය බොරැල්ලෙ ...

හැම කාමරයකටම නොම්මරයක් දාල වැසිලියක් වෙන් කරල දොරට පුංචි ඉබ්බෙකුත් දාල
ඉබ්බට ඇහැට පේන නොපෙනෙන යතුරක් දෙනව ...
අවශ්‍යතාවය ආවම යතුරත් අරගෙන පනිට්ටුවෙ වතුර එකක් පුරවගෙන
වැසිකිලියට යන්‍න බස් එකේ ටිකට් එකක් ගන්නෝන ...

සමහර වෙලාවට යතුර අමතකවෙලා පඩිපෙල නැගගෙන කාමරේට ඇවිත් යතුර අරගෙන ආපසු දුවපු වාරත් එමටයි ...

සයිවර් කාල මහ රෑක හදිසියක්‍ උනොත්
ලයිටුත් නැතිව කට්ට කළුවරේ ඉබ්බගෙ හිලත් හොයපංකො යතුර දාන්න ...
ඔය දාන වෙලාවට ඇටිකිච්චෙක් වගෙ යතුර බිම වැටෙන වාරත් එමටයි
යතුරෙත් හරි පැත්‍තක් වැරදි පැත්තක් තියෙනවනෙ බං ...
ඇයි බං අනෙක ලාබ ඉබ්බොනෙ ඕවට දාන්නෙත් ...

පොඩ්ඩක් ඇස්‍ දෙක වහගෙන හිතපං මම කියුවට නිකං සීන් එක මොන වගේ ද කියල ...
හිරිගඩු පිපිල ඇඟ සීතල වෙල හිරිවැටෙනව නේ ...
හදිසියෙවත් එකෙකුට රෑට නැගිටල එලි පෙහෙළියට යන්න උනොත්
හතරදෙනාම නැගිටින්න ඕන පැක් කරල තියෙන විදියට ...
එහෙම නැත්නම් කාමරේ දොර අරින්න බෑ
දෙන්නෙක් දිගට එකෙක් හරහට අනෙකා දනිස් නවාගෙන තුන්මුලස් ඒතරමටම හිච්චියි
තුන් මුලස් එකා උදේ නැගිටල ටික වෙලාවක් ඇවිදින්නෙත් තුන්මුලස්
දනිස් දිග අරින්න බෑ...

සමහර රෑට ලඟ ඉන්න එකාගෙන් ෆුට් බෝල් පාරවලුත් කනව ලයින් මැච් යනකොට
රෑට හන්දියෙම තිබුන බත් කඩෙන් එක කටට ගල් තුන අනුපාතෙන්
නිවුුඩු හාලෙ බත් බාගයක් අරන් රෑට කාල රෙද්‍දක් බිම එලාන බුදියනව
ඒක කනවට වෙනම ගානක් අපි කඩෙන් අය කරන්නෝනෙ
ඇයි බං කාබ්ස් විටමින් මිනරල් විතරක් පාෂානත් පිරිල ...

පිට්ටට විතරක් හිස තියන්න කොට්ටයක් බොරැල්ලෙ පුංචි අම්මගෙ ගෙදරින් ...
අපි ටික ඔය තියෙන මක්‍කවත් නවල ඔලුවට තියාගන්නව...
එකාලෙ ඉතිං අපේ ඇඟේ මසුත්‍ නෑනෙ බං
උදේ නැගිටින කොට බෙලි කටු ඔක්කෝම පොලීසියෙන් ගහල වගේ ...
ඇයි බං සිමෙන්ති පොලොවෙ ඇට කටු වදින කොට පැය හය හතක් ලේසි කෙලියක්ද ...
පාන්දර නැගිටල තේකක් ...

ඈ... මක්කැයි බං තේ‍ කියන්නෙ
ප්ලග් පොයින්ට් හොට් ප්ලේට් ඒවයෙ නෑ බං තේ බොන්න
අඩුම ගානෙ අපිටම කියල පිඟානක් කෝප්පයක් ...
ප්ලෙන්ටිය ගහන්නත් හන්දියෙ කඩේට යන්නෝන ...
උදේට උණු උණුවෙ රොටියක් නැතිනම් රෝස්පාන් ගෙඩියක් වඩයක් හා කහට එකක් සමග පාරෙන් අනෙක් පැත්තෙ තිබුන ඩිමෙල් එකෙන් ...
(ඒක තමයි ලොකුම සැප)
දවල්ට කන ඒව නං උඹළට කියන්නෙම නෑ ඉරිසියා හිතෙන නිසා ...
ඇයි කියන්න දෙයක් තියෙන්න එපැයි බං ...
ඕනෑම එකෙක් රැකියාවට ගොහින් හරි පන්ති ගොහින් හරි මොන කඩුත්තුවක් කරල හරි
දවසෙ වැඩ කටයුතු අහවර වෙලා කාමරේට නැතිනම් ගෙදර යන්නෙ පුදුම සන්තෝසෙකින්නෙ බං ...
අන්න ඒකට අපි ...
කාමරේ‍ට යන්නෙ මරන්න යනව වගේ ...
ඇයි බං වැඩි පඩි නැතත් වැඩ කරන තැන සැප කාමරේට වඩා ...
ෆෑන් පුටු මේස පියන්ගෙන් අතටම එළකිරි තේක
බිම දිලිසෙන ටොයිලට් අප්පේ වැඩක් නෑ කියල ...
අනෙක කාමරේට කලින් ගියා කියල මක්කරන්නෙයි බං පොතක් පතක් කියවන්න
ඉඳගන්න පුටුවක් නැතිනම් ඇලවෙන්න ලෑල්ලක්වත් නැතිනම්
බුදියන්න බිමට එලාගන්න රෙද්දක්වත් නැතිනම් ...
මොන මගුලකටද කලින්ම කාමරේට ගොහිං ...
ඉතිං රෑ වෙනකන් වීදි දිගේ ඔහේ ඇවිදගෙන යනවා එල්ලයක් ඉලක්කයක් නැතිව
සමහර දවසට මරදානටම නැතිනං බොරුල්ලටම එහෙමත් නැතිනම් වෙස්ලි පිට්ටනියට අනෙක් පැත්තෙන් ඇස් වාට්ටුව හන්දියට ...
එතකොට පාරවල ට්‍රැෆික් හරී අඩුයි ...

රෑට විලි වහගන්නත් සරම බෙඩ් ෂීට් එකටත් සරම පොරවන්නත් ඒ සරම
මූණ ඇඟ පත පිහින්නත් ඒ සරමම ...
ඕක තමයි බං ගමෙන් සිදාදියට එන හැම එකාගෙම කල් කිරියාව ...
ඒකාලෙ අද වගේ පෙන්තහවුස් අපාට්මන්ට්ස් නෑ ...
මක්කා කියුවත් පුංචි බොරුල්ලෙ බෞද්ධ මධ්‍යස්ථානෙදි නං දුක කියන එක උපරිමයෙන්‍ම වින්ද බං ...
ඕකෙ විස්තර තව තියෙනව කියන්න පුළුවන්
ඒත් ඉතිං ඕව කියල මක්කටෙයි බොලාට
කොච්‍චර කියුවත් දුකම තමයි රංජනී කියුවළු
අනෙක ඉතිං බෞද්ධ මධ්‍යස්ථානෙත් බෞද්ධ නොවන දේවල් තියෙනවනෙ බං ...
ආයෙ මක්කටෙයි මගෙ කට වැරදුනොත්

ඕං  ඔය ඇති දැනට ...

*****

දිවිය කොයිතරම් සුන්දරදෝ
දුකම කොයිතරම් සැපතක්දෝ ....

Wednesday, May 15, 2024

අමුතු එකක්


රට වටේම මුහුදක් ...
අති සුන්දර පාරාදීසියක් කරවල කෑල්ලත් පිටින්  ...

ඕනෑම බඩ කඩුත්තුවක් මුල් ඇද ඵල දරණ සරුසාර බිමක්
මිරිස් කරලත් ඉම්පෝටඩ්  ...

තේ රබර් පොල් කුළුබඩු අපනයනයෙන් ලෝ සුපතල
රබර් පටියත් පිටින් ගෙන්වන අරුම පුදුම ඇටයක් ...

අසාමාන්‍ය ජෛව විවිධත්වයක් මෙන්ම ලොව වටිනාම මැණික් පිරුන මිණි බිමක් ...

ගංඟා දිය ඇලි වැව් අමුණු තුරුලතා වැහි වනාන්තර ඇතුළු  
ස්වාභාව්ක සම්පත් වලින් සපිරුණ දවසින් අඩක්ම හිරු දෙවියාගෙන් ආශීර්වාදලත් දිවයිනක් ...

හිම හැර ලොව සෑම කාළගුණික තත්වයක්ම එකම දිනෙක සුළු පැය ගනනක ගමනකින් ලැබිය හැකි වාසනාවන්තම දේශයක් ...

මන්ද බුද්ධික බංකොලොත් හාල්පාරු දේසපාළුවන්ගේ මෙහෙයවීමට හැම බිජුවටම කුලල්කා ගත්තත්
පුදුමාකාර ජනවාර්ගික විවිධත්වයකින් ආශීර්වාදලත් අරුම පුදුම දිවයිනක් ...

බහු ආගමික සංස්කෘතීන්ගෙන්  පෝෂණය වූ පින්බර දිවයිනක්
එහෙත් එය ධනාත්මකව අගය නොකර ඒ හේතුවෙන්ම ලේ විලක් කරවූ ...

සංස්කෘතියෙන් හා ස්වභාවික සුන්දරත්වයෙන් සැමට වඩා පොහොසත්
හොර කමෙන් දූෂණයෙන් අනෙකුන්ටත් වඩා එහා ගිය
පර පණ නසන්නන්ගෙන් ගහන වූ බියකරු දේශයක් ...

සාක්ෂරතාවයෙන් උසස් වූවද
අමන හොරුන් තෝරා පත්කර වැඩියෙන්ම ණය ගත හැකි නායකයා තෝරන ජාතියක් ...

ලෝකයේ වැඩියෙන්ම මිත්‍රශීලී රටවල් දහයෙන් එකක් වූවද පනපිටින් මිනිසුන් පිච්චූ දේශයක් ...

ලොවින් අඩකට ආහාර සැපයිය හැකිවූවත්
ආර්ථික වශයෙන් දුප්පත් වූ රාජ්‍ය ණය ඉහළම මට්ටමකට ගෙනා
රටේ සම්පත් හූරන්කා පිට රටින් ණය හිඟන පාළකයින් පිරිසක් ...

ඈත අතීතයේ සිට දස දහස් ගනන් වීරයින් තම ජීවිත දන් දී
නිදහස් නිවහල් සෛවරී රාජ්‍යයක් ගොඩ නැගුවද
තමන් තවත් රටක කොටසක් යයි පාරම්බා ප්‍රසිද්ධියේම ව්‍යවස්ථාව උල්ලංඝනය කරනා
ලැජ්ජා විය යුතු කොමඩි කන්ට්‍රියක් ...

වසර තුන්දහසකටත් වඩා ඉපැරණි ආඩම්බර ඉතිහාසයක් විකුණන් කන අමන හැත්තක් ..

ජය ශ්‍රීමා බෝධිය කිරෙන් නහවා දළදා වහන්සේ වැඳපුදා
උන්ම පත්කල ජනතාවට කොකා පෙන්වන දූෂිත නායකයින් පිරිසක් ...

ඒහෙත් එය පින් කෙතක් රන් දෙරණක් ...

හා හා දැං ඉතිං බොලා මේවාට කලබල වෙන්ට ඕනැන්නෙ නෑ බොලාට මං මක්කාවත් කීවෙ නෑ ඕං ...
අන්තර් ජාලෙ බලලා කොහේදෝ තියෙනා අමුතුම අමුතු උතුම් දේශයක් ගැනයි ඔය දෙඩුවෙ හොඳේ ...

(තවත් දේවල් තිබුනා ඒත් ඒවා මේවයෙ කියන්න බෑ ඕයි)

Thursday, April 11, 2024

ඒරොප්පෙ

 


 

මහ දෙන්නට වීස ලැබිල හින්නි කෙලීලගෙ දිහාට
නර්වස් වී ඇඹරෙනවා නෑ ගොහිල්ල ගමෙන් පිටට ...
එත් ඉහේ මල් පිපිලා හින්නි කෙලී දැක ගැනුමට
පුරුදු නැතත් සුදු හාමිනෙ යං අපි දැන් ඒරොප්පෙට ...

සත් සමුදුරු පහු කරලා ගොඩ බැස්සා මැල්බෝනෙට
ගිනි සීතල හරිම තදයි කන් වහගන් ඉක්මනටම
ලෙඩක් උනොත් බෙහෙතුත් නෑ සරුවාංගෙ ඇති ඇම්මට
අතුල්ලන්න ගෙනාවෙ නෑ විදුරාංගෙ වාතයකට ...

දොර ඇරුනම අහස්යානෙ පේලි ගැසී යං හනිකට
කියන දෙයක් තේරෙන්නෑ බාසාවත් මහ රජාට
පඩි පේලිය ඔටෝමැටික් තව ඩිංගෙන් හොම්බ බිමට
කෙස්වල්ලෙන් ඇදල ගත්තෙ මායියාව නොවැටෙන්නට ...
 
රේගුවෙ උන් හරිම තදයි බැහැ උන්ගෙන් බේරෙන්නට
රෙදි පොදියම ඇදල දැම්මා කොරන්ටයින් කියා ඔන්ට
නිකට අතේ ඔබා ගෙනම දුන්නා උත්තර ඒවට
අනේ මන්ද උං කොහොමද තේරුම් ගත්තේ සිංහල

හනේ හපොයි වේලාගත් කුම්බලාවො කරවල ටික
කටට රහට පැක් කරගත් සිංහල අච්චාරු එක්ක
ඇඹුල් තියල් මාළු  පැකට් තියා ගත්ත උන්ට කන්න ...
කඳ සුරිඳුනි බඩ යවපන් හිත්පිත් නැති රේගුවටම

හීන් කෙලියි සුදු බෑනයි ඇවිත් හිටිය පිළිගන්නට
දන දමලා පිළිගත්තා අමතක වී නෑ දෙන්නට
මක්කා උනත් සතුටු කඳුළු බේරෙනවා හැම කෙනාට
සැපට හිටිය හීන්  කෙලී ඇදිල ගොහිං ඒ ඩිංගට ...

හිච්චි බෑනා උස්සං ගියා හීන් කෙලී හඳ පානක
කල වරදට අපි දැක්කම තාමත් හැංගෙනව ඔන්ට
මාමෙ නැන්දෙ සමාවෙයන්  දෙදෙනා දුන් දුක් ගින්නට
දන නවලා වැඳ වැටුනා දොහොත් මුදුන් තබා හිසට ...

එන්ට යන්ට වාහනේට දැන් මහන්සි ඇති අම්මට
තාත්තාගෙ මඩිස්සලෙත් මං දැම්මා ට්‍රොලියකටම
පැයකට පෙර යන්න ඇහැකි ෆ්‍රීවේ එකෙ අපෙ ගෙදරට   
හිච්චි පැටව් අරගෙන යමු ඩේකෙයා එකෙන් හවහට ...

මාස හයක් සුද්දො වගේ මෙහේ හොඳට හිටිය ඇහැකි
හොලිවුඩ් බොලිව්ඩ් නෙට්ෆ්ලික්ස් බොත්තමකින් එබුව ඇහැකි
ෆුල් ලක්ෂරි ලයිෆ් ස්ටයිල් ඔය දෙන්නට ගෙව්ව ඇහැකි
එහේ වගේ නෙවෙයි මෙහේ කොන්ද කෙලින් හිටිය ඇහැකි ...

ඕනෑ නම් නාගන්නට උණු වතුරත් හිතු හැටියේ  
බාත් එකේ සෝල්ට් දමා රිලැක්ස් එකේ හිටි හැකියේ ...
ලයිෆ්බෝයි නොගෑවාට කන්ඩිෂනර්  බොට්ල් එකේ
පනිට්ටුවක්  නැති උනාට වතුර මලක් ගෙයි ඇතුලේ ...

 
බත් දීසිය තුන් වේලෙම අමතක කර දමමු ඔන්න
ඩිනර් එකට අමුතු දෙයක් ට්‍රයි කරලා බලමු අදම
බත් නොකාම දවස් ගනන් අපිට හිටිය හැකි එහෙන්ම
ලංකාවේ වගේ නෙවෙයි කෑම ජාත්‍යන්තරෙන්ම  

මේසේ උඩින් පයි තුනකුත් ගෙනත් තිබ්බා බේක් කරමු ...
බතල ගෙඩිය  ඉරි කපලා ෆ්‍රයි කරලා බෙදා ගනිමු ...
සැලඩ් එකට අයිස් බර්ග් ලෙටිස් එකක් දමා ගනිමු
තෙහෙට්ටුවත් වැඩි හන්දා කෑම කාල බුදිය ගනිමු ...

මේවා කාලා හෙට උදේට අපෙ බඩ ගල්වෙයිද නෝනෙ
ඇතුලෙ තියෙන මස් හොද්දට තුනපහ බින්දුවක් නෑනෙ
පිටි ගුලියට බඩ පිපෙයිද අනෙ හාමිනෙ හරි ලෙඩක්නෙ
පයි කන්නේ කොහොමද බං නමත් හරිම හිරිකිතයිනෙ ...

ගමේදි නං රතු බතකට කොල මැල්ලුම හරි යසයිනෙ
දැවටිල්ලට තෙබු මාළුව කරවල සමගයි බුදින්නෙ
මේව නැතිව ඒවා අපිට රජ කෑමක් නේද නෝනෙ
පුරුදු නැතිව මේව ගිලලා බඩ බුරුලට යයිද නෝනෙ ...

සීතල හෙම එනෙකක් නෑ ගෙදර ක්ලයිමටයිස් කලා
බ්ලැන්කට් එක ප්ලග් කරලා කොට්ට මෙට්ට වෝම් කලා
සෙන්ටිග්‍රේට් අංශකයට මුළු ගෙදරම හීට් කලා
අපහසුවක් දැනුනොත් හෙම මේං මෙහෙම ඕෆ් කලා  ...

දැනුනොත් සීතල අම්මේ හොඳ නැහැ ඔබෙ වීස් එකට
එහෙම උනොත් වෙන්ටලීන් ඩෝස් දෙකක් ඉන්හේලෙට
බෙහෙත් හේත් ගැන කිසිවක් හිතන්නෙපා කරදරේට
අපෙ දොස්තර ලංකාවෙන් බෙහෙත් දෙන්නෙ ආදරේට

ගමේ වගේ පාන්දරට දිය බත නං නැහැනෙ අම්මේ
චේන්ජ් එකට ග්‍රැනෝල ඇන්ඩ් ඕට් මිල්ක් කෑ හැකිනේ
එහෙම නැතොත් සම්බෝලෙයි පරිප්පුවයි  ෆ්‍රීසරයේ
පාන්  ගෙඩිය පෙති ගහලා දාගත හැකි ටෝස්ටරේ

හෙට ඉඳලා මගේ වැඩත් පටන්
ගන්නෙ රෑ දහයට
අම්මේ මම හිච්චි නැපක් ගන්න ඕනෙ හතරේ සිට
කවි සොලෝක කියනවනං වොලියුම් එක නොඇසෙන්නට
දොර වහගෙන ඒව කියමු ප්‍රයිවසි ඕෆ් කාමරේම ...

ලෝන්ග් වීක් එන්ඩ් එහෙකදි යමු අපි හොලිඩේ එකකට
කෑම්පින්ග් තමයි ප්‍රියතම අපේ හිච්චි උන් දෙන්නට
ඔය දෙන්නත් කැමති වේවි ගඟ අයිනේ නිදහසකට
මඩුව හදල ඒක ඇතුලෙ බුදියගන්නෙ බෑග් එහෙක ...

මිණිපිරි මුණුපුරන් දුවේ එන්නෙ නෑනෙ අපේ ළඟට ...
කොහොමද මම කියාදෙන්න හේනෙ කුඹුරෙ සීපද ටික
තේරෙන්නෑ අපි දොඩවන රටේ සිංහලත් එවුන්ට
තෝල්කයා නුඹ නෙවිනං කතා බහත්  අත් දෙකින්ම ...

හනේ අපේ මහත්තයෝ උඹ ඕවා නොගෙන හිටින්
අපි මේවගෙ දුකින් උනත් උන් ඉන්නෙ හරි සතුටින් ...
දරුවන් දැක ගත්තු එකත් මදෑ හිතේ සන්තෝසෙන්  
මාස හයක් ඉඳලා යමු වෙන්න කලින් කුඹුර පුරන් ...

Friday, February 2, 2024

ශ්‍රාවක සංඝ

ශිෂ්‍යය යනු ශ්‍රාවක  ය
ප්‍රජාව යනු සංඝ ය
එනිසා මාගේ භාග්‍යවත් ස්වාමීවූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයන් (ශිෂ්‍ය ප්‍රජාව)

1. සුපටිපන්නය =
රාග, ද්වේෂ, මෝහ දුරු කරගැනීම
පිණිස සීල, සමාධි, ප‍්‍රඥා ශික්ෂාවෙහි හික්මෙන හෙයින් සුපටිපන්න වන සේක.

2. උජුපටිපන්නය =
ඍජු මාර්ගය නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමට පිළිපන් හෙයින් උජුපටිපන්න වන සේක.

3. ඤායපටිපන්නය =
චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධකර ගැනීමට පිළිපන් හෙයින් ඤායපටිපන්න වන සේක.

4. සාමීචිපටිපන්නය =
මහත් වූ ධර්ම ගෞරවයකින් යුක්තව ඒ ශ‍්‍රී සද්ධර්මයම ප්‍රචාරය කරන හෙයින් සාමීචිපටිපන්න වන සේක.

ඉහත ගුණයන් යම්  බුද්ධ ශ්‍රාවක සංඝ රත්නයන් ප්‍රගුණ කරන්නේ නම්
ඔවුන්

ආහුණෙය්‍යය =  ඒ උතුම් සංඝරත්නය දුර සිට හෝ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස ආදිය පිළියෙල කොට පූජා කිරීමට සුදුසුය.

06. පාහුණෙය්‍යය = ඒ උතුම් සංඝරත්නය ආගන්තුකයින් වශයෙන් වැඩම කළ කල්හි පවා සිව් පසයෙන් උපස්ථාන කිරීමට සුදුසුය.

07. දක්ඛිණෙය්‍යෙය = ඒ උතුම් සංඝරත්නය මෙලොව පරලොව පින් සලකා ගෙන මහත්ඵල මහානිසංස සලකා ගෙන සිව්පසයෙන් පූජා ලැබීමට සුදුසුය.

08. අංජලිකරණීයය = ඒ උතුම් සංඝරත්නය දෙව් මිනිස් ලෝකයාගේ වන්දනා මානනයට ගෞරවාභිවාදනයට සුදුසුය .

09. අනුත්තරය = ඒ උතුම් සංඝරත්නය දෙව් මිනිස් ලෝකයා හට පින් රැස්කර ගැනීම පිණිස හේතු වූ අනුත්තර වූ පින්කෙත වන සේක ...

ඔය ඉතිං සඳහන් කරේ ශ්‍රාවක සංඝයා ගැන පොත පතින් කියවල උකහාගත් දෑ තමයි
ඒ කියන්නෙ එවන් උතුම් ඇත්තන් පිදීමට ඉතාමත් සුදුසුවේ
එනිසා බොලා එවන් ඇත්තන් දැක්කම හිත හිතා නං ඉන්නෙපා රජෝ
පසඟ පිහිටුවල තෙවතාවක් වැඳහල්ලා මොකද බොලාට එයින් ලාභයක්ම මිස පාඩුවක් නං සිදු නොවේමැයි...

~~~~

හැබැයි ඉතිං ඔය අතරෙ බොලා නිතර දෙවේලේ දකින
ඉහත කී ගුණාංග කිසිවක් නැතිව බොලාගෙන් සිව් පසය අරගෙන කාළය කණ තව සංඝ කියන දැළි පිහියෙන් කිරි කන සැට් එකක් ඉන්නව නේද ...
බොලා කොයික වෙතත් එවුන් සැට් එකනං අනිවාර්යෙන්ම වැඳිය යුත්තේ බොලාටයි
මොකද අමුම අමු ගේම් කාරයාෙ සැට් එකක් වන එවුන්
උන්ගෙ මුළු පවුල් සංස්ථාවම නඩත්තු කරන්නෙ බොලා අමාරුවෙන් හම්බ කරන කාසි වලින් නිසා ...

අරි අටඟි මාර්ගෙ යනව තියා
පන්සිල් අටසිල් දසසිල් තියා ...
පළවැනි දෙවැනි සිල් පදෙන් එහාටවත් පැනගන්න බැරි එවන් එවුන් එමටයි
ඉතිං කොහෙද බං කෝටියක් සංවර සීලය රකින්නෙ ...

ඔය දෙවැනි සිල්පදය අදින්නා දානා නේබං
ඒ කියන්නෙ බුදුන්ගේ ශ්‍රාවකයන් තමන්ට අතට දුන්න දෙයක් පමණමයි ගන්නෙ ...
ඉන් එහා මක්කාවත් ගන්න තියා හිතන්නෙවත් නෑ
එතරමටම ඒ උතුම් ඇත්තන් සිතිවිලි පරිස්සම් කරනව ...

මුන් එහෙමයැ බං
ළඟින් ගියොත් ඇහැක් නෑ අමුම අමු මැරයො සැට් එකක්
ඕං දැන් බලහං ඉතිං අර මුලින්ම සඳහන් කල මංගල ගුණයන්හි පිහිටුවනවය කියල
සිවුර පොරවං පාත්තරෙත් අතට අරං මුන් මක්කැයි බං මේ කරන්නෙ

බොලාව රවටලා ගොනාට අන්දලා බොටයි පවුලටයි පිරිත් නූලක් බැඳලා බණක් පිරිතක් කියලා
බොලා ගෙන් සිව්පසේ පිරිකර අරගෙන බොලා රවටන වැඩක් නෙවිද බං මුන් සැට් එක මේ කරන්නෙ ...

ඉතිං ඒක හෝල් සේල් හොරකමක් නෙවිද බං ...
කොටින්ම කියනවනං අපි තමයි ශාසනේ රකින්නෙ කියල
හිස බූ ගාලා සිවුරක් පොරවගෙන පවුල පන්සලට ගෙන්නගෙන
නැතිනං පන්සල පවුල ළඟට ගෙනිහින් මොන විගඩමක්ද බං මේ රඟපාන්නෙ ...
අර මහ රජාගේ බාසාවෙන් CONMEN කියන්නෙ ඕං ඔවැනි එවුන්ට තමයි ...

ඉතිං මං මේ බොලාට දෙසන්නේ ...
බොලත් ඔය කොන්මෙන් (Conmen) සැට් එකත් එක්ක ගනුදෙනු කරන කොට බොහෝම පරිස්මින් ...
නිකං මක්කටෙයි බං බරපතල වැඩ ඇතිව හිරේ සිටිය යුතු පවුකාරයන්ගෙ පවු වලට බොලාත් කරගහන්නෙ ...

ඔය හාල්පරුවො ජීවිතේට ධර්මෙ රකින්නෑ බං
මොකද ධර්මෙ රැක්කොත් උන්ට අවුල් උන් රකින එකමදේ තමයි උන්ගෙ දරුපවුල් බොලාගෙ එකවුන්ට් එකෙන් ...

මනුසත්වයාගේ සිත් තුල ධර්මය තියෙනතාක් කල් ධර්මය රැකෙයි බං
ආං ඒක කෙරෙන්නෙ අර මුලින්ම කීව වගේ
සුපටිපන්න
උජුපටිපන්න
ඤායපටිපන්න
සාමීචිපටිපන්න
ගුණ තියෙන ඇත්තන්ගෙන්ම පමණමයි ...

ආං ඒ ඇත්තන් නං දුටුවොත් පෙරලි පෙරලි පුදහල්ලා ...
කෑල්ලෙං කෑල්ල ගියත් පිදිය යුතුම ඇත්තන් තමයි ඒ
ඕං ආයෙ මං නොකීවයි කියන්නෙපා...

Wednesday, September 7, 2022


මේ සුපින්වත් යුවල අපේ කාලේ ගාලු ටවුම අවට ...

ඒ කියුවෙ අයිස්මෝල හන්දිය චීනකොරටුව මිනුවන්ගොඩ
වලව්වත්ත ඔරොප්පුවත්ත වැලිවත්ත
පෙට්ටිගලවත්ත  මහවීදිය කළුවැල්ල
මෙකී නොකී ගම්වල හැදිච්ච  එකෙකුට
අමතක නොවනා යුවලක් ...

මොකාට අමතක වූවත් මගේ පපු කැනැත්තෙ
මේ දෙපොලට ඇත්තෙ විශේෂිතම ස්ථානයක් ...

මම හිච්චි එකා කාලෙ ඔය මහත්තයම
කීපාරක් මාව බේරගෙන තියෙනවද ...

කැස්ස හෙම්බිරිසාවෙ සිට කැපුම් කෙටුම් තැලීම් සීරීම්
කැඩුම් බිඳුම් සරම්ප ගස්ලබු උණසන්නිපාතෙ දක්වා ...

මමත් හරි තැන්පත් තිබ්බ තැන තැම්බ වගෙ හිටිය එකානෙ
අවුරුදු හයේදි තමයි මං මුලින්ම ඉස්පිරිතාලෙ හිටියෙ ගලක් උඩ වැටිල නහය කඩාගෙන
තවමත් ඒ කැළල ලාවට නහයෙ ...

මමම විතරක් නෙවි
පෙර නම් සඳහන් කල ගම් වලින් තුන්කාලකටත් වඩා  
මේ දෙවිය එදා රැක ගෙන ඇති ...

මගෙ මතකෙ ඇඳෙන රුව අනුව
සැමදා පාන්දර ක්ලීන් සූට් එක දාගෙන නලාව
බෙල්ල වටේ මාලයක්‍ වගෙ දාගෙන
පයින්ම කඩිසර ගමනින් ඩිස්පැන්සරියට යන
මේ දොස්තර මහත්‍තයගෙ සීදේවී හිනාව
ඒ කාලෙ නොදුටු දවසක් නෑ ...

උදේ අටේ ඉඳල හවස හත අට වෙනකං
එතුමගෙ කිරිසුදු දත් තිස්දෙකට මැදිවෙල හැපෙන
වැල්මී නට්ට එතුමා ජන්මෙන්ම ගෙනා පුරුද්දක් ...

ගම්වල ඒකාලෙ හැදුන අපිට එතුමගෙ පිහිට විතරමයි තිබුනෙ ...

අනෙක් දෙවිය
පිං බෙහෙත් ශාලාවෙ වෙද මහත්තය ...

පිං බෙහෙත් ශාලාවෙ බෙහෙත් වලට සල්ලි ගත්තෙ නෑ
ඒකයි ඒ නම ...

ඉතිං ගමේදි ලෙඩ වෙච්‍චි එකාට
කසාය තෙල්බේත් ඕනෙ නං පිං බෙහෙත්‍ ශලාව ...

බේහෙත්‍ කුඩුයි බෙහෙත්‍ වතුරයි ඕනෙ නං ඩිස්‍පැන්රිය ...

අද වගෙ ප්‍රයිවෙට් දොස්තර කඩ හොස්පිට්ල් ඒ කාලෙ  නෑ ...
චැනලින් සර්විස් අහලත් නෑ ...

දැන් අඩියෙන් අඩිය ඉස්පිරිතාල බිහිඋනාට
හැට හැත්තෑව දශක වල මුළු ගාල්ලටම තිබුනෙ
මහමෝදර මහ ඉස්පිරිතාලෙ විතරයි ...

ඒ කියුවෙ ගමේ කෑම වල ලෙඩ නෑ ...
ඇයි බං දැන් කාලෙ කෑමෙන්නෙ බාගයක්ම ලෙඩ එන්නෙ ...

ඉතිං මේ දෙවියගෙන් ගම් හත අටකට වුන සේ‍වයට
අදටත් ලන්සු තියන්න කොහෙත්ම බෑ ...
ලෙඩ වෙච්චි එකෙකුට ඔය මහත්තයගෙ හිනාවම ඇති ලෙඩේ හොඳ වෙන්න ...

උණ කට්ට ගසල අරගෙන දිව යට තියල
පපුවට නලාව අල්ලල නාඩි බලල දෙන
එක බෙහෙත් වඩියක් ඇති ඇඟේ තියෙන
හැම බඩ කඩුත්තුවක්ම තොලොංජිවෙල යන්න ...

හරියට මහඖෂද පණ්ඩිත තුමා වගෙ
උන්නාන්සෙ මූණ දිහා බැලුවත් ඇති ලෙඩෙේ හොඳ වෙන්න ...

බිල වැඩිම උනොත් රුපියල් හයක් හතක්  ...

ඔය දොස්‍තර මහත්‍තයත්‍ එක්ක ඈඳිච්ච
හිච්‍චිම කාලෙ මට  අමතක නොවන
තවත් සිද්ධියක් තමයි
අපෙ තාත්තගෙ පණ ගිය දවස ...

එදා උදේ ගෙදර හැමෝම තාත්ත බදාගෙන කෑගහන කොට
කමිසයක්වත් නැතිව මම කෙලින්ම දිව්වෙ දොස්තර කුවින්ටස් මහත්‍තයගෙ ගෙදර ...
 
එතකොට එතුමාගෙ පදිංචිය චීනකොරටුව හරස්පාරෙ එතුමගෙ පියාගෙ ගෙදර ...
පහුකාලෙක ගාල්ලෙ මිණුවන්ගොඩ ගෙයක් හදල පදිංචියට ගියා ...

දෙස්තර මහත්තයගෙ දොරට තඩිබාපු
මම එතුමගෙ ඇඟේ එල්ලිල ළතෝනි දුන්නෙ
තාත්‍තට මක්කද උනා දොස්තර මහත්තයෝ ඉක්මනට එන්නෝ ...
දොස්‍තර මහත්තයත් එක පිම්මෙ අපේ‍ ගෙදර ...

ගෙට ගොඩ වැඩිච්චි දොස්තර මහත්තය
තාත්‍තා දිහා බලල තොල පෙරලල
හිස් බැල්මෙන් ඔලුව වැනුව විතරයි ...

අපේ දොළොස්මහේ පහන සදහටම නිවිල ...

එදා ඉඳල ගෙදර තිබුනෙ රෑට එහෙ මෙහෙ යන කළාමැදිරි එළි විතරමයි ...
ඔය ජීවක මහත්තය ගමේ තිබුන හැම ගෙදරකටම දෙවියෙක් ...

අතපය කඩා ගෙන ගිය හැම වෙලාවකම බෙහෙත් දාල ගත්තෙ
සත පනහක් හැත්තෑ පහක්  විතරයි ...

සිරිසේන අයියයි සිරිවර්ධන අයියයි තුවාල සුද්ද කරල
බෙහෙත් දැමීමෙ කටයුතු කරගෙන ගියා
බෙහෙත් කලවම් කලෙත් ඒ දෙපලමයි ...

මේ සුපින්වත් දොස්තර මහතා සහ නෝනා
අවුරුදු හතළිහකට විතර පසුුව මට නැවත හමුවුනෙ
පහුගිය වතාවෙ අපෙ මංගලයගෙ පාස්ට ෆැක්ටරියට
කොල්ලො දෙන්‍නත් එක්ක කෑමට ගිය වෙලේ ...

වට්‍ අ ප්‍ලසන්‍ට්‍ සප්‍රයිස්.
මෙන්න බොලේ අපේ මේසෙට එහා මේසෙ පොඩි පුතත් එක්ක ...

පොඩි පුතත් දැං පොඩි නෑ
ඒකාත් ජෝන් සීනගෙ මල්ලිගෙ යාළුවෙක් වගෙ ගජ ඉලංදාරිය ...

දුව නං දැං කොයි ලෝ‍කෙද දන්‍නෑ ඒකිත් ඒ කාලෙ යස හැඩකාරි ...

පුදුම අහඹු නැවත හමුවීමක් ...

මංගලය ඇඟිල්ල දික්කල ගමන්ම
මම නං අඳුන ගත්ත ...

ඒ වැල් මී හිනාව තාමත් එහෙමමයි ...

ඒතුමට නං මාව අඳුර ගන්න බැරි උනා ...

ඇයි බං පාලහෙදි දාසයෙදි දැකපු එකා
පනස් හත වෙනකොට කොච්චර වෙනස් වෙලාද ...

Dr Quintus Silva

ක්වින්ටස් සිල්‍වා ජීවකයාණනි සමහර විට ඔබ එදා නොහිටියානං ...
ගමෙන්‍ බාගයක් විතර අඩි අටක් යට

නිහතමානී සුන්දර ජීවකයාණනි
ඔබ නැවත දැකීමත් භාග්‍යයකි පිනකි ...

ඔබ තුමාට සහ කරුණාබර නෝනාට මා මෙසේ පතන්නම් ...

සියක් ආයු ලැබ මගෙත් ආයුගෙන
මටත් වඩාකල් ඔබ ජීවත් වේවා !

මෙතුමා ගැන මතකයන්
අපේ කාලෙ එකෙකුට මේ ලිපිය කියවන විට දිගහැරුන හොත්

ඒ මතකයත් බෙදා ගැනීමට ඇරයුම් ...

*****




Tuesday, August 30, 2022

නුග ගහ යට අපි ...


ඕං බොලාට දැන්ම කියුව මේක නං අනෙක්වටත් වැඩිය මහා දිග හෑල්ලක් ...

*****

නුග ගහ යට අපි ...

අපේ මහ ගෙදර තිබුනෙ ගාල්ලෙ චීන කොරටුවෙ අයිස්මෝල හන්දියෙ ...
 
නවසිය හැට ගනන් වලත් ගෙදරට අවුරුදු එකසිය ගානක් කියල අම්ම තාත්ත කියනව
මට ඇහිල තියෙනව
හැබැයි ඉතිං සොලීඩ් ගෙදර ...

බිත්තියක් අඩි එකහමාරක් දෙකක් විතර මහත කබොක් ගලෙන් ...
 
ඒකමයි ඔය තරම් කාලයක් අල්ලං හිටියෙත් ...

වහලෙ තිබුන පැරණි සිංහල උළුයි
අමුතුම තාලෙ මැටි ගඩොල් අල්ලපු පොළොවයි කබොක් බිත්තියි ...
ගේ ඇතුලෙ  සීතල තවත් වැඩි කලා ...

සීතලයිද කියන්නෙ බං ගාල්ලෙ ටවුම මැද්දෙ හිටිය අපිට
රෑට  පොරවගන්න රෙද්දක් අවශ්‍යමයි ...

කොච්රද සීතල කියනවනම් කළු පාට බ්ලැන්කට් එක නැතිනම්
ලොකු අක්කට නින්ද යන්නෙත් නෑ ...

මමනං පාළහක් දාසයක්  වෙනකන් නිදියැව්වෙ අම්මගෙ බොක්කෙ
ඒ කියන්නෙ ඇඳේ ඉතිං මට උණුහුම තිබ්බ ...
අනෙක්‍ අයත් රෑට කාලා කොහේ කොහේ හරි කොනක  ඇලවෙනව ...
 
මහ ගෙදර කියුවට ගෙදර මහ නෑ
කාමර දෙකයි ඉස්තෝප්පුවයි සාලෙයි කෑම කාමරෙයි කුස්සියයි ...

ගෙදර හත්දෙනා උනාට හැමදාම වගෙ රෑට දහයක් පාළහක් බුදි ...
 
අහල පහල ගෙවල් වල අයත් අපේ ගෙදර කූඩාරම් ගහල ...
පුංචි ගුනේ ලොකු ගුනේ සෝමලතා ජයන්ති ගමේ අයිය
මට මතක කිහිප දෙනෙක් ...

ගීත අක්ක සුදු අක්‍ක චම්පිකා
ධම්මික මල්ලි රොහාන් අයිය ජයන්ත ඩබල
අපේ ගෙදර ඉඳල ඉස්කෝලෙ ගිය අය ...

දුකේදිත් සැපේදිත් අපිට හිටිය බාලසූරිය මාම
කාලයක් වැඩට ගියෙත් අපේ ගෙදර ඉඳල ...

තවත් කිහිප දෙනෙක් හිටිය නම් ගම් නිච්චි නැති උනාට ...

හුඟ දවසට යන එන මං නැති පේමා අක්කත්
ටවුම පුරාම ගොහිං කුලී වැඩක් කරල කීයක් හරි හොයාගෙන ඇවිල්ල
අම්ම දෙන දෙයක් කාල බුදියගත්තෙත් අපෙ ඉස්තෝප්පුවෙ ...
ලුසිහාමි ආතත් එහෙමයි ...
ඒ දෙන්නටම කාත් කව්රුවත් හිටියෙ නෑ
හිටියෙ අපිම තමයි ...

පේම අක්ක සන්තකේටම තිබුනෙ
හැට්ට දෙකයි චීත්ත දෙකයි දාගත්තු පුංචි පංමල්ලක් විතරයි
පේමක්ක ඔලුව නිය ගහන්න හරි රුසිය ...

හිච්චි අයියගෙ යාළුවො සෙට් වෙච්චි දවසට ඉස්තෝප්පුවෙ එලිවෙනකං සිංදු
එවුන්ගෙ නම් සඳහන් කරන්න බෑ සීමාරහිත නිසා
මේ සටහන දුටුවොත් ප්‍රසන්ස් මාක් කරන සේක්වා ...
Sarath Dahanayake  Harithalal Sirikumara Kandamby Ranga Goonasekera Shiran Desilva Saman Gurusinghe Wiki Wickramasinghe රන්ජන් හේවවිතාරන පණ්ඩිත මන්ටො මහමෝදර මහේන්ද්‍රය නම් වැලයි ...

එදාට ලොකු අක්කයි හිච්චි අක්කයි  
හැමෝටම කුස්සියෙ සම්බෝල කොටනව පාන් සමග ඩිනර්ස් එකට ...

සිංදු අහවරවෙල සම්බෝලෙටයි පාන් කාලටයි
නැතිනම් රතුහාලෙ බතටයි පරිප්‍පු හොද්දටයි පුච්චපු කරෝල කෑල්ලටයි වගකියල
මහ රෑ පෝලිමට එකා උඩ එකා බුදි ...
 බූරු ඇඳන් නැතිනම් දිගටෝම පැදුරු එලාගෙන ඉස්තෝප්පුව දිගට ...

හැමෝම හරි සන්තෝසෙන් ...
 
අම්මත් සමහරදාට ග්‍රැමෆෝන් එක අතට අරන් රූපසිංහ මාස්ටරුයි
කෝකිල දේවියි පතුරු ගහනව ...
 
අයිස්මෝ‍ල හන්දිය කියුවට
මට මතක කාලෙක නං අයිස්මෝලක් තිබුනෙ නෑ ...
අයිස් මෝල වැහුවයින් පස්සෙ තිබුන බෝතල් ෆැක්ටරියක නටබුන් නම් මතකයි ...
අයිස් මෝලෙ වම් පැත්තට කාස වාට්ටුව
Thassim Chest Clinic ...

ඊට එහා පැත්තෙ වින්නඹු ගෙදර වින්නඹු අම්ම වැන්දඹුවෙක් ...

දකුණු පැත්‍තට අපි ...
ගේ ඉස්සරහ මිදුලෙ ජම්බු ගහ නිසා අපේ ගෙදර ජම්බුගහ ගෙදර ...
ගොඩැල්ලෙ ගෙදර අපේ ගෙදරට තවත් නමක්
ගේ තිබුනෙ පුංචි ගොඩැල්ලක ඒකයි ඒ නම ...

තාත්ත පොඩි මහත්තය නැතිනම් පොඩි මහත්තය අයිය ...
ලොකු මහත්තය කව්දෑ කියලනං දන්නෙ නෑ ...

අපෙ අම්මට ගම්මු කියුවෙ ගොඩැල්ලෙ ගෙදර නෝන
ජම්බු ගහ ගෙදර නෝ‍න නැතිනම් ජම්බු ඇන්ටි ...

ජම්බු ඇන්ටි කියුවෙ ගෙදර ජම්බු තිබුන නිසාද
අම්ම ජම්බු ගෙඩිය වගේ රතු නිසාද තාම මම දන්නෑ ...

ගෙදරට දකුණු පැත්තෙ තැපැල් කන්තෝරුව ...
තැපැල් කන්තෝරුව කරෙ විජේදාස මාම
විජේදාස මාමගෙ එක කකුලක් අනෙකට වඩා දිගයි
ඉතිං ඇවිදින්නෙ ටිකක් පැත්තට ...
අසල් වැසියන්ට හිටියෙ මාටින් මාමල සෝමරත්න මාමයි එමෝහාමි ආත්තයි
තල හාමිනේගෙ පවුලයි ජෝන් මාමයි ජිනදාස අයියයි කරවල කඩේ මුදලාලියි හඳුන්ගොඩලයි
කන්ද උඩ මෙට්ට මාටින් මාමගෙ වරිච්චි ගෙවල් කම්ප්ලෙක්ස් එක ...

පිටිපස්සෙ මායිම මිනින්දෝරු කන්තෝරුව ...
මිනින්දෝරු කන්තොරුවට එහා පැත්ත පහල ඩික්සන් පාර වලව්වත්ත ...
අපේ ඉඩමත් අයිතිව තිබුනෙ කුඹල්වැල්ල වලව්වට ...
පහුකාලෙක  කුඹල්වැල්ල හාමුගෙන් අපි ඒක සල්ලි වලට ගත්ත ...
සල්ලි හම්බවුනෙ මම 83නේ වර්ල්ඩ් කප් ගොහිං ඉතුරු කරපුවැයින් ...

පිටිපස්සට කන්ද
ළඳු  කැලෑවත් සමග  අතරින් පතර ගෙවල් ...
කැලෑවෙ සර්පයො හරියට
සමහර දවසට නයි අඬනවත් ඇහෙනව ...

මම දවසක් පොලඟෙක් එක්ක බුදිය ගත්ත ...
ඒ මම හිච්චි එකා උනාට
නරුම වැඩක් කරල තාත්තගෙන් ගුටිකාල නින්දට වැටුන වෙලාවක  ...

බෙල්ල වටේ සීතල දැනිල ඇහෑරෙනකොට
පොළඟෙක් බෙල්ල උඩ ගුලිවෙල දැපනෙ දාගෙන
පොළොං ඇස්දෙක නිල් කැට දෙකක් වගෙ දිලිසෙනව
උගෙ ඔලුව මගෙ කොට්ටෙ උඩ ...

හුහ් සැපට බුදියන්ට එන්න ඇති කොට්ටෙට ඔලුව තියාන ....

අතින් ගසල දාල මර ළතෝනි තියාගෙන ඇඳෙන් පැන්න මම ...
මගෙ වෙලාවට උගේ කට පුරවල මීයෙක් ...

ඒ වෙලාවෙ ගෙදරට ඇවිත් හිටිය තාත්තගෙ යාළුව ඇඩ්ඩිං මාමයි තාත්තයි
පොළඟගේ අනාගතේ බාරගත්ත ...
පව් අහිංසකය එදැයින් පස්සෙ හුස්ම ගත්තෙ නෑ ...
රෑට මීයො දුවනව වහලෙ රීප්ප උඩ
ඉතීං මීයො අල්ලන්න එන ගැරඬිත් ඉඳහිට අපේ වහලේ
ගැරඬි ආ වෙලාවට බූමිතෙල් පොඟපු බට කෙක්ක අතට ගන්නෙ ලොකු අක්ක ...
ඒකෙන් එක පාරක් ඇන්නම ඇති
ගැරඬිය හුසේන් බොල්ට් වෙන්නෙ ආං ඒ වෙලාවට ...

ගෙවත්තෙ අඹ වෙරළු කෙසෙල් ලාඔලු කොස් වරක දෙල් පොල් පේර
ජම්බු පැෂන් පෘට් අන්නසි සියඹලා අවුරුදු වාරෙට ගස් වල පිරිල
අලි පේර ගහකුත් තිබුන ගෙඩි නැති වුනාට ...

බෙහෙත් ගහකොල වැල් ...
දෙළුම් දියබෙරලිය කෝමාරිකා සියඹලා පුප්පමේනියා නිදිකුම්බා කොහොඹ
වැල්‍ පෙනෙර හාතාවාරිය තව නොයෙක් ජාතියෙ බෙහෙත් හොයාගන
ගම්මු එන්නෙත් අපේ ගෙදරට ...
කම්මුල් ගායට අලි හක්ක හොයාන එන්නෙත් අපෙ ගෙදරට ...

කිතුල් ගහකුත් පැත්තකින් ...
මදින කාලෙට තාත්තගෙන් බාපු ගමන් පෙන දාන තෙලිජ්ජ කෝප්පයක් අයියලටයි බඩ පිස්ස මටයි වරදින්නෑ
බෙහෙත් ඖෂධයක් නෙව ...

වත්ත පුරාම පාට පාට හිච්චි හිච්චි මල් පුදුම සිරියාවක් ...

ලොකු අක්‍කගෙ විනෝදාංශෙ මල් වැවීම ...
උදේ හවස බුදුන් වඳින වෙලාවට ගමේම කට්ටිය
අපේ ගෙදරට තමයි එන්නෙ මල් නෙලන්න ...
පෝයදාටයි ඉරිද දහම් පාසැලටයි
පන්සලේ මල් වට්ටි වැඩියෙන්ම පිරෙන්නෙ අපේ‍ ගෙදරින් ...
කහ මල් සපත්තු මල් සීනියාස් ඩේලියාස් බාබටන්ස් දාස්පෙතිය
නිල් කටරොලු ඉද්‍ද වතුසුද්ද කූඩළු සේපාලිකා පිච්ච හැම ජාතියෙම මල් හැමෝටම ඇති තරම් ...

වැරදිලාවත්‍ රෝ‍ස මලක් කැඩුවොත්‍ නම් ලොකු අක්කගෙ මල පනිනව ...

අපේ ගේ පිටිපස්සෙ කන්දෙන් පස් කපල ගෙනිහිල්ල තමයි
ගමේ හුඟ දෙනෙක් වරිච්චි ගෙවල් හැදුවෙ ...
අළුත් අවුරුද්දට ගමේ හැම ගෙදරකම වගෙ බිම මැටි ගෑවෙත් ඒවැයින් තමයි ...
හදිසියට වහල තෙමෙනවනං පොල් අත්තත් ඒ ගහකින්ම තමයි ...
ගාලු කොටුවෙ මුස්ලිම් පවුල් ඔක්කෝමල වගේ
එළුවන්ට කන්න කොස් කොල කපාගන්න එන්නෙත් අපෙ ගෙදරට ...

සිංහල අවුරුද්දට ගේ පිටිපස්සෙ මහා උස කොස් ගහේ උංචිලි ...
දෙන්නෙකුට බදන්න බෑ ඒ කොස් ගහ
ගමේම කොල්ලො කෙල්ලො කුරැට්ටො ටික එතන උංචිලි ...

නිව්ටන් මාමගෙ පුතා ලලිත් තමයි උඩටම රුකුල් ගන්නෙ
උංචිල්ලාවට නැග්ගොත් උඩම තියෙන කොස් අත්ත අල්ලල කොස් කොලයක් කඩාගෙනමයි ලලිත් පහලට එන්නෙ
අපි ඇස් දෙක වහ ගන්නව බයේ බෑ ...
අපි එච්චර උඩ යන්නෑ බයයි ...

පහු කාලෙක ආණ්ඩුවෙන් ලියුමක් එව්ව කොස් ගහ කැපුවෙ නැතිනම් නඩු දානව කියල ...
මුළු ගමටම හරී දුකයි ...
හේතුව පහුකාලෙක හදපු සමූපකාර ඉස්පිරිතාලෙට කොස් ගහ කඩාගෙන වැටෙයි කියල බයට ...
හැබැයි කොස් ගහ තමයි ඉස්පිරිතාලෙට කලින් ඉපදුනෙ ...
පස්සෙ කොස් ගහ චන්ද්‍රසේකර අයියගෙ ලී මඩුවෙන් අරගෙන
රුපියල් අටසිය පනහක් අම්මට දුන්න
රුපියල් අටසිය පනහ කියන්නෙ ඒ කාලෙ ලොකු මුදලක් ...
හදිසියෙවත් අපි කැමැත්තෙන් ගහ කැපුවනං ගිරාමසේවක අපිට නඩු දායි කොස් ගහක් කැපුව කියල ...

ඒක කොස්‍ ගහක් නෙමේ ගමේ හුඟ දෙනෙක්ගෙ කුසගිනි නිවපු බත් ගහක් ...
කොස් ගහ විතරක් නෙවි මායිමේ තිබුන තවත් ගස් කපන්න කියුව අරයගෙ මෙයාගෙ වහලට වැටෙයි කියල ...
හැබැයි ඒ ඔක්කෝම වහලවල් ආවෙ ගස් වලට පස්සෙ
පොල් ගසුත් හතරක් කැපුව
පොල් ගස් තීන කොට කවදාවත් පොල් කඩෙන් ගත්තෙ නෑ ...
පොල් විතරක් නෙවි වත්තෙ තිබුන දෙල් කොස් පළතුරු හැමෙකක්ම
ගමත් එක්කම බෙදාගත්ත ...

ගම් සභාවෙ හිටියෙ කැකිල්ලෙ රජ්ජුරුවන්ගෙ පරම්පරාවෙ උන්දැලනෙ ...
උන් එදත් හිටංල අදත් හිටංල ...
 
අපේ මිදුලෙ තමයි වැඩිහරියක් කට්ටිය රොක්වෙන්නෙ සෙල්ලමට ...
සුද්දිල හිච්චිල සීලවතීල ලලිත්ල කමලල  සෝමලතාල චූටිල චුට්ටල  ප්‍රියන්තල ජයන්තල රාණිල රමණිල කිරාල  තව නම් වැලයි ...

ගේ ඉස්සරහ වක්වැල්‍ල පාරෙන් අනෙක් පැත්තෙ අපේ ඔෆීෂියල් සෙල්ලම් පිට්ටනිය ...
පිට්‍ටනිය මැද්දෙ විශාල නුග ගහ
නුග ගහේ රෑන් බිමටම එල්ලෙනව ...
හිච්චි එවුන් කාලෙ අපි ඔය රෑන්වල එල්ලිල
ටාසන් වගේ පැද්දෙන එක තමයි කරන්නෙ ....
ටාසන් වගේ පැද්දුනාට අපිට  තිබුනෙ කෝටුකිතයියගෙ ඇටකටු බොඩිය ...
ටාසන්ගෙ ඇඟ තියෙන එකෙක් අහල ගං තිස් හතේම හිටියෙ නෑ ....

අපේ සෙල්‍ලං ඔක්කොම ඔය නුග ගහ යට තමයි ....
නුග ගහට එහා උස  පුළුන් ගහ
පුළුන් ගහේ පුළුන් කාලෙට පුළුන් බිමට පාවෙල එනකොට
මායි චූටියි ඒව පස්සෙ පන්නනව සමනල්ලු පස්සෙ පන්නනව වගේ ...
පහු කාලෙක එතන පොදු නාන ළිඳක් හැදුවෙ සිමෙන්තියෙන් බැඳල වටේම අවුරල ...

රෑට තොරණෙ ලැයිට් දාල වගේ කණාමැදිරියො නිවෙනව පත්තුවෙනව  
අපිත් හරි ආසයි කණාමැදිරියො ඇවිත්‍ ඇඟේ වදින කොට ...

අතේ වැහුවම අනෙක් අතින් හිමිහිට වහල පුංචි හිලකින් කණාමැදිරි එළි නිවෙනව පත්තුවෙනව විනාඩි ගානක් බලාන ඉඳල අපි සන්තෝස වෙනව ...

ක්‍රිකට් ගහන්නෙ රබර් බෝ‍ලෙන් නැතිනම් ඔට්ටපාලු බෝලෙන් ...
ඔට්ටපාලු සප්ලයි එක නාකියදෙණිය වත්තෙ වීරසේන මාමගෙන් ...
චම්පි වීරසේනගෙ Champi Weerasena තාත්ත
නැතිනම් මුණසිංහ මාමගෙන්
මුණසිංහ මාම කිව්වෙ අපේ ආදී ශිෂ්‍ය නැසීගිය ලෝක මුණේගෙ තාත්ත....

ඕනෙනං ටවුමෙ පේමන්ට් කඩේකින් සත පාළහකට විතර
රබර් බෝලයක් ගන්නත් පුළුවන්ගාන තමයි ටිකක් වැඩි ...

බැට් වල අඩුපාඩුවක් තිබුනෙම නෑ ....
ලයිෆ් ටයිම් ස්පොන්සර් ෂිප්එක ගෙදර පොල් ගහෙන් ...
පාපන්දුව වෙනුවට බැලුම් බෝලයක් ගානට පුම්බල හොදට පාප්ප හරි රබර් කිරි හරි ගාල
වටේටම කපු රෙදි කෑලි අලවනව බරට ...
කටු ඇනිල පිපිරුනහම ආයෙත් බැලුම් බෝලයක් ඇතුලට දාල කටින් පුම්බල ගැට ගහනව
හොඳ ඝනේට රෙදි ඇලෙව්වම ලේසියෙන් පිපිරෙන්නෙත් නෑ
ෆුට්බෝල නැති අපට ඒ හොඳා ...

කටු අකුල් වලට ගියෙ නැතිනම් සෑහෙන කාලයක් පාවිච්චියට සුදුසුයි ....

අපි වගේ පොඩි සෙට් එකට වයස පහක් හයක් විතර ඇති
හිච්චි අයිය වගේ ලොකු සෙට් එක අට නවයෙ ඉඳල දොලහ දහතුන පාලහ දක්වා ...

වක්කැල්ල පාරට මායිම්ව දකුණු පැත්තෙ කිලෝ මීටර බාගයක් විතර දිගටෝම පිට්ටනිය ...
නුග ගහ යට ඉඳගෙන බැලුවම
ගාල්ලෙ ටවුමෙ පොලිස් බැරුක්කයි එතනම ඉස්සරහ කැරකෝප්පුවටයි යනකංම පේනව ...
ඉතිං නුග ගහයට ගේමිං සෙන්ටර් එකක්ම තමයි ...

කට්ටියක් ක්‍රිකට් කට්ටියක් ෆුට්බෝල් තව කට්ටියක් එල්ලෙ කට්ට්යක් සරුංගල්  හොරා පොලිස් තාරඩි කබඩි
ලොකු සෙට් එක ජිල්බෝල හෙඩ් බුරුස් ...
ඒව සල්ලි වලට සත දෙකට තුනට ...

පොලිස් ජීප් එක  දැක්කොත් හෙඩ් බුරුස් ගහන හැම එකාම සැනින් සීසීකඩ ...
අද කාලෙ රෑප පෙට්ටියෙයි ක්‍රීඩාවෙයිත් බෙටිං තිබුනට ...  
ඒ කාලෙ ගමේ පුළුං ගහයටවත් බෙටිං බෑ ...
බලාපල්ලකො අපි දියුණු වෙච්චි තරම ...

ලොකු සෙට් එකට දයාරත්නල රෑපසිරිල ඩොනල්ඩ් ඩොනල්ඩ්ගෙ මල්ලි
මෙට්ට මාටින් මාමගෙ පුතා ධර්මසේන රූපානන්ද ඉදියප්පන් ගෙදර රූපසිරි ලලිත් හිච්ච අසෝ‍කා ආනන්ද රාජා මගෙ හිව්චි අයිය සාන්ත මුද්‍රණාලෙ ලොකු ප්‍රනාන්දු ...
තව ගල් වලෙනුත් සෙට් එකක් ...
ගල් වලට කියපු තවත් නමක් තමයි කොරියාව
පිට ගම් වලිනුත් එනව ඔතන සෙල්ලම් කරන්න ...

මාමල නැන්දල කියුවට
මේ ඔක්කොම නෑදෑ නොවන නෑදෑයො ...

හිච්චි අයියගෙ යාළුවො සාන්‍තයි ලංසි ගෙදර කැමිලසුයි මුද්‍රණාලයෙ ප්‍රනාන්දු මහත්තයගෙ පුතයි ...
Sudattha Fernando
අයියයි ප්‍රනාන්දු මහත්තයගෙ පුතයි මහින්දෙ
සාන්ත විද්‍යාලෝකෙ කැමිලස් ඇලෝසියස් ...

සාන්තගෙ පවුලෙ 9යි
කොල්ලො හතයි කෙල්ලො දෙකයි මගෙ යාළුවො චුට්ටයි චූටියි
Meththananda Weralavithana

නුග ගහ ඉස්සරහ වත්ත මැද ලොකු ගෙදර තමයි කැමිලස්ල හිටියෙ ...
කැමිලස්ගෙ ගෙදර වටේට තාප්පෙයි ඉස්සරහට ගේට්ටුයි තිබුන නිසා අපි ඇතුලට යන්නෑ ...
අපේ ගෙදර ගේට්ටු නෑ ...
උණ බම්බු කඩුල්ලක් නාගවල්ලි ගස් දෙකේ හරහට දාල තිබුන හරක් ඇවිත් පැල කන නිසා
වත්ත වටේට ඇල්බීසියා වැට ...

දොරවල්  වහන්නෙත් රෑට බුදියන කොට විතරයි ඒවට යතුරු නෑ ...
රෑට බුදියන කොට ලොකු දොර පොල්ලක් හරහට දානව මහසෝනටවත් පෙරලන්න බෑ ...

කැමිලස්ගෙ තාත්ත කනින්ග්හැම් මහත්තය කෝච්චි ඩ්‍රයිවර්
රතට රතේ සද්දන්ත මහත්තය ...
අම්මගෙ නම මිසිස් කනින්ග්හැම්
මිසිස් කනින්ග්හැම් ගෙන් රස්සාව ඇහුවම
හවුස් වයිෆ් කියනව ...
ඒ උනාට කවදාවත් එළියට බැහැල ඒ රස්සාවට යනව නං මම දැකල නෑ ...

හැබැයි ගෙදර ඉන්නෙත් තොලේ නියේ පාට පෙට්‍ටියම උලාගෙන ජැන්ඩියට ඇඳල  අපිටත් එක්ක පුයර හලාගෙන ...
කැමිලස්ට නංගිල දෙන්නයි
ලොක්කි රෝසි පොඩ්ඩි මොනිකා
දෙන්නම කිරි ගරුඬ රෑප වගේ ලංසි හම දිලිසෙනව ...

මගෙ අම්මේඒ්ඒ්ඒ්ඒඒ් ...
උන්ගෙ නයිලෝන්  අතපය දිහා බලා ඉන්න ආසයි ...
අමරදේව මහත්තය ගැයුව වගේ සිනිඳු සුදුමුදු තලාවක්ම තමයි ...
උන් දෙන්නට ඉංග්‍රීසි බඩ යනව ඉතිං අපි කතා කරන්නෑ
ඉගෙන ගත්තෙ කොන්වන්ට් එකේ ...

හිච්‍චිම එකා බ්‍රයන් ඒකාට අවුරුදු දෙක තුනක් විතර ...
වැඩේ කියන්නෙ ඌ කතා කරන්නෙත් ඉංගිරිසියෙන් ...
අපිට ඉඩක් දෙන්නෙම නෑ ...

******

කැමිලස්ගෙ ගෙදරට දකුණු පැත්තෙන් ලයිට් ගෙදර
ඒ ගෙදරට ලයිට් ගෙදර කියුවෙ ඇයි ද කියල තාමත් මට නිච්චි නෑ ....
මුලු ගෙරටම ලැයිට් තිබුන නිසා වෙන්ටැ ...

අපේ ගෙදර ඇතුළුව ගමේ හුඟක් ගෙවල්වල රෑට ලාම්පු
අපි පාඩම් කලෙත් ලාම්පු එළියෙන් තමයි ...
ලැයිට් ගෙදර ඉස්සරහ තට්ටු දෙකේ බිල්ඩිම
අලෙවි කිරීමේ දෙපාර්තමේන්තුව ...
පහුකාලෙක රබර් මිලදී ගන්නා ස්ථානය ...
උඩ තට්ටුව තමෙල් අංකල්ගෙ පින්තූර සාප්පුව ෆොටෝ සීරෝ ...

ඒකට පිටිපස්සෙ වතුර ගෙදර ...
අපිට බීමට ජලය එහෙන් හැන්දෑවට බාල්දි පුරවං ඇවිත් ගෙදර කල ගෙඩි ටික පුරෝ ගන්නව
අපිට තිබුනෙ ළිං
අපේ ගෙදර ළිඳ හරී ප්‍රසිද්ධයි ඒකාලෙ
ගාල්ලෙ කොටුවෙ ඉඳල මිනිස්සු එනව අපේ ළිඳට නාන්න ...

ගමට තව ප්‍රසිද්ධ නාන ළිං දෙකක් තිබුන
කප්පි ළිඳයි බානිස් මාමගෙ ළිඳයි ...
බානිස් මාම කලේ ගල් වල අකුරු කෙටුව එක ...
බානිස්‍ මාම ගල්වල අකුරු කොටන සද්දෙට ගමම ඇහෑරෙනව ...

*******

ගමේ කාර් වලට තිබුනෙ පන්සලේ නන්දසාර හාමුදුරුවන්ගෙ කේම්බ්‍රිජ් එකයි
දොස්තර ක්වින්ටස් සිල්වා මහත්තයගෙ ෆෝඩ් ප්‍රිපෙට් එකයි
දේවේන්ද්‍ර මහත්‍තයගෙ ෆියට් එකයි කේ එල් එච් මුදලාලිගෙ මයිනරෙයි
ලී බඩු කඩේ පුංචි අප්පුහාමිගෙ කාරෙකයි සල්වතුරයගෙ තාත්තගෙ ගිනිපෙට්ටි ඔස්ටින් එකයි
ගමටම කාර් හයයි ...
දැන්නං ඉතිං ගමේ කාර් නැත්තෙ හයකට විතර වෙන්ටැ
මට අක්කල දෙන්නයි අයියල දෙන්නයි මම බඩ පිස්‍ස
අම්‍මයි තාත්තයි හතයි ...
එතකොට තාත්ත හිටිය
තාත්‍ත ඉන්න කාලෙ අපිට හරී සරුයි ...
අපේ ගෙදර හත් දෙනා උනාට කෑම වෙලාවට හැමදාම ගේ පිරිල
නෑදෑයො අසල් වැසියො හැමෝටම කන්න ගෙදර මක්කා හරි තිබ්බ ...

කුස්සියෙ මක්කාවත් නැතිනම් ගස් වලින් කොස් හරි දෙල් හරි කඩල තම්බල දුන්න සම්බෝලත් එක්ක ...
ගමේ ගෙල්වල අයිස් පෙට්ටි නෑ උණු උණුවෙම තමයි කෑම ...
අම්මටයි තාත්තටයි ගමේ අය හරී ආදරෙයි
හැමෝම එක්ක සුහදයි වෙනසක් තිබුනෙ නෑ කාටවත් ...
අපෙ අම්ම හැමදාම කීව දෙයක් තමයි
උඹළැයි තාත්ත හම්බ කරේ සල්ලි නෙවෙයි මිනිස්සු කියල ...
ඒක මට අදටත් වලංගුයි ...

අපිට කණ කොකා පෙනුනෙ හැත්තෑ පහේ ජනවාරි දොලහ උදේ පාන්දර
තාත්‍තගෙ හුස්ම නැවතුනාට පස්සෙ ...
එදා ඉඳල අපි හය දෙනාට තිබුනෙ අපි හය දෙනාගෙ හෙවනැල්‍ල විතරමයි ...

******

ඔය විශාල නුග ගහ මුළු ගමම එක්කාසු කලා ...
ඉතිං නුග ගහ යට හරි හරියට සෙල්ලම්
බක්මහට අවුරැදු උත්සව වෙසක් දන්සැල් තොරණ් ...

ඒවට අපි එක රොත්තට සහභාගී වෙනව ...
ගම හරහා දිවීම තමයි මගෙ ප්‍රියතම ...

ඒ ඉතිං අපි වගේ හිච්චි එවුන්ට ගම හරහා දුවන කොට
ඔරෙන්ජ් බාර්ලියි මාරි විස්කෝතුයි දෙන නිසා ...
****

නුග ගහ යට වෙසක් පොසොන් බත් බීම දන්සැල් ...
ගුනවර්ධන පුංචි අප්පුහාමියි කේ‍ එල් එච් මුදලාලියි තමයි දන්සැල විවෘත කරන්නෙ ...
අපි විවෘත කරන්නෙ දන්සලේ පෝලිම ...

කාලයත් එක්ක පරණ මිනිස්සු මියෑදෙන කොට තරුණ අයත් රස්සාවල් හොයාන එහෙ මෙහෙ ඇදෙන්න ගත්ත ...
වැඩි දෙනෙක් ගියෙ ඉතාලි මැදපෙරදිග වගේ රටවලට ...

පහු කාලෙක නුග ගහ නුග කොටේ වුනා ...
තවත්‍ කාලෙකින් නුග කොටෙයි මුල් ටිකයි ගමේ එවුන්ගෙ ලිප්වල දරටම පත්තු වුනා ...

ඊට පස්සෙ හත් හවුල ආණ්ඩුවෙ වගා ව්‍යාපාරය ආවම සෙල්ලම් පිට්ටනි ඔක්කොම වට කරගෙන
ගම්මු වගා කරන්න ගත්ත ආණ්ඩුවෙම ඉඩම් බලෙන් බෙදාගෙන ...

වැඩි දෙනෙක් ඇත්තටම කලෙ වගාව පෙන්නල
ආණ්ඩුවෙ ඉඩම් ටික කොටු කරගත්ත එක ...

කාලයක් තිස්සෙ එකට හිටියට ගම්මුන්ගෙ තන්හාව කියනදේ ඉලිප්පිල ඇවිත්
තමන්ගෙ වැයික්කිය කොටු කරගන්න රණ්ඩු සරුවල්
කළ කෝලහල කපා කොටාගෙන
උඩින් මිතුරු යටින් හතුරු වෙන්න ගත්ත ...
 
ගමේම කොල්ලො කුරුට්ටො එක්කල නුග ගහ යට  පිට්ටනියත්
ටිකෙන් ටික කෑල්ලෙන් කෑල්ල හිමීටම ගමට නැතිවුනා ...

ඒ අපේ නුග ගහ යට ගේමින් සෙන්ටර් එක යට කරගෙන
වගා ව්‍යයාපාරය ව්‍යාප්ත වෙන්න ගත්තට පස්සෙ ...

එතැන් සිට නුග ගහ යට ලොකු මහත් වෙච්චි අපිත් සීසී කඩ විසිරුනා ...
නුග ගහත් අපිට නැතිවුනා
දැන් නං ගමේ කවුරු ඉන්නවද දන්නෙ නෑ ...

හැම එකාටම හෙවන දුන්න මහා විසාල නුග ගහ තිබුන තැන
හදිසියකට පොඩි එකෙකුට චූ කරන්න නිදිකුම්බ පඳුරක් තියා තුත්තිරි ගහක්වත් දැන්නෑ ...

අපිට සෙල්ලම් කරන්න ඉතිරි උනෙත් ගාලු මහ පිට්ටනිය විතරයි ...
පහු කාලෙක ඒකටත් ක්‍රිකට් මණ්ඩලෙන් කෙලිය ජාත්‍යන්තරේ පෙන්නල ...

දැන් නුග ගහ පිටියෙ සමූපකාර ඉස්‍පිරිතාලේ ...
සමූපෙ පටන් ගත්තෙ නවසිය හැත්තෑ දෙකේ විතර
මුලින්ම තිබුනෙ ගල් වල ඉස්සරහ තිබුන තනි තට්ටුවෙ කාමර හතරක ඩිස්පැන්සරිය විතරයි ...

ක්වින්ටස් සිල්වා මහත්තයි නානායක්කාර මහත්තයයි ඒකෙ දොස්‍තරල
සිරිසේ‍න අයියයි සිරිවර්ධන අයියයි සහායකල එයාල තමයි බෙහෙත් කවලම් කලෙ ...

ඩිස්පැන්සරියෙන් මොන බඩ කඩුත්තුව හැදුනත්
සුදු පාට කුඩකුයි රතු පාටට හුරු බෙහෙත් වතුර බෝතලෙයි තමයි
එකම ප්‍රතිකාරෙ ...
හැබැයි කිරි ගහට ඇන්න වගේ ලෙඩ රෝග සියල්ල නිවාරනයි ...

දැල් එතන සමූපකාර කොම්ප්ලෙක්ස් එකක්
අපිට තිබුන ඉඩම් කෑල්ලත් සමූපෙටම දුන්න ...

මහ විගඩම් නම් අස්සෙ හංගන
භෟෙකික අඛණ්ඩතාවය ජාතික සමතුලිතතාවය
ආගමික සමානාත්මතාවය සහජීවනය සංහිඳියාව ...
කාලෙන් කාලෙට උඹළ අහුවෙන අට පාස්නැති අම්බරු හාල්පාරු දේශපාළුවන්ගෙ වචන සැට් එක ...

ඔය මක්කාවත් අප්‍රබංස නැතිව එදා ඔය  මහ නුග ගහ
පන නැති උනත් ක්‍රියාවෙන්ම ඔප්පු කලා ...

ඒ කීවෙ ජාති ආගම් කුලමළ දුප්පත් පෝසත් මෙකී නොකී මක්‍කාවත් නැතිව
ඔය නුග ගහ මුළු ගමම එක්කාසු කලා ...

එදා චීන කොරටුව අයිස්මෝල හන්දියෙ නුග ගහ යට ...
මයෙ අම්මාපල් දැන් නුග ගහක් බෙහෙතකටවත් දකින්න නෑ ...
 
චුට්ටල චූටිල  ප්‍රියන්තල ජයන්තල අනෙක් කොල්ලො කුරුට්ටො එක්ක ගහන්න ගත්තු ගැහිල්ලම තමයි ...
පහු කාලෙක ලෝඩ්ස් පිටියට යනකන්ම මාව ගෙනිච්චෙ ...

සැමට සෙවන දෙන නුග ගස්
තව තවත් සැම තැනම උපදීවා ...

🙏🙏🙏🙏

Sunday, July 24, 2022

ඉරයි හඳයි අඳුරයි ...

ඉර පායා සිනා සෙනා
අපි ඉන්නද අඳුරෙ ගිලීලා //

සඳ පායා සිනා සෙනා
අපි ඉන්නද අඳුරෙ ගිලීලා //

දෝත පුරා කඳුළු ගලා එයි
සාගරයක් ඊට මදී වෙයි // ...

~ මෙය වීදි නාට්‍යකින් උපුටාගත් ගීයකි ~

මෙම පද පේලි හයේ සැඟව ඇත්තෙ නුඹේත් මගේත් කතාවයි ...

********

සමහර තැන්වල ඉර පායල සිනාසෙනවා
සමහර තැන්වල සඳ පායල සිනාසෙනවා ...

ඒ ඒ තැන්වල ජීවත් වන අය බොහෝම සතුටින් ජීවිතය විඳිනවා
ඒ අයගේ දරුවන් බොහෝම උජාරුවෙන් විනෝද වෙනවා ...
ඒ දරුවන් පහසුවෙන් පූර්ණ අධ්‍යාපනය ලබනවා
ඒ දරුවන්ගේ දියුණුව බලලා
ඒ දෙමාපියන් සන්තෝස වෙනවා
ඒ ඉර පායන හැම තැනටම වගේ හරීම ලස්සනට සඳත්‍ පායනවා ...

අපි ????

අපිටත් ඉර පායනවා
අපිටත් සඳ පායනවා ...
ඒත් අපි විසින් අපේම ඇස් වසාගෙන අඳුරේ අත පත ගානවා
අපිම තෝරාගත් පාලකයන් අපිටම කොකා පෙන්වනවා
කොටින්ම අපි ජීවිතය විඳවනවා ...

අපේ අම්මා තාත්තා තමන්ගේ දරුවන් ස්නේහයෙන් වැළඳ ගෙන
ඒ දරුවන්ගේ හෙට දවස ගැන හිත හිතා හැමදා කඳුළු වගුරනවා ...

ඒ ඇයිද කියා අපිම තේරුම් ගන්නා තුරු
අපි කඳුළු සයුරක හැමදා ගිලෙනවා ...

*****

ශ්‍රී ලාංකා නූතන වීදි නාට්‍ය රඟහලේ පියා
කලා කීර්ති ආචාර්ය ගාමිණී කල්‍යානදර්ශ හත්තොටුවේගම මහතාය ...
ඔහු ගෞරවනීය නාට්‍ය රචකයෙක් අධ්‍යක්ෂකවරයෙක් නළුවෙක් විචාරකයෙක් සහ අධ්‍යාපනඥයෙක් විය ...  
එතුමාට මා ඉතා ගෞරව කරමි ...

1939යේ නොවැම්බර් 29දා උපන් එතුමා 2009 ඔක්තෝබර් 30වනදා අප අතරින් සමුගත්තේය ...

එතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏



Saturday, July 2, 2022

නී



24/07/2021 FB

වෝනිංග්
ඇඹරෙන්නෙපා ටිකක් දිගයි
*****

ඉන් වින්ඩ්සර් මැල්බෝන්හි දී ඇවනියු ගිලන් ඇඳේ
ඔන් මයි බැක් ලයින් ඩවුන් අන්ද මන්ද බකන් නිලමි

ඉස්ටේජ් ෆෝ ලෙක්ඩවුන්ලු නෝ විසිටර්ස් ඉන්සයිඩ්ලු
මොලේ කචල් නොම වන්නට නෙට්ෆ්ලික්ස් එක දාගන්නලු ...

ත්‍රාසය ඇන්ඩ් ඩොකියුමන්ට්‍රි භීතිය හා ගන් ෆයිටිං
ෆැන්ටසි කොමඩිද සමගින් හොලිවුඩ් බොලිවුඩ් ජර්මන්
ෆ්‍රාන්ස් ඉටලි ඇන්ඩ් රෂියන්  භාෂා ඕනෑ එකකින්
මනකල්පිත සිහින ලෝක තිර රචකගෙ ෆැන්ටසියෙන් ...

එත් මචෝ ගිලන් ඇඳේ සීලිම බෝරිං වෙනකොට
නෙට්ෆ්ලික්ස් ෆොක්ස් ටෙල් නැති නං දවස් පහක් මක් කරම්ද ...

හායි හනී ගුඩ් මෝනිං බ්‍රෙක්ෆස්ට් එයි ඇඳ උඩටම
හව් ඉස් යුව කැතීටරේ පූ ගියාද නයිට් එකේ ...

ඔපරේෂන් සක්සෙස්ෆුල් රිකවරි ඉස් ලෝංග් ප්‍රොසෙස්
ස්ලෝලි ස්ලෝලි යූ වර්ක් අවුට් ඉෆ් පේනිං ඩෝන්ට් පුෂ් ඉට්

හව් ඉස් යුව නී ඩාලිං එනි ඩිස්කම්ෆර්ට් කමිං
පේන් කිලස් ඕනිම නං අයි විල් ගෙට් ප්‍රෙස්ක්‍රිප්ෂන්

පැනඩීන් එක ස්ට්‍රෝන්ග් මදියි ෆෝටේ නං ඩ්‍රවුසි වැඩියි
ඉන්ජෙක්ෂන් ඇඟ හිල්වෙයි
එන්ඩෝන් පෙති රොකට් වගෙයි දෙක ගැහුවම හඳේ තමයි ...

නර්ස් නෝන කේලා ඩොයිල් සිරියාවයි ප්ලසන්ට් ස්මයිල්
කැන් අයි ගෙට් ඔරෙන්ජ් ජූස් ටී ඕ කොෆි පෲන් ජූස්   ...

කපල කොටල සරුවාංගෙ ෆ්‍රීසිං මම ගිනි සීතලෙ
අනේ යකෝ පිස්සු එපා දීපං මට නිදි පෙත්තක්
තව දවසක් බුදිය ගන්න ...

ඇනෙස්තටිස් නෝන එමලි ෆුල් ඇක්ටිව් මාර කොමලි
දයාවෙනුත් බොහොම සපිරි කයින්ඩ් හාට් ඒත් මුඛරි ...

පැතලොජි ඇන්ඩ් කාඩියොග්‍රෑම් බ්ලඩ් ටෙස්ට් ඔක්කාම නෝමල්
සීටී ඇන්ඩ් එක්ස්රේ පටි එම් ආර් අයි ඇබ්නෝමල් ...

එම්ආර්අයි ඩිමොන්ස්ට්‍රේට් ට්‍රයිකම්පාට් ඔස්ටියොත්‍රොසිස්
කන්ඩ්‍රෝපති ආටිකියුලේෂන්  බයි ලැටිරල් සුපර් ටිබියො
පටෙලොෆෙමොරා කම්පාට්මන්ට් තව මක්කද අණ්ඩ්‍ර දෙමළ ...

ඩීජෙනරේෂන් ටියර් ඔෆ් මෙඩියල් මෙනිකස් ප්ලස් ප්ලස්
ඇන්ටීරිය පොස්ටීරිය පොමිනන්ට් ඔස්ටියෝෆයිට්ස්

පටෙලා ටැපලා පැටලෙනවා මාර්ක්ඩ් ඇටෙඒෂන් බෝන් ඔඩිමා
මෙඩීයල් කොන්ඩයිල්බයි මෙඩිකල් මෙනිස්කස්
සබ්කොන්ඩ්‍රාල් ජිඔඩස්
ඇන්ටීරිය පොස්ටීරියර් තේරෙන් නෑ මළ රෙද්දක් දොස්තරලගෙ ඩික්ෂනේඒරි
බ්ලි බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා අපිට හිකෙයි බ්ලා බ්ලා බ්ලා ...

*****

ඒ කාලේ අපි ඇතිලුවෙ සිද්ධාර්ථෙ සරුවාංගෙ
පයින්ම ගොස් ගිනි අව්වේ වෙද මහතගෙ කිරි නැළියේ
ඇදල බැඳල කෝටු තියල සෙම් කෙම් සහ වස්ති දමල

කොත්ත මල්ලි වෙනිවැල්ගැට අරළුද නෙල්ලිද රසකිඳ
කොමාරික පැපොල් ගැටද සූකිරි මීපැණි සමගද
වට්ටෝරුවකට කසාය රුපියල් දෙකකුයි වියදම ...

කලං අටක් එකට හිඳේ  පත්තු හතයි ඇටේ වටේ ...

#####

නාකි උනත් දෙස්තර යංග් ඩේවිඩ් නම වෙරි ෆේමස් ...
ලාස්ට් වීක් රොඩ්නි මාෂ් ප්‍රීවියස්ලි ග්‍රැහැම් යැලොප්
ඊට කලින් නෙට්බෝලර්ස් ආෆ්ට දැට් ෆුට්බෝලර්ස්
ඇක්ටර්ස් ගොල්ෆර්ස් ක්‍රිකටර්ස් හයි ප්‍රොෆයිල් කැරෙක්ටර්ස්
දෙසයි ඔහුගෙ ෆුල් වැඩ කිඩ ආතල් දෙයි මගෙ සවනට ...

කාටිලේජ් කිසිවක් නැත බෙහෙතකටත් හොයාගන්න
කලව ඇටෙයි කෙන්ඩ ඇටෙයි දෙකම වැදෙයි එක පොදියට
ටුගෙදර් වෙන් දේ ග්‍රයින්ඩින් අන්බෙයරබල් පේන් කමින් ...

ඉෆ් යූ ඩූ ෆුල් සර්ජරි කැන් ගෙට් යූ ස්පිනිංග් අගේන්
බැක් ඉන් යුව ස්ට්‍රෝක් ප්ලෙයින්
ඇන්ඩ් බෝලිං යුව ඕෆ්ස්පින් ...

ඉන්ඩ්පෙන්ඩන්ට් ලයිෆ් අගෙන් ලෙෂර් ලයිෆ් ඉම්පෲවින්
සිටිං ඩවුන් ස්ටෑන්ඩිං අප් වෝකිං විතවුට් පේනින්

බෝත්ම ලෙග් දනිස් කටූස් කම්ප්ලීට්ලි රිප්ලේස්මන්ට්
සුදු සෙරෙමික් පටෙලා කැප් ටයි ටේනියම් ස්පෙයා පාර්ට්
ප්ලීස් ටේක් ප්‍රී ඔප් ඩොක්ස් රීඩිට් ඇන් බී ප්‍රිපෙයාර්ඩ් ...

බ්ලඩ් ක්ලොට් නං ප්‍රොබ්ලොමැටික් එපිඩියුරල් ඇනස්තටික් ...

*****
මහමෝදර රෝහලෙ මෙන් මජං නොමැති දඬු අඬුවෙන්
ග්‍රයින්ඩර් ඇන්ඩ් කියත් නියං වක් කියතෙන් දෙකට බෙදන් ...
දඩං බඩං නොයිසුත්  නෑ ආතල් එක නැත්තෙත් නෑ ...

ගමෙ පට්ටලේ නෙවි බං කන්ටැක්ලස් ෆුල් සර්ජරි
ටුවෙන්ටි ෆස්ට් සෙන්චරියේඅළුත් තාලෙකටළු දෙන්නෙ
ෆුල් රොබෝ පර්ෆෝමන්ස ඔන් ලයින්ලු ඔපෙර්ෂන් ...

මෙෂමන්ට් එක තිතට අරං යැව්වලු මාසෙකට කලිං ...
ඇමරිකාවෙ හෙඩ් ඔෆිසෙන් දනහිස කස්ටමයිස් කරං
කම්පියුටර් ප්‍රෝගෑමිං ටයිටෙනියම් හරිම ගනං ...

දොස්තරයා උතුර බලං රෝබෝලා නිරිත බලං
කොම්පියුටර් අතර මැදිං කකුල කැපුවෙ මවුස් එකෙං

*****
නයිකි ඇසික්ස් අඩිමඩාස් බෲක්ස් පූමා නිව්ම බැලන්ස්
වෑන් එලිස් ටිම්බර්ලෑන්ඩ් රීබොක් නැත අපෙ කාලේ ...

ගින්යම් වූ තාර පාරෙ අඩියක් නැති සපත්තුවේ
මීටර නොව සැතපුම්මයි 1බෙයා ෆුට්නෙ අපි දිව්වේ ...

පාං පොඟල කහට එකේ දෙවේලකින් ෂේප් උනේ
ඩිමෙල් එකේ රෝස් පාං වඩේ තමයි පිහිට උනේ ...

රණසිංහගෙ දර මඩුවේ දර පලලයි ඇඟ හැදුවේ
ගල්රෝලය කල්ලු කරල අපි සැට් එක් ෆිට් වූයේ
නොකා නොබී අගුපිල්වල ලගේ ගහල අපි ගැහුවේ ...

ඒවයෙ ප්‍රතිඵල  මෝරල එලියට එයි හිටිහැටියේ
ජෝයින්ට් කෙටිල කුෂන් ගෙවිල ඇවිද ගන්න බැරි සකියේ ...
මේව තමයි අපි කාටත් වෙන වින්නැහි සැඳෑසමේ ...

පැඟිර කාලෙ දුවපු දිවුලි පැඟිර කාලෙ පැනපු පැනිලි
පැඟිර කාලෙ ගහපු ගැහිලි කෝටු ඇඟට නෑ දැනුනේ ...

ග්‍රයින්ඩරෙන් ඇඹරුවාට අපෙ ජීවිත නැත වැටුනේ
ගත අටවාගෙන දිව්වට හිතේ හයිය නැත සිඳුනේ

පැඟිර කාලෙ මේ රෑපෙට වද දෙනකොට නැත සිතුවේ
චමින්දවී හැටත් පැනලා ගෙවපං කරුමය හම්මේ ...

****

අයි තින්ක් යූ නීඩ් මෝ එන්ඩෝන්
ලුක්ස් ලයික් යු ආ ඉන් පේන් හනී
ඒ හඬ අපෙ මෝනිං මිසී ලුවිස්ගේ ...

එන්ඩෝන් පෙති වැඩි උනාම මොලේ කචල් අංජ බබල්
ඒ ආතල් වැඩි උනාම හඳේ තමයි නවතින්නේ
තව එන්ඩෝන් පෙති මොකටද හඳට මොටද මං යන්නේ

බුදු හිමිගේ ශ්‍රී මුඛයෙන් සතිපට්ඨානය දෙසුනේ
අකාලිකයි සද්ධර්මය අපි මක්කට ලතැවෙන්නෙ
වේදනානුපස්සනාව මෙනෙහි කරන් දැං ඉන්නේ ...

*****

ගෙට් වෙල් සූන් කාඩ් ඇන්ඩ් මල්වඩම් අනවශ්‍යය ...

~ අයිස්මෝල හන්දියේ අතුලයා ~

****************************

දැනට අතුලයාගේ ශරීරයෙ ඇති ලෝහ ලිස්ට් එක

* කම්ප්ලීට් රයිට් නී රිප්ලේස්මන්ට් - 2022 වසරෙ ...
* කම්ප්ලීට් ලෙෆ්ට්ට් නී රිප්ලේස්මන්ට් - 2021 වසරෙ
* ලෙෆ් ෂෝල්ඩර් විත් ඉස්කුරුප්පු ඇණ - 2020 වසරෙ...
* ලෙෆ්ට් අපර් චීක් බෝන් විත් ටයිටේනියම් ප්ලේට් ඇන්ඩ් ඉස්කුරුප්පු ඇණ - 1995 වසරෙ ...

ඕල් දීස් ඉන් අයිස්මෝල හන්දියෙ අතුලයාස් ටයිටෙනියම් බොඩි ...

ඕං බලහල්ලකො ඒකෙත් හැටි ...

කේසා ලෝමා නඛා දන්තා තචෝ මංසං නහරු ටයිටේනියම් ... කියල
සර්වඤ්ඤයන් වහන්සේ වදාල
දෙතිස් කුනප භාවනාවත් මටම කියල වෙනස් කරගන්න වෙච්චි ...

මෙදා පාර මෝස්ට් එක්සයිටිං ඇන්ඩ් සුන්දරම දෙය තමයි
මුල සිට අග දක්වා මුළු ශල්‍යකර්මයම අතුලයගෙ දෑහින් ලයිව්ම අඟල් හැටේ ෆුල් HD තිරයේ දැකගැනීම ...

ත්‍රී ඇන්ඩ් අ හාෆ් අවර් ෂෝ ජස්ට් ෆෝ මී ...


Sunday, May 29, 2022

බොරැල්ලෙ කාසල් රෝහලේ ඉපිද ...

චීනකොරටුව අයිස්මෝල් හන්දියෙ හැදී වැඩී
🙏 මිහිඳුවේ දෙවි දේවතාවුන්ගෙන් අකුරු කර 🙏🙏🙏

කොළඹ ජෝර්ජ් ස්ටුවට් ආයතනයේ
රුපියල් හාරසීයෙ පඩියට ලිපිකරු සේවයෙන් පටන් අරන්
බ්‍රවුන්ස් සමාගමේ හා ඛනිජතෙල් සංස්ථාවෙහි
වසර දාහතරක් සේවය කර ...
 
කැන්ගරු දේසෙ
පිල්කිංටන් ඇන්ඩ් ඕෂියානියා ග්ලාස් කොම්පැණියෙ වසර 22ක ස්ථීර සේවයකට පසු ...
(ඒ අතරතුරැ අනේක විධි ඇඟපත කකියන කැෂුවල් කෑලිද මහමෙරක් සේ ඇද්දෙමි.මොකෝ බං ඩිග්රි පිට ඩිග්රි ගහන්න අපි රාජපස්සලැයි)

අයිස්මෝල හන්දියෙ අතුලයා
පහුගිය දොහේ පැන්ෂන් ගිය වග
මා හිතවත් ටොයි බයි ජෙපි වන පාට පක්ෂ වලට වහල් නිවහල්
තා තෙපි තොපිලා සියල්ලටම මෙයින් දැනුම් දෙනු ලැබේ ...

අයිස්මෝල හන්දියේ අතුලයා දැන්
තේ කඩේ බලා කියා ගෙන දිවිගෙවමි ...

අයිස්මෝල හන්දියේ අතුලයාගෙ තේ කඩයද
රජයට බදු ගෙවමින්
බදු ගෙවන ඔසියන් පාළහකටද රැකියා සපයමි  ...

~~~~

ඉපදුන දා සිට අද දක්වාද ...

පළමු රුකියාව පටන් ගත්දා සිට අද දක්වාද ...

කොන්ද නොනමා කෙලින් සිටීමට
දශක ගනනක් කාපු කට්ට උපරිමය ...
මානසික ශාරීරික හැල හැප්පීම් බොහෝය ...

මේ දක්වා මම බොලාට කියූ කතා අල්පය
තවත් කීමට ඇති දෑ බොහෝය ...

පොත දොරට වැඩුමටද
පටන් ගත් හැම විටකම අනේක බාධා ඇතිවිය
දැන් කරදාසි නැත ...

හුස්ම වැටුනහොත්  මේ සියල්ල සමගින්
නැවතත් ඔබ අතරට
අරගලයෙන් පසු යම් දිනෙක ...

~~~~

මාද ගතින් නැතත් සිතෙන්
සැමදා අරගලයේ සිටිනා ඔබ සමගය ...

මන්ද ...
මාද එක්තරා අරගල කරුවෙකි
මා මෙතැන සිටින්නේද
මේ දක්වා කල එක්තරා අරගලයක ප්‍රතිඵලයක් ලෙසිනි ...

ඔබ මෙන් මාද මතක ඇති දා සිට වැටි වැටී නැගිටියෙමි ...

නුදුරු දිනකදී අප සැම එකම රටක් ලෙස
නොවැටෙන්නටම යළිත් නැගිටිනු ඇත ...

කම්බ හොරුන්ගෙන් මිනීමරුවන්ගෙන් තොර රටක් උදෙසා ...

අරගලයට ජය !!!

🙏🙏🙏🙏🙏🙏

වහළුන් බොහෝය ...

එහෙත් ...
 
නිවහල් සිතිවිලි සිතනා සිතත් උදාරයි
නිවහල් නිවවුම් මවනා සිතත් උදාරයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැළුම් වරජෝතිය පිනෙන් උදාරයි ...

සැ.යු. ජාතිය = ශ්‍රී ලාංකික

Sunday, May 22, 2022

අද කැන්ගරු දේසෙ මහ ඡන්දෙන්
ලිබරල් පක්ෂෙ පැරදිලා ලේබර් පක්ෂෙ දින්නා ...

මොරිස සමුගැනීමේ කතාව කරා
ඇල්බො 31 වෙනි අගමැති ලෙස වැඩබාර ගැනීමේ කතාව කරා ...

මොරිස ඇල්බොට විෂ් කරා
ඇල්බො මොරිසට විෂ් කරා

දෙන්නට දෙන්නා තමාට ඡන්දය දුන් නොදුන්
සෑම කෙනාටම ස්තූති කලා

ඒ වැඩේ එතැනින් හමාරයි ...

අපි ඇඳට ආවා සුභ රාත්‍රියක් කියල ...

ඔවුන් අමතන්න හොනරරි කෑලි මක්කාවත් නෑ ...
ඔවුන් දෙන්නත් ජාතිය ඇමතුවෙ කට පුරාම "මයි ෆෙලෝ ඔස්ට්‍රේලියන්ස්"

කෙතරම් සුන්දර වදනක්ද
"මයි ෆෙලෝ ඔස්ට්‍රේලියන්ස්"

ජාති ආල ආගම් ආල කුල මල මක්කාවත් නෑ
හැම කෙනාම එකම ගොඩක එක සමානයි
රටේ නායකයම අපි හැම කෙනාම වචන තුනකින්
එකම මට්ටමකට ගත්ත ...

ඉතිං අපිට වන් තිංග් ෆො ෂුවර් ...

අද රෑට කාගෙවත් ගෙවල් පිච්චීමක්
ගල් ගැහීමක් ඇඳුම් ගලවා පහරදීමක් නැතිව
දිනපු පැරදුන හැම එකාටමත්
ඡන්දය දුන් නොදුන් හැම එකාටමත්
සුව පහසු නින්දක් ...

හෙට තවත් නව දවසක්
හෙට සිට නව රජයක් ...

අනෙක් එකාගෙ දිනුම බලාන ඉන්න බැරිව
ගොං ටෝක්ස් දැම්මත් ඒ අපේ එකෙක්ම වෙන්ටැ
උං නං තාම හැදිල නෑ ...
~~~~~

අපේ උන්නං ...

බාගෙ බෝතලයකුයි බත් පැකට් එකකුයි දීල
පන්දාහෙ කොලයකුත් සාක්කුවට දාලා ...
නගර සභාවෙන් බස් පුරවං කස්ටිය ගෙනල්ල
නළුවො නිළියො ගායකයො ගායිකාවො
නිවේදක නිවේදිකයො  මහානායකයො
ඇතුළු මෙකී නොකී හැම එකාම අගනුවරට ගෙන්නල ...

පොලිස්පතියි ආමි පතියි නේවි පතියි එයාෆෝස් පතියි
සීරුවෙන් ගොනාට අන්දල ...

පලමුවත් රට
දෙවනුවත් රට
තෙවනුවත් රට කියල
රට ජාතිය ආගම ඉස්සරහට දාලා ...

අපේ එකා වැරදි කලා තමයි
ඒ උනාට අපි කිරිබිලි හවුස් එකේ ගේට්ටුව කඩල
මරල හරි ආයෙ ආණ්ඩුව ගන්න ඕනෙ කියල
ගෝතයො ගෝතියො ෆෝම් කරල  ...

මයෙ අප්පච්චියේ අවසානෙනං හිතාගන්නවත් බෑ බං ...
~~~~~

වැවයි දාගැබයි ගමයි පන්සලයි
බෞද්ධ රටයි බෞද්ධ සංස්කෘතියයි
කෙතරමි සුන්දරද ...

ඒත් සිතිවිලි කෙතරම් ම්ලේච්ඡද ...

ගුඩ් නයිට් ඕල් !

Monday, February 28, 2022

එකෙක් පිටියි පොලුයි වතුරයි ලුනුයි කවලම් කරල මම ආප්ප කෑව කියනව ...

අනෙකා පිටියි පොලුයි වතුරයි ලුනුයි කවලම් කරල මම රොටි කෑව කියනව ...

තවෙකෙක් පිටියි පොලුයි වතුරයි ලුනුයි කවලම් කරල මම පිට්ටු කෑව කියනව ...

අන්තිමට මේ ඔක්කොම ...
මක්කැයි බං කාල තියෙන්නෙ ??????

සරල වුනාට
ඉතාමත් ගැඹුරැ ධර්මයක් අන්තර් ගත වෙලා තියෙනව මෙතන ...

හිතනවනම්
පටිච්ච සමුප්පාදයට යනකම්ම හිතන්න පුළුවන් ...

මම ඕක ඇහැව්වෙ මාන්කඩවල සුදස්සන හාමුදුරැවන්ගෙ බණ පදේක ෴

ඩිංගිත්තක් ගැඹුරට හිතල බලාපල්ල ...

හැමදාම කියන්න වගෙ ඔලුව තියෙන්නෙ
පනාව අරගෙන කොන්ඩෙ පීරන්න විතරක් නෙවි බං ...

*****